Tuesday, December 10, 2019

දැන් ලොකුයි.. මගෙ පුතා


වසර දහයකට පෙර
නුඹ මෙලොව එළිය දුටු
ඒ දිනය අමතකව
නෑ පුතේ මට තවම ..

මාස නවයක් පුරා
ඇඟිලි ගනිමින් උන්නෙ
හඬ නඟා කියන්ටයි
මට පුතෙක් ඉන්න වග..

නුඹෙ සුවඳ දැනුණාම
ඒ රසට බැඳුණාම
පුතෙක් යනු රජෙක් බව
පියෙක් ලෙස හැඳින්නෙමි..

අපෙ සෙනෙහෙ කැදැල්ලේ
පුංචි දඟකාරයා
හනේ දැන් ලොකු එකෙක්
කොහොම නම් සිතන්නද..

අඩි තියා ඇවිදිද්දි
මුදු වදන් අමුණද්දි
දැනුණු ඒ සුරතලය
තවම අපෙ සිත් පුරයි..

අනාගත ලෝකයේ
ඔටුණු නුඹ පළඳාවි
ඒ ඔටුන්නට වඩා
අපේ සෙනෙහස බරයි..

එපා තව ලොකු වෙන්න
නොම කියමි පුතණුවෙනි..
ගුණ දහම් රැක ගන්න
එඩි පිරුණු දැඩි සිතිනි..!

Monday, October 7, 2019

ඔයාට පිස්සුද?

මහ මුහුදේ රළ වෙනදාට වඩා උදාසීන යැයි සිතූ ඈ එය ඇත්තක්දැයි බලන්නට මෙන් දෑස් පෙති පිසදා මුහුද දෙස හොඳින් බැලුවාය.
 බලන්නකෝ.. මුහුදු රළ එන්නෙ.. අපට ඕනවට වගේ..
හ්ම්.. ඔහුගේ ප්‍රතිචාරය ඇසුණු විට ඇයට සිතුණේ.. මුහුදු රළ ඒ අතින් ඔහු ට වඩා උද්‍යෝගී බව ය.
හරියට අපි වගේ නේද? ඈ ඇසුවේ ඔහු ගේ දැහැන බිඳින්නට ය.
ඔවු.. අපි වගේ.. මෙලෝ රහක් නෑ.. එන්න ඕනවට එනවා.. යන්න ඕනවට යනවා.. මේවා මෙහෙම වෙලා තියෙන්නෙ.. කරුමෙට ම නෙවෙයි..  හිතුවට වඩා තදින් දැහැන බිඳුණු සෙයකි.. ඔහු කියෝගෙන යයි..
හරි.. හරි.. හුළඟ වැඩි වෙනකොට ඕක හරි යයි..  ඈ ප්‍රශ්නය සමනය කරයි..
ඔවු.. ඒත්.. කවදා හුළං හමයි ද? මුහුදට තරං ඉක්මණට අපට නං හුළං හමන එකක් නෑ.. ඔහු කියන්නේ නොරිස්සුමෙනි..
අපි ෆෑන් එකක් දාගමු.. ඈ සිහින්ව සිනා සෙයි..
කෘත්‍රිම හුළඟකින් ජීවිතේ යදින්න තරම් අපි බංකොලොත් ද? ඔහු ප්‍රශ්නය අතහරින පාටක් නැත..
දැං මට මොකද්ද කරන්න කියන්නෙ..? ඇගේ ස්වරයද මදක් උස් වී ඇත.
ඔයා තරින් ව බඳින්න..
ඔයාට පිස්සු ද?
++++++++++++++++++++++++++++++++++++++++++++++++
ගොඩක් වෙලා ද ඇවිත්..? පැයක් ප්‍රමාද වීම ගැන කණස්සල්ලක් ඒ ස්වරයේ නොවීය.
ඔවු.. ඒත් මේ වගේ තැනක .. වෙලාව යනවා දැනුණේ නෑ.. ඔහු කීවේ සැනසීමෙනි..
අනෙක ඔයා ඒවි කියන බලාපොරොත්තුවෙන්.. පැයක් නෙවෙයි දවසක් හරි ඉන්න බැරුවයෑ.. ඔහුගේ ස්වරය හදවතට ලෙංගතුය.
හ්ම්..බලාපොරොත්තු අපිව ජීවත් කරනව ලු නේ. ඇය ලය සැහැල්ලු කළාය...
ඉතිං.. මොනවද ඔයාගෙ බලාපොරොත්තු.. ඇල පාරට ගල් කැටයක් විසි කරමින් ඔහු ඇසුවේ.. සැහැල්ලුවෙනි..
ජීවත් වෙන එක තමයි..
ඒ කිවුවෙ..?
මං ආසයි ජීවත් වෙන්න.. ඒක තමයි මගේ බලාපොරොත්තුව..
මඳක් බැරෑරුම්ව බලා හුන් ඔහු ..
බලාපොරොත්තු අපිව ජීවත් කරනවා කියලා ඔයා ම නේද කිවුවේ..?
සමහර බලාපොරොත්තු එහෙම නෑ.. ඒවා.. හීන විතරමයි..
ඔයා ඉන්නෙ දුකින්ද?
එහෙම නෑ.. ඇය උත්තර දුන්නේ ඕනවට එපාවට ය.
හරි.. හරි.. අපි පොඩ්ඩක් ඇවිදිමු ද? ඔහු ඇගේ අතින් අල්ලා ගත්තේ ය.
ඔහුගේ සීතල ගොරහැඩි අත ඇයට ගෙනාවේ .. ආරක්ෂාවේත් .. සෙනේහයේත් .. ලෙංගතු බවේත් මුහුවකි.
මටත් දෙයක් කියන්න තියෙනවා.. ඔහුගේ ස්වරය බැරෑරුම් විය. දෑසට දෑස හමු විය..
මං කසාද බැඳපු කෙනෙක්.. ගොඩක් වේදනා විඳපු කෙනෙක්.. පුළුවන්නම්.. මගෙ ජීවිතේ හරිගස්සන්න..ඔහු කියාගෙන යයි..
ඇයි ඔයා ඔහොම බලන්නෙ..?
ඔයාට පිස්සුද?
+++++++++++++++++++++++++++++++++++++++++++++++++
මං හිතුවෙ ආයෙ එන එකක් නෑ.. කියලා.. ඔහු ගේ දෑස දීප්තියෙන් බැබලෙයි..
ආවට අකමැති ද? ඇය කීවේ නෝක්කාඩු ස්වරයෙනි..
අද නං රැල්ල හරි සැරයි.. හොඳටෝම හුළං.. ඔහු උද්‍යෝගයෙන් කියයි..
මුහුදට නං.. ජයයි.. ඈ සිහින් ව සිනාසෙයි.
අපට මොකද වෙන්නෙ..? ඔයා තරීන් ව බඳින්නෙ නැද්ද? ඔහු යළිත්.. බැරෑරුම් ය..
මට ඒකට හිත හදාගන්න බෑ..
ඇයි..? බඳින්න ආදරේ කරන්නම ඕනද?
හරි.. හරි.. අපි කාලයට ඉඩ දෙමු.. ඇය බොරු කියන්නට කැමති නැත..
හෙට තිස්සයි .. සුරේනියි බඳිනවා..
ඔවු.. අපි යනවනේ..?
ඔයා යන්න.. මං එන්නෙ නෑ..
ඇයි..? අපි තවත් මේක හංගන්නෙ ඇයි..?
ආදරේ කළා ම බඳින්නම ඕනද?
ඇත්තටම ඔයාට පිස්සුද?


Tuesday, September 24, 2019

මහ වනේ මතු වෙලා

එදා කපලා තිබුණු 

මහ වනේ මතු වෙලා

ආයෙමත් කොළ පාට 

අපිත් කුල්මත්වෙලා

හරි පුදුමෙ මාසයෙන් දෙකෙන් 

ගස් ලොකු වෙලා

ජාතියේ හුස්ම ටික

තවත් ඔද්දල් වෙලා...
ඒ අඳුර.. ඒ සිසිල

නැත්තෙ කිම බල බලා

උන්නෙ මං දහවලේ

හීනෙකට බය වෙලා..


Wednesday, March 27, 2019

මහ වනේ - කෝ අනේ

Deforestation


               
ඒ අතට මේ අතට අතු විහිදි තුරුපතර
තාම මතකයි අඳුරු සුවය සිත කළ නතර
කෝඩ සුළඟින් වුණත් දඟය මොහොතක්විතර
මා පැතුවෙ නිසල බව තිබූ ඒ වන නිතර
  
දිය පිරුණු උල්පත් ය එහි තිබහහැඟුණෙ නෑ
ගෙඩි පිරුණු ගහ වැලින් සුදහ ගිණිරැඳුණෙ නෑ
හිරු රැසින් වැසි වලින් විඩා බරදැනුණෙ නෑ
වන සතුන් මැවු අසිරි වෙන තැනකතිබුණෙ නෑ
  
ගෙපැල් පොඩි තනන්නට කැළෙන් ඉඩවෙන් වුණා
දොර ජනෙල් බිම පවා වන රුකෙන්නිමැවුණා
මළ කඳන් වගෙම මහ තුරු කඳන්විකිණුනා
අපේ ගස් මුදලාලි ඉබේ පොහො-සත් වුණා
  
එළිය වැටෙනව' හොඳට අඳුරු නෑ පෙරවගේ
තාර කාපට් වැටෙයි ඉඩ පිරුණු මහමඟේ
ටිකක් රස්නෙයි තමයි දැනෙයි වතුරෙත්හිඟේ
ඉතුරු ගස් ටිකත් නැති වුණොත් තේරෙයිරඟේ
  

Wednesday, January 16, 2019

බැරිදා විග්‍රහය! ලිබරල් හොඳයිද?

ඉස්සර මං ඔය ලිබරල් කියන වචනෙ තේරුම දැනං හිටියෙ නෑ.. රනිල් ලොක්කා ලිබරල් වාදියා ය කියලා.. ජෙප්පො ඉස්සර පස් පඩංගුවේ බනිද්දි මං හිතුවෙ... ලිබරල් කියන්නෙ හොර කපටි හීන් නූලෙ වැඩ තියෙන දර්ශනයක් කියලා.. ඒත් ඉතිං ලිබරල් වාදය ගැන ඩිංගිත්තක් හොයා බලද්දි.. තමයි දැනගත්තෙ.. ලිබරල් කියන්නෙ එහෙම නරක මෙවුවා එකක් නෙමෙයි කියලා.. ලිබරල් වාදය පදනම් වෙලා තියෙන්නෙ.. නිදහස සහ සමානාත්මතාවය කියන කාරණා මත කියලා දැනගත්තාම මං කල්පනා කළේ රනිල් ලිබරල් කියන්නෙ ඇයි කියලා. උන්දැව නායකත්වයෙන් ඉවත් කරන්න.. අවුරුදු ගානක් දත කන සැට් එකට ඒකට නිදහසක් නොදෙන.. නැගී එන නායකයෙකුට.. තමන්ගේ ජාති හිතෛශී වැඩ පිළිවෙල ජනතාව වෙත ගෙනියන්න නිදහසක් නොදෙන කෙනා ලිබරල් ය කියලා කියන්නෙ ඇයි කියන එක මට පැහැදිලි වුණේ නෑ.. පස්සෙ බැලුවම රනිල් ලොක්කා ආර්ථිකය හා අන්තර්ජාතික වෙළඳ ගනුදෙණු සම්බන්ධයෙන්  ලිබරල් වීමයි මෙතන ලිබරල් කියලා හඳුන්වලා තියෙන්නෙ. ලිබරල් ආර්ථික හා වෙළඳ ප්‍රතිපත්ති ඇතැම් වෙලාවට දේශීය කර්මාන්ත කෙරෙහි අහිතකර විදිහට බලපාන්න පුළුවන්. ඒ නිසා එවැනි අන්තර්ජාතික ගනුදෙණු වලදී බුද්ධිමතුන්/ උගතුන් විමසීමත් අවබෝධයකින් හා පාලනයකින් යුතුව ගිවිසුම් වලට එළැඹීමත් අතිශයින්ම වැදගත්. 100% ක් ලිබරල් ආර්ථික ක්‍රමවේද පවතින රටවල් නැතැයි මා සිතුවත් එහෙම පවතින්න බැරි කමක් තියෙනවද කියලා මං දන්නෙ නෑ.. කොහොම වුණත්.. ලිබරල් කිවුවම නිදහස ගැන විතරක් හිතන එකේ අවුලක් තියෙනවා.. සමානාත්මතාවය කියන කාරණාවත් ඉතා වැදගත්. ඒක ගනුදෙණු වලදී මෙන්ම අනෙකුත් කාරණා වලදීත්.. මේ සංකල්පය යටතේ.. මීට වඩා සැලකිල්ලට ගත යුතු කාරණාවක්..  

කොහොම වුණත්.. ජවිපෙ ඉස්සරට වඩා අනුර කුමාර යටතේ ලිබරල් අදහස් දරණ බව අපට පේනවා. අපි ඒකටයි කැමති. අන්ත ලිබරල් නොවී.. මධ්‍යස්ථ ලිබරල් මට්ටමක් පවත්වාගන්න පුළුවන් නම් ඒක ජයක්.. අනුර කුමාර යටතේ.. ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී වෙද්දි, ලිබරල් වෙද්දි ජවිපෙ කියන්නෙ එජාපයේ අතකොලුවක් කියලා චෝදනාවක් එන්නෙ.. එජාපය ඔය දෙක ක්‍රියාත්මක නොකළත්.. කරේ තියාගෙන යන පක්ෂයක් නිසා බව පැහැදිලියි.. අනිත් අතට.. එජාප හිතවාදී මත දරපු අපි වගේ මිනිස්සු, එජාපයේ ඇති දූෂණ, වංචා, අක්‍රමිකතා ඇතුළු අටෝරාසියක් පස්න නිසා සහ ලිබරල් වේගෙන එන, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන බව පෙනෙන, වංචා දූෂණ නැති ජවිපෙ පැත්තට තල්ලු වෙනවා.. ඒකෙන් අදහස් කරන්නෙ නෑ අපි ජවිපෙ නියෝජනය කරනවා කියලා.. ඔවුන්ගේ වැරදි .. වැරදියි කියලා අපි දකිනවා.. ඔවුන්ගේ ලිබරල් වාදී ගුණ, ප්‍රජාතන්ත්‍රවාදී ගුණ ඔවුන්ගේ ආණ්ඩුවක් නොපවතින කාලෙදි පමණයි ද කියන සැකෙත් අපට තිබෙනවා.. මොනවා වුණත් අපට පේන්න තියෙන විකල්පය ජවිපෙ බව පිළිගන්න වෙනවා.. ඒත් අපට JVP කාරයා කියන්න එපා.. අපි මාක්ස්වාදය හොඳද නරකද දන්නෙවත් නෑ..