Thursday, March 9, 2017

දේශපාලකයා හා අපේ දේශපාලනය..


දේශපාලකයා කී සැනින් අපගේ හිතට නැඟෙන්නේ ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු ආදියේ ඉන්න සහ ඒවාට තරඟ කරන.. සහ ඔවුනට කඩේ යන හාදයින් පිරිසයි.. මේ සියළු දෙනා සෘජුව හෝ වක්‍රව.. ඉහත කී ආයතන වලින් යැපෙන හෝ වාසි ප්‍රයෝජන ගන්නා පිරිස වෙති..

ඉහත කී පිරිස හැර ඉතිරිය ප්‍රතිශතයක් ලෙස ඉතා ඉහළ අගයක් ගන්නකි.. එහෙත් අප රටට පිරිසිදු දේශපාලනයක් නොහොත්.. පිරිසිදු දේශපාලකයන් පිරිසක් හඳුන්වා දීමේ අපහසුවක් පවතින්නේ කිම.. ?

මේ පැනය මා සිතේ නැඟුනු වාර ඉමහත්ය.. එහි ප්‍රධාන වරද ජනතාව හෙවත්.. ඉහත කී දේශපාලකයන් නොවන අයගේ තකතීරු කම හා නොහික්මුණු කමයි.. දේශපාලකයන්ගේ බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ.. රජයේ නිලධාරීන් හරහා ය. දේශපාලකයා රජයේ නිලධාරියාව මිටින් අල්වා සිටින විට උන් දේශපාලකයාට ගොට්ට අල්ලයි.. දේශපාලකයා එසේ නොකර තම බැමි ලිහිල් කළ විට.. නිලධාරියා ජනතාව මිටින් අල්වා.. දූෂණ ක්‍රියා සිදු කරයි.. ජනතාව එක්කෝ දේශපාලන ගැත්තන්ට.. නැතිනම්.. නිලධාරී ගැත්තන්ට.. පගාව දී වැඩ කරගන්නට පුරුදුව සිටිති..

මා හට ද මේ ආකාරයෙන් පගා දෙන්නට හෝ දේශපාලකයන් පස්සේ යන්නට අවස්ථා කීපයක් ජීවිතයේ උදා වී තිබේ.. ඉන් පළමුවැන්න.. රැකියාවයි.. එහිදී.. ඉහත කී කාරණා දෙකට ම මවු පියන් විසින් උත්සාහයක් ගත් නමුත්.. වාසනාව තිබුණෙන්.. මගේ රැකියාව මගේ හැකියාවෙන් ම උපයා ගැනීමට මට හැකි විය.. ඊළඟ ගැටලුව ආවේ.. මගේ දරුවන් පාසැල් යවන්නටය.. මාගේ බිරිඳගේ එකඟතාවය ද ලැබුණෙන්.. දේශපාලකයන්ගේ හෝ දූෂිත නිලධාරීන්ගේ පසු පස නොයා පුද්ගලික පාසැල් වලට දරුවන් ඇතුළත් කළ හැකි විය. දේශපාලකයන් ඉදිරියේ මඳකට වත් හිස නොනමන්නට තරම් ගර්වයක් මා සිත තුළ පවතින්නේ එනිසාය..

මගේ දේශපාලනය නම්.. රටේ පවතින කවර හෝ අසාධාරණයක් වැරදියි කියා දැකීමයි.. කවර හෝ හොඳක් හොඳයි කියා දැකීමයි..

ඔබ අතින් .. මීට පෙර.. ඉහත කී ආකාරයේ වැරදි සිදු වී තිබෙන්නට පුළුවන.. ඉදිරියටවත්.. මොවුනට ගොට්ට නො අල්ලා.. පගාව නොදී ඉන්නට හැකි නම්.. ඔබ දූෂිත ක්‍රමයට විරුද්ධව නිහඬ සටනක නිරත වූ බව හඟිමි..

Wednesday, March 8, 2017

වින්ඩෝස් 7 ශෙයාරින් වල පාස්වර්ඩ් ඕෆ් කරන්නෙ කොහොමද? How to off Password Protected Sharing in Windows 7

වැඩිය තාක්ෂණික ලිපි නොලියන මට තාක්ෂණික ලිපියක් ලියන්ට හිතුනෙ.. මට වෙච්චි අවශ්‍යතාවයකට පිළියම හොයාගත්තම අනිත් අයටත් ඕනෙ වෙයි කියලාත් මට වුණත් අනාගතේ දි ඕන වෙයි කියලාත් හැඟුන නිසා.. 

කාරණේ මේකයි.. අපේ ආයතනයට අලුතින් පරිගණකයක් ගත්තා.. ඒකට ස්ථාපනය කළේ.. Windows 7 කියන Operating System එක. අපට අවශ්‍ය වුණා.. හැම දෙනාටම වගේ අවශ්‍ය වන Files කිහිපයක් Folder එකකට දාලා Share කර ගන්න. ඉතිං දන්න ක්‍රමයට Folder එක Share කළාට.. වෙනත් පරිගණකයක ඉඳං ඒ Folder එකට ඇතුළු වෙන්න ගිහාම User Name එකක් සහ Password එකක් අහනවා.. මට මතක් වුණා මීට ටික කාලෙකට ඉස්සර මගේ ලැප් වහන්සේ ට Windows 7 දාලා තියෙන වෙලාවකත් ඔය විදිහෙ ප්‍රශ්නයක් ඇවිත්.. කොහෙ හරි සෙටිංස් වගයක් මාරු කරලා වැඩේ ගොඩ දාගත්තා කියලා.. ඒත් ඒ ක්‍රමේ එක පාරට මතක් වුණේ නෑ.. සෑහෙන වෙලාවක් ගත කළාට පස්සෙයි වැඩේ ගොඩ දාගත්තෙ.. මෙන්න මේකයි කරන්න තියෙන්නෙ..

1. යන්න Control Panel එකට
2. එතනින් යන්න  Network and Sharing Center එකට
3. එතන වම් පැත්තෙන් තෝරගන්න.. Change Advanced Sharing Settings.
4. එතන තිබෙන මාතෘකා වල පහලට යද්දී.. File and Printer Sharing යටතේ.. Turn on file and printer sharing යන්න තෝරා ඇත්දැයි බලන්න.. (මේක මගේ එකේ නං තෝරලයි තිබුණේ)
5. තවත් පහලට යද්දී.. Password Protected Sharing කියලා එකක් ඇති. ඒක on  වෙලයි ඇත්තෙ. off  කරලා දැම්මා නම් වැඩේ ඉවරයි..
6. දැං ඉතිං Save කරන්න..

හ්ම්.. පුංචි ලිපියක්..

Tuesday, March 7, 2017

ඔබෙ ගුණ කීමට හෝඩියෙ අකුරු මට මදී

අද මට විශේෂ දවසක්.. මගේ ආදරණීය මෑණියන්ගේ උපන්දිනය.. උදේම සිත FM දැම්මා.. ඒකෙ මේ සිංදුව ගියා..

දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවඳ හමනවා
පසලොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා
මගෙ අම්මා මට ජීවන සුවය සදනවා

සංසාරෙන් සංසාරෙට එකට ආ බැඳී
කෙනෙක් නොමැත දරුවෙකු හට මවක සේ ලැදී
අම්මා යන සමාධියට සිටිමි සමවැදී
ඔබෙ ගුණ කීමට හෝඩියෙ අකුරු මට මදී

සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ
ඔබ දුටුවම මගෙ දුක් ගිනි නිවෙනවා අම්මේ
සක්විති රජවරුනගෙ දණ ඔබ ළඟ නැම්මේ
සිරිමා බෝ මුල මතු දින බුදුවනු අම්මේ..

ඔරිජිනල් එක සුජාතා අත්තනායක මහත්මිය කිවුවත්.. අද ඇහුණෙ පොඩි දරුවෙකුගෙ හඬින්.. ප්‍රේමකීර්ති නම් අති විශිෂ්ඨයා ගේ පබැඳුමක්... මා මීට පෙරත් කියා තියෙනවා.. මා අම්මා ගැන ලීවෙ හරි අඩුවෙන්.. මං හිතන්නෙ.. ප්‍රේමකීර්ති කියපු විදිහට.. හෝඩියෙ අකුරු මදි නිසාම වෙන්ටැති..

සිත FM එකට.. සුජාතා.. ප්‍රේම් දෙපළට.. අද ගායනා කළ දරුවට.. වගේ ම මෙම ගීතය විකාශයට දායක වුණු හැමෝටම පිං.. අද මගෙන් කෙරෙන්න ඕන දෙයක් මං වෙනුවෙන් කළා ට..

ප.ලි.
අන්තර්ජාලයේ හොයලා බලද්දී ප්‍රේමකීර්ති මහතා ගේ නමත්. හේම ශ්‍රී ද අල්විස් මහතා ගේ නමත් තැනින් තැන තිබෙනවා.. ඉතිං කවුරු වුණත්.. මේක ලියපු කෙනාට පිං අයිති වේවා.