Monday, December 31, 2018

එළැඹෙන 2019 සුබ නව වසරක් වේවා!

2018 න් 2019 ට යන්නෙ.. වෙනදට වඩා වෙනස් හැඟීම් සමුදායක් එක්ක. පවුලෙ පළමු සාමාජිකයා අඩුයි..ලොකු දෝණියෙකුත් ඉන්නවා. ණය කන්දකුත් තියෙනවා.. මේ හැම අලුත් අත්දැකීමකුත් එක්ක පටං ගන්න අමුතු අවුරුද්දක් 2019 කියන්නෙ. මට වගේ ම ඔයාලා හැමෝටමත්.. අභියෝග ගොඩක් ඇති. ඒ සියල්ලම 2019 දි ජයගන්න  ලැබේවා! කියලා මං ප්‍රාර්ථනා කරනවා..

අපි ජීවිතය හොයාගෙන දුවනවා..විටෙක හැල්මෙ දුවනවා.. විටෙක හුඟක් වේගෙන් දුවනවා.. සොබා දහම අපට අමතක වෙනවා.. මිනිස්කම කියන්නෙ සොබා දහම අපට දුන්නු තෑග්ගක්. මිනිස්කම කියන තනි වචනෙ ඇතුළෙ හුඟක් දේ තියෙනවා.. අතින්.. නෙතින් ස්පර්ෂ කරන හුඟක් දේ හදවතින් ස්පර්ෂ කරන්න අපට අමතක වෙනවා.

පහුගිය සතියෙ අපි විනෝද චාරිකාවක් ගියා.. අපි වැඩිය ඇවිද්දෙත් නෑ.. ඒත්..එද්දි හරි මහන්සියි.. එහෙම වෙන්න පුළුවන්ද? මට හිතා ගන්න බෑ.. ඒක මොන විදිහෙ විනෝද සවාරියක් ද කියලා.. අපි විනෝදය කියලා අල්ලාගන්නේ එකක්.. අපේ දෙමවුපියො තව එකක්.. අපේ ළමයි තව එකක්. ඒත් අපි කවුරුවත් ජීවිතය අල්ලගත්තද? නෑ.. අපි හැමෝම එක තැන දුවනවා.. මිනිස්කම අලුත් කරන්න.. සොබා දහම ගැඹුරින් ඇසුරු කරන්න.. අපට පුළුවන් වුණ දාට .. සමහර විට ආයෙත් ජීවිතය අපට හමුවෙයි..
2019 දි වත්.. අපේ ජීවිත අපට හමුවේවා..

කුරුළු කිචි බිචි උදේ
සවන් වැකුණේ නොමැත
හිරු නැඟෙන බැසෙන රුව
දෙනෙත් දුටුවේ නොමැත
සඳ කැණින් උදම් වී
සිත පිබිදුනේ නොමැත
මා සොයන ජීවිතය 
මට හමුවුණේ නොමැත

අවදි වී අරුණෝදෙ
දරුවන් ද ඇහැරවා
ජීවිකා පිණිස ගොස්
මනස එහෙ මෙහෙ යවා
පුරුද්දට මෙන් ගතත්
කුටුම්භය වෙත එවා
අහම්බෙනි දකින්නේ
කෙසඟ නිදි දෙවු පවා

Friday, November 2, 2018

බැරිදා විග්‍රහය! මහින්ද අගමැති වීමේ හොඳ නරක

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති කමින් නෙරපා දමා මෛත්‍රී විසින් හිටපු ජනපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත් කර ගැනීම පසුගිය සිකුරාදා හවස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කළ අතර රනිල් පාර්ශවය හා අනෙකුත් බොහෝ පාර්ශවයන් එම පත් කිරීම ව්‍යවස්ථා විරෝධී පත් කිරීමක් බවත්.. ජනපතිවරයාට අගමැති ඉවත් කිරීමේ බලයක් නොමැති බවත් පෙන්වා දෙති. ඒ අතර මහින්ද පාර්ශවය පාර්ලිමේන්තුව නොකැඳවා ම ඇමති මණ්ඩලයක් ද  පිහිටුවාගෙන ඉදිරියට ඇදෙයි.. .. මේ එයින් ලැබෙන/ලැබිය හැකි පිළිබඳ මගේ අවබෝධය අකුරුය.. (එම පත් කිරීමේ නීත්‍යානුකූල බව හෝ ආචාර ධර්ම උල්ලංඝනය ගැන හෝ කතා කිරීම මෙහි අරමුණ නොවේ..)

දෛනික කටයුතු වලට බාධා..
පුද්ගලික අංශයේ කටයුතු බොහෝ දුරට වෙනදා සේ ම කෙරීගෙන ගිය ද, රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන බොහොමයක, අමාත්‍යංශ ලේඛම් වරුන් හෝ අදාළ ප්‍රමුඛ නිලධාරීන් මාරුවීම හා මාරු වෙතැයි යන උපකල්පනය නිසා බොහෝ වැඩ කටයුතු මේ වන විටත් අඩාල වී ඇතැයි සිතමි. එම ආයතන හා සම්බන්ධ විවිධ ආකාරයේ ව්‍යාපෘති ද මේ වන විට ඇණ හිට ඇතුවාට සැක නැත. විශේෂයෙන් නැවතත් රනිල් අගමැති වී සියල්ල කණපිට ගසාවි දැයි යන අවිනිශ්චිත භාවය මේ වන විට සෑම තැනකම වැඩ කටයුතු අඩාල වීමට බෙහෙවින් බලපා ඇත. මෙය තාවකාලික වුවත්.. පාර්ලිමේන්තුව පවත්වා.. දෙකෙන් එකක් බේරා නොගෙන කල් මැරීම රටට සිදු කරන පාඩුව සුළු පටු නොවේ..

උද්ඝෝෂණ කරුවන්ගේ කරදර ඉවරයි..
පහුගිය කාලේ හයියෙන් අධෝවාතයක් පිට වුණත් උද්ඝෝෂණ කරන්නට පෙළැඹී සිටි අය දැන් පාඩුවේ තමන්ගේ වැඩක් බලා ගනු ඇත. එය පාඩුවේ වැඩ කරන මිනිසුන්ට කරන ලොකු උදවුවකි..

ජනතාවටත් සංතෝෂම්..
මන්ත්‍රී වරුන් කෝටි ගණන් වලට වෙන්දේසි වන මේ සමයේ.. ජනතාවට ද පුංචි පුංචි සංතෝෂම් ලැබෙනු ඇත. පෙට්‍රල් රු. 10 කින් අඩුවීම, පරිප්පු, සීනි, තිරිඟු පිටි මිල අඩු වීම, විදුලි සංදේශ බදු අඩු වීම ඒ අතර කැපී පෙනෙන.. . මේ වන විටත් ලැබී ඇති සංතෝෂම් ය. 

ජාත්‍යන්තර පීඩනය
 2015 ට පෙර.. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ කුප්‍රකටව සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය ඉතා දුර්වලව පවතින රටක් ලෙස ය. එහෙත්.. 2015 න් පසුව.. රජය.. බොහෝ අංශ වලින් ඉතා සාධනීය මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කළ නිසා.. එම අංශයෙන් රට ගැන තිබූ අප්‍රසාදය බොහෝ සෙයින් දුරු විය. එහෙත්... ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් මහින්ද මහතා ව අගමැති කළ බවට වත්මනෙහි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනීසිටින ජාත්‍යන්තරයේ බහුතරයක් රටවල් පිළිගන්නා තත්වය තුළ.. ඉදිරියේ දී වත්.. ප්‍රජාතන්ත්‍රවාදී ව නොහැසිරුණහොත්.. පෙරටත් වඩා ප්‍රබල ලෙස... ජාත්‍යන්තරය ක්‍රියාත්මක වනු ඇතැයි අනුමාන කළ හැක. 

රට හදනවා නම්..
මහින්ද - මෛත්‍රී හවුල ට රට හදනවා නම්.. මේ ද එක් හොඳ අවස්ථාවක් බව කිව යුතුය.. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ.. පැවති රජය ගෙන ආ.. ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත් වල වෙනසක් නොකොට.. ඔවුන්ගේ තිබූ දුර්වලතා වන.. හොරකම්, දූෂණ හා වංචා දුරු කිරීමත්, අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීමත් ය.

ප.ලි.
රටේ පවතින තත්වය හා දේශපාලකයින්ගේ ජරා ජීර්ණ ස්වභාවයට අනුව.. ආණ්ඩු මාරු වූවත් නැතත්.. රටට හා ජනතාවට යහපතක් නම් සිදු නොවන බැවු පැහැදිලි ය. 

Thursday, October 25, 2018

බැරිදා විග්‍රහය!Uber - ත්‍රී රෝද වලිය

Uber - ත්‍රී රෝද වලිය නැගලා යද්දී කට පියං ඉන්න එක .. මට ටිකක් අමාරු වැඩක් නිසා මෙසේ ලියමි. පැත්තක ඉඳං ලියන එක අසාධාරණ වුවත්.. මැද්දක ඉඳං ලියන්ට හිත් නොදෙන්නේ ත්‍රි රෝද ත් එක්ක මගේ ඇරියස් එකක් තියෙන නිසා ය.

එකී ඇරියස් එකට හේතු කිහිපයකි. කිලෝ මීටරයකට රු. 10ක් තරම් වියදමක් යද්දී.. ඒ වගේ පස් ගුණයක් හෝ ඊටත් වඩා අය කරන එක එක් හේතුවකි.. පාරේ යද්දී වැඩිපුරම මාර්ග නීති කඩන්නේ ත්‍රී රෝද කරුවන් වීම තවත් එකකි. රටේ අපරාධ වලට ත්‍රී රෝද කරුවන් බොහෝ සෙයින් දායක වන නමුත්.. එය එතරම් ලොකු හේතුවක් නොවේ.. පාරට බැස්සහම වාහනයක් පාර්ක් කරන්ට හදන ඕනම තැනක ත්‍රී රෝද රථ ගාලක් ය.. එය ද ලොකු ම හේතුවකි.

තත්වය එසේ වුවත්.. ත්‍රි රෝද රථ රියැදුරෝ.. යම් යම් අවස්ථා වලදී සමාජයට විවිධ සේවා සපයති. අනතුරක් වූ විටෙක.. මොවුන් බොක්කෙන්ම ඉදිරිපත් වෙති.. උදවු කරති.. පාරවල් හොයාගෙන යන විටදී ගූගල් නංගිටත් වඩා විශ්වාසදායී මාර්ගෝපදේශකයා ත්‍රී වීල් මල්ලි ය.

Uber, PickMe, Sonit වැනි Cab Service ආයතන ගැන මගේ පැහැදීම හොඳ ය. ත්‍රී රෝද රථ මිළ ට ආසන්න හෝ ඊටත් අඩු මිළකට කාර් එකක් ලබා දෙන මේ සේවාව අගය කළ යුතු ම ය. මේ අතර Uber සුවිශේෂී වන්නේ.. මිළ බොහෝ සෙයින් අඩු වීමත්.. විවිධ වෘත්තීන්හී නියැලෙන්නන්ට තමන්ගේ ගමන් බිමන් අතර තුර කීයක් හෝ හොයාගන්නට මඟ පාදා දීමත් නිසා ය. එයට අමතරව නවීන තාක්ෂණය ඔස්සේ.. වාහනය තිබෙන තැන සොයාගැනීමේ පහසුව ද Uber, PickMe වැනි ආයතන මඟින් ලබා දී ඇත..

මගේ මතයට අනුව නම්.. වෘත්තීය පූර්ණ කාලීන ත්‍රී රෝද රථ ධාවකයින්ගේ සේවය.. ඉදිරියේදී ලංකාවට අවැසි නොවනු ඇත.. ඔවුන් ද වෙනත් වෘත්තියක නියැලෙන අතර තුර, මෙම වෘත්තියෙහි යෙදීම යහපත් ය. අනෙක් අතට .. ඔවුන් මේ අයකරන අසාධාරණ මුදල වෙනුවට.. සාධාරණ මුදලක් අය කරන්නේ නම්.. ඔවුන්ගේ රැකියාව අවදානමකට ලක් වන්නේ ද නැත.

වඩා හොඳ සේවය සමඟ තරඟකාරීව ගැටෙනු නොහැකි විට.. අයථා ලෙස ඔවුන්ව පන්නා දැමීමට උත්සාහ කිරීම ම ඔවුන්ගේ ඇති මුග්ධ බව ලොවට කියා පාන්නකි.. Uber වැනි ආයතන වැඩි වැඩියෙන් බිහිවේවා යන්න මගේ පැතුමයි..

Tuesday, October 23, 2018

සුසන්තිකා කුහක ද?

සුසන්තිකා ජයසිංහ.. එන්නට පෙර.. ආසියාවේ කළු වෙළඹ.. දමයන්ති දර්ශා ය. එහෙත්.. සුසන්තිකා ගේ ආගමනයෙන්.. දර්ශාට පසු බසින්නට සිදු විය.. දර්ශා.. සුසන්තිකා ලෙසින් කෑගෑවේ නැත. ඔලිම්පික් පදක්කමක් ගෙනා සුසන්තිකා.. වීරවරියක් විය.. ආසියාවේ කළු වෙළඹ සුසන්තිකා විය.. සුසන්තිකා.. තමන්ට ලැබුණු දෑ මදි බවට හඬ නඟන්නට විය.. සුසන්තිකා දුෂ්කරත්වයේ ගිරි දුර්ගය තරණය කළ.. වීර කාන්තාවක් බවට තර්කයක් නැත.. හඬ නඟා බොහෝ දෑ ඇය ලබා ගත්තාය.. ඒ නිසා ම ක්ෂේත්‍රයේ අනෙක් අයට ද පෙරට වඩා සැලකිලි ලැබෙන්නට ඇතැයි ද මම සිතමි..

කාලය ගෙවී ගොස් පාරමී - පාසැල් දියණිය.. යොවුන් ඔලිම්පික් පදක්කමක් ගෙන ආවාය.. ඇයගේ කතාව ද සුසන්තිකාගේ මෙන් ම දුක්බර එකකි.. ඇය ට සුසන්තිකාට පාසැල් කාලයේ නොලැබුණු වරප්‍රසාද ලැබුණු බවට සැකයක් නැත. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් .. ඒ කාලේ කරපු දේවල් වලට වඩා දෙයක් කරන්නට ද ඇත. එහෙත්.. පාරමීට ද සුසන්තිකාට මෙන්ම ලැබෙන/ලැබුණ ටික මදි බව ඇය කීවාය..

මෙයට උත්තර බඳින්නේ සුසන්තිකා වීම දෛවයේ සරදමක් බඳු ය... සුසන්තිකා.. ප්‍රශ්නය දකින ආකාර කිහිපයකි.. පළමුවැන්න.. ඇය තමාගේ පාසැල් කාලයේ තමාට ලැබුණු දෑ.. සමග පාරමී ට ලැබෙන දෑ සංසංදනය කරයි..දෙවැනුව .. ඇය තමාගේ පදක්කම හා පාරමීගේ පදක්කම සංසංදනය කරයි.. තෙවැනුව.. ඇය ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරිනියක ලෙස බලයි.. මේ අවස්ථා තුනේදී ම ඇයට පාරමී .. පෙනෙන්නේ කුඩාවට වීම අරුමයක් නොවේ.. මේ හැර.. මවක, මානව දයාව පිරි කාන්තාවක ලෙස ඇය පාරමී ව දුටුවා නම්.. තත්වය වෙනස් වන්නට තිබුණි.. එහෙත් සුසන්තිකා යනු සුසන්තිකා ය.. ඇය රේස් දුවන/දුවපු කෙනෙකි..

පාරමී තව යා යුතු දුර බොහෝ ය. මේ පදක්කමට වඩා වටින්නේ .. ඇය ගැන සැම දෙනා ගේ අවධානය යොමු වීමය.. සුසන්තිකා ගිය දුරට වැඩි දුරක් දිවීමට ඇයට ඉඩ ඇත.. අවශ්‍ය කැපවීම හා ධෛර්යයි.. ඒ දෙකත් සුසන්තිකාගෙන් ම උගෙන.. හැසිරීම.. දර්ශාගෙන්, ශ්‍රියාණි කුලවංශගෙන් එහෙම ඉගෙන ගන්නේ නම්.. පාරමී ඔබ රටට සම්පතක් වනු ඇත...

Friday, August 31, 2018

බැරිදා විග්‍රහය! ලංකාවේ දේශපාලනය

අද වන විට බරපතළ ලෙස සෝදාපාළුවට ලක්ව ඇතැයි සැලකෙන.. අතිශය ප්‍රෝඩාකාරී කේෂේත්‍රයක් ලෙස ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය බැලූ බැල්මට පෙනේ. මුහුණුපොතට ගොඩ වූ පසු වැඩිපුරම දක්නට ලැබෙන්නේ තම තමන්ගේ පිළිමලුන්ට දෝෂාරෝපණය කරන එක්තරා දේශපාලක පිරිසක් සරණ ගිය අයගේ සටහන් හෝ ඡායාරූප ය. ඉඳ හිට සමහරු, මෙවැනි පාදඩ දේශපාලකයන් පත් කළ ජනතාවට ද දොස් පවරති.  
ජනතාව යනු හිතා මතා.. 58 ලක්ෂයක් එයාට දෙන්ට.. 62ලක්ෂයක් මෙයාට දෙමු කියා කතාවෙළා ඡන්දෙ දාන එවුන් ටිකක් නොවන බව මුලින් ම පැවසිය යුතුය.. 58 ලක්ෂය ඇතුළේ .. අඩු තරමේ කැපුවත් මහින්ද ජාතියේ උන්දැලා ලක්ෂ 35 ක් වත් ඉන්නා බවට සැක නැත. 62 ඇතුළේ .. කැපුවත් කොළ කාරයෝ ලක්ෂ 25ක් වත් ඉන්නවා සුවර් ය. සතුටට කරුණ ඉස්සරට වඩා උත්තර මාරු කරලා බලන්ට කැමති උදවිය ටිකක් වැඩි එක ය. ඒ ගොල්ලන්ට කියන්නේ පාවෙන ඡන්ද දායකයෝ කියාය. හැබැයි ඒක පට්ට වැරදි ය. උන් අර ඉස්සෙල්ලා කියපු වහල්ලු දෙවර්ගය මෙන් හීන ලෝක වල පාවි පාවි ඉන්නේ නැත.  ප්‍රායෝගිකව යමක් කරන්නට පොඩි හෝ උත්සාහයක් උන් ගන්න එක ගැන අප ගරු කළ යුතුය. හැබැයි ඔය අතර පාවෙන තව සැට් එකක් සිටී.. ඒ ජවිපෙ වැනි සුළුතර පක්ෂ වල අනුගාමිකයෝය. ඔවුන් විශේෂයෙන්ම පාවෙන්නේ ජනාධිපතිවරණයේ දී ය. ඒ ඔවුන්ට පාවෙනවා හැර වෙනත් විකල්ප නැති නිසා ය. නරකම කරුණ නම්..  මන්ත්‍රී වරු ලෙස තක්කඩියන් තේරීමේ වරද ජනතාව පිට පැටවීමයි.. එහෙත් ඇත්තෙන්ම එයට වගකිව යුත්තේ පක්ෂ නායකත්වයයි.. තක්කඩියන් පිරිසක් අතුරින් තෝරා ගැනීම ජනතාවට භාර කළ පසු.. ජනතාව අනිවාර්යයෙන් ම තෝරනුයේ තක්කඩින් පිරිසකි.. මන්ද යත් තක්කඩින් නොවන පිරිස් .. තෝරන ලැයිස්තු වල නොමැති නිසාය. සාපේක්ෂව හොඳ ලැයිස්තුව නිතරඟයෙන් ජවිපෙ වුව.. 71 හා 89 දී ජනතාව ඔවුන් කෙරෙහි ඇති කරගත් පිළිකුල හා අකැමැත්ත තවමත් පවතින නිසා.. ඔවුන්ගේ ලැයිස්තුවට තවමත් ලැබෙන්නේ කුඩම්මාගේ සැලැකිළි ය. 

ඔක්කොම කුණු බෙංගාල බොක්කටය කියා දේශපාලකයාට පස් පඩංගුවේ බණින ජනතාව ගේ කිල්ලෝට වල ඇති හුණු ප්‍රමාණය දේශපාලකයාට දෙවැනි වෙතැයි මට නම් නොසිතේ.. ජනතාව සුචරිතවාදී නොවනතාක් දේශපාලකයා සුචරිතවාදී නොවන අතර.. එහි විලෝමය ද සත්‍ය වේ. අනෙක් අතට වත්මනෙහි ආගමික නායකවරුන්ගේ දුර්වලතා හා වැරදි හැසිරීම් නිසා ද ජනතාව ගුණ දහමින් පිරිහී ඇත. 

පසෙකින් දේශපාලකයා ද, පසෙකින් ආගමික දේශකයා ද, පසෙකින් පාදඩ දොස්තරලා ද, පසෙකින් බාල ටෙලි ද, පසෙකින් අඳබාල නිවේදකයින් ද,  පසෙකින් තිරිසන් ගුරුවරුන් ද, පසෙකින් රැඩිකල් ය කියන ලේඛකයින්, පදරචකයින්, ගායකයින්, සිනමාවේදීන් ඇතුළු කලාකරුවන් ද, පසෙකින් ඉහළ තනතුරු හොබවන නිලදරුවන් ද ඇතුළු මේ සමාජය ම මේ සමාජය විනාශ කරමින් සිටී..

හරියට වලිගෙ පැත්තෙන් කාගෙන එන සර්පයා වගේ ය. 
ඉතින් අපට විකල්ප නැත්තේ ය. ඇත්තේ නම් ඒ මොත්තේ ය. මේ නම් සත්තේ ය.. කූඩුවත් අරං.. අප පියා හැඹිය යුත්තේය..

Wednesday, August 15, 2018

පඬුපුල් ආසනේ..

උණුවෙනවා උණුවෙනවා ඉවරයක් නෑ කියලා ගලෝලා පැත්තකට විසි කරලා තිබුණ පඬුපුල් ආසනේ.. ළඟපාත තිබුණ කුෂන් කඩේකින් අලුතින් කුෂන් කරවගෙන කාරිය සක්කර දෙයියෝ ආපහු සිය සුපුරුදු වැඩ පිළිවෙල පටං ගන්ටෝනි කියලා හිතුවෙ.. පහුගිය කාලෙ තමන්ගෙන් ඉටු නොවුණු රාජකාරි ආයෙත් පටං ගන්ට ගැම්මක් හිතට ආපු නිසයි...

හයිකරලා ටික වෙලාවක් ගියත්.. උණු නොවුනෙ.. මේක හරියට වැඩ කරන්නෙ නැද්ද කියලා දෙයියන්ට හිතුණු නිසා එයා වහාම එයාගෙ තාක්ෂණික නිලධාරියාට කතා කළා.. කාලෙකින් පඬුපුල් ආසනයක් එක්ක හැප්පෙන නිසා තාක්ෂණික නිලධාරියා මේ දවස් වල පඬුපුල් ආසනේ අත්පොත කියවමිනුයි උන්නෙ.. දෙයියන්ගෙන් කැඳවීමක් ආවම.. හීන්දාඩිය දැම්ම ටෙකා පස්වාන්දහසකට සමාව අවසරයි මයෙ දෙයියො.. මොකද්ද ප්‍රශ්නෙ කියාගෙන දෙයියො ළඟට ගියා.. නෑ මේ පඬුපුල් ආසනේ වැඩ කරන්නෙ නැද්ද කොහෙද පොඩ්ඩක් බලපන්කො.. සක්කර දෙයියො ආමන්ත්‍රණය කළ සුහදශීලී ස්වභාවය නිසා ටෙකා ගෙ බය පොඩ්ඩක් අඩුවුණා.. මූලික කාරණා පරීක්ෂා කරපු ටෙකා මේකෙ කිසිම අඩුවක් දැක්කෙ නැති හින්දා ඒ බව සක්කරයට කිවුවා..

ඔය අතරෙ.. සභාව මැද්දෙන් ඇවිත් පඬුපුල් ආසනයෙ.. ලොක්කා වගේ වාඩි වෙන ගමන් "අප්පට සිරි අලුත් පුටුවක් අරං තියෙන්නෙ" කියලා මොර දුන්නෙ වෙන කවුරුවත් නෙවෙයි වයිමා..

තාත්තටත් ඉතිං මං මොනවා හරි ඉල්ලුවොත් මහා භාණ්ඩාගාරෙ ප්‍රස්න.. මං මේ කසි කබල් ෆෝන් කට්ටක් එක්ක විඳින වදේ.. අලුත් එකක් අරන් දුන්නෙ නෑ නෙ. එෆ් බී ගිය කාලයක් මතක නෑ..මේ විදියට අඳෝනාව කියං යද්දි.. ටෙකා ට හෙණම අවුල්.. වෙන මොකවත් නොවෙයි .. මෙච්චර දුකට පත් වෙච්ච එකෙක් ළඟ පාතම ඉඳලත් මේ ඉලවුව වැඩ නොකරන එකට.. බැහැපිය පඩත්තලයා ඕකෙන් කියමින් ඉදිරියට පැන්න සක්කරයා.. දුන්න පයිං පාර වැදුණේත්.. පඬුපුල් ආසනේට..  යකෝ පෘතුවියට ගිහිං ෆෝන් එකක් අරං එනකොට..ඒවා අවුටොප් පැසන් වෙලා.. කියාගෙන ආපහු පඬුපුල් ආසනේ වාඩි උනා..

මෙන්න රත්වෙනෝ.. මෙන්න රත්වෙනෝ... කියාගෙන සංතෝෂෙන් උඩ පැන්න සක්කර දෙයියො.. බැලුවා මොන පැත්තට ද ප්‍රශ්නෙ යොමු වෙලා තියෙන්නෙ කියලා.. හත්තිලවුවෙ.. ප්‍රංශෙට..
මොකද්ද කියලා බැලුවම.. ප්‍රංශෙ පාරකට තමන්ගෙ පුතා බීපු කිරි පැකට් එකක් විසිකරනවා දැකපු වයසක අම්මා කෙනෙක්ට පැසර් නැගලා.. සක්කරයා ටක් ගාලා පොඩි දෙයියෙක්ව පිටත් කරලා.. කිරි පැකට් එක ආපහු අර පුතා ගෙ අතටම දුන්නම.. දීලා දඩ කොලයක් දුන්නම.. ටක් ගාලා ආසනේ නිවුණා.. ආයෙත් ඉතිං ෆුල් කූල්..
ටෙකෝ .. මොකෑ බං.. මේක මෙච්චර පුංචි ප්‍රශ්න වලටත් රත් වෙන්නෙ.. ? සක්කරයටත් තියෙන ප්‍රශ්න..
දේවයන් වහන්ස.. ඔය පොලිතීන් අප ද්‍රව්‍ය පරිසරයට මුදාහරින එක දැං බරපතල අපරාධයක්.. ඒකනෙ ඕක රත්වෙන්නෙ.. හප්පට .. එතකොට අම්මට පැසර් වැඩි වුණු එකට නෙවී ද බං?
ඉතිං කොලුවො.. ඔය පොලිතින් පරිසරයට මුදා හරින එක නම්.. ලෝකෙ පුරාම දරුණුවට සිද්ධ වෙනවනෙ... එහෙමනම් ඒවට පත්තු නොවෙන්නෙ ඇයි? පොඩ්ඩක් බලපන් ආයෙමත් සිස්ටම් අවුලක්වත්ද කියලා?
හරිනෙ.. මේකෙ ඩිටෙක්ටිං ස්විච් එක දාලා තියෙන්නෙ ප්‍රංශෙ ට නෙ.. 
ඒක තමයි.. දාපං ඕක සිලෝන් එකට..
සුවර් ද දේවයන් වහන්ස..?
ඇයි උඹ එහෙම අහන්නෙ?
නෑ..මේකෙ සෙන්සර් එක ආයෙ යයිද?

පහුගිය කාලෙ සිලෝන් ඒරියා එකේ දුක් ගැනැවිලි වලට රත් වෙලා වැඩි වුණු පාර තමයි ඔය පුටුව අතෑරලා දාලා තියෙන්නෙ.. ඒත් ඉතිං.. දැං කොටි ප්‍රශ්නත් ඉවර නිසා.. යහපාලනයකුත් තියෙන නිසා.. තමයි .. සක්කරයාට ආයෙත් ආසාවක් ආවෙ.. පුටුවෙ වාඩි වෙන්න.. සිලෝන් කියලා ස්විච් එක මාරු කරපු ගමන්.. පුටුව රත් වුණා රත්විල්ලක්.. සක්කරයා උඩ විසික්කා වෙන්න..

හප්පට.. පුටු කේස් එකක්.. බස්නාහිර පළාත් සභාවෙන් පඬුපුල් ආසන වගයක් ඕඩර් කරලා කියන්නෙ.. සක්කරයා ටක් ගාලා පොඩි දෙයියෙක්ව යැවුවා.. සරල ජනපති ගාවට.. පත්තරේකුත් අරගෙන.. වැඩේ ශේප්..
ඒත් පුටුව රත් වෙලා..
ඒ පාර.. කෝච්චි ඉස්ටැයික්..  හරි හරි.. ඒකත් අර පත්තරේ ම තිබිලා.. වැඩේ ශේප්..
තාම පුටුව රස්නෙයිනෙ..
මොනාද බං මේ ලිස්ට් එකක් එන්නෙ..?
සැප වාහන, මන්ත්‍රී දීමනා, කැලෑ වැනැසීම්, බැඳුම්කර මගඩිය, දොස්තර වර්ජන බ්ලා.. බ්ලා.. බ්ලා..
දාපං.. ආයෙත් ස්විච් එක ප්‍රංශෙ ට..

Thursday, July 26, 2018

පුළුවන්නම් බැණපල්ලා

            
ආදර කකුළුවනි මේ ටිකඅහපල්ලා
යා හැකි දුරක් ඇද නැතිවම පලයල්ලා
ආරය වෙනස් විය හැකි බවපවසල්ලා
තේරුණෙ නැතොත් කට වහගෙනහිටපල්ලා
  
රස කොට දෙසුව බණ පදයක්අහපල්ලා
අහලා බණේ දෙකණින් පිටකරපල්ලා
බලපිය රටට යන කල එයරැකපල්ලා
රජෙකුට යටහත්ව සදහටඉඳපල්ලා
  
මිටි තැන මුව හමක් ගෙන තඩිබාපල්ලා
උස් තැන් ළඟ දි මුව ගල් වලඋලපල්ලා
කපුවා යවන පඩ සුවඳයි සිතපල්ලා
දෙයියන් බුදුන් සිහිකොට දැන්දුවපල්ලා
  

Thursday, June 14, 2018

අප්පච්චි..


මීට අවුරුදු 38කට විතර ඉස්සර දවසක මට හොඳටම තැලුවලු.. ඒ මං නැකතට අකුරු කියෙවුවෙ නෑ කියලා.. මට ඒක මතක නෑ.. ඒත් ඊට පැය ගානකට පස්සෙ ආදරෙන් කතාකරපු ලොකු බාප්පත් එක්ක අකුරු කියන්න කැමැත්ත පළ කළා මතකයි.. ඒක රාහු කාලෙ ලු.. කොහොම වුණත්.. අප්පච්චි ඔය තරම් නිච්චියටම නැකැත් සෑස්තරේ වත් දෙයියන්වත් විශ්වාස කරපු කෙනෙක් නෙවේ ලු ඉස්සර.. ඒත් දරුවන් ගෙ දේකදි එහෙමවත් අවදානමක් ගන්න අප්පච්චි අකැමති වෙන්නැති..
මං උපන් ගෙයි දඟ මල්ල වෙද්දි අක්කා සුවච කීකරු දියණිය වුණු නිසා.. අප්පච්චි අක්කට වැඩියෙන් ආදරෙයි වගෙයි මට දැනුණෙ.. අප්පච්චි මට වැඩි වැඩියෙන් තරවටු කරද්දි.. මං වැඩි වැඩියෙන් දරදඬු වුණා... අප්පච්චි කවදාවත් මගේ ලෝකෙ වීරයෙක් වුණේ නෑ.. මට අවුරුදු 25ක් විතර වෙනකම්.. කොටින් ම.. අප්පච්චි දැඩි ලෙස අවංක වීම පවා මං දැක්කෙ.. දුර්වලතාවයක් විදිහට.. ඒත් යම් අවස්ථාවක.. මට අප්පච්චිගෙ හොඳ ගතිගුණ පෙනෙන්න ගන්නවා..
අවංක කම වගේ ම වෙලාවට වැඩ කිරීම, කවි කම වගේ හුඟාක් ගතිගුණ මට නිසඟයෙන් හිමි වෙලා තියෙන්නෙ අප්පච්චිගෙන් කියලා මට දැනුණ දා අප්පච්චි මගේ ලෝකෙ වීරයෙක් වෙනවා.. මං පුංචි අනතුරකට මුහුණ පෑ වෙලාවෙ වගේ ම අප්පච්චි ඊට ටිකක් වැඩි අනතුරකට මුහුණ පෑ වෙලාවෙ.. අප්පච්චි මටත් .. මං අප්පච්චිටත් කොයි තරම් ආදරෙයි ද කියලා මට දැනෙන්න ගන්නවා..
අක්කා හෝ මං කියා වෙනසක් නැතිව .. අපි දෙන්නට ම අප්පච්චි එක වගේ තමන්ට කරන්න පුළුවන් හැම දෙයක්ම කරද්දි මට හිතෙනවා අපරාදෙ පොඩි කාලෙ අප්පච්චි ගැන එහෙම හිතුවෙ කියලා.. ඒත්.. එතැන් සිට වසර ගනණාවක් ගතවෙද්දි වුණත්.. අප්පච්චි මටත් මං අප්පච්චිටත් යුතුකම් ඉටු කළා මිස.. අපි අතර අන්‍යෝන්‍ය අවබෝධයක් තිබුණේ ම නැති තරම්.. ඒ වගේ ම මගේ යටිහිත ඒ වන තුරුත් හිටියේ අප්පච්චිගේ උපදෙස් එසැණින් ප්‍රතික්ෂේප කරන තරම් උඩඟුවෙන්.. ඒක ඇඟටම කාවැදිලා තිබුණා..මට තනියෙම තීරණ ගන්න පුළුවං කියන අධි මානය මට තිබුණා වගේ ම.. මට තනියෙම තීරණ ගන්ට බෑ කියලා අප්පච්චි හිතාන උන්නා..
පහුගිය වසර 8 ක කාලය තුළ අප්පච්චිගේ සෞඛ්‍ය තත්වය බලා ඉඳිද්දී පිරිහුණා.. අප්පච්චි තනිවම ගමන් බිමන් යෑම නතර වුණා.. ඉඩම පුරා ඇවිදීම නතර වුණා.. ගේ ඇතුළේ තනියෙම ගමන් කිරීමත් අඩු වුණා..
මගේ දරුවන් ලොකු වුණා.. සමාජය මාව ගෘහ මූලිකයා විදිහට සලකන්න ගත්තා.. මගේ යාළුවො ඇවිත් කතා කළේ මාත් එක්ක..  අප්පච්චිත් එක්ක කතා කළත් වච්නයයි දෙකයි.. අපි වුණත් අප්පච්චිත් එක්ක සතුටු සාමීචියට ගියේ අඩුවෙන්.. අපේ අවිවේකය වගේ ම තවත් පුංචි පුංචි හේතු තිබුණා..
අප්පච්චි හැම කෙනාත් එක්කම ඉතා කුළුපගව කතා කරපු.. හැමෝට ම උපදේශන සපයපු කෙනෙක්.. මානසිකව මේක හුඟක් දැනෙන්න ඇති..
ශරීර සෞඛ්‍යය හොඳට ම පිරිහිලා තිබුණු අප්පච්චිගෙ මානසික සෞඛ්‍යයත් හදිසියේ ම පිරිහෙන්න ගත්තා.. එය බලා ඉන්නැද්දී සිදු වුණා.. ළඟ මතකය මුලින් නැති වුණා.. කතාවත් අඩු වුණා..
අද මගෙ ආදරණීය අප්පච්චි ජීවත් වන මළ මිනියක් ගානයි.. හැම දේම කරන්න වෙලා තියෙන්නෙ අපිට.. තවම අප්පච්චිට 75යි..
ආදරණීය යළුවනේ.. ඔයාලගෙ දෙමවුපියොත්.. තවම හොඳ සිහි කල්පනාවෙන් ඉන්නවා නම්.. ඔවුන්ගේ වයස 60 ට වැඩි නම්.. ඔවුන් සමඟ වෙනදාට වඩා කතා බහ කරන්න.. යාළුවනේ.. ගෙවල් වලට ගිහාම වයසක අම්මලා තාත්තලා ඉන්නවා නම්.. ඔවුන් එක්ක වචනයක් කතා කරන්න.. ඒක ඔවුනට හුඟක් වටිනවා.. හුඟාක්..

Wednesday, April 11, 2018

අලුත් අවුරුද්ද ..

  නෑදෑයෝ එකා දෙන්නා හරි මුණගැහෙන්ට ඉඩක් ලැබෙන.. පවුලේ අය එක්ක තුටු පහටු වන්නට ඉඩක් ලැබෙන කාලයකි.. ඉස්සරට වඩා දැන් අලුත් අවුරුද්දේ වෙනසක් ඇත.. එදා තරම් අවුරුද්ද අලුත් නැත.. හැම දේ ම අපි කරමු.. ඒත් එහි කිසිම ස්වභාවික ගතියක් නැත..
ජීවිතය එපා කරවන්නේ පූර්ව අලුත් අවුරුදු සමය (ම) යි. නෝනලා ඇඳුම් හොයන්නට සාප්පු පුරා දුවද්දී.. ක්‍රෙඩිට් කාඩ් වල බිල් ගෙවන්නේ කෙසේදැයි සාප්පුවේ පඩියක වාඩි වී කල්පනා කරන මහත්තුරු එමට ය. පුස්සිටියට ගොහිං එලියට එද්දී හිතෙන්නේ අවුරුද්දෙන් පස්සෙ පුස්සිටි වහනු ඇතැයි කියා ය. ලොරි බාගයක් නොගෙනාවේ අපරාදේ කියා ය.
රත්ඤ්ඤා මරහඬ නිසා අවුරුදු දින වල කසාද බැඳ අවුරුදු ගනං ඇස්පීරියන්ස් තියෙන අප වැනි පිරිමි කෙසේ වෙතත්..  අන් අය සිටිය යුත්තේ කන් වල ඇඟිලි ගහගෙන හෝ පොරොප්ප මූඩි ගහගෙන ය.

නොනගතයට පෙර බඩ පැලෙන්ට කා.. අවුරුදු ලබන තුරු.. කැවුම් කොකිස් කකා තේ බිබී කාලය ගත කිරීම අපේ විනෝදාංශයයි.. අලුත් අවුරුදු නැකතේ දී නැවත බඩ පැලෙන්ට කන අපි කන්ටම උපන් ජාතියකැයි විටක සිතෙයි...

ඒ කාලේ නම්.. ළිඳත් එක්ක ගනුදෙනු කළත්.. අද ගනුදෙනු කරන්නට එහෙම හිත හොඳ ලිං නැති නිසා.. පවුලේ අය සමභ ම ගනුදෙනු කිරීම අපේ ක්‍රමය වුවත්.. වැරදිලාවත් බැංකුවකට ගියහොත්.. එය සඳුදා නිවාඩු පිට අඟහරුවාදාටත් වඩා පිරී ඇති බව දැක ගත හැක.. ඒ අතින් බලන විට.. මිනිස්සු පට්ට සල්ලි කාරයෝ යැයි සිතෙන්නේ ඔවුන් පැමිණ සිටින්නේ මුදල් තැන්පත් කිරීමට මිස මුදල් ඉවත් කර ගැනීමට නොවන නිසාය.
ඉස්සර මිදුලේ අඹ ගහේ ඔන්චිල්ලාව බඳිතත්.. දැන් මිදුලේ යකඩෙන් තැනූ ඔන්චිල්ලාවක් තිබේ.. අඩුවකට ඇත්තේ ඒවා පදින්නට ළමයින් ය.
ක්‍රිෂ්ණා, ශිවා හෝ සූටිං මාටිං ඇත්නම්.. ළමයින්ට හැමදා අවුරුදු ය.
මල් වවද්දී අවුරුදු කාලෙට පිපෙන එරබදු, මැයි මාසෙට පිපෙන මැයි මල් වගේ සීසොනල් මල් ටිකක් වවන්නට මගේ ආසාවක් ඇත්තේ.. සීසොන් වෙනස් වෙද්දී ඒක අපට තේරෙන එක මරු නිසාය.. අපට එරබොදු මල් නැතත්.. කොහා ඉන්නවා ය කියා හිත හදාගන්නට හැකි වීම අප ලද භාග්‍යයක්ය. මැයි මල් නොතිබුණාට.. ගං වතුර එන නිසා.. අපට මැයි මල් වල අඩුවක් ද දැනෙන්නේ නැති ය..
ඔක්කෝමත් හරි ය.. අලුත් අවුරුදු උස්සවත් හරි ය.. මුලින් ම ආධාර ඉල්ලන්ට කොල්ලෝ කුරුට්ටෝ විඩෙං විඩේ .. එයි. ඉන්පසු උස්සවේ තියෙයි.. සැඟැවුණු අමුත්තා හොයයි.. ගස්ලබ්බේ ඇට ගාණ හොයයි.. ඔය වාගේ අටෝරාසියක් සෙල්ලම් ය.. ඒ අතර.. කඹ ඇදීම, කණා මුට්ටිය බිඳීම, ලිස්සන ගහේ  නැඟීම වැනි සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා තවමත් පැවැතීම සතුටු දායකය. අවුරුදු කුමාරි තේරීම එහි තිබෙන නරකම අංගයක්යැයි මට හිතේ..

ඔය ක්‍රීඩාවලට නොදෙවෙනි ක්‍රීඩාවක් අවුරුදු දා ක්‍රියාත්මක වෙයි.. ඒ කෑම පිඟන් ගම වටා යැවීමේ ක්‍රීඩාවයි.. බොහෝ විට එහි ජයග්‍රාහකයින් වන්නේ බල්ලන්, පූසන් හා ලේනුන් යැයි සිතෙන්නේ .. එම කෑම පිඟන් වල ඇති දෑ අවසන හිමි වන්නේ ඔවුනට බැවිනි..

අවුරුද්ද මැද්දේ එන අලුත් අවුරුද්ද.. දැහැමින් සෙමෙන් සමරන එක අපේ යුතුකමය. ආර්ථික අමාරුකම් ගැන කියා.. ආණ්ඩුවට බැනීමෙන් වත්.. තමන් ගේ පුරාජේරුව ෆේස්බුක් දැමීමෙන්වත් සිදුවන සෙතක් නැත.. සරලව සැහැල්ලුවෙන් ගත කිරීම තරම් විවේක කාලයකින් ලද හැකි ප්‍රයෝජනයක් මා නොදන්නා නිසා.. ඉදිරි දින වලදී ඒ සඳහා කැපවීම සුදුසු බව ඔබ හැමට ආදරයෙන් නිර්දේශ කරන්නේ චතුර විජේකෝන් වන මම ය.

Monday, March 26, 2018

ක්‍රෙඩිට් කාඩ් වලට අහු වුණාද?

ඔබත් ක්රෙඩිට් කාඩ් එකක් භාවිත කරන්නෙක් ද? මාසය අවසන සම්පූර්ණ මුදලම නොගෙවන අයෙක් ද? එසේ නම්.. නිකරුණේ ඔබ අදාල බැංකුව හෝ සමාගම පොහොසත් කරන්නෙකි.

අද කාලයේ ක්‍රෙඩිට් කාඩ් භාවිතය සමාජයේ සුලභ වී ඇතිවාක් මෙන්ම එය ඉතා ප්‍රයෝජනවත් බවට සැකයක් ද නැත. එහෙත් ඔබගේ මාසික බිල සම්පූර්ණයෙන් නොගෙවූ විට අසාධාරණ පොළියක් ඔබෙන් අය කරන බව ඔබ තවම නොදන්නවා විය හැක.. මා මේ කියන්නේ වාර්ෂික ව 24% ක් පමණ වූ පොළී අනුපාතිකය ගැන නොවේ.. ඔවුන් පොළිය ගණනය කරන ක්‍රමවේදය ගැනයි.. එම ක්‍රමවේදයට අනුව.. ඔබට ගෙවන්නට අතපසු වූ මුදල රුපියලක් හෝ ශත පණහක් විය හැක.. එහෙත්.. ඔබ භාවිතා කළ මුළු මුදලට ආසන්න ප්‍රමාණයකට ඔබට පොළී ගෙවන්නට සිදුවේ.. දැනට අත්දුටු පරිදි.. ප්‍රධාන බැංකු  තුනකම (නේෂන්ස් ට්‍රස්ට්, සම්පත් හා සෙලාන්)  එසේ ය.  පහත දැක්වෙන්නේ මා මුහුණ දුන් එවන් අවස්ථා කිහිපයකි.

උදා: 1.සෙලාන්..
පෙබ. 25 දිනට පෙර ගෙවීමට තිබූ මුදල (රු) ==> 25,107.38
පෙබ 22 ගෙවූ මුදල (රු) ==> 25,100.00
හිඟ මුදල (රු) ==> 7.38
මාර්තු 05 ලැබුණු බිලෙහි එක් කර ඇති.. පොළී මුදල (රු)==> 573.49

උදා: 2. නේෂන්ස් ට්‍රස්ට්
මාර්තු. 05 දිනට පෙර ගෙවීමට තිබූ මුදල (රු) ==> 63,502.27
පෙබ 19 ගෙවූ මුදල (රු) ==> 25,000.00
පෙබ. 28 ගෙවූ මුදල (රු)==> 38,500.00
හිඟ මුදල (රු)==>2.27
මාර්තු 16 ලැබුණු බිලෙහි එක් කර ඇති.. පොළී මුදල (රු)==> 922.57

උදා 3: සම්පත්
2017 අගෝස්තු 08 දිනට හෝ ඊට පෙර ගෙවීමට තිබූ මුදල(රු) ==>28,265.21
2017 අගෝස්තු 08 දින ගෙවූ මුදල (රු) ==> 28,000.00
හිඟ මුදල (රු) ==>265.21
2017 අගෝස්තු 16 ලැබුණු බිලෙහි එක් කර ඇති පොළී මුදල(රු) ==>754.14

බිල්පතෙහි සඳහන් අවම මුදල ගෙවීමෙන් පමණක් සෑහෙන ඔබ මෙන් ම.. සුළු ගණනක් හෝ හිඟ තබන ඔබ ද.. ක්‍රෙඩිට් කාඩ් පිරිනමන බැංකු වල ගසා කෑමට ලක්වෙයි.. මේ ගැන දැනුවත්ව ක්‍රෙඩිට් කාඩ් භාවිත කර..වාසි අත් කර ගන්න..


Sunday, February 25, 2018

කඩමාල්ල

ඉර ට කළින් මුළුතැන්ගෙයි වැඩ අල්ලද්දී නුඹ
පරණ ගවුං කඩමල්ලක් ඇන්දෙත් මොහොතක් සිඹ
ඒ සුවඳේ මොන අඩුවද සිතමින් හුස්මක් පිඹ
වළා සිනාවක් දිසි තද හිරු රැස් අතරින් නුබ

පුංචි කාලෙ අපේ කඳුළු හා කුණු දහඩිය පවා
හිත් රිදුණම නුඹ දෙනෙතින් වැගිරුණු මුතුවැල් පවා
එළවලු, මස්, බිත්තර හා දෙහි, ලුණු, තුනපහ පවා
ගවුමේ තව තිබුණා අප බිවු කිරි වල රහ පවා

අවුරුද්දට අලුත් ගවුම් මං අරගෙන දෙන්නම්
ඒ ඇඳගෙන වන්දනාවෙ එක්කරගෙන යන්නම්
ආදරයෙන් අම්මේ එක වරයක් ඉල්ලන්නම්
පරණ ගවුම හැඳ එනු එහි හිස සතපන් ඉන්නම්