Thursday, August 17, 2017

Google Voice Typing - සිංහලෙන් දාගත්තද?


සිංහලෙන් කතා කරද්දි ලියවෙන ඇප් එකක් ගූගල් එකෙන් හදලනෙ.. ෆේස් බුක් එක බැලුවාම ඉතිං මේකෙ වරුණෙ හැම තැන ම තිබුණා.. විශේෂයෙන් අපේ මල්ලි කෙනෙක් මට පණිවුඩයකුත් එවලා තිබුණා ඒ ගැන කියැවෙන මෙන්න මේ වීඩියෝව බලන්න කියලා.. නලීන් අයියත් පෝස්ටුවක් දාලා අවවාද කරලා තිබුණා.. ආයෙ.. සිංග්ලිශ් එහෙම ලියන්න එපා කියලා.. :D 



ඒත් ඒ වීඩියෝවෙ තිබුණු විදිහට GBoard කියන ඇප් එක Install කරගත්තාට.. ඒකෙන් කිසිම සෙතක් වුණේ නෑ.. ඒ කියන්නෙ  Voice Typing කියන Function එක හරියට වැඩ කළේ නෑ.. මං හිතුවෙ Phone එකේ අවුලක්වත් ද කියලයි.. ටිකක් වෙලා  එක එක ඒවා කරද්දි.. ඔන්න Voice Typing ප්‍රශ්නෙ නම් හරි ගියා.. ඒත් ඉතිං සිංහල වැඩ කරන්නෙ නෑ.. ඒ වගේ ම Voice Typing හරි ගියෙ කොහොමද කියලා හරි හමං අදහසකුත් නෑ.. ඉතිං ඕක ටිකක් හොයලා බලද්දි තමයි දැන ගත්තෙ.. ඒක වෙන්නෙ..(Voice Typing නැතිවෙන්නෙ හෙවත්  Keyboard එකේ recording Icon  එක නැති වෙන්නෙ)  Google Apps කියන App එක disable උනාමයි කියලා.. මං ඉස්සර දවසක.. ඕක  disable කළා.. නිකං මෙමරියට වද දෙන නිසා.. අද නිකමට වගේ ඒක enable  කළානෙ මේ අවු අස්සෙ.. ඒ වුණත් තාම හිතට හරි නෑ තවම සිංහලෙන් ලියැවෙන්නෙ නැති නිසා.. 

ඔය අතරෙ මට හමු වුණා.. තව සරල වීඩියෝවක්..



ඇත්තටම මේ Video එකේ ඉතා හොඳින් Configurations වෙනස් කරගන්න හැටි කියලා දෙනවා.. මගේ අවාසනාව ද මංදා.. ඔය ටික කළත්.. වැඩේ පත්තු වුණේ නෑ.. පස්සෙ මම .. GBoard ඇප් එක uninstall කරලා .. reinstall කළා.. ඊට පස්සෙ ආයෙමත් ඔය උඩ තියෙන Configurations ටික හදා ගත්තා.. දෙයියන්නෙ පිහිටයි කියලා.. මෙන්න බඩු වැඩ.. 

ඉතිං මං මේක ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවෙ.. ඔයාලත්.. මේක දාගන්ට ගොහිං මේ වගේ අපහසුතා වලට පත් වුණාද දන්නෙ නැති නිසා..වගේ ම පස්සෙ කාලෙක මට අමතක වුණොත් බලාගන්ට.. කට්ටක් කාලා වුණත් දාගන්ට වටින ඇප් එක..


Friday, July 21, 2017

එක් කලෙක..

මුව මුවග මිමිණීම්
මඟ සිහින විමසීම්
ගී සුරල් සුගැයීම්
රස කතා නිමැවීම්

පතට බත් රොක් වීම්
පොර ට වැද පැරදීම්
තරඟයට බොරු කීම්
නොසිතු ජය පැන් බීම්

සොඳුරු සිත් ඇගැයීම්
හොරට ගල් ඇහිඳීම්
දුක හිතෙන කොන්වීම්
ඇත නොයෙක රැවටීම්

හද දවන සමු දීම්
තද ලොවට මුසුවීම්
කණ පිට ම හැරවීම්
සොඳුරු ම ය සිදුවීම්

Wednesday, July 12, 2017

බැරිදා විග්‍රහය! අපි කවුරුද?

මදුරුවන් හපා කෑම නිසා සියොළඟ ම කහඹිලියා ගෑවුණු සෙයක් දැනෙද්දී..වහා ඇඳෙන් මෑත්ව මදුරු දඟරය නිවී ඇති දැයි බැලීමි. නැත මදුරු දඟරය තවමත් දැවෙයි.. වහා නැඟිට වෙලාව බැලූ විට වේලාව තවමත් පාන්දර දෙක ට පමණ වූ නිසා විකල්ප උපක්‍රමයක් වන පැඟිරි තෙල් - හඳුන් කූරු උපක්‍රමයට යෑම පළක් නැති නිසා දෙවන විකල්පය හෙවත්.. කුරුඳු තෙල් උපක්‍රමය* වෙත යොමු වීමි. පුතු ගේ දැඟලීම නිසා ඔහුට පෙරවූ රෙද්ද ද ඉවත් වී සිරුර නිරාවරණය වී තිබුණෙන්.. (පළක් නැති බව දැන දැන ම) එය නැවත පෙරවීමි. මදුරු කරදරය නිමා වූවද පැතු පරිදි නින්ද මා වෙත ලඟා වූයේ නැත. ඒ වෙනුවට කල්පනා-සිහින ලෝක අතර සැරිසරන්නට වීමි.
සඳුදා උදයේ දිරන නොදිරන ලෙස වෙන් කළ කුඩා කුණු මළු දෙක විදුලි ආලෝක කණුව යට තැබුවේ.. සඳුදා උදයේ නගර සභාවෙන් කුණු රැගෙන යන බැවින් වුවත්.. හැන්දෑ වන විට.. එම කුණු දසත විසිරී තිබුණේ.. බල්ලන් විසින් ඇද දැමීම නිසාය. අප සිටින්නේ කුඩා අතුරුපාරක නිසා.. කුණු ගෙන යන වාහනය.. අප සිටින නිවෙස් ඉදිරිපිට ට පැමිණෙන්නේ නැත. එසේ පැමිණියa නම් අපට ද තරමක් ලොකු ප්‍රමාණයේ බඳුන් තබා..ඒ තුළ ට කුණු දමා උඩින් ලොකු ගල් ගෙඩියක් තබන්නට තිබුණි. නමුත් පහන් කණුව යට ලොකු බඳුනක් තැබුවේ නම්.. අපේ පාරෙන් ගෙනෙන කුණු එම බඳුනට දමන්නට තිබුණි.. එහෙත් නිසි කලට කුණු නොගෙනියන එකට එයින් තටු ලැබෙනු ඇත.. පිළිතුරු ඇත්තේම නැති ප්‍රශ්න තිබෙන්නේ අපේ රටේ පමණක් දැයි විටෙක සිතේ. ගැටළුව මිනිසුන් ගේ ය. වැරැද්ද ද මිනිසුන්ගේ ය. යන්ත්‍ර සූත්‍ර හෝ සතා සීපාවා මීට පලි නැත. මදුරුවා හැසිරෙන්නේ.. මදුරුවාගේ ක්‍රමයටය.. බල්ලා .. බලු ක්‍රමයට හැසිරෙයි.. මිනිසුන් වන අප හැසිරෙන්නේ මිනිසුන් විදිහට නොවීම ද මේ ගැටළුවට මුල?
පාරකට ටොපි කොළයක් තරම් දෙයක් නොදැමිය යුතු බව, කෙළ පිඩක් නොගැසිය යුතු බව අප පාසැල් යන කාලයේ දී ද උගෙන ඇත. ඒත් ඊට වසර විසි ගනණකට පසුව ද, අපේ මිනිසුන් ඒ දේ පිළිපදින්නේ නැත. ඒ අතින් බලන විට අපේ වැඩ .. කකුළුවන් මෙනි..
ප.ලි
* කුරුඳු තෙල් උපක්‍රමය - කුඩා බඳුනකින් අඩකට පමණ ජලය පුරවා.. කුරුඳු තෙල් බිංදුවක් දමා හොඳින් කලවම් කර .. විදුලි පංකාවේ සුළඟට මුසු වන ආකාරයෙන් තැබීම.
* පැඟිරි තෙල් - හඳුන්කූරු උපක්‍රමය - හඳුන් කූරක් ගෙන පැඟිරි තෙලෙන් පොඟවා දැල්වීම. හඳුන් කූර පැයකට මඳක් වැඩි කලකදී දැවී නිම වීම මෙහි ඇති ගැටළුවයි.

Thursday, May 18, 2017

අපට හුප්පේ!

මල් යටට යාවේ
කළු ගල් ජලයෙ පාවේ
ගොළුවන් කතාවේ
අඳ අයත් ටෙලි සුවයෙ නෑවේ


හොර මැර තක්කඩින්
ඉහළය කිවොත් ලුහුඬින්
දුරුවල අපෙ හඬින්
අවදි වෙති ටින් එකේ සාඩින්

බුදු බණට හුරුවා
යහපත ගරුව සරුවා
අය පදින ඔරුවා
හිල් කරති දස අතින් මරුවා

රජ මැදුරු සරුය
සිටු ඇමති වරු හොරුය
වනන්නෙම බොරුය
ලැබෙන වාහන ටිකත් මරුය

විභාගෙට කොප්පේ
ගහපු අය අපෙ අප්පේ
නිතර ඒරොප්පේ
උගත්, වෙහෙසෙන අයට හුප්පේ



Friday, May 5, 2017

බැරිදා විග්‍රහය! නිදහස් අධ්‍යාපනය.


ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නේ .. සී. ඩබ්. ඩබ්. කන්නංගර මැතිතුමා බව අප උගෙන ඇත. එහෙත් ඒ ලබා දුන්නේ නිදහස් අධ්‍යාපනය ම ද? යන පැනය මා සිතෙහි නිබඳව නැගෙන්නකි. අධ්‍යාපනය නිදහස් නම් තමාට කැමති කලෙක නියාමනයන්ට යටත්ව කැමැති විෂයයක් ඉගෙන ගැනීමේ ආවස්ථාව තිබිය යුතුයැයි මට සිතෙයි. ඉහත කී නියාමනයන් සැපිරීමට ප්‍රමාණවත් වටපිටාවක් තිබීම ද ඉතා වැදගත්ය. උදාහරණයක් ලෙස වියදම සැලකුවහොත්.. එකී වියදම උපයා ගැනීමට සාධාරණ ක්‍රම වේදයන් සමාජය තුළ ස්ථාපනය වී තිබීම ඉතා වැදගත් ය. නියමිත වයස් සීමාව ඉහළට ගෙන ඒමෙන් එකී වියදම ඉපැයීමට කාලය ලබා දෙනු ඇත. එහෙත් අපට එබඳු අයිතීන් නැති නිසා.. ලංකාවේ ඇත්තේ හුදෙක් නොමිළේ අධ්‍යාපනයක් පමණකැයි මා සිත තර්ක කරයි.

මා අධ්‍යයනය කැර ඇති ඇතැම් චරිත වල ඉගෙන ගැනීමේ හැකියාව උපරිම තලයකට පැමිණ ඇත්තේ වයස 20-30 අතර හෝ.. ඊටත් පසු ය. ඊට පූර්වයේ ඔහු ගේ හැසිරීම සහ එතෙක් උගත් දෑ එයට අත්වැලක් නොවන්නේ යැයි මම නොකියමි. එහෙත් ස්වකීය කැමැත්ත ඔස්සේ අධ්‍යාපනය සඳහා අවස්ථාව තිබීම නිදහස් අධ්‍යාපනය ලෙස මම දකිමි.

මෙහිදී අධ්‍යාපනය ලබා දීම සඳහා මුදලක් වැය වීම පැහැදිලිය. එකී අධ්‍යාපනයට යන පිරිවැය දැරීමට නොහැකි අය ට අත්වැලක් වීම රජය සතු යුතුකමකි. කන්නන්ගර මැතිතුමා සියළු සිසුන් සඳහා ඉහත කී පිරිවැය රජය විසින් දැරීමට භාර ගැනීමෙන් අධ්‍යාපනය සඳහා නිදහසක් ලබා දුන් බව සැබෑවකි. එහිදී ඉගෙන ගන්නා සිසුන් වරින් වර විභාග නම් පෙරණයෙන් පෙරා අවසන සීමිත සිසුන් පිරිසකට පමණක් සරසවි වරම් උරුම වන්නට නියමිත විය. එහෙත් උසස් පෙළ යන්තමින් සමත් හෝ අසමත් අයෙකුට අධ්‍යාපනයෙන් ඉහළට යෑමේ අවස්ථා රජය සපයා ඇත්තේ අවම වශයෙනි. තාක්ෂණික ආයතන සහ විවෘත විශ්ව විද්‍යාලය ඒ සඳහා බිහිවූ රජයට අනුබද්ධ ආයතන වේ. කෙසේ වෙතත් මේ සියල්ලෙන් වුව සිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ඉල්ලුම සපුරා ලිය නොහැකි නිසා ටියුෂන් පංතියේ සිට පෞද්ගලික විශ්ව විද්‍යාල දක්වා වූ පෞද්ගලික අධ්‍යාපන සේවා සැපයීමේ ක්‍රමවේදයන් ද නිර්මාණය වී ඇත. එයින් ද ඉල්ලුම සැපිරිය නොහැකි නිසා පිටරට වල විශ්වවිද්‍යාල කරා ගොස් අති විශාල පුද්ගලික වියදමක් දරා වුව ඉගෙන ගැනීම සිදු වෙයි.

මෙහිදී වෛද්‍ය වෘත්තිකයෙකු වීමේ අරමුණෙන් උසස් පෙළ හදාරා වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් නොලබන සිසුනට ශ්‍රී ලංකාව තුළ එය ලබා ගත හැකි ක්‍රමවේදයක් නැති කම මා දකින අඩුවකි. ඒ සඳහා ඔවුහු පිට රට යා යුතුය.

හොඳින් නියාමනය කළ හා පරීක්ෂාවට බඳුන්වන පුද්ගලික වෙද සරසවියක් මෙයට හොඳ විසඳුමකි. දැන් සයිටම් ඇත.. අවශ්‍ය වන්නේ නියාමනය හා පරීක්ෂාවයි..

මූලික සුදුසුකම්, වයස, අය කිරීම, ගුරුවරු, ඉගැන්වීම, උපකරණ, පුහුණුව, විඟාග වැනි කරුණු නිසි ලෙස නියාමනය හා පරීක්ෂාවට බඳුන් කිරීම කරතොත් සමාජයට යහපත් ප්‍රතිඵලයක් ලබා ගැනීමට මෙන්ම නිදහස් අධ්‍යාපනයට තල්ලුවක් දීමටත් හැකි වනු ඇත.

Thursday, March 9, 2017

දේශපාලකයා හා අපේ දේශපාලනය..


දේශපාලකයා කී සැනින් අපගේ හිතට නැඟෙන්නේ ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු ආදියේ ඉන්න සහ ඒවාට තරඟ කරන.. සහ ඔවුනට කඩේ යන හාදයින් පිරිසයි.. මේ සියළු දෙනා සෘජුව හෝ වක්‍රව.. ඉහත කී ආයතන වලින් යැපෙන හෝ වාසි ප්‍රයෝජන ගන්නා පිරිස වෙති..

ඉහත කී පිරිස හැර ඉතිරිය ප්‍රතිශතයක් ලෙස ඉතා ඉහළ අගයක් ගන්නකි.. එහෙත් අප රටට පිරිසිදු දේශපාලනයක් නොහොත්.. පිරිසිදු දේශපාලකයන් පිරිසක් හඳුන්වා දීමේ අපහසුවක් පවතින්නේ කිම.. ?

මේ පැනය මා සිතේ නැඟුනු වාර ඉමහත්ය.. එහි ප්‍රධාන වරද ජනතාව හෙවත්.. ඉහත කී දේශපාලකයන් නොවන අයගේ තකතීරු කම හා නොහික්මුණු කමයි.. දේශපාලකයන්ගේ බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ.. රජයේ නිලධාරීන් හරහා ය. දේශපාලකයා රජයේ නිලධාරියාව මිටින් අල්වා සිටින විට උන් දේශපාලකයාට ගොට්ට අල්ලයි.. දේශපාලකයා එසේ නොකර තම බැමි ලිහිල් කළ විට.. නිලධාරියා ජනතාව මිටින් අල්වා.. දූෂණ ක්‍රියා සිදු කරයි.. ජනතාව එක්කෝ දේශපාලන ගැත්තන්ට.. නැතිනම්.. නිලධාරී ගැත්තන්ට.. පගාව දී වැඩ කරගන්නට පුරුදුව සිටිති..

මා හට ද මේ ආකාරයෙන් පගා දෙන්නට හෝ දේශපාලකයන් පස්සේ යන්නට අවස්ථා කීපයක් ජීවිතයේ උදා වී තිබේ.. ඉන් පළමුවැන්න.. රැකියාවයි.. එහිදී.. ඉහත කී කාරණා දෙකට ම මවු පියන් විසින් උත්සාහයක් ගත් නමුත්.. වාසනාව තිබුණෙන්.. මගේ රැකියාව මගේ හැකියාවෙන් ම උපයා ගැනීමට මට හැකි විය.. ඊළඟ ගැටලුව ආවේ.. මගේ දරුවන් පාසැල් යවන්නටය.. මාගේ බිරිඳගේ එකඟතාවය ද ලැබුණෙන්.. දේශපාලකයන්ගේ හෝ දූෂිත නිලධාරීන්ගේ පසු පස නොයා පුද්ගලික පාසැල් වලට දරුවන් ඇතුළත් කළ හැකි විය. දේශපාලකයන් ඉදිරියේ මඳකට වත් හිස නොනමන්නට තරම් ගර්වයක් මා සිත තුළ පවතින්නේ එනිසාය..

මගේ දේශපාලනය නම්.. රටේ පවතින කවර හෝ අසාධාරණයක් වැරදියි කියා දැකීමයි.. කවර හෝ හොඳක් හොඳයි කියා දැකීමයි..

ඔබ අතින් .. මීට පෙර.. ඉහත කී ආකාරයේ වැරදි සිදු වී තිබෙන්නට පුළුවන.. ඉදිරියටවත්.. මොවුනට ගොට්ට නො අල්ලා.. පගාව නොදී ඉන්නට හැකි නම්.. ඔබ දූෂිත ක්‍රමයට විරුද්ධව නිහඬ සටනක නිරත වූ බව හඟිමි..

Wednesday, March 8, 2017

වින්ඩෝස් 7 ශෙයාරින් වල පාස්වර්ඩ් ඕෆ් කරන්නෙ කොහොමද? How to off Password Protected Sharing in Windows 7

වැඩිය තාක්ෂණික ලිපි නොලියන මට තාක්ෂණික ලිපියක් ලියන්ට හිතුනෙ.. මට වෙච්චි අවශ්‍යතාවයකට පිළියම හොයාගත්තම අනිත් අයටත් ඕනෙ වෙයි කියලාත් මට වුණත් අනාගතේ දි ඕන වෙයි කියලාත් හැඟුන නිසා.. 

කාරණේ මේකයි.. අපේ ආයතනයට අලුතින් පරිගණකයක් ගත්තා.. ඒකට ස්ථාපනය කළේ.. Windows 7 කියන Operating System එක. අපට අවශ්‍ය වුණා.. හැම දෙනාටම වගේ අවශ්‍ය වන Files කිහිපයක් Folder එකකට දාලා Share කර ගන්න. ඉතිං දන්න ක්‍රමයට Folder එක Share කළාට.. වෙනත් පරිගණකයක ඉඳං ඒ Folder එකට ඇතුළු වෙන්න ගිහාම User Name එකක් සහ Password එකක් අහනවා.. මට මතක් වුණා මීට ටික කාලෙකට ඉස්සර මගේ ලැප් වහන්සේ ට Windows 7 දාලා තියෙන වෙලාවකත් ඔය විදිහෙ ප්‍රශ්නයක් ඇවිත්.. කොහෙ හරි සෙටිංස් වගයක් මාරු කරලා වැඩේ ගොඩ දාගත්තා කියලා.. ඒත් ඒ ක්‍රමේ එක පාරට මතක් වුණේ නෑ.. සෑහෙන වෙලාවක් ගත කළාට පස්සෙයි වැඩේ ගොඩ දාගත්තෙ.. මෙන්න මේකයි කරන්න තියෙන්නෙ..

1. යන්න Control Panel එකට
2. එතනින් යන්න  Network and Sharing Center එකට
3. එතන වම් පැත්තෙන් තෝරගන්න.. Change Advanced Sharing Settings.
4. එතන තිබෙන මාතෘකා වල පහලට යද්දී.. File and Printer Sharing යටතේ.. Turn on file and printer sharing යන්න තෝරා ඇත්දැයි බලන්න.. (මේක මගේ එකේ නං තෝරලයි තිබුණේ)
5. තවත් පහලට යද්දී.. Password Protected Sharing කියලා එකක් ඇති. ඒක on  වෙලයි ඇත්තෙ. off  කරලා දැම්මා නම් වැඩේ ඉවරයි..
6. දැං ඉතිං Save කරන්න..

හ්ම්.. පුංචි ලිපියක්..

Tuesday, March 7, 2017

ඔබෙ ගුණ කීමට හෝඩියෙ අකුරු මට මදී

අද මට විශේෂ දවසක්.. මගේ ආදරණීය මෑණියන්ගේ උපන්දිනය.. උදේම සිත FM දැම්මා.. ඒකෙ මේ සිංදුව ගියා..

දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවඳ හමනවා
පසලොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා
මගෙ අම්මා මට ජීවන සුවය සදනවා

සංසාරෙන් සංසාරෙට එකට ආ බැඳී
කෙනෙක් නොමැත දරුවෙකු හට මවක සේ ලැදී
අම්මා යන සමාධියට සිටිමි සමවැදී
ඔබෙ ගුණ කීමට හෝඩියෙ අකුරු මට මදී

සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ
ඔබ දුටුවම මගෙ දුක් ගිනි නිවෙනවා අම්මේ
සක්විති රජවරුනගෙ දණ ඔබ ළඟ නැම්මේ
සිරිමා බෝ මුල මතු දින බුදුවනු අම්මේ..

ඔරිජිනල් එක සුජාතා අත්තනායක මහත්මිය කිවුවත්.. අද ඇහුණෙ පොඩි දරුවෙකුගෙ හඬින්.. ප්‍රේමකීර්ති නම් අති විශිෂ්ඨයා ගේ පබැඳුමක්... මා මීට පෙරත් කියා තියෙනවා.. මා අම්මා ගැන ලීවෙ හරි අඩුවෙන්.. මං හිතන්නෙ.. ප්‍රේමකීර්ති කියපු විදිහට.. හෝඩියෙ අකුරු මදි නිසාම වෙන්ටැති..

සිත FM එකට.. සුජාතා.. ප්‍රේම් දෙපළට.. අද ගායනා කළ දරුවට.. වගේ ම මෙම ගීතය විකාශයට දායක වුණු හැමෝටම පිං.. අද මගෙන් කෙරෙන්න ඕන දෙයක් මං වෙනුවෙන් කළා ට..

ප.ලි.
අන්තර්ජාලයේ හොයලා බලද්දී ප්‍රේමකීර්ති මහතා ගේ නමත්. හේම ශ්‍රී ද අල්විස් මහතා ගේ නමත් තැනින් තැන තිබෙනවා.. ඉතිං කවුරු වුණත්.. මේක ලියපු කෙනාට පිං අයිති වේවා.