Wednesday, March 31, 2021

පැසුණු කතා 2

All birds find shelter during a rain. But eagle avoids rain by flying above the clouds. Problems are commen, but the attitude makes the difference. 

කුරුල්ලො වැස්ස වෙලාවට මොකක් හරි ආවරණයක් හොයනවා වැස්සෙන් බේරෙන්න. හැබැයි උකුස්සා,  වළාකුළු වලට ඉහලින් පියාසර කරමින් වැස්ස මඟහරිනවා. 

එකම ප්‍රශ්නෙට මුහුණ දෙන විදිහ ගැන අප දරණ ආකල්ප වල තමයි සැබෑ වෙනස තියෙන්නෙ.





මෙහෙම කියන්නෙ අපේ අසල්වැසි ඉන්දියාවෙ උන්නු 11 වැනි ජනපතිවරයා වූ අබ්දුල් කලාම් හෙවත් අවුල් පකිර් ජයිනුලාබ්දීන් අබ්දුල් කලාම් කියන අපූරු මිනිසා. 1931 ඔක්තෝබර් 15 වැනිදා තමිල්නාඩුවට අයත් මදුරාසියේ උපන් මෙතුමා, ඉන්දියාවේ න්‍යෂ්ඨික මිසයිල අත්හදා බැලීම් වල පුරෝගාමී විද්‍යාඥවරයෙකු ද වුණා. 

2002 වසරේ ජනාධිපති තනතුර ලැබීමෙන් පසු "ජනතා ජනපති" යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනු ලැබූ මෙතුමා නොපසුබස්නා උත්සාහය මතින් ම සාර්ථකත්වයට පත් වූ පුද්ගලයෙකු ලෙස, මතු පරපුර සාර්ථකත්වය වෙත මෙහෙයැවීමෙහිලා අතිශයින් වැදගත් වන අපූරු කියමන් රැසක් ලොවට දායාද කළා.

83 වියැති කලාම් දේශනයක් පවත්වන අතරතුර ඇති වූ හදිසි ඇද වැටීමක් මත 2015 වසරේ ජූලි මස 27 වැනි දින මෙලොව හැරදා නික්ම යන තුරුම අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ලොවට තමා සතු දැනුම බෙදා දෙන්නට යුහුසුළු ව කටයුතු කළා.


ප.ලි.

පින්තූරය හා තොරතුරු අන්තර්ජාලයෙන්.





Wednesday, March 24, 2021

පැසුණු කතා -1

 


I’m a greater believer in luck, and I find the harder I work the more I have of it.
Thomas Jefferson
මම වාසනාව ගැන තදින්ම විශ්වාස කරන කෙනෙක්. ඒ වගේම මම දන්නවා මම ගොඩාක් මහන්සි වෙලා වැඩ කළොත් තමයි මට ඒ වාසනාව ලැබෙන්නෙ කියලා..



මෙහෙම කියන්නෙ ඇමරිකාවෙ හිටපු තුන්වැනි ජනපතිවරයා (1801-1809) වන තෝමස් ජෙෆර්සන් මහත්මයා. මෙතුමා ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් බොහොම කැපවුණු නායකයෙක් කියලයි කියන්නෙ. ඉපදිලා තියෙන්නෙ 1743 අවුරුද්දෙ වර්ජීනියා පැත්තෙ ලු. වර්තමාන ඇමරිකාව ගොඩ නැඟීමේ පුරෝගාමියෙකු වුණු මෙතුමා 1826 ජූලි මාසෙ 4 වැනිදා මිය ගිහිං තියෙනවා.. මෙතුමා ගෙ අපූරු කියමන් බොහොමයක් තියෙනවා..
ඉඩ ලැබුණම කියන්නම් කෝ!

ප.ලි.
හිතාගෙන ඉන්නෙ මෙතුමා වගේ ම ලස්සන, ලස්සන කතා ලෝකයට දායාද කරපු අයගෙ කතා එක එක ගේන්න
පින්තූරය අන්තර්ජාලයෙන්.

Tuesday, March 23, 2021

ඊට පස්සෙ

කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි සිලෝන් ටකරං බස් එකට ගොඩ වුණේ ඒ පාරෙ ඒ වෙලාවට තියෙන්නෙ ඒ බස් එක විතරක් හින්දා. සෙකන්ඩ් ෂයි එකේ විභාගෙත් ළඟ හින්දා පේපර් ක්ලාස් කරන අයියා කෙනෙක් ගෙ ක්ලාස් එකකට යන්න කියලා. ඒ මගේ ඒ ක්ලාස් එකට යන දෙවෙනි දවස. කිලෝ මීටරයක් වත් යන්න කලියෙං බස් එක කැඩුණා. දැං ඉතිං විකල්ප නෑ. වෙලාවට පංතියට යන්න නං. පුළුවන් ටික ප්රධාන පාරේ බස් එකක ගෙහුං ඉතුරු ටික පයිං අඹන්න ඕනි. දැං වගේ ඒ කාලෙ ටුක් ටුක් තිබුණ එකක්යෑ.

අනේ ඉතිං ප්රධාන පාරෙ බස් එකට නගිද්දියි දැක්කෙ පංතියෙ තව දැරිවියකුත් ඉන්නවා. මං හිතුවෙ එයැයි තර්ඩ් ෂයි වෙන්ටැති කියලා. ඒ නිසා අහිංසක හිනාවක් දාලා ෂේප් වුණා. අක්කා අහපි.
ඔයත් අයියගෙ ක්ලාස් එකට නේද යන්නෙ? කියලා.
අනේ ඔවු, මාර වැඩේ නේද වුණේ. වෙලාවට යන්න බැරි වෙයිද මංදා,
ආදී වශයෙන් පොඩි පොඩි දේ කතා කරමින් අපි පයින් ගමන අරඹන තැනට ආවා.

වැස්සකුත් එන්ට වගේ හින්දා වේගය වැඩි කරමින් අපි දෙන්නා පංතිය වෙත යුහුසුළුව ගමන් කළේ, පාසැල, වයස වගේ දේවල් ගැනත් කතා කරමින්. එතනදී මං දැනගත්තා ඒ අක්කා මට වඩා අවුරුද්දක් බාල නංගි කෙනෙක් කියලා. හොඳ වෙලාවට මං කට වරද්දගෙන උන්නෙ නෑ. පස්සෙ දවසක දැනගත්තු විදිහට එදා මං වගේ ම එයැයිත් බොහොම බයෙන් තමයි ඉඳළා තියෙන්නෙ වහී ද කියලා. මොකද මට කුඩයක් තිබුණා, එයැයිට නෑ.

ටික දවසක් යනකොට මට මෙයැයිත් එක්ක ටිකක් වැඩියෙන් කතා බහ කරන්න සිද්ධ වෙනවා. වෙන මොනවත් නිසා නෙවෙයි, මගේ මිතුරෙක් ඒ දිනවල කැමැත්තෙන් හිටියා දැරිවියෙකුට, එයැයි මෙයැයිගෙ යෙහෙළියක්. ඉතිං ඔය අතරෙ මං දැනගත්තු දෙයක් තමයි, ක්ලාස් එක කරපු අයියා මෙයැයි ගැන උනන්දු වෙන බව. ඒකට ඉතිං මට කරන්න දෙයක් තිබුණෙ නෑ කියලා තමයි මට හිතුණෙ.

ඒත් ඒ අයියා විරහ වේදනාවක් සිතේ දරාණ, ඒ වේදනාව තුනී කර ගැනීමේ අරමුණින් තමයි මෙයැයි ට හිත දෙන්ට හදලා තිබුණෙ. ඉතිං ඒ අයියා ගැන අනුකම්පාවක් මිසක ආදරයක් මෙයැයිගේ හිත තුළ ඉපදිලා නෑ.

උසස් පෙළ ඉවර වෙලා, අපි පරිගණක පංති ගොඩක විභාග වලට ගියා. යාළුවො සැට් එකෙන් ම මෙයැයිටයි මටයි විතරයි නොමිලේ ශිෂ්යත්ව හම්බවුණේ. ඉතිං අපි පරිගණක පංති ගියා. ඒ දවස් වල තමයි මෙයැයි මට අර අයියගෙන් තියෙන ඉල්ලීම ගැන කිවුවෙ. මට ඉතිං ඒ ගැන ලොකු අදහසක් තිබුණෙ නෑ. අයියත් හොඳ මනුස්සයා. ඒත් ඔයැයි කැමති නැත්තං ඒ බව කෙලිං ම කියන්ට, ඒ මනුස්සයව තවත් රිද්දන්නෙ නැතුව කියලා මං කීවෙ ඇත්තටමයි.

ගින්දරයි පුළුනුයි එකළඟ තිබුණාම වෙන දේ අපි දෙන්නටත් වුණා. ගිණි ගත්තෙ නම් නෑ. හැබැයි අපි දෙන්නට දෙන්නා නැතුව බැරි වුණා. නිතර කතා කළා. අතින් අල්ලගෙන උන්නා. එයැයිලගෙ ගෙදරත් මං ගියා. හැබැයි යාළුවෙක් විදිහට. අන්තිමේ අපි අතර සම්බන්ධතාවයක් තියෙන බව අපි පිළිගත්තා.

හැබැයි ඒ ආදරය වැඩි කල් පැවතුණේ නෑ. අපේ පවුල් පසුබිම් හැම දෙයක් ම හොඳින් ගැලපුණා වුණත්, මොකක් හරි අවුලක් තිබුණා. හැබැයි වෙන් වෙලත් අපි ආදරෙන් හිටියා. ඒක මහ විකාරයක් වගේ තමයි. අපි සැරින් සැරේ ආයෙ එකතු වෙන්න බැලුවා. ඒත් ඒක හරි ගියේ නෑ. ඒ ආදරේ අමුතුම එකක්. වෙන්ව තියෙන්නම ඕන ආදරයක්.
ඔයාවත් මං වත් වැරදි නෑ. අපි අපේ පාරවල් වල යමු.
මං අන්තිමේට කිවුවා.
ඊට පස්සෙ? ඔවු.. ඊට පස්සෙ අපි දෙන්නා විවාහ වුණා. 
ආදරය වෙනයි විවාහය වෙනයි. මං ඉස්සෙල්ලා විවාහ වුණා. එයා ඊට පස්සෙ විවාහ වුණා. දෙකම ආදර විවාහ තමයි. ආදරේ කරන්න ඕන එක්කෙනෙකුට විතරක්යෑ.. මළ විකාර.. මං එහෙම හිතුවා. එයැයිතුත් එහෙම හිතන්ට ඇති.

Monday, March 22, 2021

සමුගන්න දැන් ළඟයි..

 


මං ඉන්නෙ ළඟදීම ජීවිතෙන් සමුගන්න
කාට හරි හැකි වෙයිනෙ මගෙ අඩුව පුරවන්න
ඒ නැතත් මා නිසා නෑ මුකුත් නැතිවෙන්න
ජීවිතේ නැතුව මට හැකිය ජීවත්වෙන්න
.
ඉර හඳට ඇල්ලුවත් කාලයක් ඔට්ටු
දැං තමයි වුණේ මං හරියටම මට්ටු
හිනාවෙද්දෙන් ඉතිං ඕන ලෙස රට්ටු
කරන්නෑ තවත් නං ජීවිතය හෙට්ටු
.
බෑ තවත් දරන්නට දරුණු සරතැස මෙහෙම
මාවතේ පිය නගපු ගැඹුරු වළවල් බොහොම
හීන මානය හිතේ තිබුණ දෙන් කෝ ඔහොම
ආදරය කළ හිතින් වෛර කරනුයෙ කොහොම
.
හිතට නොදැනුණු සෙනේ පැත්තකින් තියන්නම්
ඇසට නොපෙනුණු හීන හෙමින් හෙළි කරන්නම්
කණට නො ඇසුණු ගීත ඇසෙන්නට හරින්නම්
නුඹට නිදහස් ලොවේ පියඹන්ට කියන්නම්

Tuesday, March 16, 2021

ගාලු පුරේ ගොස් ආවෙමු


 

පහුගිය අවුරුද්දෙ කොරෝනා හින්දා ගමන් බිමන් නවත්තලා දාපු පාර අවුරුද්දකට ආසන්න කාලයක් කොහේවත් යන්නෙ නැතිව ගෙදරට වෙලා උන්නු අපි දැන් මාසෙකට විතර කලින් ඉඳං පහුගිය එවුවටත් එක්ක එහෙ මෙහේ යන්න පටං ගත්තා. ඒ ගොඩාක් අය එක්ක නෙවෙයි.. තම තමන්ගෙම අය එක්ක බොහොම පරිස්සමට, රටේ නිරෝධායන ක්‍රියාවලියටත් හානියක් නොවෙන්න. 

අපි මුලින්ම ගියේ යටගල රජ මහා විහාරයට. වාහල්කඩින් ඇතුලට වාහන දාන්න එපා කියලා තිබුණු නිසා, එළියෙම වාහනේ නවත්තලා අපි ඇතුළට ගියා. එදා ඉරිදා දවසක් නිසා දහම්පාසැල පැවැත්වුණා. දහම්පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවො සහ ගුරු භවතුන් හැර පිටස්තරයින්ට උන්නෙ අපි විතරයි. 

ඇතුල් වෙන හරියෙම ලස්සන උයනක් තියෙනවා. ඉන්පස්සෙ මෑත යුගයේ ඉදි කෙරුණු ගොඩනැගිලි කිහිපයක්. පඩි 60-70ක් උඩට නැංගාම තමයි පුරාණ විහාරය හමුවෙන්නෙ. මෙහි වැඩ සිටින බෝධීන් වහන්සෙ දේවානම්පියතිස්ස රජ යුගයට අයත් ශ්‍රී මහා බෝධියේ නැගෙනහිර දිශා ශාඛාවෙන් උපන් දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ නමක් විදිහට තමයි සැලකෙන්නේ. 

ගල් ලෙනක් තුළ පිහිටුවා ඇති බුදු මැදුර තුළ 18 රියන් සැතපෙන බුදු පිළිම වහන්සේ නමක්, ලෝහමය හිටි පිළිම වහන්සේ නමක්, ඉපැරණි බිතු සිතුවම් ආදිය දක්නට ලැබෙනවා. 

එම සැතපෙන බුදු පිළිම වහන්සේ දෙවන පැරකුම්බා රජුගේ ඇමතිවරයෙකු වූ පතිරාජ විසින් ඉදිකරවන ලද්දක් බවයි පැවසෙන්නේ. 

දඹදෙනි යුගයෙන් පසුව ක්‍රමයෙන් අප්‍රකටව ගිය මෙම විහාරය නැවත සොයාගෙන තිබෙන්නේ මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ගේ කාලයේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් විසින් බව පැවසෙනවා. එම භික්ෂූන් වහන්සේ ගේ උසට සමාන උසක් ඇති ලෝහමය බුදු පිළිම වහන්සේ නමක් නිර්මාණය කළ පුවත ආරංචි වූ රජ තුමා එම පිළිම වහන්සේ ගේ නේත්‍රා වලට එබ්බවීම සඳහා නිල් මැණික් පූජා කළ බව පැවසෙනවා. කෙසේ වෙතත් සොර සතුරු උවදුරු නිසා එම නිල් මැණික් ආරක්ෂිත ස්ථානයක තැන්පත් කර ඇති බවයි පැවසෙන්නේ. මෙම පිළිම වහන්සේ පිළිබඳ සුවිශේෂී ම කරුණ වන්නේ එය ඇතුලත හිස් නොමැති සම්පූර්ණ ලෝහමය පිළිම අතුරින් උසම පිළිමය ලෙස සලකනු ලැබීමයි. 

මෙහි ඇති බිතු සිතුවම් නුවර යුගයට අයත් බවට පුරා විද්‍යාත්මකව පිළිගන්නා බව අප හට කරුණු කියා දුන් භික්ෂූන් වහන්සේ පැවසුවා. 

රූමස්සල - ජන්ගල් බීච්

ඉන් අනතුරුව අප පැමිණියේ රූමස්සලටයි. එය කුඩා කන්දක් වගේ ම සංචාරක ආකර්ශනය ඉතා ඉහළ පෙදෙසක්. එම මාර්ගයේ සංචාරක හෝටල් කිහිපයක් ම තිබෙනු දක්නට ලැබුණා. වාහන නැවැත්වීම සඳහා නැවතුම්පොළවල් කිහිපයක් ම තිබුණා. එහි අය කිරීම රු. 150/=ක්. එක් වරම වැඩියි කියා සිතුණත් එහි අප ගත කරන කාලය අනුව එය අසාධාරණ නැති බැවු පසුව වැටහුණා. 

එතනින් පහළට බැසීමට තිබුණේ තරමක් දුෂ්කර මාර්ගයක්. මුලින් ම ගිය අපේ පුතණ්ඩියා මාර්ගය බෙදෙන තැනකදී තෝරාගෙන තිබුණේ කෙටි එහෙත් දුෂ්කර වූ මාර්ගයයි. එය තරමක් වෙහෙසකර වුවත් අපූරු අත්දැකීමක්. මග දෙපස කුඩා වනරොද අතර බියර් ටින්, ෂොපින් බෑග් වැනි නොදිරන අප ද්‍රව්‍ය පිරී පැවතීමෙන් පෙනී ගියේ මෙහි පැමිණෙන්නන් (ලංකාවේ සුපුරුදු පරිදි ) නිසි පරිසර සාක්ෂරතාවයක් නැති පිරිසක් බවයි.  කලපුවක ආකාරයට වන රොදින් වට වූ මුහුද ට අප සැම ආශක්ත වුණා.  අඩු තරමේ පැය 2-3 ක් වත් අප එහි දිය නාන්නට ඇති. ක්‍රම ක්‍රමයෙන් එතැනට එන පිරිස වැඩි වන විට අප ස්නානය හමාර කොට නැවතත් ඉහළට ගමන් කළා. මෙවර අප තෝරා ගත්තේ දුෂ්කර බවින් අඩු මාර්ගය. එහි සිමෙන්ති පඩි පෙල් සකස් කර තිබුණා. 

මුහුදු දිය නා පැමිණි අපට පිරිසිදු දිය නා ගැනීමට අසල නිවෙස් වල පහසුකම් පනවා තිබුණා. එක් අයෙකුගෙන් අය කළේ රුපියල් පනහක් පමණයි. එම නිවෙස් වල කළුකුං  සතුන් කිහිප දෙනෙක් සිටිනු දක්නට ලැබුණා. 

ඉන් පසු අප ඒ අසල ම වූ ජපන් සාම චෛත්‍යය වෙත ගියා. එතැනට ගිය විට ගාල්ල නගරය හොඳින් දර්ශනය වූවා. එතැන සැලකිය යුතු වෙලාවක් ගිමන් හැරීමෙන් අනතුරුව අප රූමස්සලින් පිටත් වුණා.

තෙල්වත්ත පුරාණ තොටගමු රම්පත් රජමහා විහාරය. 

දිවා ආහාරය විහාරයට එපිටින් ඇති උද්‍යානයේ භුක්ති විඳි අපට එහි භාරකාර තුමා විශ්‍රාම ශාලාවට ගොස් ආහාර ගන්නා ලෙසත් පවසා සිටියා. එමෙන්ම පුරා වස්තු තිබෙන ස්ථානයක් නිසා එහි ආරක්ෂාවට සිටින සිවිල් ආරක්ෂක නිලධාරී මහතා තමා අපට එහි ඇති දේවල් ගැන ඉතා අගනා විස්තරයක් ඉදිරිපත් කළේ. ඒ විස්තරය සාරාංශ ගත කළොත් මෙහෙමයි.

තොටගමුවේ රාහුල නම් ශ්‍රේෂ්ඨ සාහිත්‍යධර ස්ථවිරයන් වහන්සේ මෙන්ම උන් වහන්සේ ගේ ගුරු වීදාගම මෛත්‍රී හිමියන්ගේත් රාහුල හිමිගේ සහෝදර භික්ෂූන් වහන්සේගේ ත් පහස ලැබූ මේ පිං බිම බොහොම හාස් කම් තිබෙන තැනක්.  අනංගයා හෙවත් මල්සරා ගේ ප්‍රථිමාවක් ලෝකයේ වෙනත් තැනක නැති බව පැවසෙනවා. රාහුල හිමියන් විසින් ගුරු හිමියන් සතු වූ ඖෂධයක් අධි මාත්‍රාවෙන් පානය කර මෙතැනදී සිහි නැතිව උන් බවත් රාහුල හිමියන් ගැන ගිරවෙකු ගුරු හිමියන්ට දැනුම් දුන් බවත්. ගුරු හිමියන් කිරි දෙන මවු වරුන්ගේ උපකාරයෙන් රාහුල හිමියන් ව සනීප කරගත් බවත් පැවසෙනවා. ඒ සඳහා යොදාගත් බෙහෙත් ඔරුව මෑතක් වන තුරු මෙහි තිබුණත් දැන් නම් කොහෙද කියා දන්නේ නෑ. විෂ්ණු දේව ප්‍රතිමාවේ ඇඟිල්ලක් කැඩී එයින් ලේ ආ බවත් කියවෙනවා. යකුන්ගෙන් පවා වැඩ ගෙන තිබෙන නිසා මෙහි තිබෙන බොහෝ දේ අද්භූතයි. 

අනෙක් විහාර ගෙය ශක්‍ර දෙවියන් විසින් මැවූ බව පැවසෙනවා. එම විහාර ගෙයට ඇතුළු වෙන තැන ඇති ප්‍රතිමාව සක්දෙවු රජු ගේ යැයි පැවසෙනවා. එහි ඇති සැතපෙන බුදු පිළිමයෙහි සිරස බස්නාහිර දෙසට පිහිටා තිබීම විශේෂත්වයක්. විහාර මහා දේවී ගේ සමයේ මුහුද ගොඩ ගැලූ පසු යළිත් එවැන්නක් සිදු නොවීම පිණිස මෙම පිළිම වහන්සේ මෙසේ බස්නාහිරට සිරස පිහිටන සේ නිමවා ඇති බවයි ජනප්‍රවාද වල පැවසෙන්නේ. යම් හෙයකින් මෙම පිළිමයෙහි සිරසට ඉහළින් මුහුද ගොඩ ගැලුවහොත් ඒ ලෝක විනාශය බවයි පැවසෙන්නේ. මුහුදට ඉතා ආසන්නයෙන් ඇති, උස් බිමකත් නොවූ මෙම පිං බිමට අබමල් රොණක තරම් හානියක් සුනාමියෙන් සිදු වූයේ නෑ. මෙහි කෝට්ටේ යුගයට අයත් චිත්‍ර වලට යටින් නුවර යුගයට අයත් චිත්‍ර හමු වී ඇති අතර, ඊටත් යටින් තවත් පැරණි චිත්‍ර ඇති බවට විශ්වාස කරනවා.

විහාර මළුවේ පිහිටුවා ඇති නාථ දෙවොල ද ඉතා හාස්කම් ඇති, ප්‍රාර්ථනා කරන දේ ඉටු වන තැනක්. 

රාහුල හිමියන් විසින් පරිහරණය කළ පුස්කොළ පොත් සංරක්ෂණය කොට කෞතුකාගාරයක් ද මෙහි පවතිනවා. 

මෙම විහාරස්ථානයේ නායක හිමි වරුන් තිදෙනෙකු සිටීම විශේෂත්වයක්. විහාරස්ථානයට අදාළ යම් සුවිශේෂී තීරණයක් ගැනීමේදී මේ තිදෙනාගේ ම අනුමැතිය අවශ්‍යයි..

ඔය ආකාරයට බොහෝ වටිනා කරුණු අප හට කියා දුන් සිවිල් ආරක්ෂක නිලධාරී මහතා ට පිං දී අප එදිනට නියමිත ගමන් නිම කොට අපගේ නවාතැන වූ CASA Hikka Villa වෙත පැමිණියේ දැනුමට, විනෝදය ට අමතරව හොඳ විවේකයක් ද ලබා ගැනීමේ අරමුණෙන්. 

එම ආයතනය භාරව හුන් ධම්මික මහතා අප වෙත දැක්වූ සැලකිලි ඉතා ම සතුටුදායක වූ අතර, එහි සැප පහසුකම් ද ප්‍රමාණවත් මට්ටමින් විය. පුරා පැය විස්සක් පමණ එහි ගත කරද්දී, නිදාගත් පැය වලට අමතරව පොඩ්ඩෝ වැඩිම වෙලාවක් ගත කළේ නාන තටාකයේ ය.  අප ගෙන ගිය වියළි/අමු ආහාර ද්‍රව්‍ය පිස අපට ඉතා ප්‍රණීත ආහාර වේලක් ධම්මික මහතා අපට සකසා දුන්නේ ය. 

අම්බලන්ගොඩ - ආරියපාල වෙස් මුහුණු කෞතුකාගාරය.

පසුදා දිවා ආහාරයෙන් පසු අපගේ ඥාති නිවසකට ද ගොස් අම්බලන්ගොඩ ආරියපාල වෙස් මුහුණු කෞතුකාගාරය නැරඹීමට ගියේ නැවත නිවෙස් බලා ඒමට පෙර ය.

එය ද ඉතා අපූරු අත්දැකීමක් බව කිව යුතුය. ආරියපාල ගුරුන්නාන්සේ විසින් නිර්මාණය කරන ලද වෙස් මුහුණු, කෝලම් ආදී නිර්මාණ රැසක් එහි විය. ජසයා, නොන්චි, ලෙන්චිනා, මහසෝනා ආදී නොයෙක් කෝලම් මෙන්ම නාග ගුරුලා, ගරා යකා ආදී නොයෙක් වෙස් මුහුණු ද දක්නට ලැබුණා. ජර්මන් රජයේ ආධාරයක් ලෙස එම ස්ථානය ඔවුනට ලැබී ඇති අතර, වත්මනෙහි ආරියපාල ගුරුන්නාන්සේ ගේ පුතුන් විසින් එම ස්ථානය පවත්වාගෙන යනවා. අගනා පැහැදිලි කිරීමෙන් පසු පුංචි ආධාරයක් කරන්නත් අපි උත්සුක වුණේ එම සේවය මතු පරපුර වෙත අපගේ සංස්කෘතික නිර්මාණ ගෙන යාම පිණිස ඉවහල් වන නිසයි. 

ඉහළ මාලයේ ඇති වෙළඳ සලෙහි ඉතා ඉහළ මිළ ගනන් වලට විකිණීමට ඇති වෙස් මුහුණු ඇතුළු දේශීය නිශ්පාදන දක්නට ලැබෙන අතර දේශීය සංචාරකයින් සඳහා ඔවුන් 20% ක වට්ටමක් ලබා දෙනවා. මිළ තරමක් ඉහළ වුවත්, ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවාගේ දස්කම් විස්කම් ලොව අභිමුවෙහි පෙන්වීමට දරණ වෑයම ට උදවු වීම පිණිස පුංචි සිහිවටන කිහිපයක් අපිත් මිළ දී ගත්තා.

කළු වඩු මුල්ල පන්සල නම් අලංකාර පන්සලක් ඇති බවත් එය නැරඹීම ඉතා ප්‍රයෝජනවත් විය හැකි බවත් කිහිප දෙනෙකු ම කීවත්, පැවති තෙහෙට්ටු ගතිය සහ ඊළඟ දිනයේ රාජකාරී සඳහා පිටත් විය යුතු නිසා එතැනින් අපගේ සංචාරය නිම කර නිවෙස් බලා යාමට පිටත් වුණා. 

නැරඹූ තැන් ප්‍රමාණය ඉතා ස්වල්පයක් වුවත්, ඉතා වින්දනීය චාරිකාවක් එසේ නිමාවට පත් වුණා.