Thursday, June 14, 2018

අප්පච්චි..


මීට අවුරුදු 38කට විතර ඉස්සර දවසක මට හොඳටම තැලුවලු.. ඒ මං නැකතට අකුරු කියෙවුවෙ නෑ කියලා.. මට ඒක මතක නෑ.. ඒත් ඊට පැය ගානකට පස්සෙ ආදරෙන් කතාකරපු ලොකු බාප්පත් එක්ක අකුරු කියන්න කැමැත්ත පළ කළා මතකයි.. ඒක රාහු කාලෙ ලු.. කොහොම වුණත්.. අප්පච්චි ඔය තරම් නිච්චියටම නැකැත් සෑස්තරේ වත් දෙයියන්වත් විශ්වාස කරපු කෙනෙක් නෙවේ ලු ඉස්සර.. ඒත් දරුවන් ගෙ දේකදි එහෙමවත් අවදානමක් ගන්න අප්පච්චි අකැමති වෙන්නැති..
මං උපන් ගෙයි දඟ මල්ල වෙද්දි අක්කා සුවච කීකරු දියණිය වුණු නිසා.. අප්පච්චි අක්කට වැඩියෙන් ආදරෙයි වගෙයි මට දැනුණෙ.. අප්පච්චි මට වැඩි වැඩියෙන් තරවටු කරද්දි.. මං වැඩි වැඩියෙන් දරදඬු වුණා... අප්පච්චි කවදාවත් මගේ ලෝකෙ වීරයෙක් වුණේ නෑ.. මට අවුරුදු 25ක් විතර වෙනකම්.. කොටින් ම.. අප්පච්චි දැඩි ලෙස අවංක වීම පවා මං දැක්කෙ.. දුර්වලතාවයක් විදිහට.. ඒත් යම් අවස්ථාවක.. මට අප්පච්චිගෙ හොඳ ගතිගුණ පෙනෙන්න ගන්නවා..
අවංක කම වගේ ම වෙලාවට වැඩ කිරීම, කවි කම වගේ හුඟාක් ගතිගුණ මට නිසඟයෙන් හිමි වෙලා තියෙන්නෙ අප්පච්චිගෙන් කියලා මට දැනුණ දා අප්පච්චි මගේ ලෝකෙ වීරයෙක් වෙනවා.. මං පුංචි අනතුරකට මුහුණ පෑ වෙලාවෙ වගේ ම අප්පච්චි ඊට ටිකක් වැඩි අනතුරකට මුහුණ පෑ වෙලාවෙ.. අප්පච්චි මටත් .. මං අප්පච්චිටත් කොයි තරම් ආදරෙයි ද කියලා මට දැනෙන්න ගන්නවා..
අක්කා හෝ මං කියා වෙනසක් නැතිව .. අපි දෙන්නට ම අප්පච්චි එක වගේ තමන්ට කරන්න පුළුවන් හැම දෙයක්ම කරද්දි මට හිතෙනවා අපරාදෙ පොඩි කාලෙ අප්පච්චි ගැන එහෙම හිතුවෙ කියලා.. ඒත්.. එතැන් සිට වසර ගනණාවක් ගතවෙද්දි වුණත්.. අප්පච්චි මටත් මං අප්පච්චිටත් යුතුකම් ඉටු කළා මිස.. අපි අතර අන්‍යෝන්‍ය අවබෝධයක් තිබුණේ ම නැති තරම්.. ඒ වගේ ම මගේ යටිහිත ඒ වන තුරුත් හිටියේ අප්පච්චිගේ උපදෙස් එසැණින් ප්‍රතික්ෂේප කරන තරම් උඩඟුවෙන්.. ඒක ඇඟටම කාවැදිලා තිබුණා..මට තනියෙම තීරණ ගන්න පුළුවං කියන අධි මානය මට තිබුණා වගේ ම.. මට තනියෙම තීරණ ගන්ට බෑ කියලා අප්පච්චි හිතාන උන්නා..
පහුගිය වසර 8 ක කාලය තුළ අප්පච්චිගේ සෞඛ්‍ය තත්වය බලා ඉඳිද්දී පිරිහුණා.. අප්පච්චි තනිවම ගමන් බිමන් යෑම නතර වුණා.. ඉඩම පුරා ඇවිදීම නතර වුණා.. ගේ ඇතුළේ තනියෙම ගමන් කිරීමත් අඩු වුණා..
මගේ දරුවන් ලොකු වුණා.. සමාජය මාව ගෘහ මූලිකයා විදිහට සලකන්න ගත්තා.. මගේ යාළුවො ඇවිත් කතා කළේ මාත් එක්ක..  අප්පච්චිත් එක්ක කතා කළත් වච්නයයි දෙකයි.. අපි වුණත් අප්පච්චිත් එක්ක සතුටු සාමීචියට ගියේ අඩුවෙන්.. අපේ අවිවේකය වගේ ම තවත් පුංචි පුංචි හේතු තිබුණා..
අප්පච්චි හැම කෙනාත් එක්කම ඉතා කුළුපගව කතා කරපු.. හැමෝට ම උපදේශන සපයපු කෙනෙක්.. මානසිකව මේක හුඟක් දැනෙන්න ඇති..
ශරීර සෞඛ්‍යය හොඳට ම පිරිහිලා තිබුණු අප්පච්චිගෙ මානසික සෞඛ්‍යයත් හදිසියේ ම පිරිහෙන්න ගත්තා.. එය බලා ඉන්නැද්දී සිදු වුණා.. ළඟ මතකය මුලින් නැති වුණා.. කතාවත් අඩු වුණා..
අද මගෙ ආදරණීය අප්පච්චි ජීවත් වන මළ මිනියක් ගානයි.. හැම දේම කරන්න වෙලා තියෙන්නෙ අපිට.. තවම අප්පච්චිට 75යි..
ආදරණීය යළුවනේ.. ඔයාලගෙ දෙමවුපියොත්.. තවම හොඳ සිහි කල්පනාවෙන් ඉන්නවා නම්.. ඔවුන්ගේ වයස 60 ට වැඩි නම්.. ඔවුන් සමඟ වෙනදාට වඩා කතා බහ කරන්න.. යාළුවනේ.. ගෙවල් වලට ගිහාම වයසක අම්මලා තාත්තලා ඉන්නවා නම්.. ඔවුන් එක්ක වචනයක් කතා කරන්න.. ඒක ඔවුනට හුඟක් වටිනවා.. හුඟාක්..

3 comments:

  1. Yes, we seems to know better (but we don't) We are just in the rat race, no time for love :-(

    ReplyDelete
    Replies
    1. Thanks.. surely I had enough time to love.. but couldn't show it..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..