Friday, March 4, 2011

ශේෂ පත්‍රය!

අපි ජීවිතේ යම් යම් කාල වකවානු වල යම් යම් ආයතන වලට එක් රැස් වෙනවා. පාසැල, දහම් පාසැල, ටියුෂන් පංතිය, විශ්ව විද්‍යාලය,..... ආදී වශයෙන්... අපි මේ තැන් වලට එන්නේ යාළුවෝ ඇති කරගන්න අදහසින් නොවුනත් අපට මේ තැන් වලින් හිමිවෙන වටිනාම දේ තමයි හොඳ යාළුවෝ...

මාත් මීට අවුරුදු 10-11 කට ඉස්සෙල්ලා ජාතික තරුණසේවා සභාවේ පැවැත්වුණු පාඨමාලාවකට සහභාගී වුණා. කාර්‍ය මණ්ඩලයේ තිබුණු හොඳ කම හින්දා තේරීමේ විභාගයෙන් වැඩිම ලකුණු ගත්තු මට තව පොඩ්ඩෙන් පාඨමාලාවට සහභාගී වෙන්න බැරි වෙනවා. ඒ මට යවන්න ඕනි ලියුමත් විභාගෙන් 3 වැනියාට යවලා. කොහොම හරි අන්තිම මොහොතට චුට්ටකට පස්සේ නොවඳිනා වැඳුම් වැඳලා පාඨමාලාවට රිංග ගත්තා කියමුකෝ...

මේකේ හිටියා පන්දමින් ආපු ශිෂ්‍යයෙකුත් (ශිෂ්‍යයෙක් කිව්වට උගේ කිසිම ශිෂ්‍ය ගතියක් නම් තිබුණේ නෑ) ඉතිං මේ කට්ටිය ශිෂ්‍යයින්ට ගැලපෙන්නැති බොහෝ දේවල් මේ ආයතනය ඇතුලේ කළා. සමහර දේවල් අපි දැනගෙන හිටියෙත් නෑ. අවසානයේ දී මේ දේවල් ඔක්කොටම අපි බොහෝ දෙනෙක් අහු වුණා. මාවත් වැරදිකාරයින්ගේ ගොඩටයි වැටිලා තිබුණේ.. ඒත් දන්නෝ දනිති නිසා මං එච්චර ගනන් ගත්තේ නෑ... ඒත් ගේට්ටුවේ හිටපු සික්කිගේ පාට් ටික තමයි ටිකක් දරා ගන්න අමාරු වුණේ... කොහොම හරි පාඨමාලාව ඉවර කරලා පස්ස හැරිලා බලපුවහම ලොකු දෙයක් ජීවිතයට එකතු වෙලා තිබුණේ නෑ. ඉතුරු වෙලා තිබුණේ හොඳ යාළුවෝ කීප දෙනෙක් විතරයි....

ඉතිං මට මෙහෙම ලියැවුණා.....

කඳුලු හසරැල් සිනහ මැද්දෙන්
චෝදනා අවලාද මැද්දෙන්
ගෙවූ කාලය නිමා වූ පසු
ඉතිරි වූයේ මගේ තනියට
මිතුරු කම පමණයි නුඹේ...!

කාලය හෙමින් සැරේ ගෙවිලා ගියා.... ඉතුරු වුණු හොඳ යාළුවෝ දෙන්නා තුන්දෙනාත් ඈතටම ගිය ගානයි... පාඨමාලාව නම් තාමත් තියෙනවා... හම්බුවුණු සහතිකේත් තාමත් තියෙනවා... ඒත් ඒවයේ කිසි වටිනාකමක් නෑ කියලා වෙලාවකට හිතෙනවා.... ඒත් තනියෙම හිතනකොට මෙහෙමත් හිතෙනවා, මොනම වෙලාවක හරි ඒ කාලෙ ගත්තු අත්දැකීම් ප්‍රයෝජනවත් වෙයි කියලා.... මොකද අත්දැකීම් තමන්ගේ හොඳම ගුරුවරයා නිසා....

මතකයේ දොර කවුළු
විවර කර ඉඳ හිටලා
බැලුවහම තමන්ගෙම
ජීවිතේටම එබිලා
පුස් කාපු අතීතයේ දුක් කඳුළු
මුහු කරලා
පිරී ඇත අත් දැකිම්
හෙට දිනට ජය පතලා

යාළුවොත් එක්ක ගත කරපු ඒ අපූරු පුංචි කාලේ කරපු එක්තරා නොහොඹිනා විහිළුවකුත් ඔන්න ඉතිං මතක් වුණා..... වැඩේ නම් අන්තිම සවුත්තුයි....

අපේ සැට් එකේ අපූරු යාළුවෝ 6 ක් විතර හිටියා. එයින් එක යාළුවෙක් ඔන්න ගෑනු ළමයෙක්ට ලයින් එකක් දාගෙන හිටියා... අපි එයාට ප්‍රේම් කියමුකෝ.. ඔය අතරේ තවත් යාළුවෙක් (එයාට සඳුන්  කියමුකෝ) මෙයාට විහිළුවට කිව්වා, ඕක හරි යන්නේ මට (සඳුන්ට ) තමයි උඹට හරියන්නේ මෙයාව තමයි කියලා. මෙයා කියලා කිව්වේ අර ගෑණු ළමයගේ කටකාර, කළු යාළුවෙක්ට. එතකොට ප්‍රේම් කිව්වා නෑ එයාව හරි යන්නේ උඹට කියලා.. ඔය අතරේ සඳුන්  මටත් මොකක් හරි කිංඩියක් දැම්මා..... එතකොට මං කිව්වා වැඩිය දැඟලුවොත් මං ගිහිං උඹ ගැන අරයගෙන් අහනවා කියලා... ඇත්තටම මං ඒක කිව්වේ විහිළුවට වුණත් මගේ යාළුවා (සඳුන් ) හිතුවේ මට එහෙම කරන්න පුළුවන් කමක් නෑ කියලයි. මොකද මං ගෑණු ළමයි එක්ක කතා බහ කලේ නැති නිසා. අන්තිමේ සඳුන් මට අභියෝග කළා පුළුවන් නම් අහන්න කියලා... මාත් එච්චර හිතුවේ නෑ... අර කෙල්ලගෙන් ගිහිං ඇහුවා. අනේ ඉතිං අර ළමයත් සෝබන පාරක් දාලා,
    මං දැං ඕව ගැන හිතන්නේ නෑ...
    මං එක පාරක් මට්ටු වුණු කෙනෙක්.... වගේ ටෝක්ස් ටිකක් දැම්මා..... 
මාත් ඉතිං ෆුල් සීරියස් විදිහට ම ආ.... කමක් නෑ ඔයා තව ටිකක් හිතලා බලන්නකෝ.... කියලා කිව්වා...
දැන් අපේ එවුං ටිකට මාර ෆන්. මෙන්න දවස් දෙකකට විතර පස්සේ කෙල්ල ප්‍රේම්ට කතා කරලා කියලා 

මොකද සඳුන්  දැං මගෙත් එක්ක කතා කරන්නේ නැත්තේ... එයාට කතා කරන්න කියන්න. 

ආ... මං කැමතියි කියලත් කියන්න.... කියලා....

දැං ඉතිං දෙයියෝ සාක්කි.... වැඩේ නැගලා යනවා.... මං කිව්වා මං ඇත්ත කියලා සමාව ගන්නම් කියලා, ඒත් සඳුන් ඒකට කැමති වුණෙත් නෑ... ඌ කෝස් එක ඉවර වෙනකං ෂේප් එකේ කරගෙන ගිහිල්ලා හෙමීට නවත්තලා දැම්මා.... කොහොම නැවැත්වුවාද කියලා නම් මං දන්නේ නෑ... කෝස් එක නවත්තනකං නම් ඌ මාව පාවා දීලා තිබුණේ නෑ.... 

ඊට පස්සේ කෙල්ලන්ගෙන් අහන ඕඩර්ස් දෙක තුනක් ම මට ආවා.... ඒත් ඒවා සාර්ථක වුණේ නෑ....

ප.ලි. : අහිංසක පෙම් සිතක් විහිළුවට ගත්ත එක සම්බන්ධයෙන් මං ඒ සොයුරියගෙන් අනේක වාරයක් සමාව ඉල්ලනවා..... අපේ එකා වින්ද අපහසුව ගැනත් අනේක වාරයක් සමාව ඉල්ලනවා...



6 comments:

  1. ජීවිතයේ අගනා ඉපැයුම වටිනා මිතුරෝ.

    පූර්විකාව පංකාදුයි. ඒ වගේ සිදුවීම් ජිවිතයට පන්නරයක් දෙනවා නේද.

    ReplyDelete
  2. පොදු අත්දැකීමක් මිත්‍රයා..
    ගල්මල් අයිය කිව්ව වගේ මේ සිදුවීම් ජීවිතයට පන්නරයක් දෙනවා..

    -ජය

    ReplyDelete
  3. Come here from Malaysia

    http://najib-razak-quote.blogspot.com

    ReplyDelete
  4. @ඩීන් අයියා
    ඇත්තෙන්ම මිතුරන් තමයි ජීවිතේ වටිනාම ඉපැයුම. එයිනුත් හදවතට ලෙංගතු මිතුරන් බොහොම වටිනවා. ඒ වගේ සිදුවීම් තුලින් ජීවිතයට පැහැදිලි පන්නරයක් ලැබෙනවා. ඒත් ඒ පන්නරය ලබා ගන්න තරම් අපේ හිත් හයිය වෙන්න ඕනි. ස්තුතියි අයියා අදහස් එක් කළාට.

    @‍යෝගී
    ඔව් මෙහෙම සිද්ධි නිතරම වෙනවා ඇති. ස්තුතියි මිත්‍රයා...!

    @Mohd Hafifi
    I don't know whether you could read this blog. Anyway thanks for the comment. I've visited your blog as well.

    ReplyDelete
  5. සමහර සිදුවීම්, කාල වකවානු කොපමණ අමිහිරි වුණත්, ඵලදායී දෙයක් ඒ කාලයේදී සිදු නොවුණායයි සිතුණත්, ආපසු හැරී බලනකොට ඒ තුළිනුත් යමක් ලැබූ බව හිතෙන එක වළක්වන්න බැහැ. චතුර කියා ඇත්තාක් මෙන් මගේ ජීවිතයේත් එවන් පසුබෑමකට ලක් වුණු යුගයකදි තමයි මගේ ජීවිතයේදි මුණගැහුණු හොඳම යෙහෙළිය මුණ ගැහුණෙ. ඉතින් අර විදිහට වුණු එක හොඳයි කියල තමයි මමත් හිතන්නෙ.
    අර වගේ වැඩිදුර නොසිතා කරන විහිළු තහළු ගැන පසු කාලෙක පසුතැවෙන එකත් මම හිතන්නෙ අපි බොහෝ දෙනෙකුට සමීප අත්දැකීමක්.

    හිතට වදින සටහනක්. හුඟක් මතකයන් ඇවිස්සුණා මේ සටහන දැකලා.

    ReplyDelete
  6. @නලිනි
    ඔයාගේ අදහස හරි. අපට පෙරලුනු පිට හොඳයි කියලා හිතනවා ඇරෙන්න වෙන මක් කොරන්නද නේද?

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..