Monday, December 31, 2018

එළැඹෙන 2019 සුබ නව වසරක් වේවා!

2018 න් 2019 ට යන්නෙ.. වෙනදට වඩා වෙනස් හැඟීම් සමුදායක් එක්ක. පවුලෙ පළමු සාමාජිකයා අඩුයි..ලොකු දෝණියෙකුත් ඉන්නවා. ණය කන්දකුත් තියෙනවා.. මේ හැම අලුත් අත්දැකීමකුත් එක්ක පටං ගන්න අමුතු අවුරුද්දක් 2019 කියන්නෙ. මට වගේ ම ඔයාලා හැමෝටමත්.. අභියෝග ගොඩක් ඇති. ඒ සියල්ලම 2019 දි ජයගන්න  ලැබේවා! කියලා මං ප්‍රාර්ථනා කරනවා..

අපි ජීවිතය හොයාගෙන දුවනවා..විටෙක හැල්මෙ දුවනවා.. විටෙක හුඟක් වේගෙන් දුවනවා.. සොබා දහම අපට අමතක වෙනවා.. මිනිස්කම කියන්නෙ සොබා දහම අපට දුන්නු තෑග්ගක්. මිනිස්කම කියන තනි වචනෙ ඇතුළෙ හුඟක් දේ තියෙනවා.. අතින්.. නෙතින් ස්පර්ෂ කරන හුඟක් දේ හදවතින් ස්පර්ෂ කරන්න අපට අමතක වෙනවා.

පහුගිය සතියෙ අපි විනෝද චාරිකාවක් ගියා.. අපි වැඩිය ඇවිද්දෙත් නෑ.. ඒත්..එද්දි හරි මහන්සියි.. එහෙම වෙන්න පුළුවන්ද? මට හිතා ගන්න බෑ.. ඒක මොන විදිහෙ විනෝද සවාරියක් ද කියලා.. අපි විනෝදය කියලා අල්ලාගන්නේ එකක්.. අපේ දෙමවුපියො තව එකක්.. අපේ ළමයි තව එකක්. ඒත් අපි කවුරුවත් ජීවිතය අල්ලගත්තද? නෑ.. අපි හැමෝම එක තැන දුවනවා.. මිනිස්කම අලුත් කරන්න.. සොබා දහම ගැඹුරින් ඇසුරු කරන්න.. අපට පුළුවන් වුණ දාට .. සමහර විට ආයෙත් ජීවිතය අපට හමුවෙයි..
2019 දි වත්.. අපේ ජීවිත අපට හමුවේවා..

කුරුළු කිචි බිචි උදේ
සවන් වැකුණේ නොමැත
හිරු නැඟෙන බැසෙන රුව
දෙනෙත් දුටුවේ නොමැත
සඳ කැණින් උදම් වී
සිත පිබිදුනේ නොමැත
මා සොයන ජීවිතය 
මට හමුවුණේ නොමැත

අවදි වී අරුණෝදෙ
දරුවන් ද ඇහැරවා
ජීවිකා පිණිස ගොස්
මනස එහෙ මෙහෙ යවා
පුරුද්දට මෙන් ගතත්
කුටුම්භය වෙත එවා
අහම්බෙනි දකින්නේ
කෙසඟ නිදි දෙවු පවා

2 comments:

වටිනා අදහස් ලියනු මැනේ..