Friday, July 21, 2017

එක් කලෙක..

මුව මුවග මිමිණීම්
මඟ සිහින විමසීම්
ගී සුරල් සුගැයීම්
රස කතා නිමැවීම්

පතට බත් රොක් වීම්
පොර ට වැද පැරදීම්
තරඟයට බොරු කීම්
නොසිතු ජය පැන් බීම්

සොඳුරු සිත් ඇගැයීම්
හොරට ගල් ඇහිඳීම්
දුක හිතෙන කොන්වීම්
ඇත නොයෙක රැවටීම්

හද දවන සමු දීම්
තද ලොවට මුසුවීම්
කණ පිට ම හැරවීම්
සොඳුරු ම ය සිදුවීම්

Wednesday, July 12, 2017

බැරිදා විග්‍රහය! අපි කවුරුද?

මදුරුවන් හපා කෑම නිසා සියොළඟ ම කහඹිලියා ගෑවුණු සෙයක් දැනෙද්දී..වහා ඇඳෙන් මෑත්ව මදුරු දඟරය නිවී ඇති දැයි බැලීමි. නැත මදුරු දඟරය තවමත් දැවෙයි.. වහා නැඟිට වෙලාව බැලූ විට වේලාව තවමත් පාන්දර දෙක ට පමණ වූ නිසා විකල්ප උපක්‍රමයක් වන පැඟිරි තෙල් - හඳුන් කූරු උපක්‍රමයට යෑම පළක් නැති නිසා දෙවන විකල්පය හෙවත්.. කුරුඳු තෙල් උපක්‍රමය* වෙත යොමු වීමි. පුතු ගේ දැඟලීම නිසා ඔහුට පෙරවූ රෙද්ද ද ඉවත් වී සිරුර නිරාවරණය වී තිබුණෙන්.. (පළක් නැති බව දැන දැන ම) එය නැවත පෙරවීමි. මදුරු කරදරය නිමා වූවද පැතු පරිදි නින්ද මා වෙත ලඟා වූයේ නැත. ඒ වෙනුවට කල්පනා-සිහින ලෝක අතර සැරිසරන්නට වීමි.
සඳුදා උදයේ දිරන නොදිරන ලෙස වෙන් කළ කුඩා කුණු මළු දෙක විදුලි ආලෝක කණුව යට තැබුවේ.. සඳුදා උදයේ නගර සභාවෙන් කුණු රැගෙන යන බැවින් වුවත්.. හැන්දෑ වන විට.. එම කුණු දසත විසිරී තිබුණේ.. බල්ලන් විසින් ඇද දැමීම නිසාය. අප සිටින්නේ කුඩා අතුරුපාරක නිසා.. කුණු ගෙන යන වාහනය.. අප සිටින නිවෙස් ඉදිරිපිට ට පැමිණෙන්නේ නැත. එසේ පැමිණියa නම් අපට ද තරමක් ලොකු ප්‍රමාණයේ බඳුන් තබා..ඒ තුළ ට කුණු දමා උඩින් ලොකු ගල් ගෙඩියක් තබන්නට තිබුණි. නමුත් පහන් කණුව යට ලොකු බඳුනක් තැබුවේ නම්.. අපේ පාරෙන් ගෙනෙන කුණු එම බඳුනට දමන්නට තිබුණි.. එහෙත් නිසි කලට කුණු නොගෙනියන එකට එයින් තටු ලැබෙනු ඇත.. පිළිතුරු ඇත්තේම නැති ප්‍රශ්න තිබෙන්නේ අපේ රටේ පමණක් දැයි විටෙක සිතේ. ගැටළුව මිනිසුන් ගේ ය. වැරැද්ද ද මිනිසුන්ගේ ය. යන්ත්‍ර සූත්‍ර හෝ සතා සීපාවා මීට පලි නැත. මදුරුවා හැසිරෙන්නේ.. මදුරුවාගේ ක්‍රමයටය.. බල්ලා .. බලු ක්‍රමයට හැසිරෙයි.. මිනිසුන් වන අප හැසිරෙන්නේ මිනිසුන් විදිහට නොවීම ද මේ ගැටළුවට මුල?
පාරකට ටොපි කොළයක් තරම් දෙයක් නොදැමිය යුතු බව, කෙළ පිඩක් නොගැසිය යුතු බව අප පාසැල් යන කාලයේ දී ද උගෙන ඇත. ඒත් ඊට වසර විසි ගනණකට පසුව ද, අපේ මිනිසුන් ඒ දේ පිළිපදින්නේ නැත. ඒ අතින් බලන විට අපේ වැඩ .. කකුළුවන් මෙනි..
ප.ලි
* කුරුඳු තෙල් උපක්‍රමය - කුඩා බඳුනකින් අඩකට පමණ ජලය පුරවා.. කුරුඳු තෙල් බිංදුවක් දමා හොඳින් කලවම් කර .. විදුලි පංකාවේ සුළඟට මුසු වන ආකාරයෙන් තැබීම.
* පැඟිරි තෙල් - හඳුන්කූරු උපක්‍රමය - හඳුන් කූරක් ගෙන පැඟිරි තෙලෙන් පොඟවා දැල්වීම. හඳුන් කූර පැයකට මඳක් වැඩි කලකදී දැවී නිම වීම මෙහි ඇති ගැටළුවයි.