Tuesday, March 23, 2021

ඊට පස්සෙ

කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි සිලෝන් ටකරං බස් එකට ගොඩ වුණේ ඒ පාරෙ ඒ වෙලාවට තියෙන්නෙ ඒ බස් එක විතරක් හින්දා. සෙකන්ඩ් ෂයි එකේ විභාගෙත් ළඟ හින්දා පේපර් ක්ලාස් කරන අයියා කෙනෙක් ගෙ ක්ලාස් එකකට යන්න කියලා. ඒ මගේ ඒ ක්ලාස් එකට යන දෙවෙනි දවස. කිලෝ මීටරයක් වත් යන්න කලියෙං බස් එක කැඩුණා. දැං ඉතිං විකල්ප නෑ. වෙලාවට පංතියට යන්න නං. පුළුවන් ටික ප්රධාන පාරේ බස් එකක ගෙහුං ඉතුරු ටික පයිං අඹන්න ඕනි. දැං වගේ ඒ කාලෙ ටුක් ටුක් තිබුණ එකක්යෑ.

අනේ ඉතිං ප්රධාන පාරෙ බස් එකට නගිද්දියි දැක්කෙ පංතියෙ තව දැරිවියකුත් ඉන්නවා. මං හිතුවෙ එයැයි තර්ඩ් ෂයි වෙන්ටැති කියලා. ඒ නිසා අහිංසක හිනාවක් දාලා ෂේප් වුණා. අක්කා අහපි.
ඔයත් අයියගෙ ක්ලාස් එකට නේද යන්නෙ? කියලා.
අනේ ඔවු, මාර වැඩේ නේද වුණේ. වෙලාවට යන්න බැරි වෙයිද මංදා,
ආදී වශයෙන් පොඩි පොඩි දේ කතා කරමින් අපි පයින් ගමන අරඹන තැනට ආවා.

වැස්සකුත් එන්ට වගේ හින්දා වේගය වැඩි කරමින් අපි දෙන්නා පංතිය වෙත යුහුසුළුව ගමන් කළේ, පාසැල, වයස වගේ දේවල් ගැනත් කතා කරමින්. එතනදී මං දැනගත්තා ඒ අක්කා මට වඩා අවුරුද්දක් බාල නංගි කෙනෙක් කියලා. හොඳ වෙලාවට මං කට වරද්දගෙන උන්නෙ නෑ. පස්සෙ දවසක දැනගත්තු විදිහට එදා මං වගේ ම එයැයිත් බොහොම බයෙන් තමයි ඉඳළා තියෙන්නෙ වහී ද කියලා. මොකද මට කුඩයක් තිබුණා, එයැයිට නෑ.

ටික දවසක් යනකොට මට මෙයැයිත් එක්ක ටිකක් වැඩියෙන් කතා බහ කරන්න සිද්ධ වෙනවා. වෙන මොනවත් නිසා නෙවෙයි, මගේ මිතුරෙක් ඒ දිනවල කැමැත්තෙන් හිටියා දැරිවියෙකුට, එයැයි මෙයැයිගෙ යෙහෙළියක්. ඉතිං ඔය අතරෙ මං දැනගත්තු දෙයක් තමයි, ක්ලාස් එක කරපු අයියා මෙයැයි ගැන උනන්දු වෙන බව. ඒකට ඉතිං මට කරන්න දෙයක් තිබුණෙ නෑ කියලා තමයි මට හිතුණෙ.

ඒත් ඒ අයියා විරහ වේදනාවක් සිතේ දරාණ, ඒ වේදනාව තුනී කර ගැනීමේ අරමුණින් තමයි මෙයැයි ට හිත දෙන්ට හදලා තිබුණෙ. ඉතිං ඒ අයියා ගැන අනුකම්පාවක් මිසක ආදරයක් මෙයැයිගේ හිත තුළ ඉපදිලා නෑ.

උසස් පෙළ ඉවර වෙලා, අපි පරිගණක පංති ගොඩක විභාග වලට ගියා. යාළුවො සැට් එකෙන් ම මෙයැයිටයි මටයි විතරයි නොමිලේ ශිෂ්යත්ව හම්බවුණේ. ඉතිං අපි පරිගණක පංති ගියා. ඒ දවස් වල තමයි මෙයැයි මට අර අයියගෙන් තියෙන ඉල්ලීම ගැන කිවුවෙ. මට ඉතිං ඒ ගැන ලොකු අදහසක් තිබුණෙ නෑ. අයියත් හොඳ මනුස්සයා. ඒත් ඔයැයි කැමති නැත්තං ඒ බව කෙලිං ම කියන්ට, ඒ මනුස්සයව තවත් රිද්දන්නෙ නැතුව කියලා මං කීවෙ ඇත්තටමයි.

ගින්දරයි පුළුනුයි එකළඟ තිබුණාම වෙන දේ අපි දෙන්නටත් වුණා. ගිණි ගත්තෙ නම් නෑ. හැබැයි අපි දෙන්නට දෙන්නා නැතුව බැරි වුණා. නිතර කතා කළා. අතින් අල්ලගෙන උන්නා. එයැයිලගෙ ගෙදරත් මං ගියා. හැබැයි යාළුවෙක් විදිහට. අන්තිමේ අපි අතර සම්බන්ධතාවයක් තියෙන බව අපි පිළිගත්තා.

හැබැයි ඒ ආදරය වැඩි කල් පැවතුණේ නෑ. අපේ පවුල් පසුබිම් හැම දෙයක් ම හොඳින් ගැලපුණා වුණත්, මොකක් හරි අවුලක් තිබුණා. හැබැයි වෙන් වෙලත් අපි ආදරෙන් හිටියා. ඒක මහ විකාරයක් වගේ තමයි. අපි සැරින් සැරේ ආයෙ එකතු වෙන්න බැලුවා. ඒත් ඒක හරි ගියේ නෑ. ඒ ආදරේ අමුතුම එකක්. වෙන්ව තියෙන්නම ඕන ආදරයක්.
ඔයාවත් මං වත් වැරදි නෑ. අපි අපේ පාරවල් වල යමු.
මං අන්තිමේට කිවුවා.
ඊට පස්සෙ? ඔවු.. ඊට පස්සෙ අපි දෙන්නා විවාහ වුණා. 
ආදරය වෙනයි විවාහය වෙනයි. මං ඉස්සෙල්ලා විවාහ වුණා. එයා ඊට පස්සෙ විවාහ වුණා. දෙකම ආදර විවාහ තමයි. ආදරේ කරන්න ඕන එක්කෙනෙකුට විතරක්යෑ.. මළ විකාර.. මං එහෙම හිතුවා. එයැයිතුත් එහෙම හිතන්ට ඇති.

No comments:

Post a Comment

වටිනා අදහස් ලියනු මැනේ..