Showing posts with label කෙටිකතා. Show all posts
Showing posts with label කෙටිකතා. Show all posts

Sunday, June 20, 2021

හිමි කම


ඉස්කෝලෙ ඉස්සරහම පේළියේ උන්නු දුනාල්, පංතියෙ හිටපු ආකර්ශනීය ම කොල්ලා. එයැයිට බැහැයි කියලා දෙයක් නෑ. ගණං, විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල, සමාජ අධ්‍යයනය, සංගීතය, නැටුම්, චිත්‍ර. මේ හැම දෙයක්ම පුළුවන්. ඉස්පෝට් මීට් එකේ දුවන්න, දුර පනින්න වගේම එල්ලේ, බැඩ්මින්ටන්, ක්‍රිකට් වගේ ඕනම සෙල්ලමක දුනාල් උන්නෙ ඉස්සරහින් ම. 


ගුරුවරුන්ගෙ වගේම, ශිෂ්‍ය නායක නායිකාවන්ගෙත් හිත දිනා ගත්තු කීකරු දුනාල්ගෙ අකීකරු කමට තිබුණෙ එයැයිගෙ ගොඩක් ම කොට නොකෙරූ කෙහෙරැළි විතරමයි. දන්න අඳුරන, කතා කරන ඕනම කෙනෙකුට පුංචි විහිළුවක් කරලා, ලස්සනට හිනාවෙන්ට එයැයිට තිබුණේ පුදුම හැකියාවක්. 


එයැයි සෞන්දර්යට කළේ නැටුම් හින්දා, මටත් එයැයිත් එක්ක එකට නටන්ට ලැබුණා. ඒ නැටුම් වෙලාව තමයි මං ඉස්කෝලෙ වෙලාවෙන් ආසම වෙලාව. ටීචර් අලුතින් වන්නමක් කියලා දීලා දුනාල් ට කියනවා ඉස්සරහට ඇවිත් නටන්ටය කියලා. තාලෙට වන්නම ගයමින් දුනාල් නටද්දි, මං එයැයි දිහා බලාගෙන ම නටනවා. වෙන වෙලාවල් වලදි, එයැයි දිහා බලන එක හරි නැති වුණා ට, මේ වෙලාවෙදි එයැයිගෙ හැම ඉරියවුවක් ම නිරීක්ෂණය කරන්ට මට නිරවුල් අයිතියක් තියෙනවා කියලා දැනෙද්දි මට දැනෙන්නෙ හරි සතුටක්. 


විවේක වෙලාවක් ආවොත්, සංගීත ටීචර් ගෙන් සර්පිනාව  ඉල්ලගෙන ඇවිත්, දුනාල් ලස්සනට ඒක වාදනය කරමින් සින්දු කියනවා අහන එක තමයි අපට තිබුණු ඊළඟ විනෝදය. වෙන පංති වල ළමයි හිස් පීරියඩ් වල දඟලද්දි, සණ්ඩු කරද්දි, අපි බොහොම සාවදානව දුනාල් ගෙ සංගීතයට ඒකාත්මික වෙන එකට ගුරුවරු වුණත් විරුද්ධ වුණේ නෑ. 


කාලය ගෙවිලා ගිහිං ශිෂ්‍යත්ව විභාගෙන් ඉහළ ප්‍රථිඵල ගත්තු දුනාල් රටේ තියෙන හොඳමයැයි කියන ඉස්කෝලෙට ඇතුළු වෙනවා. පිටිපස්සෙ පේලියෙ ඉඳං දුනාල්ගෙ රසිකයො වුණු අපිට අලුත් වීරයෙක් හොයාගන්ට වෙනවා. ඒත් කාලය ගෙවුනාය කියලා දුනාල් ව මගේ හිතෙන් මැකෙන්නෙ නෑ. ඒ වෙනුවට දුනාල් කියලා චිත්‍රයක් මගේ හිතේ රජ කරන්ට ගන්නවා. යාළුවො, දෙමවුපියො, ගුරුවරු කවුරුත් හිතන්නෙ මං මහ සෝමාරි ළමයෙක් කියලා. ඒකෙ වරදකුත් නෑ. මං ඉතිං හැම වෙලාවෙම ඉන්නෙ ලෝක දෙකක අතරමං වෙලානෙ. 

===========================================================

වෙනදට වාට්ටුවෙ වැඩ කළ මාව එදා හදිසියෙ සායනයට මාරු කරලා. කොතන වුණත් කරන්න තියෙන්නෙ වැඩ නෙ. මං ඉතිං සුපුරුදු දෙලොවක් අතර සීන් එකෙන් ම සායනයට යද්දි, දොස්තර මහත්තයා ලෙඩ්ඩු බලනවා. එයැයි වේලාසනම වැඩ පටං අරං. එහෙම නැතුව, මගේ පරක්කුවක් එහෙම නෙමෙයි.


ඔයා ගෙ පරෙස්සම නං මදි. බලන්න මේ සීනි හොඳටම වැඩියි නෙ. මොකද කියන්නෙ? ඉන්ජක්සන් එකක් දෙන්නද? කෑමෙන් පරිස්සම් වෙලා, ව්‍යායාම ටිකක් කරමුද? මට ඇහුණෙ, විහිළුවක් කරමින් හිනා වෙන අරුම පුදුම දොස්තර කෙනෙක්ගෙ හඬ.


ඒ තමයි එයැයිගේ, ඒ කියන්නෙ දුනාල් ගෙ හිනාව. ඒක තාමත් ආදරණීයයි, ආකර්ශනීයයි. 

මොනවත් නොකියා ඒ මූණ දිහා මං බලා උන්නෙ හරියට නැටුම් කාමරේදි වගේ. 


මහත්තයො චුට්ටක් ඉන්න. 

රෝගියාට ආදරයෙන් කියන ගමන් මගේ ඇස් මඟ නොහැරිය ඔහු මා ළඟට ආවෙ විශ්මයෙන් විසල් වූ දෑසින් යුතුව. 

"සිතාරි නේද?" 

එයැයිගේ දෑසේ කාන්තිය, සුන්දර සිනාව සමඟ මුසු වී හාත් පස විල් තෙරක්, රෝස මල් පිරුණු මල් වත්තක් මැවුවේ මට උන් හිටි තැන් අමතක කරමින්.

ඔවු. සිතාරි තමයි. ඩොක්ටර් දුනාල්? මං ඒක ඇහුවෙ, මං ඉන්නෙ කොහෙද කියලා මිනිත්තුවක විතර මහන්සියක් අරං සිහි එළවගෙන, මහා පුදුමයකින්. එයැයි බොහොම ආදරෙන්, සියුම්ව අතට අත දීලා එයැයිගෙ සතුට ප්‍රකාශ කරමින්, අපි හවස හමු වෙමු කියලා මුව නොසොල්වා කිවුව එක ඇහුණෙ මට විතරමයි. ඒත් එතන හිටපු රෝගීන් ටිකත් ඒ ඩිංගට මං වගේ ම දැහැනට සමවැදිලා උන්නු බව මට තේරුණේ මං  වට පිට බලද්දි.


අපි දෙන්නා හැන්දෑවල් වල ටී ෂොප් එකේ තේකක් බොන ගමන් වැඩියෙන්ම කතා කළේ,  පහු ගිය අවුරුදු දා හත ගත වුණු හැටි ගැන. 

හැම දේකම ශූරයෙක් වුණු දුනාල්ට උසස් පෙළ දි තමන්ගෙ මාවත විදිහට විද්‍යා විෂය ධාරාව තෝරගන්නට වුණේ දෙමවුපියන්ගෙ කැමැත්තට ලු. අනෙක් අතට දුර දිගට ඉගෙන ගන්ට තරම් සුවිශේෂී විෂය ධාරාවක් ලංකාවෙ එයැයිට තෝරගන්ට තිබුණෙ නැල්ලු. අනෙක් දේ වගේ ම දෙමාපියො ගෙනාපු යෝජනාවකට කැමති වෙලා, එයැයි  ළඟදිම කසාද බඳින්නලු යන්නෙ. 

එයැයිව අහිමි වෙනවැයි කියන දුක මගේ හිතට නො ආව නෙවෙයි. ඒත් මං මගෙ හිතින්ම ඇහැවුවෙ, අහිමි වෙන්ට එයැයිව මට කවදාවත් හිමි වෙලා තිබුණද කියලයි.

දුනාල් ට වගේ ශිෂ්‍යත්වෙ පාස් වෙන්ට බැරි වුණාට මාත් ඉතිං ඕ ලෙවෙල් පාස් වෙලා උසස් පෙළ කළේ, ජීව විද්‍යා අංශයෙන්. දොස්තර කෙනෙක් වෙනවට වඩා, මං ඒ විෂය ධාරාව තෝරගත්තෙ මගේ යාළුවෙක් නිසා. එයැයිගෙ තාත්තා පරිසරවේදියෙක්. එයැයි කියන්නෙ ජීවිතේට වඩාත් ම වටිනා දේ ඉගෙන ගන්ට තියෙන්නෙ සත්තුන්ගෙ ගැන සහ ගස් ගැනය කියලා. ජීවිතේ මේ වගේ වෙන්ට ඕන කියලා හීනයක් වෙනුවට මට හැමදාමත් තිබුණෙ එළොවටත් මෙළොවටත් නැති හීනයක්. ඔහේ එන එන විදිහට මොන මොනවා හරි කරලා, කොහොමින් කොහොම හරි මාත් ඉතිං නේස් නෝන කෙනෙක් වෙලා තමා පස්ස බැලුවෙ. 


අතීතය ඉවර වුණත්, අපට ටී ෂොප් එකේ තේකක් තොල ගාන ගමන් කතා කරන්න නම් හුඟක් දේ තිබුණා. රෝගීන්, එයාලගෙ ප්‍රශ්න වගේ ම එයාලගෙ අනාගතය, එයාලගෙ දරුවන්ගෙ අනාගතය ගැන, වගේ නොයෙක් නොයෙක් මාතෘකා ටී ෂොප් එකේ දි දවස ගානෙ අපේ මාතෘකාව බවට පත් වුණා. 


"එක්ස්කියුස් මී. මං එන්න පරක්කු වුණා ද?" 

අපි දෙන්නා තේ බිබී ඉන්නැද්දි එතනට පාත් වෙච්චි සුමාලි අහද්දි මං පුදුම වුණත්, එයැයිගෙ තිබුණෙ සුපුරුදු මන්දස්මිතය. 

"මං හිතුවෙ අපට කලිං මෙතනට එයි කියලා" 

දුනාල් හිනා වෙමින් ම සුමාලි ට පුටුවක් ලං කළා.  

"මෙයා ද මේ සිතාරි?"

සුමාලි හිනාවෙමින් ඇහුවේ ඔලොක්කුවටද කියලත් මට හිතුණා. 

ඔයාලා අඳුනනවද? 

ඒ ප්‍රශ්නය එක පාරට ම ඇහුවෙ මම විතරක් නෙවෙයි. දුනාලුත් ඒ ප්‍රශ්නයම ඇහුවා. 

"ඔවු" අපි දෙන්නම එක වරම උත්තර දුන්නු විදිහට දෙන්නට ම හිනා.

ඔයා කියන්න. ලේඩීස් ෆස්ට් නෙ. 

"මේ මගේ අර යාළුවා. මට බයෝ කරන්න කිවුවා කිවුවෙ?" මං සුමාලි ගැන දුනාල් ට කිවුවා.

"මේ මගේ වෙන්ට වයිෆ්." දුනාල් කිවුවෙ හිනා වෙවී. හැමදාම වගේ ඒ ඇස් දිලිසුණා.


ඒක හමු වීමක් ද, වෙන් වීමක් ද, නැත්නම් නමක් නැති සිදුවීමක් ද කියලා මං දන්නෙ නෑ. ඒත් ඒක අපූරුයි.  

"ආදරය තියෙන්නෙ එක්වීම් වල නෙවෙයි, වෙන්වීම් වල" කියලා මං ම තියාගත්ත සටහනක් මට සිහි වුණා. 

මං ආදරේ කළ , මාව වසඟ කළ ඒ හිනාව, මට දිගටම අයිතියි කියන විශ්වාසයත් එක්ක මං තේ කෝප්පෙ අන්තිම බින්දුවත් ඉවර කළා. 


Tuesday, March 23, 2021

ඊට පස්සෙ

කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි සිලෝන් ටකරං බස් එකට ගොඩ වුණේ ඒ පාරෙ ඒ වෙලාවට තියෙන්නෙ ඒ බස් එක විතරක් හින්දා. සෙකන්ඩ් ෂයි එකේ විභාගෙත් ළඟ හින්දා පේපර් ක්ලාස් කරන අයියා කෙනෙක් ගෙ ක්ලාස් එකකට යන්න කියලා. ඒ මගේ ඒ ක්ලාස් එකට යන දෙවෙනි දවස. කිලෝ මීටරයක් වත් යන්න කලියෙං බස් එක කැඩුණා. දැං ඉතිං විකල්ප නෑ. වෙලාවට පංතියට යන්න නං. පුළුවන් ටික ප්රධාන පාරේ බස් එකක ගෙහුං ඉතුරු ටික පයිං අඹන්න ඕනි. දැං වගේ ඒ කාලෙ ටුක් ටුක් තිබුණ එකක්යෑ.

අනේ ඉතිං ප්රධාන පාරෙ බස් එකට නගිද්දියි දැක්කෙ පංතියෙ තව දැරිවියකුත් ඉන්නවා. මං හිතුවෙ එයැයි තර්ඩ් ෂයි වෙන්ටැති කියලා. ඒ නිසා අහිංසක හිනාවක් දාලා ෂේප් වුණා. අක්කා අහපි.
ඔයත් අයියගෙ ක්ලාස් එකට නේද යන්නෙ? කියලා.
අනේ ඔවු, මාර වැඩේ නේද වුණේ. වෙලාවට යන්න බැරි වෙයිද මංදා,
ආදී වශයෙන් පොඩි පොඩි දේ කතා කරමින් අපි පයින් ගමන අරඹන තැනට ආවා.

වැස්සකුත් එන්ට වගේ හින්දා වේගය වැඩි කරමින් අපි දෙන්නා පංතිය වෙත යුහුසුළුව ගමන් කළේ, පාසැල, වයස වගේ දේවල් ගැනත් කතා කරමින්. එතනදී මං දැනගත්තා ඒ අක්කා මට වඩා අවුරුද්දක් බාල නංගි කෙනෙක් කියලා. හොඳ වෙලාවට මං කට වරද්දගෙන උන්නෙ නෑ. පස්සෙ දවසක දැනගත්තු විදිහට එදා මං වගේ ම එයැයිත් බොහොම බයෙන් තමයි ඉඳළා තියෙන්නෙ වහී ද කියලා. මොකද මට කුඩයක් තිබුණා, එයැයිට නෑ.

ටික දවසක් යනකොට මට මෙයැයිත් එක්ක ටිකක් වැඩියෙන් කතා බහ කරන්න සිද්ධ වෙනවා. වෙන මොනවත් නිසා නෙවෙයි, මගේ මිතුරෙක් ඒ දිනවල කැමැත්තෙන් හිටියා දැරිවියෙකුට, එයැයි මෙයැයිගෙ යෙහෙළියක්. ඉතිං ඔය අතරෙ මං දැනගත්තු දෙයක් තමයි, ක්ලාස් එක කරපු අයියා මෙයැයි ගැන උනන්දු වෙන බව. ඒකට ඉතිං මට කරන්න දෙයක් තිබුණෙ නෑ කියලා තමයි මට හිතුණෙ.

ඒත් ඒ අයියා විරහ වේදනාවක් සිතේ දරාණ, ඒ වේදනාව තුනී කර ගැනීමේ අරමුණින් තමයි මෙයැයි ට හිත දෙන්ට හදලා තිබුණෙ. ඉතිං ඒ අයියා ගැන අනුකම්පාවක් මිසක ආදරයක් මෙයැයිගේ හිත තුළ ඉපදිලා නෑ.

උසස් පෙළ ඉවර වෙලා, අපි පරිගණක පංති ගොඩක විභාග වලට ගියා. යාළුවො සැට් එකෙන් ම මෙයැයිටයි මටයි විතරයි නොමිලේ ශිෂ්යත්ව හම්බවුණේ. ඉතිං අපි පරිගණක පංති ගියා. ඒ දවස් වල තමයි මෙයැයි මට අර අයියගෙන් තියෙන ඉල්ලීම ගැන කිවුවෙ. මට ඉතිං ඒ ගැන ලොකු අදහසක් තිබුණෙ නෑ. අයියත් හොඳ මනුස්සයා. ඒත් ඔයැයි කැමති නැත්තං ඒ බව කෙලිං ම කියන්ට, ඒ මනුස්සයව තවත් රිද්දන්නෙ නැතුව කියලා මං කීවෙ ඇත්තටමයි.

ගින්දරයි පුළුනුයි එකළඟ තිබුණාම වෙන දේ අපි දෙන්නටත් වුණා. ගිණි ගත්තෙ නම් නෑ. හැබැයි අපි දෙන්නට දෙන්නා නැතුව බැරි වුණා. නිතර කතා කළා. අතින් අල්ලගෙන උන්නා. එයැයිලගෙ ගෙදරත් මං ගියා. හැබැයි යාළුවෙක් විදිහට. අන්තිමේ අපි අතර සම්බන්ධතාවයක් තියෙන බව අපි පිළිගත්තා.

හැබැයි ඒ ආදරය වැඩි කල් පැවතුණේ නෑ. අපේ පවුල් පසුබිම් හැම දෙයක් ම හොඳින් ගැලපුණා වුණත්, මොකක් හරි අවුලක් තිබුණා. හැබැයි වෙන් වෙලත් අපි ආදරෙන් හිටියා. ඒක මහ විකාරයක් වගේ තමයි. අපි සැරින් සැරේ ආයෙ එකතු වෙන්න බැලුවා. ඒත් ඒක හරි ගියේ නෑ. ඒ ආදරේ අමුතුම එකක්. වෙන්ව තියෙන්නම ඕන ආදරයක්.
ඔයාවත් මං වත් වැරදි නෑ. අපි අපේ පාරවල් වල යමු.
මං අන්තිමේට කිවුවා.
ඊට පස්සෙ? ඔවු.. ඊට පස්සෙ අපි දෙන්නා විවාහ වුණා. 
ආදරය වෙනයි විවාහය වෙනයි. මං ඉස්සෙල්ලා විවාහ වුණා. එයා ඊට පස්සෙ විවාහ වුණා. දෙකම ආදර විවාහ තමයි. ආදරේ කරන්න ඕන එක්කෙනෙකුට විතරක්යෑ.. මළ විකාර.. මං එහෙම හිතුවා. එයැයිතුත් එහෙම හිතන්ට ඇති.

Thursday, December 3, 2020

ප්ලේන්ටියේ කූඹියා..

 

ඔන්න දවසක් මං ගියා අපේ යාළුවෙක් ගෙ ගෙදර. ගිහිං යාළුවත් එක්ක පොඩි කතා බහක නියැලිලා ඉන්නැද්දි.. යාළුවගෙ අම්මා.. හදාගෙන ආවා කිරි.. කිරි.. කෝප්පෙක දාපු ප්ලේන්ටියක්..
මං දැං ඕක බොන්ටයි කියලා මගේ අහිංසක කට ට කෝප්පෙ ලං කරනකොට ම මං දැක්කා.. අවසන් ගමන් ගිහිපු කූඹියෙක් මගේ කට ඇතුළට පනින්ට බලාගෙන ඉන්න දුර්ලභ දර්ශනයක්.
අහිංසකයා මැරිලා ඉන්න එකේ.. බොරුවට අයිං කරන්ට හදලා ඌට වද දෙන්නෙ මක්කටෙයි කියලා.. මං කෝප්පෙ වට කාලක් විතර කැරකෙවුවා.. ඒ පැත්තෙන් බොන්ට..
මොන.. මූ මැරිලත් උත්සාහය අත අරින එකෙක් නෙවෙයි.. ඌ පීනලා ආපි නෙ.. ආයෙත් මගෙ කටට පනින්ට.. කොච්චර කැරකැවුවත්.. මූ එනවා අදාළ තැනට..
හොක්.. හොක්.. අවස්ථිතිය යකෝ අවස්ථිතිය..
මගේ යාළුවා හිනා වෙමින් කියනවා..
මූ කියන අපභ්රංසෙ මොකක්ද කියලා.. ඇස් ගෙඩි දෙක ලොකු කරං බලපු මට කූඹියව අයිං කරන්න තේ හැන්දක් ගෙනත් දෙන ගමන් මූ කියනවා..
මචං අවස්ථිතිය කියන්නේ.. යම් කිසි වස්තුවක් ස්වකීය චලිත ස්වභාවය වෙනස් කරන්ට තියෙන අකැමැත්ත ට.
හරි ඉතිං.. මෙතන කොහෙද වස්තුවක්..මේ කූඹියෙක් නෙ.. අනික.. මේ කූඹියා.. මැරිලා ඉන්නෙ.. ඌට කොහෙද චලිත ස්වභාවයක්.. පිස්සු කෙලින්නැතුව ඉඳිං බං..
මං යාළුවට කින්ඩියක් දැම්මා..
ඒත් යාළුවා ෆුල් සීරියස්..
මූ යකෝ..
යකෝ වස්තුවක් කියන්නෙ.. පණ තියෙන හරි.. පණ නැති හරි දේකට..
මැරිලා ඉන්න කූඹියා ඉන්නෙ හෙල්ලෙන්නෙ නැතිව.. නිශ්චලව.. ඒක තමයි උගේ චලිත ස්වභාවය..
මමත් ඉතිං හුම්.. හුම්.. හප්පට සිරි.. ඒකත් එහෙමද .. ගගා.. මුගෙ ලෙක්චර් එක අහං ඉන්නවා..
ඉතිං ඌ ඒ නිශ්චලතාවයෙන් මිදෙන්න තියෙන අකැමැත්ත තමයි.. ගොනෝ.. අවස්ථිතිය කියන්නෙ..
ඉතිං බං ඌ නිශ්චලතාවයෙන් මිදෙන්න අකැමතියි නං මොන රෙද්දකට ද මං හරවන හරවන පැත්තට පීනගෙන එන්නෙ.. ?
මාත් ඇරියෙ නෑ ෆ්රෙන්ඩ්ස්..
ඇත්තම කියනව නං ඌ නෙමෙයි බං ඔය වැඩේ කරන්නෙ..
හෑ.. එහෙනං මොකෙක්ද? උඹ මැජික් එකක්වත් කරා ද?
අනේ පළ වාසුදේවයා යන්න.. තෝ මෙතන මාව බයිට් එකට ගත්තා නේද?
ඔන්න යාළුවගෙ ටියුබ් ලයිට් එක පත්තු වුණා..

යකෝ ඌයි මායි එක පන්තියෙදි නෙ.. ඔය අවස්ථිතිය ගැන ඉගෙන ගත්තෙ.. රෙද්ද..

Monday, October 7, 2019

ඔයාට පිස්සුද?

මහ මුහුදේ රළ වෙනදාට වඩා උදාසීන යැයි සිතූ ඈ එය ඇත්තක්දැයි බලන්නට මෙන් දෑස් පෙති පිසදා මුහුද දෙස හොඳින් බැලුවාය.
 බලන්නකෝ.. මුහුදු රළ එන්නෙ.. අපට ඕනවට වගේ..
හ්ම්.. ඔහුගේ ප්‍රතිචාරය ඇසුණු විට ඇයට සිතුණේ.. මුහුදු රළ ඒ අතින් ඔහු ට වඩා උද්‍යෝගී බව ය.
හරියට අපි වගේ නේද? ඈ ඇසුවේ ඔහු ගේ දැහැන බිඳින්නට ය.
ඔවු.. අපි වගේ.. මෙලෝ රහක් නෑ.. එන්න ඕනවට එනවා.. යන්න ඕනවට යනවා.. මේවා මෙහෙම වෙලා තියෙන්නෙ.. කරුමෙට ම නෙවෙයි..  හිතුවට වඩා තදින් දැහැන බිඳුණු සෙයකි.. ඔහු කියෝගෙන යයි..
හරි.. හරි.. හුළඟ වැඩි වෙනකොට ඕක හරි යයි..  ඈ ප්‍රශ්නය සමනය කරයි..
ඔවු.. ඒත්.. කවදා හුළං හමයි ද? මුහුදට තරං ඉක්මණට අපට නං හුළං හමන එකක් නෑ.. ඔහු කියන්නේ නොරිස්සුමෙනි..
අපි ෆෑන් එකක් දාගමු.. ඈ සිහින්ව සිනා සෙයි..
කෘත්‍රිම හුළඟකින් ජීවිතේ යදින්න තරම් අපි බංකොලොත් ද? ඔහු ප්‍රශ්නය අතහරින පාටක් නැත..
දැං මට මොකද්ද කරන්න කියන්නෙ..? ඇගේ ස්වරයද මදක් උස් වී ඇත.
ඔයා තරින් ව බඳින්න..
ඔයාට පිස්සු ද?
++++++++++++++++++++++++++++++++++++++++++++++++
ගොඩක් වෙලා ද ඇවිත්..? පැයක් ප්‍රමාද වීම ගැන කණස්සල්ලක් ඒ ස්වරයේ නොවීය.
ඔවු.. ඒත් මේ වගේ තැනක .. වෙලාව යනවා දැනුණේ නෑ.. ඔහු කීවේ සැනසීමෙනි..
අනෙක ඔයා ඒවි කියන බලාපොරොත්තුවෙන්.. පැයක් නෙවෙයි දවසක් හරි ඉන්න බැරුවයෑ.. ඔහුගේ ස්වරය හදවතට ලෙංගතුය.
හ්ම්..බලාපොරොත්තු අපිව ජීවත් කරනව ලු නේ. ඇය ලය සැහැල්ලු කළාය...
ඉතිං.. මොනවද ඔයාගෙ බලාපොරොත්තු.. ඇල පාරට ගල් කැටයක් විසි කරමින් ඔහු ඇසුවේ.. සැහැල්ලුවෙනි..
ජීවත් වෙන එක තමයි..
ඒ කිවුවෙ..?
මං ආසයි ජීවත් වෙන්න.. ඒක තමයි මගේ බලාපොරොත්තුව..
මඳක් බැරෑරුම්ව බලා හුන් ඔහු ..
බලාපොරොත්තු අපිව ජීවත් කරනවා කියලා ඔයා ම නේද කිවුවේ..?
සමහර බලාපොරොත්තු එහෙම නෑ.. ඒවා.. හීන විතරමයි..
ඔයා ඉන්නෙ දුකින්ද?
එහෙම නෑ.. ඇය උත්තර දුන්නේ ඕනවට එපාවට ය.
හරි.. හරි.. අපි පොඩ්ඩක් ඇවිදිමු ද? ඔහු ඇගේ අතින් අල්ලා ගත්තේ ය.
ඔහුගේ සීතල ගොරහැඩි අත ඇයට ගෙනාවේ .. ආරක්ෂාවේත් .. සෙනේහයේත් .. ලෙංගතු බවේත් මුහුවකි.
මටත් දෙයක් කියන්න තියෙනවා.. ඔහුගේ ස්වරය බැරෑරුම් විය. දෑසට දෑස හමු විය..
මං කසාද බැඳපු කෙනෙක්.. ගොඩක් වේදනා විඳපු කෙනෙක්.. පුළුවන්නම්.. මගෙ ජීවිතේ හරිගස්සන්න..ඔහු කියාගෙන යයි..
ඇයි ඔයා ඔහොම බලන්නෙ..?
ඔයාට පිස්සුද?
+++++++++++++++++++++++++++++++++++++++++++++++++
මං හිතුවෙ ආයෙ එන එකක් නෑ.. කියලා.. ඔහු ගේ දෑස දීප්තියෙන් බැබලෙයි..
ආවට අකමැති ද? ඇය කීවේ නෝක්කාඩු ස්වරයෙනි..
අද නං රැල්ල හරි සැරයි.. හොඳටෝම හුළං.. ඔහු උද්‍යෝගයෙන් කියයි..
මුහුදට නං.. ජයයි.. ඈ සිහින් ව සිනාසෙයි.
අපට මොකද වෙන්නෙ..? ඔයා තරීන් ව බඳින්නෙ නැද්ද? ඔහු යළිත්.. බැරෑරුම් ය..
මට ඒකට හිත හදාගන්න බෑ..
ඇයි..? බඳින්න ආදරේ කරන්නම ඕනද?
හරි.. හරි.. අපි කාලයට ඉඩ දෙමු.. ඇය බොරු කියන්නට කැමති නැත..
හෙට තිස්සයි .. සුරේනියි බඳිනවා..
ඔවු.. අපි යනවනේ..?
ඔයා යන්න.. මං එන්නෙ නෑ..
ඇයි..? අපි තවත් මේක හංගන්නෙ ඇයි..?
ආදරේ කළා ම බඳින්නම ඕනද?
ඇත්තටම ඔයාට පිස්සුද?


Wednesday, August 15, 2018

පඬුපුල් ආසනේ..

උණුවෙනවා උණුවෙනවා ඉවරයක් නෑ කියලා ගලෝලා පැත්තකට විසි කරලා තිබුණ පඬුපුල් ආසනේ.. ළඟපාත තිබුණ කුෂන් කඩේකින් අලුතින් කුෂන් කරවගෙන කාරිය සක්කර දෙයියෝ ආපහු සිය සුපුරුදු වැඩ පිළිවෙල පටං ගන්ටෝනි කියලා හිතුවෙ.. පහුගිය කාලෙ තමන්ගෙන් ඉටු නොවුණු රාජකාරි ආයෙත් පටං ගන්ට ගැම්මක් හිතට ආපු නිසයි...

හයිකරලා ටික වෙලාවක් ගියත්.. උණු නොවුනෙ.. මේක හරියට වැඩ කරන්නෙ නැද්ද කියලා දෙයියන්ට හිතුණු නිසා එයා වහාම එයාගෙ තාක්ෂණික නිලධාරියාට කතා කළා.. කාලෙකින් පඬුපුල් ආසනයක් එක්ක හැප්පෙන නිසා තාක්ෂණික නිලධාරියා මේ දවස් වල පඬුපුල් ආසනේ අත්පොත කියවමිනුයි උන්නෙ.. දෙයියන්ගෙන් කැඳවීමක් ආවම.. හීන්දාඩිය දැම්ම ටෙකා පස්වාන්දහසකට සමාව අවසරයි මයෙ දෙයියො.. මොකද්ද ප්‍රශ්නෙ කියාගෙන දෙයියො ළඟට ගියා.. නෑ මේ පඬුපුල් ආසනේ වැඩ කරන්නෙ නැද්ද කොහෙද පොඩ්ඩක් බලපන්කො.. සක්කර දෙයියො ආමන්ත්‍රණය කළ සුහදශීලී ස්වභාවය නිසා ටෙකා ගෙ බය පොඩ්ඩක් අඩුවුණා.. මූලික කාරණා පරීක්ෂා කරපු ටෙකා මේකෙ කිසිම අඩුවක් දැක්කෙ නැති හින්දා ඒ බව සක්කරයට කිවුවා..

ඔය අතරෙ.. සභාව මැද්දෙන් ඇවිත් පඬුපුල් ආසනයෙ.. ලොක්කා වගේ වාඩි වෙන ගමන් "අප්පට සිරි අලුත් පුටුවක් අරං තියෙන්නෙ" කියලා මොර දුන්නෙ වෙන කවුරුවත් නෙවෙයි වයිමා..

තාත්තටත් ඉතිං මං මොනවා හරි ඉල්ලුවොත් මහා භාණ්ඩාගාරෙ ප්‍රස්න.. මං මේ කසි කබල් ෆෝන් කට්ටක් එක්ක විඳින වදේ.. අලුත් එකක් අරන් දුන්නෙ නෑ නෙ. එෆ් බී ගිය කාලයක් මතක නෑ..මේ විදියට අඳෝනාව කියං යද්දි.. ටෙකා ට හෙණම අවුල්.. වෙන මොකවත් නොවෙයි .. මෙච්චර දුකට පත් වෙච්ච එකෙක් ළඟ පාතම ඉඳලත් මේ ඉලවුව වැඩ නොකරන එකට.. බැහැපිය පඩත්තලයා ඕකෙන් කියමින් ඉදිරියට පැන්න සක්කරයා.. දුන්න පයිං පාර වැදුණේත්.. පඬුපුල් ආසනේට..  යකෝ පෘතුවියට ගිහිං ෆෝන් එකක් අරං එනකොට..ඒවා අවුටොප් පැසන් වෙලා.. කියාගෙන ආපහු පඬුපුල් ආසනේ වාඩි උනා..

මෙන්න රත්වෙනෝ.. මෙන්න රත්වෙනෝ... කියාගෙන සංතෝෂෙන් උඩ පැන්න සක්කර දෙයියො.. බැලුවා මොන පැත්තට ද ප්‍රශ්නෙ යොමු වෙලා තියෙන්නෙ කියලා.. හත්තිලවුවෙ.. ප්‍රංශෙට..
මොකද්ද කියලා බැලුවම.. ප්‍රංශෙ පාරකට තමන්ගෙ පුතා බීපු කිරි පැකට් එකක් විසිකරනවා දැකපු වයසක අම්මා කෙනෙක්ට පැසර් නැගලා.. සක්කරයා ටක් ගාලා පොඩි දෙයියෙක්ව පිටත් කරලා.. කිරි පැකට් එක ආපහු අර පුතා ගෙ අතටම දුන්නම.. දීලා දඩ කොලයක් දුන්නම.. ටක් ගාලා ආසනේ නිවුණා.. ආයෙත් ඉතිං ෆුල් කූල්..
ටෙකෝ .. මොකෑ බං.. මේක මෙච්චර පුංචි ප්‍රශ්න වලටත් රත් වෙන්නෙ.. ? සක්කරයටත් තියෙන ප්‍රශ්න..
දේවයන් වහන්ස.. ඔය පොලිතීන් අප ද්‍රව්‍ය පරිසරයට මුදාහරින එක දැං බරපතල අපරාධයක්.. ඒකනෙ ඕක රත්වෙන්නෙ.. හප්පට .. එතකොට අම්මට පැසර් වැඩි වුණු එකට නෙවී ද බං?
ඉතිං කොලුවො.. ඔය පොලිතින් පරිසරයට මුදා හරින එක නම්.. ලෝකෙ පුරාම දරුණුවට සිද්ධ වෙනවනෙ... එහෙමනම් ඒවට පත්තු නොවෙන්නෙ ඇයි? පොඩ්ඩක් බලපන් ආයෙමත් සිස්ටම් අවුලක්වත්ද කියලා?
හරිනෙ.. මේකෙ ඩිටෙක්ටිං ස්විච් එක දාලා තියෙන්නෙ ප්‍රංශෙ ට නෙ.. 
ඒක තමයි.. දාපං ඕක සිලෝන් එකට..
සුවර් ද දේවයන් වහන්ස..?
ඇයි උඹ එහෙම අහන්නෙ?
නෑ..මේකෙ සෙන්සර් එක ආයෙ යයිද?

පහුගිය කාලෙ සිලෝන් ඒරියා එකේ දුක් ගැනැවිලි වලට රත් වෙලා වැඩි වුණු පාර තමයි ඔය පුටුව අතෑරලා දාලා තියෙන්නෙ.. ඒත් ඉතිං.. දැං කොටි ප්‍රශ්නත් ඉවර නිසා.. යහපාලනයකුත් තියෙන නිසා.. තමයි .. සක්කරයාට ආයෙත් ආසාවක් ආවෙ.. පුටුවෙ වාඩි වෙන්න.. සිලෝන් කියලා ස්විච් එක මාරු කරපු ගමන්.. පුටුව රත් වුණා රත්විල්ලක්.. සක්කරයා උඩ විසික්කා වෙන්න..

හප්පට.. පුටු කේස් එකක්.. බස්නාහිර පළාත් සභාවෙන් පඬුපුල් ආසන වගයක් ඕඩර් කරලා කියන්නෙ.. සක්කරයා ටක් ගාලා පොඩි දෙයියෙක්ව යැවුවා.. සරල ජනපති ගාවට.. පත්තරේකුත් අරගෙන.. වැඩේ ශේප්..
ඒත් පුටුව රත් වෙලා..
ඒ පාර.. කෝච්චි ඉස්ටැයික්..  හරි හරි.. ඒකත් අර පත්තරේ ම තිබිලා.. වැඩේ ශේප්..
තාම පුටුව රස්නෙයිනෙ..
මොනාද බං මේ ලිස්ට් එකක් එන්නෙ..?
සැප වාහන, මන්ත්‍රී දීමනා, කැලෑ වැනැසීම්, බැඳුම්කර මගඩිය, දොස්තර වර්ජන බ්ලා.. බ්ලා.. බ්ලා..
දාපං.. ආයෙත් ස්විච් එක ප්‍රංශෙ ට..

Monday, September 29, 2014

ස්වීප් ටිකට්

පුංචි කාලෙ ඉඳං ස්වීප් ටිකට් කියන්නෙ මට හුරු දෙයක්. අපේ අප්පච්චි සතියකට 10-15 ක් ගන්ට අමතක කරන්නෙ නෑ. රුපියල් 50 කට වඩා ඇදුණු දවසක් මතකත් නෑ. ඒත්.. අප්පච්චි අතාරින්නෙම නෑ. මං ස්වීප් ටිකට් වලට වඩා වෛර කළේ.. අප්පච්චි බොන සිකරැට් වලට විතරයි.. ඇයි සිකරැට් වලට අපට වියදං කරන්ට තියෙන සල්ලි වගේ ම අප්පච්චිගෙත් අපෙත් ජීවිතත් පිච්චෙනවනෙ. සිස්සත්තෙ පාස් උනොත් අප්පච්චිව කැමති කරගන්ට පුළුහං වෙයි.. මට එහෙම හිතුණා.. සිස්සත්තෙ පාස් වෙලා තෑග්ගට මං ඉල්ලුවෙ.. ඔය කරුමක්කාරයො දෙන්නා එක්ක තියෙන ඇයි හොඳයිය නවත්තන්ට කියලා.. මාසෙකට විතර නවත්තපු අප්පච්චි ආයෙම පටං ගත්තා..

උසස් පෙළ පාස් උනාමත් මං ඉල්ලුවෙ සිකරැට් සහ ස්වීප් ටිකට් නවත්තන්ට කියලා.. ඒ පාර නං.. අප්පච්චි සිකරැට් බීම නං නැවැත්තුවා.. ඒත්.. ස්වීප් ටිකට් වලට නං සමු දෙන්ට අප්පච්චිට හිතක් නෑ. 

දැං මං ලොකුයි රස්සාවක් කරන වයස. අප්පච්චි  කිවුවෙ මට තව ඉගෙන ගන්ට කියලා.. මටත් හිතුණා තව ටිකක් ඉගෙන ගන්ට ඕනි කියලා. මං පරිගණක පාඨමාලාවක් හදාරන්ට තීරණය කළා.. මං දන්නවා අප්පච්චිට ලොකු සල්ලියක් නෑ කියලා.. විභාගයක් ලියලා පොඩි ගානක් ගෙවලා කරන්ට පුළුහං පාඨමාලාවක් තමයි මං තෝර ගත්තෙ. අප්පච්චි ඔය ස්වීප් ටිකට් වලට වියදං කරපු සල්ලි තිබුණා නං.. මට හොඳ කෝස් එකක් කරන්ට තිබුණා.. මං එහෙම කිවුවා නෙවෙයි කියැවුණා.. 

මං පොඩි රස්සාවකට ගියා.. එතැන මට හොඳයි. මට වෘත්තිමය සුදුසුකමක් ලැබුණෙ එතැන දී. දන්නෙම නැතුව බඳින වයසත් ඇවිත්... මං කසාද බැන්දා.. ළමයි ලැබුණා.. අප්පච්චි තාම ස්වීප් ගන්නවා..

අපරාදෙනෙ අප්පච්චි.. මොකටද දැන් ස්වීප් අරගෙන..
මට කරන්ට තව වැඩ ගොඩක් තියෙනවා.. අප්පච්චි කියනවා..


චූටි මල්ලිට 150,000/=
ලොකු නංගිට 100,000/=
................
................

ඔය වගේ අපේ හිතවත් ම කට්ටියකගේ නං දාලා ලියපු ලැයිස්තුවක්..මං දැක්කා අහම්බෙන්..

මොකද්ද අප්පච්චි මේ..?
හෙක්.. හෙක්.. ඔය මගෙ ස්වීප් එක ඇදුණාම දෙන්ට කියලා...
මෙයාලගෙන් අප්පච්චි ණයට එහෙම ගත්ත ද?
නෑ නෑ ළමයො.. එයාලට හරියට බැරි අමාරුකම් නෙ..
අපි පුළුවං විදිහට උදවු කරමුකො අප්පච්චි.. ඔය ස්වීප් ගැනිල්ල දැංවත් නවත්තන්ටකො..
අනේ උඹලගෙ කෙරුවාව... කියලා අප්පච්චි මගෙ දිහා සරදම් බැල්මක් හෙළුවා..

===============================================
ඉතුරුවක් නැති උනත්.. මේ වෙද්දි අපි ජීවත් වෙන්ට ඇති තරං හම්බු කළා. අනාගතේ ගැන හිතලා ජීවිත රක්ෂණයකුත් ගත්තෙ.. මළත්.. අඹු දරුවන්ට සහනයක් වෙනවනෙ කියලා හිතාගෙන. ඒත්.. ප්‍රියානි.. මගේ බිරිඳ නිතරම හිටියෙ හරිම බයෙන් මගෙ ජීවිතේ ගැන. දැං ඉතිං බය වෙන්ට දෙයක් නෑ මැරුණොත් ලක්ෂ දහයක් හම්බු වෙනව නෙ.. මං හිනාවෙවී කිවුවට ප්‍රියානි කිවුවෙ.. ලක්ෂ දහයෙන් මක් කරන්ටද මිනිහ නැතුව.. ළමයින්ට අප්පෙක් නැතුව.. කියලයි.. 

ඔය අතරෙ තමයි මං භාවනා පංතියකට ඇතුළු වුණේ.. මිනිස් සිත මහා පුදුමාකාර ශක්තියක් තියෙන දෙයක් කියලා අහලා තිබුණට.. අත් විඳින්ට ලැබුණෙ එහෙ ගියාට පස්සෙ.. බැඳීම් වලින් නිදහස් වෙන්ට වෙන්ට හිතට ලැබෙන ශක්තිය හරිම පුදුමයි.. ඒක විඳින්ට මිසක් කියන්ට බැහැ. මට මේ ගෙවන ජීවිතෙන් චුට්ටක් ඈත් වෙන්ට හිතුණෙ අඹු දරුවො කෙරෙහි අබ මල් රේණුවක තරම්වත් අහිතකින් නෙවෙයි.. ඒක ආත්මාර්ථකාමී හැඟීමක් වෙන්ට ඇති.. 

ඔහොම ගිහිං.. අභිනිශ්ක්‍රමණය කරයි ද දන්නෙ නෑ.. මං ගැන ඕන නෑ.. මේ ළමයි කොහොමද ලෝකෙට මූණ දෙන්නෙ..? 

සිදුහත් කුමාරයා අබිනික්මන් කරපු වෙලාවෙ.. රාහුල කුමාරයා ට කිසි අවුලක් උනා යෑ..? 

ඇයි ඔයාගෙ අප්පච්චි සුද්ධෝදන රජ්ජුරුවොද? ඔයාට ඕන තැනක යන්ට... හැබැයි මාවයි ළමයින්වයි අනාත කරන්නෙ නැතුව.. ඇයි වදේ එක්කො නොබැඳ ඉන්ට ඕන..

හරි හරි.. ඉතිං මං නො එන්ටම යනවා කීවයෑ..? මාසෙකට විතර භාවනා කරන්ට නෙ යන්නෙ..

========================================
අප්පච්චි.. මීට පස්සෙ ටිකට් ගන්නකොට මටත් එක්ක ගන්ට.. මං පොකැට්ටුවෙන් ගත් නෝට්ටුව අප්පච්චි අතේ ගුලි කළේ.. මිදුලේ දඟ කරන පොඩිත්තන් දෙස නෙත් යොමු කරමින්..



Thursday, March 13, 2014

පොකුණු දිය

නාගන්නට හිතාන පොකුණ අසබඩට ආවත්, ඒ අමතකව ගිය කලෙක මෙන්, මා නිසසල පොකුණු දිය දෙස නිරර්ථකව බලා සිටියේ මන්දැයි නොදනිමි. එක් වරම කෑ කෝ ගසාගෙන දිවගෙන ආ පිරිසක් පොකුණට පැන දඟලන්ට පටන් ගත්තේ පොකුණු දිය බොර කරමිනි..මා සමඟ ආ මගේ මිතුරු කැළ.. වාදයකය..

උන් මේ පොකුණ වනසාවි.. අපි කාටවත් ඒක පාවිච්චි කරන්ට වෙන්නෙ නෑ..
උන්ටත් මේක පාවිච්චි කරන්ට අයිතියක් තියෙනවා.. තවකෙකු කියයි..
උන් දැඟලුවා කියලා වතුර ටික ගෙනියන්නෑ නෙ.. ඒ තවත් අදහසකි..
අපි ඉස්සෙල්ලා බැස්සා නම් උන්ට මොනවා හිතෙයිද? අදහස් නොනවතින සෙයකි..
එයාලා මේක පාවිච්චි කරන විදිහේ ගැටළුවක් තියෙනවා.. ඒත් අතේ ඇඟිලි පහ එක වගේ නෙවෙයිනේ.. අපි ඉවසමු..
එතකොට අපට නාන්න වෙන්නෙ නෑ නෙ..
අපි ගෙදර ගිහිං නාගමු..
උඹලට ගෙවල් වල නාන කාමර තියෙන හින්දා හොඳයි..
මට නාන්න වෙන්නෙ නෑ.. අපේ ළිඳේ වතුර හිඳිලා..
සොරි මචං..

Thursday, January 23, 2014

හැඟුම් වලට ඉඩ දුනිමි..

"හැඟුම් වලට ඉඩ දෙන්න" කියා පුවරුවක ගසා තිබුණද, එය කියවන්නට මට හැකි වුවද, හැඟුම් යනු කවරක්ද, ඒවාට ඉඩ දෙන්නේ කෙසේද යන්න ගැන එදා මට අවබෝධයක් තිබුණේ නැත..

හැඟුම් කියන්නේ අපට හිතෙන දේවල් වෙන්ට ඇති කියා සම්පත් අයියා කීවේ ඔහුට තිබුණු තේරුමේ හැටියටය.. අපට හිතෙන දේවල් වලට ඉඩ දෙන එක නම් හොඳ දෙයක්.. මම මටම කියා ගතිමි.. ඒත් මං ටික ටික ලොකු වෙද්දි.. හිතෙන දේවල් වලට ඉඩ දුන්නොත් නම් මහා විනාශයක් වෙන බව තේරුම් ගියේ.. මගේ හිතට.. හොඳ අදහස් වලට සාපේක්ෂව විශාල වශයෙන් නරක අදහස් ආව නිසාය.. ඒවාට ඉඩ දුන්නා නම් මං වැලිකඩය..නැතිනම් බෝගම්බරය..

ඒ කාලෙ සම්පත් අයියා කිවුවේ.. හැඟුම් කියන්නේ අපට දැනෙන දේ කියාය.. අපේ හදවතට දැනෙන දේ කියාය.. ඒවාට ඉඩ දෙනවා නම් කොච්චර හොඳ ද.. මට හිතුණේ එහෙමය.. මට මොන දේ හිතුණත්.. මං ඒක කරන්න ඕනි ද නැද්ද කියලා මට දැනෙනවා.. අන්න ඒ දැනීමට තමයි එහෙනම් මං ඉඩ දෙන්න ඕන.. 

මට නිරෝ ගැන ආදරයක් දැනුණේ ඔය කාලයේ ය. ඒ දැනීමට ඉඩ දිය යුතු බවට මම තීරණය කළෙමි. ඉතිං මං නිරෝ ට ආදරය කළෙමි.. ඒත් නිරෝට ඒ ආදරය දැනුණේ නැත. ඇය මගේ ආදරය ප්‍රතික්ෂේප කළාය. ඒත් දිගටම මගේ හැඟීමට ඉඩ දෙන්ට මං තීරණය කළෙමි. 

නිකම් පිස්සෙක් වෙන්ට එපා බං.. හැඟීම් තිබුණට ඒවට ඕන විදිහටම හැසිරෙන්න එපා.. මොලයක් තියෙන්න පොඩ්ඩක් කල්පනා කරලා බලපං. සම්පත් අයියාට හොඳට ම කේන්ති ගිහින්ය. ඔහු කියන්නේ හැඟුම් වලට උනත් පාලනයකින් යුතුව බුද්ධියෙන් විමසා ඉඩ දිය යුතුයි කියා ය.

මගේ හැඟීම වෙනස් විය.. නිරෝ කෙරෙහි මගේ ආදරයක් නැති බවක් දැනිණ.. මම ඒ හැඟීම ට ඉඩ දුනිමි.. 

Sunday, January 12, 2014

ජරාව..

මට ලොකු ලොකු උලවු තේරෙන්නෙ නෑ මචං.. 
ඉස්සර වගේ නෙවෙයි දැං බය නැතුව පාරෙ බැහැලා යන්ට පුළුහං..

ඔවු පාරෙ බැහැලා යන්ට නං පුළුහං.. හැබැයි කාර් එකක... මොටෝ සයිකලේක තියා බස් එකකවත් නං යන්න බෑ..

අප්පට සිරි.. අර මොකෝ..?

බස් ගාස්තුව වත් ගෙවා ගන්ට බැරි අපට මොන මොටෝ සයිකල් ද බං..?

අපට බැරි උනාට ඔය පාරෙ පුරවලා වාහන තියෙන්නෙ..?

ඒවා ඉතිං ලොකු ලොක්කංගෙයි.. ලීසිං කොම්පැනි වලයිනෙ.. අපට නැති උනාට බේබිලාට නං ලැම්බෝගිනි..!

අනුන්ට ඉරිසියා කොර කොර ඉන්නෙ නැතුව .. තමනුත් ගොඩයන්න මොකක් හරි කෙරුවොත් මොකද?

කුඩු විකුණන්ට ද? අරක්කු විකුණන්ට ද?  ගෑණු විකුණන්ට ද? නැත්තං.. #$ දෙක විකුණන්ට ද?


හැක්.. හැක්.. ඇයි විකුණන්ට වෙන මුකුත් ඇත්තෙම නැද්ද? විකුණපං ශ්‍රමය.. ඉගෙන ගත්තු දෙයක් පොරෝජනේ ට  අරං කොරහංකො දෑතෙ රස්සාවක්..


දෑතෙ රස්සාවල් කරලා කොහෙ ගොඩ යන්ට ද බං.. පටං ගත්තු වෙලාවෙ ඉඳං ටැක්ස් දැ වැක්ස් ද මොකද්ද මඟුලක් ගහලා  ඌට කෙලවන්ට නේ හදන්නෙ.. අනික දැං දෑතෙ රස්සාවලුත් බල්ලට ගිහිං බං.. මහන්සියෙ හැටියට ගානක් හම්බකරන්ට බෑ..


අනේ පලයං බං යන්ට .. උඹලා දුක් මහන්සි වෙලා හම්බකරන තුට්ටු දෙක බාර් එකට පිදුවම හරියාය?

යකෝ පඩි දවසට පොඩි සොට් එකක් දානවා තමයි.. ඒ වියදම යන්නෙ ඉතිං මාසෙට සැරයක් නෙ බං.. එහෙමත් සොමියක් නැත්තං අපි මෙච්චර මැරෙන්නෙ මොන රෙද්දට ද?

උඹ මාසෙකට දෙතුන් වතාවක් බීලා ගෙදර එනවා මං දැකලා තියෙනවනෙ..?

මෙහෙමයි.. මගේ පඩියට එක දවසක.. රවියගෙ පඩියට එක දවසක.. සමරෙ ගෙ පඩියට තව දවසක.. අපි තුන් දෙනා නෙ බං සැට් වෙන්නෙ... මං කිවුවෙ මාසෙට දවසයි මං බීමට වියදං කොරන්නෙ කියලා.. අනික මං ඒ ගාන කොහොම හරි පඩියට පිටිං හොයා ගන්නවා..

ඒ කියන්නෙ උඹ ජරාව කනවා..?

නෑ බං ඉතිං .. වෙන මොනවා කරන්නද.. බලපං ළමයි දෙන්නගෙ.. පහසුකං ගාස්තු, වෑන් ගාස්තු, පොත්පත්, කොන්සට්.. මගේ බස් ගාස්තු, රක්ෂණේ.. ඒ මදිවට  අපේ ඔපිස් එකේ එක්කො එකෙක් මැරෙනවා.. නැත්තං බඳිනවා.. මුකුත්ම නැත්තං.. කාගෙ හරි ළමයෙක්වත්  ගෙට වෙනවා..


ඉතිං උඹ ළමයිව කොළඹ දාපු හින්දනෙ.. උඹට තිබුණෙ ගමේ ඉස්කෝලෙට යවන්න නෙ.. 


උඹ නං කියයි.. යකෝ ගමේ ඉස්කෝලෙ මොනවද තියෙන්නෙ..? මොනවද උගන්නන්නෙ? ඒ ගුරුවරුන්ට බණිනවා නෙවෙයි බං.. එයාලට උගන්නන්ට තියෙන පහසුකම් මදි..ගමේ ඉස්කෝලෙට යන අපේ අයියගෙ ළමයිනුයි .. අපේ  ළමයිනුයි බැලුවම.. වෙනස තේරෙනවා.. කොළඹ ගිහාම ඉංගිරිස් ටිකක් හරි හුරු වෙනවනෙ.. 
අපි  විඳින දුක් අපේ දරුවො විඳින්ට ඕන නෑ බං..

හරි.. උඹට ළඟපාත රස්සාවක් කොරන්ට තිබුණානෙ...?

තිබුණා.. තිබුණා..අපටත් පන්දම් තිවුනා නං.. යකෝ ඒවට ඉතිං දේශපාලන හෙංචයියලාගෙ  කට්ටිය පුරවලා ඉවරයිනෙ..

වියදම අඩු කරන්ට විදිහක් ඇත්තෙම නැත්තං ආදායම වැඩි කොරගන්ට මොකක් හරි විදිහක් බලපං.. 

ඒක තමයි බං ඔය හීනියට ජරාව සුට්ටක් කන්නෙ..


එහෙම නෙවෙයි බං.. ත්‍රී වීල් එකක්වත් පාරට දාපං..


කුණුහරප කියනව..යකෝ දැං වීල් එකක් කීයද? අනික.. පඳුරකට ගහපු ගමං.. දුසිං ගනං විසිවෙනවා දැං වීල්..

ඒක නෙවෙයි බං.. උඹේ දරුවො යන්නෙත් කොළඹ නෙ.. උඹ වැඩ කොරන්නෙත් මගෙ ඔපීසිය ළඟම නෙ.. අනික උඹ හැමදාම සති අන්තෙට සෙට් වෙනවනෙ.. උඹට ඔය පස්න නැද්ද?

ඇත්තටම නෑ බං.. මං ජරාවක් උනත් පිළිවෙලකට කනවා.. උඹ වගේ හීනියට නෙවෙයි..



Tuesday, July 16, 2013

හිඟා කෑම

අනේ මහත්තයා.. මගේ උකුල් ඇටේ කැඩිලා දැන් අවුරුද්දක් වෙනවා.. සිංහල බෙහෙත් තමයි කරන්නෙ.. තාම දවල්ට කෑවෙත් නෑ මහත්තයා..

තොර තෝංචියක් නැතුව කියෝගෙන යන ඔහුගේ ලා දුඹුරු පැහැ ගත් අපිළිවෙලට පිහිටි දත් ටික මා හා සිනාසෙයි..

කැහැටු වූ ඔහුගේ සිරුර දෙස ත්.. කිසියම් දෙයක් තබා බැඳ ඇති සෙයක් පෙනෙන උදර ප්‍රදේශය දෙසත් බැලූ මා..

දැන් මගෙන් මොනවද ඕන..? කියා ඇසුවේ.. ඔහුට අවශ්ය මුදල් බව නොදැන නොවේ..

සල්ලි කීයක් හරි තමා..

දුම්රිය පිටත් වීමට සූදානම්ව හූ කියයි.. රුපියල් විස්සේ කොළයක් පසුම්බියෙන් ගෙන ඔහු අත තබා කෝච්චියේ එල්ලුනෙමි..
================================================
මෙය කාර්යාල වෙලාව නිසා ඒ හැටි සෙනඟක් නැත.. එහෙත් අසුන් ගනණට වාගේ සෙනඟ ඇත.. ඉඩ කඩක් සොයා ඉඳ ගත්තෙමි.. සුපුරුදු ලෙසම ඉඳගන්නා අතර අසල අසුනේ සිටි මහත්මයා සමඟ සිනාසුනෙමි..  පෙරළා සිනාසෙන්නට තරම් මනුස්සකමක් ඇති මහත්මයෙක් වූ හෙතෙම.. මා හා කතාවට වැටෙන්නට ද සූදානම් බවක් පෙනුණි..

මහත්තයා ස්ටේශන් එකේ හිටපු වයසක මනුස්සයාට සල්ලි දුන්නා නේද?  ඔහු මගෙන් විමසන්නේ කුමක්දැයි මම දැන ගත්තෙමි..

ඔවු.. මහත්තයා කියන්න යන්නේ.. මිනිහගෙ උකුල් ඇටේ අමාරුවක් නෑ කියලා නේද?
ඇයි මේ මිනිස්සු මේ තරම් අහිංසකයින් එක්ක තරහා ඇත්තට.. මිනිහට ලෙඩක් දුකක් නැති වුණත්.. හිඟාකන්න තරම් ජීවිතේ පරාජිත බවක් දැනෙණ කෙනෙක් වෙන්න ඇතිනේ.. තමන් දෙන්නෙ නැත්නම්.. කට පියාගෙන ඉන්න එපාය.. මට ඇති වුණේ කලකිරීමකි..

මගේ පැනයෙන් ඔහු වික්ෂිප්ත වූ බවක් නොපෙනිණ..

හෙක්.. හෙක්.. එහෙනම් මහත්තයා මිනිහා ගැන දන්නවා..? ඔහු දැන් හදන්නේ මේ මනුස්සයාගේ පට්ටන්දරය දිග හරින්නට විය යුතුය.. වාසනාවකටදෝ.. ඊළඟ ස්ටේෂන් එකෙන් ගැබිණි මාතාවක් ගොඩ වූයෙන්.. මගේ අසුන ඇයට දී.. මා සිටගත්තේ ගැබිණි මවට තිබූ ආදරයට වඩා.. නිවී හැනහිල්ලේ ඉන්න තිබූ ආසාවටය.. ඉන් පසු මම වෙනත් තැනකින් ගොස් හිඳ ගතිමි..

========================================
තරමක් සෙනඟ පිරුණු දුම්රියේ .. අර මහත්මයා සෙමින් සෙමින් මා අසලට එයි.. මහත්තයා කරපු දේ හරි අගෙයි.. ඒ මනුස්සයා නොකිවුවට.. උකුල් ඇටේ බිඳිලා තියෙන්නෙ එයාගෙ නෙවෙයි.. එයාගෙ දුවගෙ.. හැබැයි අනිත් ඔක්කොම ඇත්ත..
මං ඊළඟ ස්ටේෂන් එකෙන් බහිනවා.. ආයෙත් හම්බවෙමු.. කියමින් ඔහු සමු ගත්තේ.. මගේ හිතේ බොහෝ ප්‍රශ්න ඉතිරි කරමිනි..

=========================================
තමන් වෙනුවෙන් මිනිසුන් රවටන බොහෝ දෙනා අතර.. අනුන් වෙනුවෙන් තම ආත්ම ගරුත්වය පවා අහිමි කරගත් මේ මිනිසා ගැනත්.. ඒ ගැන මට කියන්නට තරම් කාරුණික වූ මහත්මයා ගැනත්.. සතුටෙන්ම මෙනෙහි කළෙමි..

Friday, May 17, 2013

සුමිත් අයියා සහ දේශද්‍රෝහියෝ..2 (කෙලෙහි ගුණ)

 සුමිත් අයියා සහ දේශද්‍රෝහියෝ.. නමින් මා ලියූ මුල් ලිපියට සබැඳිව තවත් ඉදිරියට යන්නට සිතුනු නිසා එහි දෙවැනි කොටසක් ද ලියන්නට සිතුවෙමි..

======================================
උඹලට සුමිත් අයියලා මොනවා කරත් වැරදියි..  මිනිස්සුන්ගේ වැරදිම හොයන්ට එපා බං.. අපි කවුරුත් මිනිස්සුනෙ.. අපි කාටත් වරදිනවා.. හොඳ දකින්න පුරුදු වෙයං..
======================================
යකෝ අපි කවුරු කරත් වැරැද්දට වැරදියි කියනවා.. හරි දේට හරියි කියනවා.. උඹලා වගේ කැපුවත් නිල් නෙවෙයි.. අවුල තියෙන්නෙ සුමිත් අයියා කරන තරමක් කරන්නෙ තක්කඩි වැඩනේ..

======================================
එහෙම කියන්ට එපා බං.. උඹලෑ අයියගෙ රස්සාව හොයලා දෙන්ටත්.. සුමිත් අයියා මාර ගේමක් දුන්නනේ..
======================================
ඒකමනේ බං මාත් කියන්නේ.. එතනත් කළේ තක්කඩි වැඩක්නේ.. අහිංසක‍යකුගේ අවස්ථාවක් නේ.. නැති කළේ..  අපි පැත්ත ගියත් ඇත්ත කියන්ට එපාය..
======================================
ඇයි බං කෙලෙහිගුණ කියලා ජාතියක් උඹ දන්නෙම නැද්ද?

Tuesday, May 14, 2013

සුමිත් අයියා සහ දේශද්‍රෝහියෝ..


සුමිත් අයියා නම් මහ පුදුම මිනිහෙක්.. බලන්ටකො තියෙන නිරහංකාර කම.. හැමෝත් එක්කම හිනාවෙලා.. වචනයක් හරි කතා කරලා නෙව යන්නේ.. 

ඒ විතරක්ද මළ ගෙයක් දානෙ ගෙයක් වරද්දන්නෙ නෑ.. අපි වගේ නිකං ගිහිං කුට්ටම හොල්ල ඉඳලා එන එකක්ය.. අඩු ගානෙ රුපියල් පන්දාහක් වත් ගෙදර ඇත්තන්ට දීලා තමයි එන්නෙ.. වෙන මොකක් හරි අඩුපාඩුවක් කියන්ට.. ටක් ගාලා තමන්ගෙ සැට් එකට කියලා වැඩේ කරලා දෙනවා.. 


ඒකටත් එක්ක සයිමොං මාමා.. ඒ කිවුවෙ.. සුමිත් අයියගෙ මාමා කාරයා.. අමු කුණා.. අර උඩහ කන්දට යන පාර ලොකු කරන්ට දුන්නෙ ම නෑ නෙව.. නඩු කියලා, හූනියං කරලා කොච්චර නං හදි කළා ද..? ඒ වුණාට නඩුව දින්නට වැඩක් වුණාද..? සුමිත් අයියා ඇවිත් වචන දෙකයි කිවුවේ.. සයිමා නිකංම සයිලන්..


අර මැගි නැන්දගෙ දුව කුමාරි.. *ක කහ ගන්ට නියපොත්ත නැති වුණාට.. *** නළලෙ තියාගෙන හිටියෙ.. සුමිත් අයියා බැස්සා ගේමට.. කෙල්ල සැරෙන්ඩර්.. ආයෙ මොනවද.. දැං ඉතිං කෙල්ලට රජ සැප..නේ.. 


=============================================
අනේ පලයං බං යන්ට.. අපි නොදන්න සුමියා.. ඕකා මරිසියට කාටත් කෙහෙල් ඇවරිය දැම්මට.. ඕකා හෙණ දසයා.. 

බලහං.. ඕකා අඩු ගානෙ.. ඕ ලෙවෙල් වෙනකං ඉගෙන ගත්තද? හැබැයි දැං මුදල් ඇමති තුමාගෙ උපදේශක. ගමේ එවුවන්ට කසිප්පු පොවලා හම්බකරන සල්ලි මළ ගෙවල් වලට මිසක් පොඩි එවුන්ට චොකලට් ගන්ට වියදං කොරන්නෙ නෑ බං..

ඌ පාර කපාගත්තෙ කන්දෙ එවුවන්ට තියෙන ආදරේට වෙන්ටෑ.. අනේ නිකං ඉඳහං.. උගෙ හොර වැඩ ටික පාඩුවේ කොර ගන්ට ගමේ එවුංව ෂේප් කරගන්ට තමයි ඕකා ඔය පාර කැප්පුවේ.. අනික උගෙ හොර ගෑණිගෙ ගෙදරත් කන්දෙ නෙ බං තියෙන්නෙ..

කුමාරි ලැජ්ජා බයට හැදුණු එකියක් කියලා තමයි මාත් හිතං උන්නෙ.. ඒකිත් අපට දාන්ට තියෙන ඔක්කොම පාට් පෙන්නලා.. මුගෙ අතිං සල්ලං වුණා.. කන්ට බොන්ට අඳින්ට නං තාම තියෙනවා.. ඒත් බං රටේ ගස් ටික කපලා, නිධං ටික මංකොල්ල කාලා, කසිප්පු ටික ගමේ එවුන්ට විකුණලා, ඇමතින්ට වන්දිභට්ට කං කොරලා හම්බ කරන සල්ලි කොච්චර කල් යා දෙයි ද කියලා කවුද දන්නෙ..
================================================
උඹලා හිතන්නෙ ඉතිං නුහුරටමනේ.. උඹලා වගේ එවුවන්ට තමයි බං දේශද්‍රෝහියො කියන්නේ..

Tuesday, March 5, 2013

මේ කට මගේ නෙවෙයි..

වෙනදා නැති සැහැල්ලුවකින් නිවසට ගොඩවුණු සිරිමෙවන් දැක නන්දාට ඇති වූයේ කුකුසකි..
අද වැඩට ගියේ නැද්ද? 

ඇය ඇසුවේ එතරම් අහිංසක ස්වරයකින් නොවේ..
නෑ වැඩට තමයි ගියේ.. 

සිරිමෙවන්ගේ ස්වරයද ඉතා සන්සුන්ය.. සිරිමෙවන්ගේ සන්සුන් කම නන්දාව නොසන්සුන් කළ බවක් පෙනුණි..
බොරු කියන්ට එපා.. ඇත්ත කියනවා.. ! 
එය තරවටු ස්වරයකි..
හ්ම්.. ඇත්තම තමයි.. අද අපේ ඔෆීසියේ උපදේශන වැඩසටහනක් තිබුණා..සිරිමෙවන් තවත් සන්සුන් වෙමින් ආලින්දයේ පුටුවකට බර දුන්නේ මඳ සිනාවක් ද සහිතවය..
"එහෙනම් පවුල් ජීවිතේට වැදගත් උපදෙස් ටිකක් දෙන්ට ඇති..ඒකයි මේ සන්සුන් කම.." නන්දාට දැනුණේ සහනයකි..
ඉතිං මොනවද කිවුවේ..? 

ඇයට ඉවසුම් නැත..
අපේ ජීවිත වල තියෙන නිස්සාර කම තමයි.. අපි මේ පංචස්කන්ධයක් කර ගහගෙන දුවන ගමන් කරන මෝඩ වැඩ ගැන තමයි.. 
ඒ කිවුවෙ..?
අපි රූප දකිනවා.. ඒ රූප වලට ඇලෙනවා.. නැතිනම් ඒවත් එක්ක ගැටෙනවා.. ඒත් රූප දකින ඇහැ අපේ නෙවෙයි..එහෙනම් ඒ ඇහින් දකින රූප එක්ක අපි මොකට ගැටෙනවද?  මොකට ඇලෙනවද?
මේ මොන මගුලක්ද අප්පා මේ මිනිහා කියන්නේ..!  මට අංගොඩ එක්ක යන්න වෙයි වගේ.. රතුකට්ට පැන්න නන්දාගේ මුවින් එවැන්නක් පිටවීම ගැන කිසිදු කලබලයක් සිරිමෙවන්ගේ මුහුණින් දිස් නොවිනි..
අපිට සද්ද ඇහෙනවා.. ඒ සද්ද එක්ක අපි ඇලෙනවා.. ගැටෙනවා.. ඒත් මේ සද්ද ඇහෙන කණ අපේ නෙවෙයි.. අපේ නොවන කණකින් ඇහෙන සද්ද එක්ක අපි මොකට ගැටෙනවද?
නන්දාගේ වදන් වලින් හිත පාරවා නොගන්නටත් එක්ක ඔහු මෙනෙහි කරමින්ම තෙපලේය..

තමුසෙ එහෙනම් මහණ වෙනවා.. තමුසෙ වගේ පිම්පියෙක් එක්ක එන්ට එපා කියලා අම්මලා කියද්දි මම ආවේ.. තමුසෙගෙ බොරු වලට රැවටිලා.. මාව නුවර එක්ක යන්නම් කිවුවා.. නුවර එළියෙ එක්කයන්නම් කිවුවා.. අවුරුද්දට සැරයක් ට්‍රිප් එකක් යමු කිවුවා.. ළමයි හදමු කිවුවා.. කෝ එකක්වත් කළාද?
ඇය තම සිතේ මෙතුවක් තෙරපී තිබූ ආවේගය දෝරේ ගලා යන්නට දී මුව විවර කරද්දී කඳුළක් දෙකොපුල්  දිගේ ඇදුණි..

අපේ කටින් එක එක වචන පිටවෙනවා.. ඒත් මේ කට අපේ නෙවෙයි.. ඒ පිටවෙන වචනත් එක්ක අපි ඇලෙන්නේ ගැටෙන්නේ මොකටද?

එසේ කිවූ සිරිමෙවන් තමාට නන්දාගෙන් ගැලවීමක් තිබේදැයි හරිහැටි නොදැනම.. එහෙත් සන්සුන් ඉරියවුවෙන්ම තමන් ගේ කාමරයට ගියේ ඇඳුම් අහවර කර උදයේ ඉගෙන ගත් භාවනාව පුරුදු කළ යුතුයැයි සිතමිනි..
ඇයි තුන්දොර සංවර කරගන්න ඕනි කියලා දන්නෙ නැද්ද..? 

නන්දා කෑ ගැසුවත්.. එය සිරිමෙවන්ට ඇසුනේ නැත.

Monday, February 18, 2013

මගේ ගල් හිත

ඕකගෙ හිත ගලක් වගේ.. සාළුවත් කරේ දමාගෙන ළිඳට නාන්ට යන මාව දැකපු කුමාරි අක්කා සුජාතා අක්කාට කියනවා මට හොඳට ඇහුණා.. 
ඇහෙයි බං.. සුජාතා අක්කාගේ කෙඳිරිල්ල පවා මට හොඳට ඇහුණෙ හාත්පස තිබුණු නිහඬතාවය නිසා වගේම ඒ කෙඳිරිල්ලෙ තිබුණු ජවය හින්දා.. 
ඉතිං ඇහුණ දෙං.. කුමාරි අක්කා කියා ඇත්තේ මට ම බව දැන් හොඳටම පැහැදිලියි..

මං පහුගිය කාලේ පුරාම සුරනි ට ආදරය කළා.. ඒ ආදරය අවුරුදු 10කටත් වඩා වයසයි.. සුරනිත් මට හදවතින්ම ආදරය කළා.. අපේ පවුල් වලින් පවා මේ ගැන දැනගෙන හිටියා.. මේ ඔක්කොම ඇත්ත..
ඒත්..
මං ආදරයේ බැඳුණේ.. ආදරය ගැන තේරෙන කාලෙක නෙවෙයි.. මං හිතුවේ කොල්ලෙක් උනහම කෙල්ලෙක් එක්ක යාළු වෙන්න ඕනෑ කියලා විතරයි.. මගේ යාළුවෝ හුඟකට කෙල්ලෝ හිටපු නිසා මට එහෙම හිතෙන්ට ඇති.. ඒ කෙල්ල ලස්සන වෙන තරමට, අහිංසක වෙන තරමට මට හරි ආඩම්බරයි කියලා මං හිතුවා..

ඉස්කෝලෙන් පස්සෙ කැම්පස් ගියත් මම මගේ සුරනිව අමතක කළේ නෑ..එයත් කවදාවත් මාව අමතක කළේ නෑ.. ඊට පස්සෙ රස්සාවට ගියත් ඉතිං මට සුරනිගෙන් තොර ආදරයක් නං තිබුණේ නෑ..
==============================================
අපේ ගෙවල් වලිනුත් අනුමැතිය ගත්ත හින්දා පළමු වතාවට කැළණියේ පන්සල වඳින්නට යන්නට ඕනෑ කියලා මට හිතුණා.. කවදත් ආගම දහමට ලැදි සුරනි ඊට එක හෙලා කැමති වුණ හින්දා,  පොහොයක් නොවන ඉරිදා දිනෙක අපි පන්සලට ගියේ හරි සැහැල්ලුවෙන්.. තෙරුවන් වැඳලා පන්සිල් සමාදන් වෙලා අපි එහෙට මෙහෙට ඇවිද්දේ කැළණි පුදබිම ටිකක් බලා කියා ගන්ට. වැලි මළුවේ එක පැත්තක දසසිල් මාතාවක් තවත් උපාසිකාවන් කීප දෙනෙක් එක්ක බර කතාවක්.. ධර්මය ගැන කෙරුණු ඒ කතා බහට අපිත් කැමති වුණු හින්දා ටිකක් වෙලා එතන ඉමු කියලා අපිත් වැල්ලේම ඉඳගත්තා....


අපේ හැම තීරණයක්ම ඇලීම් වලින් හා ගැටීම් වලින් තොර වෙනවා නම්.. ජීවිතය හරිම පහසුයි. අපේ ජීවිතය මේ තරම් අසීරු වෙලා තියෙන්නෙ.. අපි එක්කො දකින දකින දේට ඇලෙනවා.. නැත්නම් ඒත් එක්ක ගැටෙනවා.. 
මීට කලිං මේ කතාව කොහෙදිවත් මේ තරං පැහැදිලිව මං අහලා තිබුණේ නෑ.. සිල් මාතාව ඊට පස්සෙ කිවුවෙ මොනවද කියලා මට මතක නෑ.. ඒත් මගේ හිත නං අනෙක් වැඩ අමතක කරලා හිතන්න ගත්තා..

ඇලීම් හා ගැටීම් අපේ ජීවිත දුෂ්කර කරන බව මට තේරුණා.. මං ඊට පස්සෙ වෙනස් උනා.. වැඩිපුර පොත් පත් කියෙවුවා.. සුරනිත් මගෙත් එක්ක මේ දේවල් වලට ළඟින්ම හිටියා..

සුරනි.. මේ ආදරය කියන්නෙත් ඇලීමක්ම නේද? මං ඔයාගෙ ඇස් දෙකට, හිනාවට, ලස්සනට ඇලිලා.. ඒත් මේ ඇලීම අවසානයේ දී ගේන්නෙ දුකක්ම නේද?
ඔයා මොනවද මේ කියන්නෙ..? සුරනි වැඩිපුරම කලබල වෙලා ඉන්නවා මම දැක්කෙ එදායි.. ඒත් එයත් ටිකෙන් ටික සත්‍යය තේරුම් ගත්තා..


අපි මහණ වෙමු ද? සුරනිම දවසක් මගෙන් ඇහුවා..
අවස්ථාව එනකං ඉමු.. මේක වෙලාව නෙවෙයි.. මං එහෙම කිවුවේ.. අපි දෙන්නම මහණ උනා නම් ඒක ලොකු ප්‍රශ්නයක්.. ගැටුමක් ඇති කරන්න ඉඩ තිබුණ හන්දා.. මං මහණ වෙන්න හොඳ තැනක් හෙවුවා.. මට ඕන වුණේ මහණ වෙලා බවුන් වඩන්න.. ගමේ පන්සලේ මහණ වෙලා ඒක කරන්න බෑ නෙව..
අපේ සම්බන්දෙ නැවතිලා කියලා ටික ටික හැමෝම දැනගත්තා.. මම ඒක නැවැත්තුවා කියලයි හැමෝම හිතුවේ.. මොකද සුරනි ගෙදරම හිටපු කෙනා.. මම රස්සාවට යනවනේ.. ඉතිං මගේ මොකක් හරි වෙන පටලැවිල්ලක් කියලා කට්ටිය හිතන්න ඇති..


හැන්දෑවක සුරනි මාව මුණගැහුනා.. මට දණගහලා වැන්දා.. ඇස් දෙකේ කඳුළු පිරිලා තිබුණත් ඇඬුවේ නෑ.. සමීර අයියේ.. මම අපේ ගෙදර එකම දරුවා.. දන්නවනේ අම්මලාගෙ බලාපොරොත්තු.. මට ඒවා ඔක්කොම බිඳින්න වෙනවා.. ඒ වෙන කවුරුවත් වෙනුවෙන් නෙවෙයි.. මං වෙනුවෙන්..! එහෙම කියපු සුරනි ඉක්මණින් එතැනින් ගියා..

සුරනි විතරක් නෙවෙයි මාත් දැං අපේ පවුලෙ එකම දරුවා.. අයියා හමුදාවට ගිහිං නැති වුණාට පස්සෙ.. මං තමයි අපේ ගෙදර එකම දරුවා... එයාලත් මං ගැන තියපු බලාපොරොත්තු නම් අහසටත් උඩිං.. දිගු සුසුමක් පිට කරනවා ඇරෙන්ට මට කරන්ට දෙයක් තිබුණෙ නෑ..

පහුවදා ආරංචි වුණා සුරනි ගෙදරින් ගිහිං කියලා.. මං දන්නවා සුරනි ජීවිතයට කරදරයක් කරගන්නේ නෑ කියලා.. තෙරුවන්ගේ සත්‍ය බලයෙන් සුරනිව ආරක්ෂා කරන්ට කියලා මං පැතුවා..

පුදුමයක් නෑ.. සුරනි ගිහිං තියෙන්නෙ ආරාමෙකට.. මට ඒක ආරංචි වුණ මොහොතේ මං හිතුවා.. එයා මහණ වෙනකං මම එහෙ නොයා ඉන්නවා කියලා.. නැත්නම් එයාට මාව බාධාවක් වෙන්න පුළුවන්..

==============================================
මගෙ හිත ඇත්තටම ගල් හිතක් ද? සිද්ධ වෙන දේත් එක්ක ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතිව.. අවබෝධයෙන් දැකීම හිත ගල් කර ගැනීමක්ද? වෙන මිනිස්සු අඬන හැපෙන දේට.. ඇඬීමේ තේරුමක් නෑ කියලා වටහාගෙන නාඬා ඉන්න එක අමනුස්ස කමක් ද? පුදුමයි..!
මගේ ගල් හිතෙන් ප්‍රයෝජනයක් ගන්න දැං නම් වෙලාව ඇවිත් වගේ..
ආයෙමත් සුසුමක් හෙළමින් මං අන්තිම වතුර එක ඔළුවට දාගත්තා..

Monday, October 1, 2012

දරුවෝ, දෙමාපියෝ සහ සැලකිළි...

ඔක්තෝම්බර් 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය වෙනුවෙනි..

වහ වහා තමන්ගේ වැඩකටයුතු නිමා කරන අම්මා ඇදෙන්නේ සාලයේ මුල්ලක තබා ඇති රේඩියෝව වෙතටය.. දැන් සෑහෙන දවසක සිට අම්මාගේ ක්‍රියා පටිපාටිය සෑහෙන්න වෙනස් වී ඇත..

පහු වුණු කාලේ කොයිතරම් සිල් ගන්ට ගියත්.. කවුරු හෝ සිල් ඇත්තියක් පවසන සාස්තර කරුවෙකු, යන්තර-මන්තර ගුරුකම් කරන කපුවෙකු  වෙත යාමට ඇයට සිත් වේ.. තමාගේ දරුවෝ හම්බ කරන මුදල් මදියැයි ඇයට සිතෙයි.. ගුරුකමක් කරගත්තොත් සියල්ල හරියනු ඇතැයි ඇය සිතුවාය.. මාගේ දැඩි අකැමැත්ත නිසා ඇතැම් ව්ට පසුබෑව ද, විටින් විට උපාසකම්මලා ගෙන එන ආරංචි නිසා හිතේ සැනසීම නැති කරගත්තාය..

වාසනාවකට මෙන් දැන් ඇය සිල් ගන්නට, භාවනා පුරුදු වෙන්නට යන්නේ හේමාලෝක හාමුදුරුවෝ ලඟටය... උන්නාන්සේ දේශනා කරන බොහෝ කරුණු ඉතා අවබෝධයෙන් ඉදිරිපත් කරන නිසා දෝ.., ඉතා ප්‍රායෝගිකය.. මගේ වැටහීමට අනුව බොහෝ සෙයින් නිවැරදිය.. ඇතැම් විටෙක හාස්‍යයත්, ඇතැම් විටක රළු ගතියත් බොහෝ විට ශාන්ත බවත් මුසු කරමින් කරන දේශනා වලට ඇහුම්කන් දීම ද මහත් සේ  ප්‍රිය උපදවයි..

රාත්‍රී නවය වෙද්දී රේඩියෝව ළඟට ඈ එන්නේ හේමාලෝක හාමුදුරුවන්ගේ බණ අහන්නටය... පුතේ මේ සුදු මහත්තයා කරකවලා... මීටරේ වෙනස් වෙලා.. මගේ පුංචි පුතා ගේ වැඩ.. මම වහා ගොස් එෆ්. එම්. චැනලය අල්ලා දෙමි..

දරුවනේ.. අම්මලාට, තාත්තලාට දෙන්න පුළුවං උතුම්ම තෑග්ග මොකද්ද?

ඉහලට ඉගෙන ගෙන ලොකු රස්සාවල් කරලා ලොකු සල්ලිකාරයෙක් වෙන එකද? සක්විති රජ  වෙන එකද? හැම අම්මම, හැම තාත්තම හිතන්නෙ තමන්ගෙ පුතා සක්විති රජෙක් කරන්ට නේ.. 

නෑ පිංවතුනි.. උතුම්ම තෑග්ග..
නිර්වාණ මාර්ගයට යන එක.. මිථ්‍යා දෘෂ්ඨියෙන් මිදෙන එක..අම්මා තාත්තවත් මිථ්‍යා දෘෂ්ඨියෙන් මුදවලා නිර්වාණ මාර්ගයට යොමු කරන එක..

මගේ සිතට සතුටක් දැනෙයි.. මං හම්බකරන මුදල මදියැයි සිතා අම්මාත් අප්පච්චිත් ඉන්නේ මහත් කණස්සල්ලෙන් බව මම දැන සිටියෙමි.. දැං වත් ඔවුන් තේරුම් ගන්නවා නම්..
අම්මෙ තාත්තෙ... තමන්ගෙ දරුවාට දෙන්න පුළුවං උතුම්ම දායාදය මොකද්ද?
ලොකු රස්සාවක් කරන ලොකු මහත්තයෙක් කරන එකද? ලොකු ඩවුරියක් එක්ක මනමාලියෙක්ව බන්දලා දෙන එකද? ජීවත් වෙන කාලයටම කිසි මහන්සියක් නොවී කාලා බීලා ඉන්ට තරං ලොකු මුදලක් දරුවන්ට හරි හම්බ කරලා දෙන එකද? සක්විති රජෙක් කරවන එකද?

නෑ.. නිර්වාණ මාර්ගයට යොමු කරවන එක...මිථ්‍යා දෘෂ්ඨියෙන් මුදවන එක.. ගුණ ධර්ම කියලා දෙන එක.. ඒක තමයි උතුම්ම තෑග්ග..


අපි ඒ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ.. මට ඉබේම සුසුමක් පිටවුණා.. අවුරුදු තුනේ ඉඳං මොන්ටිසෝරි යවලා, එලකියුෂන් පංති යවලා ඉගැන්නුවාට.. ගුණ ධර්ම උගන්නන්ට අපි දරලා තියෙන උත්සාහය මදි නේද?

ගෙදර ආපු වෙලාවෙ ඉඳං ගෙදර උන්දැගෙ කං කෙඳිරිය මට මතක් වුණා.. බලන්න තවම මේ ළමයාට "G" අකුර ලියා ගන්ට බෑ නොවැ.. මේ ළමයා අර ප්‍රශ්න පත්තර වලට උත්තර ලියලා තියෙන හැටි දැක්කම මට දුක හිතෙනවා.. බලන්නකෝ අනිත් ළමයි.. දුලාරි අක්කගෙ දුවත් මේ වයස.. එයාට දැන් අකුරු දෙකේ, තුනේ වචන ලියන්නත් පුළුවන් ලු.. මෙහාට එනවා.. කෙල්ලව කෙස් වැටියෙන් අල්ලාගෙන ගොස් අකුරු කරවන අපේ ගෙදර උන්දැව මට මැවී පෙනෙයි...

ඉස්සර අන්තිමට ගෙදර එන්නේ තාත්තා.. දැන් එක වසරෙ පොඩි එකා.. ඉස්කෝලෙන් පස්සෙ.. එළකියුෂන්, ශිෂ්‍යත්වෙ, ඉංග්‍රීසි.. පංති.. කෝ ඉස්සර තිබුණු ගුණධර්ම.... ඉස්සර අපි තාත්තා ආවහම.. කට්ටියම එකට එකතු වෙලා බුදුන් වැඳළා.. තිසරණ සහිත පඤ්ච ශීලය සමාදන් වෙනවා.. තාත්තලාට බැරිනම් අඩු ගානේ අම්මාවත් දරුවෝ ටික එකතු පහදු කරගෙන.. දන්නෙ එක ගාථාව නම්.. ඒක කියලා බුදුන් වඳින්න... ළමයින්ට ආදර්ශයෙන් පෙන්නන්න... ගුණධර්ම කියන්නෙ මේවායි... කියලා.. ගුණධර්ම කියන්නේ මොනවද? ශීලය.. ශීලය නැතුව නිවන් දකින්න පුළුවන්ද? බෑ නේද?


යළිත් දිගු සුසුමක් හෙළූ මා නැගිට ගියේ.. අරමුණක් ඇතිවදැයි මට මතක නැත....
====================================================

පුංචි දරුවන් දෙදෙනා මා සමඟ හුරතල් වෙයි.. මට මගේ දරුවන්ගේ තරුණ කාලය මැවී පෙනෙයි.. අනේ තව කී කාලයක් මාත් එක්ක මෙහෙම හුරතල් වෙයිද..? සිතේ ඇතිවෙන්නේ සියුම් ලෝභයක් බව මම දනිමි.. එහෙත් එය බොහෝ ආශ්වාදජනක සිතුවිල්ලක් නොවේදැයි මම සිතමි..

මගෙ පුතේ.. ඔයාලා තව ටික කාලයයි නේ මෙහෙම හුරතල් වෙන්නේ..
ඇයි..?
ඊට පස්සේ ඔයාලා ලොකු වෙනවනේ.. අප්පච්චිලා වයසට යනවා..
පුංචි එවුන් මදෙස අමුතු විදිහකට බලා හිඳී...
දැං අත්තම්මලා වගේ ද? අවසන පැනයක් අසයි..
ඔවු පුතේ..
එතකොට මයෙ පුතාලා.. අපට සලකනවද?
ඉතිං අප්පච්චිලා.. අත්තම්මලාට සලකනවායෑ..?
මගේ ඇඟ හීතල වී ගිය වගක් දැනුණි.. ඇයි මේ කෙල්ල මෙහෙම කියන්නේ..?
ඇයි පුතේ එහෙම කියන්නේ..?
ඉතිං අප්පච්චිට තේ හදලා දෙන්නෙත් අත්තම්මානේ..?
මගේ හිතට සැහැල්ලුවක් දැනුනේ දැන්ය..
පුතේ සලකනවා කියන්නේ තේ හදලා දෙන එකට විතරක්ම නෙවෙයි.. අනික අත්තම්මලා තවම තෙරුවන් සරණින් හොඳට ඉන්නවනේ.. ඉතිං අපි කරන්නේ.. ලෙඩ වුණාම බෙහෙත් අරං දෙන එක, පිං දහම් කරගන්න උදවු කරන එක, වගේ දේවල් විතරයි...

පොඩි එකාගෙ කතාවට එහෙම කිවුවට..

තවමත් අපි දෙමවුපියන්ට සලකනවාට වඩා.. දෙමාපියෝ අපට සලකනවා නේද? කියලා මං කල්පනා කළා.. ඒත් මේවා කොහොම පොඩි එවුන්ට තෝරලා දෙන්නද..?

ආයෙමත් සුසුමකින් ළය සැහැල්ලු කරගන්නවා ඇරෙන්න මට කරන්ට දෙයක් තිබුණෙ නෑ..



Friday, February 10, 2012

ලෝක විනාසය

2012 ලෝක විනාසය වෙයි ද?  
නෑ...
නැද්ද..?  
ඇයි ඔය තරං අහන්නේ..?


කාලෙකිං හම්බ වුණු සතුටින් ඉතිරෙමින්, වයසක මහත්තුරු දෙන්නෙක් කතා වෙන අයුරු සිරිමල් ට පෙනෙයි...


රට පුරා බොහෝ දෙනා ගේ කතා බහ දැන් මේ ලෝක විනාසය ගැන ය. සිරිමල් ට නං ඒකේ වගක් නැත... උදයේ නැගිට කෑම පිසීමට බිරිඳට උදවු වන ඔහු, දරුවන්ට පාසැල් යාමට අවශ්‍ය වන අඩුම කුඩුම ලෑස්ති කරයි.. ඊ ලඟට බිරිඳටත් සූදානම් වීමට උදවු කරන ඔහු අවසානයේ ඇඳ පැළැඳ රැකියාවට යයි. අවුරුදු 20ක් තිස්සේ කරපු රස්සාව කිසිදා සිරිමල්ට එපා වූයේ නැත. එපා වුණත් වෙනත් විකල්පයක් නැති බව සිරිමල් දනී. ලෝක විනාසේ ගැන කන්තෝරුවේ මහත්තුරු කතා කරනවා ඇසුනු හැටි සිරිමල් ට මතක් වෙයි..


උසස් පෙළ පංති ඇරී ගෙදර එන ලොකු දෝණී බසයෙන් බසී.. සිරිමල් ඒ වන විටත් දෝණිගේ අතින් අල්ලා ගෙනය.. මඟ තොට හමු වෙන එවුන්ට තමාව නොපෙනෙන එක ගැන සිරිමල් ට පුදුමය. තනියෙන් යනකොට අපූරුවට තමා සමඟ සිනාසෙන වුන්, දැන් දෝණි දෙස බලාගෙන යයි.. ඔවුන් බලන්නේ කෑදර කමකින් යැයි සිරිමල්ට සිතේ..


පුතේ.. මීට පස්සේ උඹව එක්ක යන්න හැමදාම මම එන්ටද? 
වෙනදාට එන්නේ ළමයින්ගේ අම්මා බව මතක් වූ සිරිමල් අසයි.
තාත්තගේ කැමැත්තක්.. ඇයි අද අම්මා නාවේ.. ? 
අම්මා ටිකක් සනීප මදි කියලා ඉක්මණට ගෙදර යනවා කිවුවා.. සිරිමල් කීවේ කල්පනාව වෙනස් නොකරමිනි.
හැමදාම මේ වෙලාවට එනවා නම් ඕ.ටී එක අහිමි වෙයි. ඒත් දුවගේ ආරස්සාව ගැන වැඩියෙන් හිතන්න එපැයි.. සිරිමල් හිත හදා ගත්තේය.
"මට හීනයක් වගේ.. ඔබේ ඔය ආදරේ.." දුවගේ පොත් අතරින් දුරකථනය නාද වෙයි.


හෙට පංති නෑ.. ඔවු ආයෙ ලබන සඳුදා.. මං එහෙනං තියන්නං.. තෙරුවන් සරණයි.
.
කතාව කෙටියෙන් නිම කරන දෝණි ගැන සිරිපාලට පැහැදීමක් ඇති වේ.. වෙන ළමයි කොයි තරං කාලයක් ෆෝන් එකේ එල්ලිලා ඉන්නවද?
===============================================


වයසක මහත්තුරු දෙන්නා සඳුදාත් හමු වෙලා තවමත් සතුටිනි..


ලෝක විනාසේ එනවාය කියලා හරියටම අනාවැකියක් කියලා තියෙනවාලු කවුද මහත්තයෙක්. 


අදත් ලෝක විනාසේ ගැන.. සිරිමල් තනිවම සිතයි..


ඇඳිරි වැටුණත් දෝණි තවම නැත.. සිරිමල් ගේ හිත ඇවිස්සෙයි.. දෝණි එදා කතා කළේ එයාගේ කොල්ලත් එක්ක වත්ද? අද ගියේ එයා එක්ක වත් ද? සිරිමල් ගේ හිතේ ප්‍රශ්න වැලකි..


මහා ශබ්දයක් නැඟෙයි.. විලාප හඬක් ද ඇසෙයි.. සිරිමල් කල්පනාවෙන් මිදෙන්නේ ඒ ශබ්දයෙනි..


මං හිතුවේ ලෝක විනාසය කියලා.. මහත්තුරු කතා වෙයි..


සිරිමල් ගේ ඇස ශබ්දය ආ තැන සොයා ගනියි.. බස් රියක වැදුණු ත්‍රී රෝද රියකි.. මිනිස්සු අස්සෙන් සිරිමල් ද අනතුර බැලීමට යයි.. !


මගෙ පුතේ..! සිරිමල් සිහින් හඬින් පවසා දෝණි ගේ අත අල්ලාගෙන යයි..


ඇයි තාත්ත බය වෙලා...වගේ.. ? දෝණි අසන්නේ සැකයෙනි..


ඇක්සිඩන්ට් එකේ සද්දෙට හිත ගැස්සුනා පුතේ..?


තාත්තා ඔයිට වඩා කොච්චර ඇක්සිඩන්ට් දැකලා තියෙනවද?  එදා පිළියන්දල බෝම්බෙ පුපුරපු දවසෙවත් තාත්තා ඔච්චර කලබල වෙලා ඉන්නවා මං දැක්කේ නෑ..


තාත්තාගේ වැඩිම කලබල වීම මතක් කළ දෝණි ඇසුවේ පැනයකි..


එදා උඹ උන්නෙ මගෙ ලඟමනේ පුතේ.. 


සිරිමල් සුසුමක් ලමින් ලය සැහැල්ලු කර ගනී....

අවසානයි..!

Wednesday, December 21, 2011

ප්‍රබා රජ වෙලා..!



ඔන්න ප්‍රබා අපේ රජයේ හමුදාව හොඳට මට්ටු කරලා මේ රටේ රජ වෙලා.. අපි ඉතිං ඉතිපිසෝ ගාථාව කිය කියා බලාන ඉන්නවා මොකක්ද දැන් රටට වෙන්නේ කියලා..  සිංහලයාට ඉතිං සොරි ඩොට් කොම් තමයි,,

මොනවා වුණත් දැං ඉතිං ප්‍රබා අපේ රජා නොවැ.. 
===============================================
මල්ලී.... ගොරෝසු කට හඬකින් ටිකක් සැරට කතා කරනු ඇසී වහා එළියට දිව ගියෙමි... රජා අපේ මිදුලට ම ඇවිත්.. 


සෑර්... මේ උදෙම්ම...? මගෙන් පළමු ප්‍රශ්නය..
මල්ලිව අම්බ වෙන්ඩ කියලමයි ආවේ.. මූ කියපි.



අයියෝ සෑර් ඇස්. ඇම්. ඇස්. එකක් ගැහැවුවනම්.. මං එනවා නේ..
‍යේම බේ මල්ලී.. මට මල්ලිට කියලා සීක්‍රට් වැඩක් කොරගන්න තියෙනවා..



ඒ මොකක්ද අප්පා..? සොරි.. ඒ මොකක්ද සර්..?
මල්ලී මට සිංගල කොල්ලෝ දායක් ඔයා ගන්න ඕනි..
මම ප්‍රශ්නාර්ථයක් මූණේ මවාගෙන බැලුවෙමි..
ඔඳ සිංගල කොල්ලෝ..


ආ.. මේ.. මං වගේ අයද..?
උඹ වගේ අයත් ඕනි..
ඊට වඩා නියම සිංගල කොල්ලෝ..දායක්.. ඔය අසලක කාමිණී වගේ..


හරි.. මොකටද ඔය.. ? 
මල්ලී.. මාත් කොල්ලෙක්.. (ඉස්සර වෙන්ටෑ) මටත් අරි දුකයි ඔය ඔඳ සිංගල කොල්ලො මැරුණු එකට..
(මේ ප්‍රබා.. ම ද? මූට ඇඬෙන්නත් ඇවිත්)



(පරණ)පාර්ලිමේන්තුවෙන් බැරි ද සෑර්..
පිෂ්ෂු කියවාන්ඩ එපා මල්ලී.. මං අදාන්නේ ෂෝ එකක් කාන්ඩ.. ඒකට ඔයි ඉපාටුවෝ අරියන්නෑ..


ඇයි.. සෑර්.. වාචාල වංශ.. එළ කොල්ලනේ.. 


යෙත්ත මල්ලී.. මං ඌට යෙමති කමක් දුන්නා..


එතකොට සර්ගෙ ඇමති මණ්ඩලේ කීයක් විතර ඉන්නවද?
වෙඩිය නේ මල්ලී.. දෙෂීයයි.. ඉටපු කට්ටිය එකෂිය පනායි.. මගේ පනායි..




හිටපු කට්ටියව අයිං කළේ නැද්ද?
මල්ලී මාත් ඉතක් පපුවක් තියෙන කොල්ලෙක් නේ.. උං අඬන ඇටි දෙක්කාම යෙළියට දාන්නෙ කෝමද?


එයාලට කරන්න වැඩ තියෙනවද?
උං මීට කලිං වෙඩ කරාද මල්ලී.. මං උංට කිරිකට් ගාන්න ඉන්ඩෝ ග්‍රවුන්ඩ් එකක් අදලා ඒක එතුලේ ඉන්ඩ කිවුවා.. මාෂෙකට ෂෙරයක් පිටරට ට්‍රිප් එකක් එක්ක යන්නං කිවුවා.. වෙන මොනා අරි ආතල් ඕන්නං කියාන්ඩ ඒවත් දෙන්නාං කීවුවා.. උං ඕකේ..
දෙතුන් දෙනෙක් තමයි බං අවුල්..



ඒ මොකද සෑර්..?
උන්ට එල, දොල, කංකා, වෙවු... ඕනිලු..


නාන්ඩද?
නේ.. මෙනික් කරාන්ට.


ඇස්.. ඇප්.. ගත්තොත් මොකද සෑර්..?
එස්. එප්..? (ප්‍රබා ට පොඩි කැස්සක් මතු විය)
මිනියා.. නං කියාපු බඩුව අයිෂේ.. යේත් ඌ අරි ෂෙරයි නේ.. ?


දුටු ගැමුණු..?
අඩේ.. මට මතාක් වුණේ නේනේ.. තෑන්ක්ස් මල්ලී.. රොම්බ තෑන්ක්ස්..


මුතු හෙට්ටි..?
ෂාහ්: මල්ලී කියලා වෙඩ නේ.. මල්ලී.. ෂුපර් කියන්නේ නිකං නෙවෙයි ආ.. (මාව බදා ගනියි..)
දුමින්ද?
නේ.. මල්ලී .. දුටු ගෙමුණුයි, මුතු එට්ටියි ඉන්නවානං වෙන කවුරුත් ඕන්නේ.. වෙඩේ කොඩ.. 


එතකොට සෑර්.. සර්ලා කියපු අර ඊලම..?
පිෂ්ෂුද මල්ලී.. අපි පොඩි ජෝක්ස් එකක් නේ දෙම්මේ.. උම්බලා උම්බලාගේ පාඩුවේ ඉන්ඩ.. අපේ එවුං උංගේ පාඩුවේ ඉඳියි..

ඒ කියන්නේ සෑර්.. අපි නිදහස්ද? (මා ඇසුවේ පස්වනක් ප්‍රීතියෙන් ප්‍රමුදිතවය)
ප්‍රබා.. බඩ අල්ලාගෙන බිම ඇණ තියාගත්තේය.. ඔහුට හුස්ම ගන්ට අපහසු බව පෙනිනි.. වහා ඔහුගේ ආරක්ෂකයින් වට වුණි. ඔවුහූ මාව අත් අඩංගුවට ගත්තෝය.. ප්‍රබා හුස්ම ගැනීමේ අපහසුව පැත්තකින් දමා.. ආරක්ෂකයින්ට පළු යන්ට (කච කච ගා) බැන්නේය.. මට ඉනාවක් ඉරවුණා යකෝ.. ඔහු යළිත් කෑ ගෑවේය..

මට තේරුණු හැටියට ඔහු කීවේ මාවත් ඔහුවත් අත හරින්නට විය යුතුය. ඉන්පසු නැවත මා ලඟට පැමිණි ප්‍රබා..



මල්ලී.. මීට කලිං කවදා අරි නිදාසේ ඉටියාද? කියා අසමින් යන්නට හැරුණි..
===============================================
නිදහස කියා ලකුණක් වත් දැක නොමැතී
එනමුදු බොහෝ නිදහස් උත්‍සවද වෙතී
අප හද පතුල තුළ නෙක කටු වැල්ය එතී
හදවත මුදා ගමු පළමුව රැගෙන කැතී




පිංතූරෙ ගත්තෙ මෙතැනින්..









Saturday, October 1, 2011

සැනසිල්ල


++++++++මෙය මා කෙටිකතා තරඟයක් සඳහා ඉදිරිපත් කළ කෙටි කතාවකි. එහි තිබූ අඩුපාඩු කීපයක් සකසා මෙහි පල කරමි+++++++



උපාලිත් කදිරවේලුත් අවුරුදු ගණනක් එකට රාජකාරි කළද, දෙදෙනා එකිනෙකා හා කතා කර ඇත්තේ බොහොම අඩුවෙනි. බොහෝ සංවේදී මිනිසෙකු වූ  වේළුට උපාලිගේ මේ හැසිරීම ඉහිලුම් නොදෙයි. අලුතින් පැමිණි සමන්  වේළුගේත් උපාලිගේත් හොඳ හිතවතෙක් වූයේ ඔහුත්මේ දෙදෙනා මෙන්ම ඉතා සංවේදී, මිත්‍රශීලී අයෙකු නිසාවෙනි. එහෙත් මේ දෙදෙනා අතර ඇති නිහඬ බව සමන් තුළද කුකුසක් ඇතිකළේය. උපාලි  වේළු සමඟ පමණක් නොව අනෙක් ද්‍රවිඩ ජාතිකයින් සමඟද හරි හැටි කතා නොකරන බව සමන් නිරීක්ෂණය කළේය.


ප්‍රභාකරන් තාම මරා ගන්ට බැරි වුණා නේ
පිළියන්දල බෝම්බය පිපුරුණු දාට පහුවදා සමන් උපාලි සමග කතාවට මුල පිරුවේ යටි හිතේ තවත් අදහසක් ඇතුවය
ප්‍රභාකරන්ව මැරුවා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ නේ. ප්‍රශ්නේ යට යනවා විතරයි
උපාලිගේ අදහස සමන් හිතුවාට වඩා වෙනස්
අපේ ඉන්න කට්ටියත් කොටි දන්නේ නෑ? සමන් තවත් හීයක් අඳුරේ විද්දේය
ඔය වගේ කතා කියනවා තියා හිතන්නවත් එපා සමන්. අපිත් එක්ක ඉන්න මිනිස්සු ගැන ඔයාට එහෙම සැකයක් තියෙනවද ඇත්තට? මෙවර පැනය උපාලි ගෙනි
සමන් කතා කරන්නට සැරසුණද උපාලි නැගිට ගියේ හදිසියේ භාර දෙන්නට ලිපි ගොනුවක් ඇති බැවු කියමිනි.

=========================================================================


වේළුලුගේ දරුවාට අසනීප වෙලා ලු
මොකක්ද
හදවතේ සැත්කමක් ලු. සෑහෙන ගාණක් යයි මයෙ හිතේ..
දැං ඉතිං කොහොමද සල්ලි හොයන්නේ
ජනාධිපති අරමුදලින් භාගයක් දෙනවලු. ඉතුරු ටික නං හොයා ගන්න වෙනවා.
අපි කොහොම හරි උදවු කරමු. උපාලි නැගිට යමින් කීවේ තිර හඬකිනි. සමන් කල්පනා කළේ උපාලි කොහොම මිනිහෙක් දැයි කියාය.

=========================================================================
මේක ජීවිතයක් සම්බන්ධ ප්‍රශ්නයක්. මේ ජීවිතේ බේර ගන්න ඕනි.
වගේම අවංක කම පිළිබඳවත් ප්‍රශ්නයක්.
දැං ආයෙත් බාලරාම් ගේ කවුරුවත් එන එකක් නෑ.
වුණත් බැරි වෙලාවත් හොයාගන්න පුළුවං වුණොත්.


උපාලි පෝටිකෝවේ මේ අත ඇවිදිමින් තමන්ගේ යටි හිතත් සමගම තර්ක කරයි. ඔහුට රෑ බෝ වී ඇතුවා දැනුණේ නැති තරම්ය.

... මෙන්න තේකක් ගෙනාවා. මොනවද ඔය හැටි කල්පනා කරන්නේ ?
කල්පනා කරන්නද දේවල් නැත්තේ? උපාලි ප්‍රශ්නයකින්ම පිළිතුරු දෙමින් පුටුවක ඉඳගනියි
පුතා ගේ පිටි එක නම් ඉවරයි
ම්..ම්.. දැනට අපේ කිරිපිටි වලිං දෙමු. දැං අවුරුද්දකටත් කිට්ටුයිනේ..!සුසුමක් පිට කරමින් ළය සැහැල්ලු කරගත් උපාලි තේ කෝප්පය තොල ගාන්නේ ප්‍රශ්න සියල්ල විසඳූ ලෙසිනි


මවු පියන් දරුවන් දෙදෙනෙක් නඩත්තුව දැන් ලේසි පහසු නොවේ. මතක ඇති කාලයක විනෝදය වෙනුවෙන් කිසිදු මුදලක් වියදම් කළායැයි උපාලිට මතක නැත. උපාලි විය පැහැදම් කළේ ඉතා අරපරිස්සමිනි. එහෙත් තමාගේ යුතුකම් මඟ හරින්නට ඔහු කිසි විටකත් කැමති වූයේ නැත. පුතුට ළදරු කිරිපිටි තිබුණා නම් හොඳ බැවු ඔහු දනී. එහෙත් ප්ලේන්ටි උගුරෙන් ජීවත් වන දරුවන් වෙසෙන රටේ තම පුතු එතරම් අසරණයෙකු නොවන බවට ඔහු යළිත් තම හිත සමග තර්ක කරයි.


=============================================================================================================

83 කරදර වුණේ නැත්නං අපට පුතාගේ වැඩේ මේ තරං අමාරු වෙන්නේ නෑ
වේළු, සමන් සමග කීවේය
ඇයි  වේළුලාටත් කරදර වුණා කාලේ
වෙනදා නැගිට යන උපාලි කතාවට සවන් දෙයි
ගැන කතා කරලා වැඩක් නෑ දැං. මගේ පවුලෙං ඉතුරු වුණේ මායි, මල්ලියි විතරයි. වසන්තිලාගේ පවුලෙං වසන්ති විතරයි. අපි දෙගොල්ලන්ගෙම දේපොළ. වැඩක් නෑ ඕවා කතා කරලා.. වේලු කියන්නේ හැඬුම්බර හඬිනි. තුළ කලකිරීම මුසු වුණු තරහක්ද ඇතැයි සමන්ට සිතුණි.
=============================================================================================================


දැං නං මේක අහක දාන්නම බෑ. මට යුතුකමක් තියෙනවා මේක එයාලට දෙන්න.
ඔවු. එයාලට 83 බොහෝ දේ අහිමි වෙලා තියෙනවා. ඒ ඇත්තෙන්ම යුතු කමක්.


කලකට පසු උඩු සිතට යටි සිත අවනත වූ අයුරු කල්පනා කළ උපාලි ගේ මුවෙහි සිහින් සිනාවක් ඇඳී නැතිවී යනු පෙනුණිවේළු මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි. අපි ටිකක් එළියට යමුද? උපාලි යෝජනා කළේය
=============================================================================================================


මොනවද ඔයාලට 83 නැතිවුණු දේපල?
අපේ තාත්තගේ බයිසිකල් කඩයක් තිබුණා. වසන්තිලාට රත්තරං බඩු සාප්පුවක් තිබුණා
සාප්පුව තිබුණේ කොහේද
කවදාවත් නැති උනන්දුවකින් උපාලි ඇසුවේ වේළුව පුදුමයට පත්කරවමිනි.
දැරණියගල
ඔහු පිළිතුරු දුන්නේය.
මුදලාලිගේ නම? උපාලිගෙන් තවත් ප්‍රශ්නයකි.
බාලරාම්
උපාලි හිඳි අසුනෙන් නැගිට්ටේ කිසියම් ජීවයක් ලද්දෙක් මෙනි.
කියන්නේ ගෞරවී ජුවලර්ස්? උපාලි යළි අසයි.
හ්ම්.. උපාලි එයාලව දන්නවද?


මුදලාලියි පවුලේ සේරමයි මැරුණයි කියලා තමයි අපට ආරංචි වුණේ. මුදලාලි හරිම හොඳ මනුස්සයා. හැමෝම වගේ මිනිහා ගැන දුක් වුණා. අපේ එවුන්ගේ මෝඩ වැඩ.
ගැන දැං කතා කරලා වැඩක් නෑ උපාලි. වාසනාවකට පවුලේ බාල දුව වසන්ති ඉතුරු වුණා. එයා තමයි මගේ බිරිඳ.
එදා කෝලහාල වෙලාවේ මාත් හිටියේ ටවුන් එකේ. බාලා මුදලාලි අපේ තාත්තගේ හොඳ යාළුවා. එයාලට කරදර බලන්න යනකොට ඔක්කොම සිද්ධ වෙලා ඉවරයි


ඒත් මං ඇතුළේ සෝදිසි කරනකොට මැරයන්ට අහු නොවුණු රත්‍රං තොගයක් හම්බු වුණා. මං සද්ද නොකර ඒක ගෙදර ගෙනාවා. හොරකමකට නෙවෙයි. මුදලාලි හම්බු වුණාම දෙන්න. කලබොල වෙයි කියලා අපේ තාත්තටවත් කිව්වේ නෑ. ඒක ගෙයි මිදුලේ වල දැම්මා. ඒත් මං මගේ හිතෙන් පුදුම වදයක් වින්දේ. දැං රත්‍රං ටික ඔයාගේ බිරිඳට දෙන්න පුළුවං


වේළු ගේ මුහුණේ වූ හැඟීම තේරුම් ගැනීමට උපාලි සමත් වූයේ නැතවේළුගේ ප්‍රශ්න දැං ඉවරයිනේ... දැං හිනා වෙලා ඉන්න. උපාලිගෙන් දිස් වූයේ කවදාවත් නැති උද්‍යෝගයකි. ඔහුගේ දීප්තිමත් දෑස දෙස බැලූ වේළු තරයේ ඔහුව බදා ගත්තේ ශබ්ද නගා හඬමිනිවේළු හැඬුවේ සතුටට විය යුතු බව උපාලි තීරණය කළේය.

=========================================================================


රත්‍රං ටික වසන්තිට භාර දුන් උපාලි ගෙදර ආවේ නිම් හිම් නැති සතුටකිනි. ඔහු කලකට පසු දරුවන් දෙදෙනා සමඟ හිතේ හැටියට විනෝද විය. වේලුගේ පුතුගේ සැත්කම සාර්ථකව සිදු විය. සමන්, උපාලි හා වේලු බොහෝ සතුටින් සිටිනු කලකට පසු දක්නට ලැබුණි. එහෙත් වේලුගේ හිතේ තිබුණු බිය තාමත් තියෙන බව සමන් හා උපාලි ගේ ඇස් වලට හසු වූයේ නැත.

=========================================================================


කදිරවේළු  මහත්තයා මේ ලියුම මහත්තයට දෙන්න කීව්වා.
කෝ දැං  වේළු
හදිසි ගමනක් යනවා කියලා ගියා.
උපාලි,


මට සමා වෙන්න. මට ඔබට මුහුණ දීමට අපහසු කමක් ඇත. එහෙත් මා ඔබට වරදක් නොකළ බව කිව යුතුය. පුතාගේ ඔපරේෂන් එකට සල්ලි නැතුව ඉන්න කොට කොටියෙක් මට යෝජනා කළා ඔත්තු සපයන්න කියලා. ලොකු මුදලක් දෙන්නම් කිව්වා. මං එකඟ වෙන්න තීරණය කරලා ඉන්න කොටයි ඔයා මට සල්ලි දුන්නේ. මට දැං මාවම පිළිකුල්. මං ගැන හොයන්න එපා!


මීට වේළු!     =============================================================================================================

වේළු නගරයෙන් පිට වෙන්න කලිං ඔහුව හමු වෙන්න උපාලි තීරණය කළා. උපාලිට පුළුවං වුණා වේළුව හමුවෙන්න. වෙලාවෙ  වේළුගේ ඇස් දෙකේ තිබුණු අසරණ බව මීට කලිං කවදාවත් උපාලි දැකලා තිබුණේ නෑ. මේ පාරත්  වේළු උපාලිව බදාගෙන හැඬුවා. හැබැයි මේ පාර හීන් කෙඳිරිල්ලක්, සුසුමක් එක්ක කඳුළු බිංදු දෙකක්....

                                                                           ~~~
අවසානයි~~~~