Monday, December 28, 2020

2021 ජීවත් වෙන්න යන හැටි.

බලාපොරොත්තු ජීවිතය ජීවත් කරනවා කියලා කතාවක් මං අහලා තියෙනවා. මට ඒක ගැන ඒ හැටි විශ්වාසයක් නං නෑ. ඒත් හුස්ම ගන්නවා කියන එකයි ජීවත් වෙනවා කියන එකයි කියන්නෙ එහෙම පිටිං ම දෙකක් කියලා මං විශ්වාස කරනවා. නැවතිල්ලෙ හිතලා බැලුවම හැම අවුරුද්දෙම වගේ අදාළ අවුරුද්දෙ දි මං ජීවත් වෙච්ච කාලය ඊට කලිං අවුරුද්දෙ මං ජීවත් වුණු කාලයට වඩා අඩු වෙනවා වගේ හැඟීමක් තමයි මට දැනෙන්නෙ.  අර සෘණ ආර්ථික වර්ධන වේගෙ වගේ.

එහෙම වෙන්නෙ ඇයි? මං මගේ හොඳම යාළුවා ගෙන් ඇහුවා. 

උඹ හැම දේම පටලගෙන මචං. ජීවිතේ කියන්නෙ ඔයිට වඩා හරිම සරල දෙයක්. යාළුවා උත්තර දුන්නෙ ටිකක් කණස්සල්ලෙන් වගේ.

ඒක මා ගාව හොඳට ම තිබුණෙ කොයි කාලෙ ද? මං අහපු ප්‍රශ්නෙට ඌ මොහොතක් නිරුත්තර වුණා. ඊට පස්සෙ කිවුවා;  උඹ හොඳටම ජීවත් වුණේ උඹට අවුරුදු 10-12 කාලෙදි කියලා. 

යකෝ ඒක වෙන්නෙ කොහොමද? ඔය කාලෙදි ගොඩාක් දවසට මං ඉස්කෝලෙ ආවෙ ගියෙ පයිං එහෙමත් නැත්නං බස් එකක හිරකෙටිලා. ප්‍රින්සිපල් සෑර් කාරයත් මට පොඩ්ඩ බැරි වෙනකොට නෙලන්නමයි බැලුවෙ. ඒ මදිවට මට ඒ කාලෙ හොඳ ම යාළුවො කියලා අය හිටියෙත් නෑ. 

බොරු කියන්නෙ නැතුව ඇත්ත කියපං. මං නෝක්කාඩුවට කිවුවා.

යකෝ මං කවදාවත් උඹට බොරු කියන්නෙත් නෑ. උඹට මට බොරු කරන්ටත් බෑ කියලා උඹ දන්නවනේ. පොඩ්ඩක් කල්පනා කරලා බලපං, ඒ කාලේ මොනවද උඹේ ආශාවල් කියලා. 

කාත් එක්ක හරි එකතු වෙලා ක්‍රිකට් ගහන එක තමයි ඉතිං. 

වෙන? යාළුවා ආවර්ජනය තවත් දිගු කරන්නැයි අණ කළා. 

හවසට දාම් අදින්න, කැරම් ගහන්න.. ඇයි, ඕමි ගහන්න. දොස්තර හොඳහිත, පිස්සු පූසා, ගලිවර්ගේ සුවිසැරිය වගේ කාටුන් බලන්න. බයිසිකල් පදින්නත් ආසයි නේ.    මං දිග ලැයිස්තුවක් කියාන ගියා.

හරි, එතකොට මොනවද තිබුණු අකමැති දේවල්? යාළුවා ගෙන් තවත් ප්‍රශ්නයක්. 

එහෙම අකමැත්තක් නං මතක් වෙන්නෙ නෑ. 

බොරු කියන්න එපා බං. මූට බොරු කරන්නෙ කොහෙද ඉතිං මම.

හරි ඉතිං, අම්මා බෙදන තඩි බත් පිඟානට වග කියන එක තමයි ඉතිං, මං කිවුවෙ පොඩි ලැජ්ජාවකුත් එක්ක.

ඇයි උඹ පාඩං වැඩ එහෙම සංතෝෂෙන් ද කළේ? යාළුවා හරස් ප්‍රශ්නයකුත් ඇහැවුවා. 

ඒකට ලොකු කැමැත්තක් වත් අකැමැත්තක්වත් මට තිබුණෙ නෑ නෙ? මං උත්තර දුන්නෙ ප්‍රශ්නාර්ථයකුත් එක්ක. 

හරි මං ඒකත් පිළිගන්නං කො. යාළුවා ඒ තරම් ම සෑහීමකට පත්වෙලා නැද්ද මංදා.

ඉතිං බලපං උඹ ඒ කාලෙ ඇතුළෙ, ගත කරපු වෙලාවල් වලිං කොච්චර වෙලාවක් ඔය ආශා කරපු දේවල් කළා ද? අකමැති දේවල් කළා ද? මේ පාර යාළුවා ඇහුවෙ තාර්කික ප්‍රශ්නයක්. 

පැහැදිලිවම ආශා කරපු දේවල් අකමැති දේවල් කරපු වෙලාව වගේ හතර පස් ගුණයකට වැඩි මිසක් අඩු නෑ තමයි. 

ඒ වගේ ම ආයෙත් මෙනෙහි කරපං ඒ කාලෙ කරපු දේවල් ගැන කවදාවත් දුක හිතිලා, එහෙමත් නැත්තං අපරාදෙ එහෙම කළේ කියලා හිතිලා තියෙනවද? 

කොහෙත්ම නෑ බං! මං උත්තර දුන්නෙ පොඩි විමතියකුත් එක්ක.

දැං බලපං හොඳට ම ජීවත් වුණා ය කියලා උඹ හිතන කාල වල ට ගලපලා ඔය කාරණා ටික.  යාළුවා කිවුවෙ බොහොම ජයග්‍රාහීව.

ඇත්ත තමයි මචං, එක්කො මට වැඩියෙං කරන්න වෙලා තියෙන්නෙ අකමැති දේවල්, එහෙමත් නැත්නං සමහර දේවල් කළේ අපරාදෙ, එහෙම නොකරානං කියලා හිතෙනවා. උඹ හරි.  මං ඉතිං පරාජය බාර ගත්තා.

ඒ කියන්නෙ උඹ ඒ කාලෙ ජීවත් වෙලා තියෙන්නෙ කාට ඕන හැටියට ද? යාළුවා අහපු ප්‍රශ්නෙට මං කල්පනා කළේ උත්තරේ මම කියනවද නැත්නං දෙමවුපියො හරි ගුරුවරු හරි කියනවද කියලා. 

දෙමවුපියන්ට ඕන හැටියට? ආයෙත් මගේ පිළිතුර ප්‍රශ්නාර්ථයක් එක්ක. 

යාළුවා මේ උඹට බෑ මට බොරු කරන්ට හරිය? 

මූත් එක්ක බේරෙන්ට ම බැරි හැටි. හරි, මට ඕන හැටියට. 

නෑ බං, උඹ ජීවත් වුණේ මට ඕන හැටියට. මට ඕන හැටියට ජීවත් වෙද්දි විතරයි උඹ ජීවත් වෙන්නෙ. යාළුවා කිවුවෙ බොහොම විශ්වාසයෙන්. 

මට ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් යෝජනාවක් නෙවෙයි. ඌ කියන්නෙ සම්පූර්ණ ඇත්ත. 

හරි බං 2021 ඉඳං වත් හැකි හැම වෙලාවෙම උඹ කැමති විදිහට ජීවත් වෙන්නං. ඒක මගේ පොරොන්දුවක්.  හැබැයි අමතක වෙන හැම වෙලේ ම උඹ මට ඒක මතක් කරපං.

ඕන වෙලාවක බං. 


Sunday, December 20, 2020

ප්‍රොෆෙසර් ගැන රසකතා

 ඇල්බට් අයින්ස්ටයින් ගැන රස කතා ටිකක් පහුගිය දවස් වල සමාජ ජාලා වල පැතිරුණා. මට ඒක දැම්මම මතක් වුණේ අපේ ශ්‍රියානන්ද මහාචාර්ය තුමා ගැන තියෙන රස කතා ටිකක්.  මෙතුමා ඉතාම අල්පේඡ්ඡ ජීවිතයක් ගත කරන, සමාජ වාදී ලක්ෂණ පෙන්වන, චුට්ටක් අමුතු ඇක්සන්ට් එකකින් කතා කරන මහා දැනුම් ගබඩාවක්. යම් විෂය කරුණක් ගැන එතුමාගෙන් විමසූ විට ඉතා නිහතමානී ව ඒ ගැන සරල ව පහදා දීමට එතුමා ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි. යම් දෙයක් පැහැදිලි කරද්දී,  "මොකද" යන වචනය මැදින් යෙදීම එතුමාගේ පුරුද්දකි. 


1. විවෘත විශ්ව විද්‍යාලයේ කිසියම් විෂයක් මෙතුමා උගන්වන කාලෙක අපේ ශිෂ්‍යයො දෙන්නෙක් ගියා ලු විෂයානුබද්ධ කාරණාවකට මෙතුමා මුණ ගැහෙන්න මෙතුමාගෙ ගෙදරට. ඉදිරියට ඇවිත් තියෙන්නෙ මෙතුමාගෙ බිරින්දැ.

මැඩම් අපි පොඩ්ඩක් සර් මුණගැහෙන්න ආවෙ. 

(පුටු පෙන්වමින්)  චුට්ටක් වාඩි වෙලා ඉන්න පුතා. සර් ගියා බල්ලන්ට බෙහෙත් විදින්න කියලා. දැං එයි.

මැඩම් ගෙ කීමට අසුන් ගත් දෙදෙනා හෙමිහිට කුටු කුටු ගෑවේ සමාජ වාදී සෑර් ගේ ධනවාදී බලු හුරතලය ගැනයි. ටික වෙලාවක් යන විට අපේ සර් පා ගමනින් ම ගේට්ටුවෙන් ඇතුළු වනු පෙනේ. තනිවම ද? නැත. බල්ලන් දෙදෙනෙක් ද සමඟිනි. බල්ලන් ඇල්ටේෂන් ද? නැත, වල්ටේෂන් නකුටු බල්ලන් දෙදෙනෙකි. අපේ මිත්‍රයන් දෙදෙනා දුටු සර් සිනාසී මෙසේ කීවේ ලු. 

"පාරෙ ඉන්න බල්ලො දෙන්නෙක්. මෙයාලා කෑම දීලා දැං වැඩි හරියක් මෙහෙ ඉන්නෙ. පොඩි අය සෙල්ලම් කරනවනෙ. ඒකයි බෙහෙත් විදින්න එක්ක ගියෙ


2. මෙතුමා බොහෝ දින වලට නිවසේ සිට විශ්ව විද්‍යාලයට පැමිණියේ පා ගමනින්. ඉඳ හිට බසයේ ද පැමිණියා. කෙසේ හෝ වි.වි. ට ආසන්නතම බස් නැවතුම පසු කර මෙතුමා ගමන් කරන විට, තරමක වර්ෂාවක් පතිත වෙන්නට ගත්තා. බසයෙන් පැමිණි සිසුවෙක් මෙය දැක වහා දිව විත් මෙසේ කීවා.

"සර්. මේ කුඩේ ගන්න. මං යාළුවත් එක්ක එයාගෙ කුඩෙන් යන්නම්.

නෑ. පුතා අවශ්‍ය නෑ. 

"නෑ සර් තෙමෙනවනෙ. අපට මේකෙන් යන්න පුළුවන්. සර් මේක ගන්න."

නෑ පුතා අවශ්‍ය නෑ. මං වැස්ස නෑ කියලා උපකල්පනය කරලා මේ ටික යනවා


3. එදින විශ්ව විද්‍යාලයේ කිසියම් උත්සවයක් සංවිධානය කර තිබූ අතර එහි එක් අංගයක් ලෙස කුඩා සංගීත සාජ්ජයක් ද පැවැත්වෙමින් තිබුණි. කවුරුත් ආදරය කරන ශ්‍රියානන්ද මහාචාර්ය තුමාට වැඩි ගෞරවයක් ලබා දෙනු වස් නිවේදක තෙමේ එතුමාට මෙසේ ආරාධනා කළේය.

දැන් ඔබ සැම පිනවමින් ගීතයක් ගායනා කිරීමට මහාචාර්ය ශ්‍රියානන්ද මැතිතුමා!

ඔන්න ඉතිං අපේ සර් නැග්ගා වේදිකාවට. ගත්තා මයික් එක අතට.

ළමයි. මං සිංදු කියන්න නං දන්නෙ නෑ. ඕනෙම නං මං කවියක් කියන්නං.

දැං ඉතිං ළමයි ටිකටත් හරිම සතුටුයි. අත්පුඩි ගහනවා, විසිල් ගහනවා, එක කෙළියයි.

පැහැදිලි කිරීමක් කරන ඇක්සන්ට් එකෙන් මෙහෙම කිවුවා.


රෝස මලේ නටුවෙ කටූ - වන බඹරෝ ඔහොම හිටූ

නටුව නොවේ මල සිඹිමී - මොකද - මම ළමයෝ පැණි උරමී. 


4. දිනක් අප යෙහෙළියක් කිසියම් දෙයක් සඳහා එතුමාගේ සහයෝගය ලබා ගැනීමේ අරමුණින් එතුමාගේ කාර්යාල කාමරයට ගියාය. කාරණාව කියාගෙන යද්දී කාර්යාලීය දුරකථනය නාද වන නමුත් දුරකථනයක් පෙනෙන්නට නැත. සුළු මොහොතකින් මේසය පුරා සී සී කඩ අතුරා තිබූ පොත් ඈත් මෑත් කොට දුරකථනය සොයාගෙන කතා කරන්නට ඔහු සමත් විය. අසුවල් දින අසුවල් වෙලාවට මෙතනට එන්න මං අවශ්‍ය තොරතුරු ලබා දෙන්නම් කියා පැවසූ එතුමා ඔහු කර කර සිටි රාජකාරියට යොමු විය. කියූ දිනයේ කියූ වෙලාවට එතුමා හමු වන්නට ගිය ඇයව හඳුනාගත් සැණින් අර පොත් මේසයේ පොත් පත් එහා මෙහා කර කොළ කෑල්ලක් අතට ගෙන එය ඈ වෙත ලබා දුන්නේ සුපුරුදු මන්දස්මිතයෙනි.  කොතරම් රාජකාරි මධ්‍යයේ වුවද සාමාන්‍ය දරුවෙකු කෙරෙහි ඔහු තුළ පැවති ආකල්පය මෙන් ම පිස්සීගේ පළා මල්ල වැනි අපිළිවෙල මේසය මත පොත් පත් මහා ගොඩක් අතර චූටි කොළ කැබැල්ලක් ඉතා සුළු මොහොතකින් සොයා ගැනීමට එතුමාට තිබූ හැකියාව ද විශ්මය ජනකය. 


5. Assignment එකකට පිළිතුරු භාර දීමේ දී, VIVA හෙවත් වාචික ඇගැයීමක් ද සිදු කිරීම ශ්‍රියානන්ද සර් ගේ මෙන්ම බොහෝ කථිකාචාර්ය වරුන්ගේ සිරිත විය. කිසියම් කාරණාවක් සම්බන්ධව කාගෙන් හෝ පිළිතුරක් කොපි කරගෙන ගිය අප මිතුරෙකුගෙන් එම පිළිතුර පිළිබඳ පැහැදිලි කිරීම ප්‍රමාණවත්ව නොලද තැන ඉතා හොඳින් එම කාරණාව කියා දී අවසානයේ එතුමාගේ දෑස යොමු වූයේ මිතුරා අත වූ දැවැන්ත පුස්තකය වෙතටයි. ඇත්තෙන්ම මිතුරා එම පොත ගෙන ගොස් තිබෙන්නේ තමා මෙවැනි පොත් පරිශීලනය කරන බව පෙන්වීමටයි. ඒ දෙස බලා සිනාසුනු මහැදුරු තෙමේ මෙසේ කීවේ ලු. " ඔය පොතේ නං මේ Assignment එකට අදාළ මොනවත් නෑ"


එතුමා පිළිබඳ වූ රසකතා සාහිත්‍යයෙන් මා හට මතක අවස්ථා කිහිපයක් මෙලෙස දැක්වෙන අතර ඇතැම් ඒවා ගෙතූ ඒවා බවට ද මත පවතී. එතුමාගේ දැනුම් සම්භාරය මිනිස් සංහතිය වෙනුවෙන් කොයිතරම් ඵලදායීව යොදා ගත්තාදැයි කීමට මා සතු අවබෝධය ඉතා ම අල්ප වුවද, මා දුටු ශ්‍රේෂ්ඨතම මානව වාදී ගුරුවරයෙකු ලෙස එතුමා හට ඇති ගෞරවය නම් ඉතා ඉහළ ය. 




Friday, December 4, 2020

ජීවිතය සුන්දර ද!

 

අත් හළ තැනෙක රාගය ඇත .......සැනසීම
සිත් තුළ සැකෙක නැත ඇත්තෙම පැහැදීම
මත් කළ ඇතෙකු වුව කළ හැක .....පැරදීම
පිත්තළ-සරුව වෙති නොදැනම ......විසිවීම
ලෝකය වදිද්දී නිදි මසැස ............වස වසා
මේ කය රැගෙන මා ගියෙ මනැස .පිස පිසා
ගේක ය තියෙන්නේ රස සුවය නැත මුසා
ශෝකය නිගා දී මම නොයමි.....වැලි ගසා
ආදර වදන් යළි බෑ මුමුණන්ට .........නඟේ
කෑදර කමක් තව නෑ සිපගන්ට ........මගේ
ආ දුර ටිකක් දුර මුත් නොකරන්ට ....අගේ
මේ දුර ටිකත් යමු පින් සිදුවෙන්ට ...වගේ

=========================
මෙතුවක් දුර .......................................ඇවිද
ආ පිය සබඳ .................................අත් බැඳ
වී ලෙසින් .......................................සිහි මඳ
බිණූ වදනින් රිදුණි ............................ඒ හද
වදනින් .......................................බැල්මකින්
නැතොත් කිසියම් .......................ලෙසකින්
කරන ලද ......................................දෙයකින්
වැරදුණි ද මට සිතුණි ..............සැණෙකින්
=========================
පාලා අහිංසක ගතියත් මනා ..............කොට
ලීලාවෙන් දැහැමි එන තම පියා ............හට
මාලා දමා නොව පෙන්වා හිනා ...........කට
චූලා තමා පිළිගත්තේ .............දයා .........වට

දියණිය ඉටු කරනු මගෙ හෙට දින ...හීනේ
කරුමය අපේ නුඹ සිඳලන්නට .........ඕනේ
උරුමය සොයා නොදුවන් ගස් ගල් ගානේ
සරණිය වෙයන් දහමට ලං වෙන ....මානේ

නික්මෙන දින ට ඔය චුම්බන .....උරුමයි ද
සක් විති සුවය ලැබුවත් එය ..........පවතියි ද
දුක් විඳ තනපු මහ මන්දිර ........ගෙන යයිද
දැක් මට නිවැරදිව හැකි නම් .........වරදියි ද
============================

සැම හටම එක .....................ලෙස
දැහැමින් ම නිති දෙස ..........දෙස
එන මේ පුඟුලු ......................වෙස
බලති කවුරුත් යොමා .....වපරැස

දිලිසෙන ඇස් .....................ඇතේ
කිසි වෙහෙසකුත් .....නොමැතේ
එනමුදු ...........................නිදිමතේ
නිදි ලබයි ඔහු එදින .......කමතේ
=======================

කමතේ නිදා ගෙන එම මහ රෑ ...තිස්සේ
විපතේ තරම තේරී හදවත .......ගැස්සේ
උපතේ ඉඳං හතලිස් වසරක් ......ඔස්සේ
සපතේ කරමි එදිනයි කමතට බැස්සේ

ඔන්නොහෙ ගෙදර යනවැයි අඩියක් තිවුවා
ගන්නට බෑ හිතා ඇයි සිදු වුණෙ..... මෙවුවා
වෙන්නකො සමා බිරිඳට දරුවට ......කිවුවා
යන්නට ගියා දුව මහගේ නම් ............රැවුවා

බීවේ ඊයෙ වෙනදා බොන ...........තැනින් ද
නෑවේ ගඳ යන්ට කාගේ ................අණින් ද
කීවේ බණ දහම් කොහොමද ...........චමින්ද
යා වේ සිනා ඔරවන් සිටි .................මුවින් ද

බොන්නේ නෑ කියා වැඩ නිම වී .........ඊයේ
පිම්මේ තමා මා නම් පියඹා ................ආයේ
ගින්නේ උනත් ටොපියක් විතරයි ....කෑයේ
දන්නේ නෑ පියේ මට මොනවද ..........වූයේ

දුවටත් ගෙනාවා මං ටොපි මෙන්න ..............කියා
එවිටත් ඇඳ උන්නු කලිසම තුළට ................ගියා
අහිතක් නොම හිතා දැන් දැන ගන්න .......මෙයා
බෙහෙතක් ටොපි කියා ගෙනැවිත් ඇත්තෙ එයා

============================

හැම දෙන .......................සිනාසී
එහි රසය ගැන ...............විමැසී
බණ ගැනත් ..................පැවැසී
එය තැනක් විය සතුට ..ගැවැසී

එයින් පසු හිමි .........................සඳ
සැණෙන් එයි විට ඉඩ .............ලද
දූ දරු සතුට .............................මැද
කමතටත් එළැඹුණි කලක් .සොඳ

Thursday, December 3, 2020

ප්ලේන්ටියේ කූඹියා..

 

ඔන්න දවසක් මං ගියා අපේ යාළුවෙක් ගෙ ගෙදර. ගිහිං යාළුවත් එක්ක පොඩි කතා බහක නියැලිලා ඉන්නැද්දි.. යාළුවගෙ අම්මා.. හදාගෙන ආවා කිරි.. කිරි.. කෝප්පෙක දාපු ප්ලේන්ටියක්..
මං දැං ඕක බොන්ටයි කියලා මගේ අහිංසක කට ට කෝප්පෙ ලං කරනකොට ම මං දැක්කා.. අවසන් ගමන් ගිහිපු කූඹියෙක් මගේ කට ඇතුළට පනින්ට බලාගෙන ඉන්න දුර්ලභ දර්ශනයක්.
අහිංසකයා මැරිලා ඉන්න එකේ.. බොරුවට අයිං කරන්ට හදලා ඌට වද දෙන්නෙ මක්කටෙයි කියලා.. මං කෝප්පෙ වට කාලක් විතර කැරකෙවුවා.. ඒ පැත්තෙන් බොන්ට..
මොන.. මූ මැරිලත් උත්සාහය අත අරින එකෙක් නෙවෙයි.. ඌ පීනලා ආපි නෙ.. ආයෙත් මගෙ කටට පනින්ට.. කොච්චර කැරකැවුවත්.. මූ එනවා අදාළ තැනට..
හොක්.. හොක්.. අවස්ථිතිය යකෝ අවස්ථිතිය..
මගේ යාළුවා හිනා වෙමින් කියනවා..
මූ කියන අපභ්රංසෙ මොකක්ද කියලා.. ඇස් ගෙඩි දෙක ලොකු කරං බලපු මට කූඹියව අයිං කරන්න තේ හැන්දක් ගෙනත් දෙන ගමන් මූ කියනවා..
මචං අවස්ථිතිය කියන්නේ.. යම් කිසි වස්තුවක් ස්වකීය චලිත ස්වභාවය වෙනස් කරන්ට තියෙන අකැමැත්ත ට.
හරි ඉතිං.. මෙතන කොහෙද වස්තුවක්..මේ කූඹියෙක් නෙ.. අනික.. මේ කූඹියා.. මැරිලා ඉන්නෙ.. ඌට කොහෙද චලිත ස්වභාවයක්.. පිස්සු කෙලින්නැතුව ඉඳිං බං..
මං යාළුවට කින්ඩියක් දැම්මා..
ඒත් යාළුවා ෆුල් සීරියස්..
මූ යකෝ..
යකෝ වස්තුවක් කියන්නෙ.. පණ තියෙන හරි.. පණ නැති හරි දේකට..
මැරිලා ඉන්න කූඹියා ඉන්නෙ හෙල්ලෙන්නෙ නැතිව.. නිශ්චලව.. ඒක තමයි උගේ චලිත ස්වභාවය..
මමත් ඉතිං හුම්.. හුම්.. හප්පට සිරි.. ඒකත් එහෙමද .. ගගා.. මුගෙ ලෙක්චර් එක අහං ඉන්නවා..
ඉතිං ඌ ඒ නිශ්චලතාවයෙන් මිදෙන්න තියෙන අකැමැත්ත තමයි.. ගොනෝ.. අවස්ථිතිය කියන්නෙ..
ඉතිං බං ඌ නිශ්චලතාවයෙන් මිදෙන්න අකැමතියි නං මොන රෙද්දකට ද මං හරවන හරවන පැත්තට පීනගෙන එන්නෙ.. ?
මාත් ඇරියෙ නෑ ෆ්රෙන්ඩ්ස්..
ඇත්තම කියනව නං ඌ නෙමෙයි බං ඔය වැඩේ කරන්නෙ..
හෑ.. එහෙනං මොකෙක්ද? උඹ මැජික් එකක්වත් කරා ද?
අනේ පළ වාසුදේවයා යන්න.. තෝ මෙතන මාව බයිට් එකට ගත්තා නේද?
ඔන්න යාළුවගෙ ටියුබ් ලයිට් එක පත්තු වුණා..

යකෝ ඌයි මායි එක පන්තියෙදි නෙ.. ඔය අවස්ථිතිය ගැන ඉගෙන ගත්තෙ.. රෙද්ද..

Friday, November 6, 2020

කැඩපත ට මුවා වී 7!

පුතේ.. අද හවස පන්සල පැත්තේ ගිහිං එමු ද?

පෝයකුත් නැතිව.. විශේෂ හේතුවකුත් නැතිව.. අම්මා එහෙම කියන්නේ අම්මා ගේ හිත ව්‍යාකූල වූ වෙලාවට ය.

අයියා හම්බවෙන්න ආවෙ පොඩි කාරණාවක් කියන්න.

සුජාතා නංගී ගේ මුහුණේ ඉරියවු වෙනදාට වඩා .. වෙනස් වූවත්.. සුපුරුදු ලෙංගතු කමින් ම මම සිනාසුනෙමි.

අයියෙ මට ලබන මාසෙ මැද වෙද්දි අස්වෙන්න වෙනවා..

මොනවා..! ඒ මොකද නංගි.. අපෙන් වරදක් වුණා වත් ද? නැත්තං සල්ලි ප්‍රශ්නයක් ද?

අනේ එහෙම එකක් නෙවෙයි අයියෙ.. ලසන්ත අයියා.. ගිය රටේ ම කම්පැණි එකක වේකන්සි එකකට මාව තෝරගෙන.

ඇප්ලයි කළා කියලාවත් මං දන්නෙ නෑ නෙ.. මං කියන්නෙ.. මට කියලා ඇප්ලයි කරන්න කියලා ම නෙවෙයි.. 
හ්ම්... කමක් නෑ නංගි.. අද මගේ ව්‍යාපාර මේ තරම් බැබලෙන්න.. ඔයත් ප්‍රධානතම හේතුවක්.. 
මොනවද මගෙන් කෙරෙන්න ඕන.. ?

විශේෂ දෙයක් නෑ අයියෙ.. රසිකා වැඩ ටික අල්ලගෙන යනවා.. තව ගෝලයො දෙන්නෙක්වත් ගන්න වෙයි.. මං යන්න ඉස්සර ගත්තොත්.. මං පුරුදු කරලා යන්නං..

නංගි දන්නවනෙ.. මං නොදන්න අය ලං කරගන්න හරි බයයි.. පේනවනෙ කඩේ.. ලසන්ත ගියත් හරි.. තාම ගොඩ ගන්න බැරි වුණානේ.. පුළුවන් නං ඔයා දන්න ළමයි දෙන්නෙක් හොයලා දෙන්න.. මාත් බලන්නං..

මුකුත් හිතන්න එපා අයියෙ.. මං ආසයි .. මේ ජීවිතේ හැඩය ටිකක් වෙනස් කරගන්න.. අයියයි නැන්දයි හින්දා තමයි අපි අද මෙහෙම ඉන්නෙ..

අම්මටත් කියලා යන්න.. අස් වෙන කතාව කියන්න එපා.. එක පාරටම..

මං නැන්දට ඊයේ කිවුවා අයියෙ.. ඒ ගැන..

ම්ම්.. ඒක තමයි අද පන්සල් යමු කිවුවෙ..

=================================================================

හාමුදුරුවනේ .. මේ ගිලන්පස ටිකක් ගෙනාවා..

අම්මා සතුටින් එකත්පස්ව වැඳ නමස්කාර කළාය. සුපුරුදු පරිදි මල් පහන් පූජා කර බුදුන් වැඳ.. පන්සිල් ගෙන.. ගියේ බෝ මැඬ දෙසට ය. අම්මාට නිදහසේ .. නිසොල්මන්ව ඉන්නට දී.. අප තිදෙනා.. වෙහෙර වැඳ.. වෙහෙර අසල මඳක් නැවතී උන්නෙමු.

ආච්චි අම්මා වෙහෙර වඳින්නෙ නැත්තෙ ඇයි අම්මෙ..?

පුතා ගෙන් සුපුරුදු පැනය ලැබුණි.

එහෙම විශේෂයක් නෑ පුතේ.. ආච්චි අම්මා ට ඕන නිදහසේ තනියෙම ඉන්න.. ඒ කරන්නෙ පුංචි භාවනාවක්.. ඒකෙන් හිත සැහැල්ලු වෙනවා.. පුතා ඉස්කෝලෙදිත් කරනවා නේද?

අර ... මම නිදුක් වෙම්වා.. එක ද?

අන්න හරි..

ඒක හයියෙන් කිය කිය නෙ කරන්නෙ..

ඉස්කෝලෙදි කට්ටියටම ඇහෙන්න කෙනෙක් හයියෙන් කිවුවට පුතේ.. තනියෙන් කරනකොට නිශ්ශබ්දවමයි කරන්නෙ.. අනෙක් අයට කරදර නොවෙන්න..

දැං පුතු පාසැල් යන නිසා.. වෙනදාට වඩා දෙයක් පැහැදිලි කිරීමේ හැකියාව ඇත. යමක් කියා දෙන විට ඉතා කැමැත්තෙන් අසා සිටින පුතු ගැන මට දැනුණේ පුදුමයකි.. මා ඔය වයසේ දී තිබුණේ එසේ මෙසේ විසයක් නොවන බව අම්මා කියයි.. මට මතක කාලයේ පවා තාත්තා ජීවත්ව සිටින තුරු මා ගත කළේ ඉතා දඟකාර.. විසේකාර ජීවිතයකි.

බෝධි මළුවේ ම වෙනත් පසෙකට වන්නට හිඳ ගත් අප තිදෙනා ද සුළු මොහොතක් භාවනාවක නිරත වූයෙමු. පුතුට වැඩි වෙලාවක් ඉන්නට නොහැකිව .. නොසන්සුන් වීමට පෙර නැගිටගත් අප සිත් තුළ ට ඒ සුළු මොහොතට මහත් සැනසිලිදායක සිසිලසක් දැනුණි.

=================================================================

උදේ නැගිටලා තේකත් බිවුවා.. පපුව ටිකක් රිදෙනවා කියලා පුටුවෙ හාන්සි වුණා.. ඉස්පිරිතාලෙට ගෙනියද්දිත්.. ..

මා හට හැඬුම් එන නිසා පණිවුඩයේ ඉතිරි ටික කීම බාරගත් ඇය රිසීවරය අතට ගත්තාය.

අනිද්දට තමයි අවසන් කටයුතු කරන්නෙ. ඔවු ඉරිදා.. ඔවු ඉතිං හිතපුවත් දෙයක්යෑ.. මං තියන්නම් එහෙනම්..

අම්මා යනු මගේ ජීවිතයේ කොයි තරම් පංගුවක්දැයි.. මට හිතාගත නොහැකි විය. අම්මාගේ හදිසි වියෝව.. මා ජීවිතයේ ලද දෙවැනි දරුණු ම ප්‍රහාරය මා වෙත එල්ල කළ බැවු මට වැටහිණි.

=================================================================

ව්‍යාපාර සියල්ල අඩපණ ය. ගේ දොර ඉඩකඩම් උකස් කර ණය වාරික .. ගෙවීමට ද නොහැකි විය. මහන්සියෙන් හරිහම්බ කළ සියල්ල නැතිවුණා සේ ය. සියල්ල නැති වී ගිය ලෝකයේ මට සිටින්නේ ඇයත් පුතුත් පමණය.

මට මේ කිසි දෙයක් නොතිබුණු කාළෙත් ඔයා හිටියා සුදු.. අපි ආයෙත් මුල ඉඳං පටං ගමු.. මාත් එක්ක ඉන්නවා නේද?

මා බලාපොරොත්තු සහගතව ආදරයෙන් ඇසුවෙමි.

පිළිතුරු ලෙස සුසුමක් පමණක් පිට කළ ඈ.. එතැනින් නැඟිට ගියේ හැඟුම්බරව ය..

මේ ලෝකය කෙතරම් කුරිරු ද? මම කිසිවෙකුටත් වරදක් නොකළෙමි. සාධාරණ න්‍යායන් ම අනුගමනය කළෙමි. මේ එයට මට ලැබුණු ත්‍යාගය ද?

මං ටික දවසක්.. පුතත් එක්ක අපේ ගෙදර ගිහිං එන්නම්.. ඔයා අලුතින් හිතන්න.. එදා මං උදවු කළේ මොනවත් නොදන්න.. යන එන මං නැති කෙනෙකුට.. ඔයාට ජීවිතේ පාර පෙන්නන එක මට ලොකු සතුටක් වුණා.. ඔයා මං ඒ පෙන්නපු පාරෙ ගියා.. දියුණු වුණා.. සාර්ථක වුණා.. ඒත් අද.. ඔයා එදාට වඩා බොහොම දැනුවත් වුණු කෙනෙක්.. අත්දැකීම්.. පරිණත බව .. වගකීම්.. ඔය ඔක්කොම තියෙනවා.. නැත්තෙ මොනවද? ඔවු ඔයා අලුතින් හිතන්න.. අපි දවස් දෙකකින් එන්නම්..

ඒ වචන මාගේ සවන්පත් තුළින් ඇතුළු වී සියොළඟ ම පැතිර ගියේ විදුලි සැරයක් මෙනි. මම අයාගත් දෙනෙත් වසා ගත නොහී.. ඈ දෙස බලා උන්නෙමි.

ඇය මට මඟ පෙන්වූවා.. යහමඟ වෙත යොමු කළා විනා.. මාගේ ව්‍යාපාර මෙහෙයවන්නට මඳක්වත් සහාය දැක්වූයේ නැත. එහෙත් මේ තද ප්‍රකාශය ඈ කළේ කුමණ අරමුණකින්ද .. මේ ගමන යන්නේ යම් සැලසුමක් මත ද කියා.. මා හට නොවැටහිණි.. මා කළ යුත්තේ සිනාසෙන එක ද නැත්නම් හඬන එකදැයි.. මා හට අවබෝධයක් නොවීය.

=================================================================

ගෙවුණු වසර දොළහ මුල සිට අගටත්.. අග සිට මුලටත් කොයි තරම් වාරයක් මා මෙනෙහි කළා දැයි මට මතක නැත.. මම ඒ අතර කුමක් හෝ විශේෂ යමක් සෙවුවෙමි. මට මඟහැරුණු දෙයක්.. සෙවුවෙමි.. එදා මට තිබුණේ අම්මාගේ සවිය පමණකි.. අද .. දැනුම.. පළපුරුද්ද.. හැකියාව .. සියල්ල ඇත.. අම්මා ත් අම්මාගේ සවියත් මා හට නැත. ඒ සවිය නැති දාට කිසිවක්ම නැති ද?

=================================================================

මහත්තයා .. හිතනවද .. අම්මා ඒ හයිය අරං ගියා කියලා.. ?

සුමේධ හාමුදුරුවන්ගේ පැනයට පිළිතුරක් මා සතු නොවීය.

නෑ මහත්තයා.. දෙමවුපියො දරුවන්ට දෙන කිසි දෙයක් ආපහු ගන්නෙ නෑ.. ඒ හයිය මහත්තයා ගාව ම යි තියෙන්නෙ..

මේ කණ්ණාඩිය බලන්න.. හොඳ..ට බලන්න.. මොනවද පේන්නෙ.. ?

උන්වහන්සේ කණ්ණාඩියක් මා වෙත දිගු කොට පැනයක් අසයි..

මාවම නේ හාමුදුරුවනේ..

මම කුහුලෙන් මෙන් පිළිතුරු දීමි..

හොඳට බලන්න මහත්තයා.. හොඳට..හදිස්සියක් නෑ..නෙ

මම දෙනෙත් විසල් කොට.. මා හැර .. කැඩපතෙහි වූ අන් දෙයක් සෙවුවෙමි. එහෙත් සුමේධ හාමුදුරුවෝ.. නිකරුණේ යමක් පවසන්නේ නැත..

තත්පර.. විනාඩි.. ගතවෙයි.. එකෙනෙහි ම.. මා දුටු දසුන වෙසෙස් විය.

ඒ අම්මා ය.. මා දෙස බලා සිනාසෙන අම්මා ය. මට මතක අතීතයේ උන් සුන්දර අම්මා ය. මම දෑස් එදෙසම යොමා උන්නෙමි. ඈ හිස වැනුවාය.. හරියට.. "උඹට පුළුවන් පුතේ" කියන්නාක් මෙනි..

අනේ හාමුදුරුවනේ.. !

එසේ කියමින් මම සුමේධ හිමියන් අභියස දණ ගැසුවෙමි..

නිමි.

Sunday, November 1, 2020

කැඩපත ට මුළා වී 6!


ඔයා පහුගිය සති දෙකේ ම මාව බලන්න ආවෙ නෑ.. දැං ඉතිං ලොකු මුදලාලිලා නෙ.. 

ඇය නෝක්කාඩු කියද්දී අව පැහැ ගැන්වෙන මුහුණ මා දක්නට ප්‍රිය දසුනක් නොවේ..

අනේ සුදු .. අද ආවනෙ.. හිනාවෙලා ඉන්නකො..  මා ආදරයෙන් කියමි. නලලත සිප ගනිමි. හිස පිරිමදිමි. හිරු දුටු පිණි බිඳු මෙන් අවපැහැය දුරුව රන් පැහැ ගැන්වෙන ඇගේ මුහුණ දක්නට ප්‍රිය නොවන කෙනෙක් වෙතැයි මම නොසිතමි.

කඩේ කාට දාලද ආවෙ.. මගෙ යාළුවෙක්ට බාර දුන්නා.. ලාභයෙන් කොටසක් විතරක් මට දෙයි.. මමත් පුළුවන් වෙලාවට ගිහින් උදවු වෙනවා.. ටික දවසක් යනකල්.. ඉතුරු වෙන කාලයෙන් මට පුළුවන් අලුත් අලුත් තැන් හොයාගන්න අපේ නිශ්පාදන දාන්න..

හප්පේ කොල්ලා දියුණු වෙලා තියෙන තරම්.. නිකම්ම නිකම් දියුණුවක් නෙවෙයි.. හිතන විදිහත් දියුණු වෙලා නෙ.. 

ඒක නං ඉතිං ඔයා හින්දා තමයි.. 

ඒ කොහොමද? කියන්නාක් මෙන් කුහුලෙන් ඈ මා දෙනෙත් දෙස බලා සිටින්නීය.

මං දැන් දවසට පැයක් වත්.. පොතක් පතක් කියවනවා. නේ.. ඒවැයින් ලැබෙන දැනුම හරි ප්‍රයෝජනවත්.. රේඩියෝ එකේ හොඳ ධනාත්මක චින්තන වැඩසටහන් යනවා.. ඒවත් වෙලාවක් තිබුණොත් අහනවා.. ඔක්කොටම වඩා මං පොඩි ම පොඩි වෙලාවක් හරි භාවනා කරනවා.. හිත හරිම සැහැල්ලුයි.. 

ඇගේ මුහුණේ ඉරියවු වඩාත් ප්‍රසන්න වෙයි.. මා දෙසට ම යොමු කළ නෙත් ඇතිව.. ඈ මා දෙසටම තවත් නැඹුරු වන්නීය..

ඔයා දැන් නියම පාරට ඇවිත්.. මට හරිම සතුටුයි.. 

===============================================

කාලය දින.. සති.. මාස..අවුරුදු ලෙස .. ගෙවී යයි.. දැන් මා සතුව නැති දෙයක් නැති තරම් ය. ව්‍යාපාරය ට තවත් ව්‍යාපාර කිහිපයක් එක් කොට සමූහ ව්‍යාපාරයක් ලෙස දියුණුවට පත්ව ඇත. සුජාතා නංගිත් ඇගේ යෙහෙළියත්.. විශ්ව විද්‍යාලයට තේරී පත් වුණ ද.. බාහිර උපාධි හදාරන්නේ.. තමන් කැමති විෂය ධාරාවන් ඔස්සේ.. දුරස්ථව අධ්‍යාපනය කළ හැකි නිසාවෙනි. අම්මා ද වැඩි වැඩියෙන් දම් පින් කරමින් සැහැල්ලුවෙන් කාලය ගෙවන්නීය. 

පැරණි කුඩා නිවස.. නිශ්පාදන කටයුතු වලට ම වෙන් කොට ඉඩමේ පසෙකට වන්නට.. කාමර කිහිපයකින් සමන්විත නිවසක් තනා අම්මාත් මමත් එහි පදිංචි වීමු. 

මා ආ මාවතේ බාධක නොතිබුණේ ම නොවේ.. විටින් විට තරඟකාරී ව්‍යාපාර වලින් දියත් කළ මඩ ප්‍රචාර මෙන්ම ගමේ ම ඇතැම් පුද්ගලයින් විසින් සිදු කළ නොපනත්කම් අඩුවක් නොවුණ ද, සත්‍යය හා මෛත්‍රිය ඉදිරියේ ඒ සියල්ල ඉවසන්නට හා මැඩපවත්වන්නට හැකි වීම අප ලද සුවිශාල ජයග්‍රහණයකි..

ඇය ද සිය අධ්‍යාපන කටයුතු නිමාකොට ගුරුවරියක් ලෙසින් පත්වීම් ලද අතර  ඔවුන්ගේ පවුලේ අය මෙන්ම මගේ මව ද අප ගේ සම්බන්ධයට ආශිර්වාද කළ බැවින් අපගේ සතුට ට කිසිදු බාධාවක් නොවූ සේ ය. 

===============================================

අපි ඔයාගෙ ඉස්කෝලෙ කිට්ටුවෙන් ගේ පොඩ්ඩක් කුලියට අරං පදිංචි වෙමු ද මුල ඉඳං ම? මා ඇසූ දෙයෙන් විශ්මයට පත් ඈ මඳක් නිහඬව උන්නාය. 

අපි දෙන්නා විතරක්.. ? අවසානයේ ඈ පැනය යොමු කළා ය.

ඔවු.. ඇයි මොකද්ද වැරැද්ද? කසාද බැන්දම ටික කාලයක් හරි වෙනම ඉන්න ඕන කියලයි මම නං හිතන්නෙ.. 

ඔයාගෙ අම්මා.. තනි වෙනවනෙ.. ?

වැඩි දුරකට නෙවෙයි නෙ සුදූ යන්නෙ.. උදේ හවස උනත් බලන්න පුළුවන්නේ.. අනික තනියක් නෑ.. අර නංගිලා දෙන්නත් ඉන්නවනේ.. 

නෑ.. නෑ.. ඉස්කෝලෙට මහ දුරක් නෑ.. නෙ.. අපි ඔයාලගෙ ගෙදර ම නවතිමු.. 

අවසානයේ මම ඇගේ තීරණයට ඉඩ දුන්නෙමි. මගේ අම්මා ට ඈ ආදරණීය දුවනියක් වූවාය. ඇයට මගේ අම්මා ආදරණීය මවක් වූවාය.

==============================================

පුතාව ගමේ ඉස්කෝලෙට දාලා නම් හරියන්නෙ නෑ.. ටවුමේ ඉස්කෝලෙට දාගන්න ලේසි වෙන්නෙත් නෑ.. ඔයා ඉතිං පගාව දෙන්නත් කැමති නෑ නෙ.  

ඇය කියන්නේ ඇත්ත ය. ගමේ ඉස්කෝලේ තරම මට වඩා හොඳින් දන්නේ එම පාසලේ උගන්නන ගුරුතුමිය ම නොවේද?  

අපි ටවුමෙ ඉස්කෝලෙ කිට්ටුවෙන් ගේ කෑල්ලක් ගමු.. 

මා කීවේ අතේ මුදල් තිබුණ නිසා නොවේ. කළ යුතු දේ ඒ යැයි හැඟුණු හෙයිනි. 

===============================================

අයියෙ.. සුරම්‍යා කසාද බඳිනවලු.. එයින් පස්සෙ රස්සාවට එන්න වෙන්නෙ නැතිලු.. ලබන සතියෙ විතරලු එන්නෙ..  

සුජාතා නංගි.. කියන්නේ කණගාටුවෙන් මෙනි. අපගේ ව්‍යාපාරය ගොඩනැඟීමෙහි පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සුජාතා නංගී ට සුරම්‍යා ඉමහත් ශක්තියක් වූ බව අපි කවුරුත් දන්නෙමු. 


ඒකත් එහෙමද? අවුරුදු ගාණක් අපිත් එක්ක හිටිය කෙල්ල.. එක පාරට ම.. ? අපෙන් වැරැද්දක්වත් උනාද?  එක්වරම ඇසූ ඒ තොරතුර මා සිතට ද ගෙන ආවේ කම්පනයකි.

අනේ නෑ අයියෙ.. එයා ටික දවසක් මට කියලා.. අයියා එක්ක කියන්න වෙලාවක් උනේ නෑ ඒකයි.. 

එහෙමනං අපි එයාට හොඳ ෆෙයාර්වෙල් එකක් දෙමු නේද? අලුතෙන් අය හොයා ගන්න නං පුළුවන්.. ඒත් විශ්වාසවන්ත මිනිස්සු හොයාගන්න එක නෙ වැඩේ.. . 

මා කීවේ සුරම්‍යා අප හා වැඩ කළ කාලයට සරිලන ලෙස ඇගේ අනාගතය වෙනුවෙන් යම් ප්‍රදානයක් කිරීමේ අරමුණ ඇතිවය. 

===============================================

මචං.. මං ලබන මාසෙ රට යනවා.. 25 වෙනකොට කඩේ බාර ගනිං.. මා වෙත දුරකථන ඇමතුමක් දෙමින් ලසන්ත කී කරුණෙන් යළිත් වරක් මම කම්පනයට පත්වීමි.  මාගේ මුල්ම ව්‍යාපාරයේ සම කොටස් කරු.. හිතාදර මිත්‍රයා.. රට හැර යන පුවත.. මා හට එක්වර ම දරන්නට අසීරු වූ සේ ය. 

ඇයි මචං.. එහෙම දෙයක් තීරණය කළේ..?

නෑ බං.. මේ කඩේ කරලා මාත් යමක් හරි හම්බු කරගත්තා තමයි.. 

ඒත් හිත කියනවා.. රට ගිහිං අවුරුද්දක් දෙකක්  ඉඳලා වරෙං කියලා..  අවස්ථාවක් ලැබුණාම ඒකට පයින් ගහන්න හොඳ නෑ නෙ..

උඹට වෙලා තියෙනවනෙ.. කාව හරි දාලා කරගෙන පළයං.. මගෙ ශෙයාර් එක පුළුවන් නං දියං.. 

ලසන්ත ට ත් පුද්ගලික අවශ්‍යතා ඇති බවත්.. අප මේ තත්වයට ඒමට ලසන්ත දුන් සහයෝගය සුළුවට තැකිය නොහැකි බවත් එසැණින් මනසට ආ පණිවුඩයෝ කියා පෑහ.. 

හ්ම්.. හරි මචං.. මොනවා හරි කරමු.. 

ඉදිරියට තැබූ පය පිටුපසට ගැනීමට මා සිත ඉඩ දුන්නේ නැත. නගරයේ නිවස.. සුරම්‍යා හට කරන ප්‍රදානය.. දැන් .. ලසන්ත ගේ කොටස් මුදල්.. ප්‍රශ්න ඇත්නම්.. ඒවාට පිළිතුරු ද ඇති බවට විශ්වාසයක් මා සිත තුළ විය. 

==============================================

මොනවද අනේ ගෙදර ආ වෙලාවෙ ඉඳං අහස පොළොව ගැටලන්න කල්පනා කරන්නෙ.. ? 

ඇය අසන්නේ ආදරයෙනි. 

බලන්නකො අම්මා.. මගෙන් පිළිතුරු නොළද තැන ඈ අම්මාට ගතු කියයි.. 

කිසිත් නොකියන මම පුතු තුරුලට ගෙන ඔහු සුරතල් කරමි. එය ගිණිගන්නා හිසක් වුව නිවිය හැකි කදිම දිය කඳක් බව මම අත්දැකීමෙන් ම දනිමි. 

=========================================================================

අවසාන කොටස බලාපොරොත්තු වන්න..

Thursday, October 29, 2020

කැඩපත ට මුළා වී 5!

  අයියෙ.. නැන්දා.. ටිකක් අසනීපෙන් වගේ.. සුජාතා ගේ සිහින්, බිය මුසු හඬ මට ඇසුණේ සිහිනයකින් මෙනි. වෙනදා හවස් වරුවේ කඩයට එන අම්මා අද නො ආවේ.. නෑමට හෝ රෙදි සේදීමට ගිය නිසා යැයි මම සිතා උන්නෙමි. එහෙත් ප්‍රශ්නය අනෙකක් සේ ය. 


නෑ .. නෑ අයියෙ කලබල වෙන්න දෙයක් නෑ.. එහෙමට අමාරුවක් නෑ.. නැන්දා හොඳින් ඉන්නවා.. ඒත් නැන්දා එක්ක කතා කරද්දි මට පුංචි වෙනසක් දැනුණා.. අයියා පුළුවන් නම් හවසට ගිහින් බෙහෙත් ටිකක් අරන් දෙන්න. මා කලබල වූ බව දුටු සුජාතා වහා මා අස්වැසුවාය. 


හදිස්සියකට ළඟට පාතට යන්න.. පා පැදියක් වත් නැති එකේ අඩුව මට දැනුණේ එවෙලේ ය. සුජාතා ට කඩේ බලා ගන්නා ලෙස පැවසූ මා නිවස වෙත හැල්මේ දිව ගියෙමි. 


මොකද මචං හදිස්සියක් ද? ලසන්ත යතුරු පැදියකින් විත් මා පසු කොට නැවැත්වීය. 


ම්.. ඔවු මචං.. ටිකක්.. අම්මාට සනීප මදි කියලා ආරංචියක් ආවා.. ඒකයි මේ ගෙදර දුවන්නෙ.. කියමින් මම යළිත් දුවන්නට සැරසුණෙමි.


ඉතිං නැගපං.. මං ගිහිං දාන්නම්.. ලසන්ත ආරාධනා කළේ සුපුරුදු ලෙංගතු කමිනි. 


වෙලාවේ හැටියට දෙයියෝ දුන්නා වගේ වැඩක් නෙ උනේ.. යැයි සිතමින් යතුරුපැදියට ගොඩවූ මා හට ඉක්මණින් ම නිවෙස වෙත යාමට හැකි වූ අතර.. යතුරු පැදියෙන් බැස වැඩි කලබලයක් නොපෙන්වා.. නිවස තුළට ගියේ තත්වය හරි හැටි ම නොදන්නා බැවිනි.. 


අම්මේ.. අම්මේ.. කියා මා කතා කළේ අම්මා පේන්නට නොසිටි බැවිනි. 

ආ... පුතේ මොකද මේ කලබොලෙන්..? කිසිත් නොවුණු ගානට සරලව පවසමින් කාමරය දෙස සිට පැමිණි අම්මා කිසියම් අපහසුවකින් පෙළෙන බැවු ඇගේ ඉරියවු කියා පෑ ය. 

නෑ.. අම්මා හවස කඩේ පැත්තෙ ආවෙ නැත්තෙ ඇයි බලන්නත් එක්ක මං ආවෙ.. සුජාතා නංගිව කඩේ තියලා.. නංගිත් කිවුවා අම්මගෙ අසනීප ගතියකුත් දැක්කයි කියලා.. මම වැඩි බරක් නොදා ම කීවෙමි.

එහෙමට අසනීපයක් නෑ පුතේ.. මේ පොඩි හිසේ රුජාවක්.. පස්පංගුව ඩිංගක් බීවා නං ඕක ඇරිලා යයි.. ඇය කියන කතාවත් ඇත්තය. නිකරුණේ දොස්තර බේත් හොය හොයා යන එක ඒ හැටි සුදුසු දෙයක් නොවේ. ඒත් ඇඟේ උණ තිබේ දැයි බැලිය යුතු ය.  ඔලුවටත් පපුවටත් අත තබා බැලුව ද එහෙම අමුතු රස්නයක් නොදැනුණෙන්.. හිතේ උපන් බිය තරමක් පහව ගියා සේ ය. ලසන්ත ට කියා ම පස් පංගුව පැකට් කිහිපයක් අසල කඩයෙන් ගෙන්වා ගත් මා ඉන් එකක් අම්මාට තම්බා දුන්නේ ඉන් හිසේ වේදනාව අඩු වේයැයි සිතා ය. එහෙත් සිදු වූයේ අනෙකකි.. කෝප්පයෙන් බාගයක් බොත් ම වාරු ගෙන නැගිට ගන්නටත් පෙර ම.. නිවස තුළ ම.. ඇය වමනය කරන්නට ගත්තාය.  මම වහා ඇගේ පිට අත ගෑවේ ඈ සතු ශාරීරික වේදනාවක් වේ නම් දුරු වේවායි සිතමිනි.. 


ලසන්තගේ උදවුවෙන් ම ත්‍රී රෝද රියක් ගෙන්වා ගත් මා අම්මා සමඟ හන්දියේ ඩිස්පැන්සරියට ගොස් දොස්තර මහතාට අම්මාව පෙන්වීමි. විස්තර ඇසූ දොස්තර මහතා.. අප මේ ගමේ ම අයදැයි ඇසුවේ.. ඩිස්පෙන්සරිය දමා වසර ගනණක් වුවද.. අප කිසි දින ඔහුගෙන් බෙහෙත් ගැනීමට ගොස් නැති නිසා විය යුතු ය. අන්තිමට අප බෙහෙත් ගත්තේ මීට අවුරුදු දහ අටකට පමණ පෙර ය.  


මා පුංචි සන්දියේ හතිය සෑදී හුස්ම ගන්නට අමාරු වී හුන් විට කපුරු තෙල් ගෑවේ අම්මා ය. එය ද ප්‍රමාණවත් නැති වූ කල, තාත්තා මා එක්ක ගියේ ඉස්පිරිතාලයේ ලොකු මහත්තයා ගාවට ය. මගේ පපුවටත් පිටටත් නළාව තැබූ දොස්තර මහතා මා ඉස්පිරිතාලේ නවත්වන්නැයි කීවේ ය.  අම්මාත් ආච්චි අම්මාත් මාරුවෙන් මාරුවට මා ළඟ නැවතී උන් බවත් තාත්තා තුන් වේලට ම මා බලන්න ආ බවත් හැර ඒ හැටි දෙයක් මට මතක නැත. මා වාට්ටුව පුරා දුව පැන්න බවත් එය ලෙඩේට හොඳ නැති බව කොතෙක් කීවද ඇසුවේ නැති බවත් ඉඳ හිට පරණ මතක ආවර්ජනයේ දී අම්මා කියන්නීය.. අන්තිමේ මාව මේච්චල් කරගෙන තිබෙන්නේ ඉස්පිරිතාලෙන් ගිය ගමන් ම මං ආසම කරන අයිස් ක්‍රීම් එකක් අරන් දෙන පොරොන්දුවට ය. එහෙත් දෙසතියක් යන තුරු සීතල කිසි දෙයක්  මා හට නොදෙන්නැයි දොස්තර මහතා දුන් උපදෙස් නිසා එම පොරොන්දුව ඉටු කරන්නට නොහැකි වීම ගැන මටත් වඩා තාත්තා උන්නේ කණගාටුවෙන් බව කියද්දි අම්මාගේ දෑස් අගට කඳුළක් උණයි. 


අම්මාගේ රුධිර පීඩනය වැඩි බවත්.. තවත් පරීක්ෂණ කිහිපයක් කළ යුතු බවත් කී දොස්තර මහතා බෙහෙත් පෙත්තක් ලියා දී දින දෙකකින් නැවත පැමිණ රුධිර පීඩනය පරීක්ෂා කර ගන්නා ලෙස ද කීවේය. අධි රුධිර පීඩනය ගැන යම් තරමක පැහැදිලි කිරීමක් කරන අතරතුර ආහාර පාලනය මෙන්ම ගත හා සිත පාලනය ගැන ද මනා උපදෙස් මාලාවක් ලබා දීමට එතුමා අමතක කළේ නැත. 


අම්මා මීට පස්සෙ උදේ ම නැගිටින්න ඕන නෑ. සුජාතා නංගි ඉන්නවනෙ. අපි එයාගෙ උදවුවට කෙනෙක් ගමු. 

දොස්තර මහතාගේ උපදෙස් නිසා යම් තැති ගැන්මක් ද හටගෙන තිබූ නිසා දෝ අම්මා මගේ යෝජනාවට විරුද්ධව කිසිවක් නොකීවාය. 


නංගී.. අම්මට ප්‍රෙෂර් වැඩි ලු. විවේක ගන්න කිවුවා.. ඔයාගෙ උදවුවට කතා කරගන්න කෙනෙක් නැද්ද? 

මමත් කියන්නමයි හිටියෙ අයියෙ.. නැන්දා මහන්සි වෙනවා වැඩියි.. දවාලෙ වත් ඉස්පාසුවක් නෑ නෙ. මගෙ හොඳ යාළුවෙක් ඉන්නවා. එයාටත් මට වගේ හරි ම ප්‍රශ්න.. මං කතා කරලා බලන්නද? 

හරි නංගි.. හෙට ඉඳන් හරි කමක් නෑ.. වැඩට එන්න කියන්න.. ඔයා ගෙ යාළුවෙක් නෙ.. බය වෙන්න දෙයක් නෑ නෙ.. 

හරි අයියෙ.. මං හෙට හවසට එයාට අයියව හම්බවෙන්න එන්න කියන්නම්.. 


පසු දින උදෑසන වෙනදා වෙලාවට ම අම්මා නැගිට කුස්සියට ආව ද ඇයට තව හෝරාවක් වත් නිදා ගන්නැයි අප දෙදෙනාම කීවෙමු. අපගේ දැඩි පෙරැත්තය මත නැවතත් සයනයට ගිය ඇය නැවත එන විට බොහෝ වැඩ අවසන් කර තබන්නට අපට හැකි විය. එදිනට සුජාතා නංගි ගෝලයා මම වීමි. 

හොද්ද හැඳි ගාන්න.. පොල් ටිකක් ගාන්න.. ඉඳි ආප්ප තට්ටු පිරිසිදු කරන්න .. ආදී වශයෙන්.. සුළු සුළු.. රාජකාරී රැසක් මා වෙත පැවරිනි.  තමා ගේ ගෝලයා ගේ ම ගෝලයා වීම අපූරු අත්දැකීමක් බව මට පසක් වූ අතර අප දෙදෙනා අතර තිබූ දුරස්ත බව ද දුරු වූවා සේ දැනිණි. 


ඔන්න බොස් ආවා.. එහෙනං මං යන්නං මගේ වැඩ වලට.. කියමින් සුජාතා නංගී හදා දුන් තේ කෝප්පය හිස් කරමින් මම ගෙතුළට ගියෙමි. 

අම්මාගේ මුහුණේ ඊයේ තිබූ වෙහෙසකර බව වෙනුවට.. පැහැබර හිනාවත් සුජාතා නංගී ගේ සුන්දර හිනාවත් දුටු මා සිත ට ද ඇති වූයේ සැනසුමකි.  කලකට පසු නැවතත් අපි ආයෙමත් පිරුණු පවුලක් බව මට දැනුණේ සුජාතා ද මගේ ම නැගණියක් යැයි හැඟෙන තරම් කුළුපග වූ නිසා ය. 


Monday, October 19, 2020

කැඩපත ට මුළා වී 4!

 මොකද පුතේ .. නින්ද යන්නෙ නැද්ද? අම්මාටත් කලිං නැඟිට කල්පනාවේ නිමග්නව උන් මා දුටු අම්මා ඇසුවේ විස්සෝපයෙනි. 

නින්ද යනවත් හොරයි.. අද වැඩ ගොඩාරියක් තියෙනවා කරන්නත් ඒකයි මං මේ කල්පනා කළේ.. 

අම්මා පසුපස ම කුස්සියට ඇදුණු මම .. මට හුරු.. හිරමණේ උඩ වාඩි උනෙමි. 

අම්මෙ සුජාතා නංගි .. ඉස්කෝලෙ ගමන නවත්තලා ලු.. රස්සාවකුත් හොයනවලු.. මහතුං මාමා කිවුවෙ.. හරියන එකක් නැද්ද අම්මගේ අත් උදවුවට.. ? 

සිරිසේන ගෙ කෙලී ද? ඒකි ගෙ නම් ඇති වැරැද්දක් නෑ.. ඒත් පුතේ අපට ඇත්තට ම ඔය තව කෙනෙකුට ගෙවන්න තරම් පුළුවන් කමක් තියේ ද? අම්මා කවදත් මෙන් අවදානමක් ගන්නට බිය වූවාය. 


අම්මා බය වෙන්න එපා.. අපි වැඩිපුර කඩයප්පන් හදන්න නේ එයාව වැඩට ගන්නේ.. මොකෝ නිකං පඩි ගෙවනවා කියලයෑ.. අම්ම එහෙනං අද ගිහිං කතා කරගන්නවද?  හෙට ඉඳං හරි වැඩට එන්න කියන්න. දැනට දවල්ට ඕන නෑ නෙ. හවසට ඇවිත් අඩුම කුඩුම ටික ලෑස්ති කරලා.. නිදාගෙන උදේ නැගිටලා කඩයප්පන් ටික හැදුවාම වැඩ ඉවරයි.. ඒ ළමයට ඉගෙන ගන්නත් වෙලාව තියෙනවා කැමති නම්..  අම්මා ගේ බිය සැක දුරු කළ මා ඇය සම්බන්ධ කරගන්න වැඩේ අම්මාටම පැවරුවේ එයට ඈ වඩාත් දක්ෂ නිසා මෙන් ම මා කතා කළහොත් ඒ ළමයා .. ලැජ්ජා වීමට ඉඩ ඇති නිසා ය. 


නගරයට ගොස් මා ගෙනා කළමනා.. අම්මාගේ අනුදැනුම ඇතිව සුජාතා විසින් මනාව සැකසීය. අම්මාගේ කාමරයේ ම ඇයට ද නිදා ගන්නට ඉඩ ලබා දුන් අතර.. පාසැල් ගමන යළි ඇරඹූ ඇය ගේ පාඩම් වැඩ ද අප නිවසේ සිටම කරන්නට ඉඩ පහසුකම් සලසන්නට අපට හැකි විය. 

අම්මාගේ ත් මගේ ත් සිත් දිනා ගනිමින් වැඩ කටයුතු කරන්නට සුජාතා සමත් වූ අතර.. පෙරටත් වඩා පරෙස්සමින්.. මා සමඟ කතා බහ කරන සුජාතා ගැන .. මා සිතෙහි ද පහන් බවක් ඇති වුණි. 


ඉස්සර මෙන් මා උදේ නැගිට කුස්සියට නොගිය අතර.. අම්මා තේක මා වෙත ගෙනැවිත් දුන්නා ය. ඈ හදිසිම කාරිය ක නම්.. තේක ගේන්නේ සුජාතා ය. 

අයියේ තේ එක..  එයිට වඩා වචනයක් ඇගේ මුවින් නික්මෙන්නේ නැත. 

ඉඳ හිට අම්මා සමඟ කතා කිරීමට කුස්සියට ගිය විටෙක.. සුජාතා ගේ ඉගෙනීම ගැන අසා.. ඉගෙනීමේ වටිනා කම මතක් කර.. අවශ්ය ඕනෑ ම දෙයක් අම්මාගෙන් ඉල්ලා ගන්නා ලෙස මම ඇයට පවසමි. ඇය එවිට සියුම් සිනාවකින් සංග්‍රහ කරන්නේ.. එවදන් පිළිගත් බව පෙන්වමිනි. 

කෙළිලොල් නව යවුවනයේ යුවතියක් මෙතරම් අහිංසක විය හැකිදැයි මම සිතමි. 


සුජාතා ගේ ආගමනයත් සමඟ අම්මා වඩාත් සතුටින් සිටින බවක් දිස් වූ අතර.. අපගේ ව්‍යාපාරයේ ආදායම ද දිනෙන් දින ඉහළ ගියේ ය. තමා ගේ කඩයට ද පෙර පරිදි ම වාගේ වෙළඳාම ඇති බවත් අම්මාගේ කඩයප්පං වල රසය.. එයට හේතුව බවත් මහතුං මාමා පැවසුවේ ඉමහත් සතුටකිනි.  


මහතුං මාමා ගේ කඩයට පමණක් නොව අහළ ගං කිහිපයක ම කඩ කිහිපයකට අප ගේ කඩයප්පං යහමින් දැමීමට අපට හැකි වූ නිසා.. අප ගේ කාර්යබහුලත්වය ද මඳක් ඉහළ යමින් පැවැතුණි. 

Sunday, October 11, 2020

කැඩපතට මුලා වී 3!

මහතුං මාමේ... අද වේලාසනින් කඩේ වහනවාදැයි අසමින් මා කඩ පිළට ගොඩ වූයේ මාමා කවදත් මෙන් මා හා සුහදයැයි යන උපකල්පනය මතය. එහෙත් සිදු වූයේ අනෙකකි. බලාපොරොත්තු වූ ලෙංගතු හිනාව වෙනුවට ලැබුණේ ඇනුම් පදයකි. කවුරු කවුරුත් බලා ඉන්නෙ ඉතිං කඩේ වැහෙනකම් නෙ... ඇනුම් පදය රොසලින් නැන්දාගෙනි. 

අනේ නැන්දෙ ඇයි එහෙම කියන්නෙ.. අපි කවුරුත් කැමති නෑ නෙව මේ කඩේ වැහෙනවට..? මා මගේ අවංක අදහස කීවේ සිත උපන් සංවේගයෙනි. 

ඔය ළමයා ඕවා ගණං ගන්න එපා.. අපි යමුකො ගෙට.. හාමිනේ මේ ළමයටයි මටයි තේ වතුර ඩිංගක් වත් කළා නං.. කියමින් මහතුං මාමා කඩයේ අන්තිම ලෑල්ලත් වසා මා දෙසට එමින් පැවසුවේ සුපුරුදු ලෙංගතු කමිනි. 

මං මේ මහතුං මාමා හම්බවෙන්ට කියලා ආවේ පොඩි කාරණයක් කතා කරගන්ට.. මා පවසද්දී මාමා මා දෙස බැලූයේ තද බල කුතුහලයකිනි. මහතුං මාමගෙන් මට පොඩි උදවුවක් ඕන. අපේ කඩේ වෙළඳාම් නරක නෑ. ඒත් මං හිතුවෙ.. එදා ඉඳං අම්මා කඩයප්පං දාපු මහතුං මාමගෙ කඩේටත් කඩයප්පං ටිකක් දාන්න. මහතුං මාමාගේ කුතුහලයෙන් පිරී තිබුණු මුහුණ අඳුරු වළාපට ඉවත්ව සුපැහැදිලි තරු පෑයූ අහස මෙන් දීප්තිමත් වනු මම මහත් ආශ්වාදයකින් නිරීක්ෂණය කළෙමි.

අනේ දරුවො ඒක නං කියලාවත් කොර ගන්ට බැරි උදවුවක්.. ඒත් ඉතිං රංමැණිකෙ ට ඉස්පාසුවක් තියෙයිද එච්චර හරියක් කරන්ට.. මාමා කවදත් මෙන් සාධාරණව සිතන බව පෙන්වන ප්‍රශ්නයක් නැඟුවේ ය. 

ඒක තමයි මාමා මං හිතුවෙ කාව හරි අත් උදවුවට එක් කරගන්ට.. අම්මට තනියෙන් ඔය සුමේ කරන්ට බෑ.. හොඳ පිරිසිදුවට ඉන්න කෙනෙක් හොයන්ටත් එපාය.  මා කීවේ මාමාගෙන් ම හොඳ කෙනෙක් ගැන ඔත්තුවක් ලබා ගැනීමේ අටියෙනි.

අර සිරිසේනගෙ කෙලී ... සුජාතා.. ඉස්කෝලෙ ගමන නවත්තලා ලු.. රස්සාවක් හොයනවා කියලා මටත් කීවා.. පවු අග හිඟකම් එහෙමත් ඇති.. අම්මා තාත්තා දෙන්නම අසනීපෙන් නෙව. බලාපොරොත්තු වූ පරිදි ම මාමා ගෙන් ඔත්තුව ලැබුණි. එකාතකට ඒ දැරිවියට දිගටම ඉගෙන ගන්නට උදවු විය හැකිය. අනෙක් අතට අම්මාට ද සහනයකි. 

ආ.. නේ.. මේ.. සම්පත් අයියා නෙව..  මුව පිරි සිනා මැද තේ කෝප්පය රැගෙන ආවේ ඈ ය. ඈ දුටු මතින් මට සියල්ල අමතක වන බව ඈ දනී. මම එසේ නොවී සිටීමට යත්න දරමින් සිනාවකින් පමණක් පිළිවදන් දී තේ කෝප්පය අතට ගත්තෙමි. 

කොහොමද දැන් බිස්නස් සරු ද? ඈ නොදන්නවා වගේ අසයි.. 

හොඳයි.. දැන් උදේට කැඳ ටිකකුත් හදනවා.. කොහොමද නංගිගෙ ඉගෙනීමේ වැඩ එහෙම.. ? අමාරුවෙන් වුවත් සාර්ථකව වචන ටිකක් ගලපා ගත හැකි වීම ගැන මම සතුටු වීමි. 

අම්මා කඩේ වහන්ට බලා ගෙන ඇති.. මාමේ එහෙනං මං ගිහිං එන්නං.. නැන්දා නං මගෙත් එක්ක අමනාපෙන් ද කොහෙද.. කියමින් මම ගෙතුළට එබුණෙමි. 

අනේ මොකට අමනාප වෙන්ටද ළමයො.. මං මේ කිරි හොද්දක් හැඳි ගාන ගමන් උන්නෙ.. ඒකයි කතාවට නාවෙ.. කියමින් සාලයට එබුනාය.  වැඩේ ගොඩින් බේරා ගත හැකි වීම මට මහත් සැනසුමක් විය. 

තේ කෝප්පය ඈ අතට දී සිනාවකින් ම ඈ ට සමුදී මම එන්නට පිටත් වීමි.  

කොහොමට උන්නු කොලුවෙක්ද.. මං හිතං උන්නෙ මූ මහ උලු ගෙදර නතර වෙයි කියලා කරපු නසරානි වැඩ වලට.. මාමා කියනු මා පල්ලම් බසිද්දී මට යාන්තමට ඇසිණි. 

Wednesday, October 7, 2020

කැඩපතට මුලා වී!2

 අරුණැල්ලට පෙර අවදි වන්නට මා පුරුදු වී දෙමසකට නොවැඩිය.. වෙනදා අනුන්ගේ කඩවල් වලට අම්මා දමන කඩයප්පං දැන් දැමෙන්නේ මගේ කඩේ ට ය... සමාවෙන්න .. ඒ අපේ කඩේ ය.. අම්මාගේත්.. මගේත්.. ඇගේත්.. කඩේ ය..

පුතා අද වෙනදාටත් කලිං නැගිටලා.. අම්මගේ දයාබර හඬ මා සිතට මිහිරක් එක් කරයි.. 

අද ඉ‍ඳං කැඳ වර්ග ටිකකුත් දාන්න හිතුවේ අම්මා.. කීප දෙනෙක්ම ඇහුවා....කියමින් මම අම්මාගේ මුහුණ දෙස බැලීමි..

දෙවියනේ .. මට කීවා නං කොළ ටිකක් ගෙනැවිත් ලෑස්ති කරනවනෙ.. ඈ මුවෙහි මැවුණේ විමතිය මුසු කනස්සලු සොබාවකි.. 

නෑ අම්මා ..දැං ඒවට ලේසි ක්‍රම තියෙනවා .. පැකැට් එක කැඩුවා .. රත් කළා... ගුණෙනුත් අඩුවක් නෑ කියලයි කියන්නේ.. මා වහා අම්මාව දැනුවත් කළේ.. ඇගේ සිත නිවනු පිණිස ය. 

හනේ මංදා ඉතිං ඕවා...   මිනිස්සුන්ට වස විස එහෙම දෙනවා නෙවෙයි.. මේ වින්ද දුක් මදැයි.. තවත් සංසාරෙට පවු නං එපා..! ඈ දෙන අවවාද.. පෙරදා මෙන් නොව..  අරුත්බරයැයි.. මට හැඟෙයි.. වෙනස් වී ඇත්තේ අම්මා නොවේ.. මා ය..

නෑ අම්මා .. මං ගන්නේ ආයුර්වේදෙන් රැකමන් කරපු තැනකින්.. අනිවා..මිනිස්සුන්ට හොඳක් තමයි වෙන්නෙ.. මම ඇයට වටහා දෙමි..

එදින උදයේ වෙළඳාම වෙනදාට වඩා යහපත්ව පැවතිනි..දහවල් වෙද්දී බත් පතකුත් ඔතාගෙන අම්මා කඩයට එයි.... දෙදෙනා එක්ව බත්පතට වග කියන අතර කවුරුන් හෝ කඩයට ආවොත් .. මම වහා අත් සෝදා ඔහුට අවැසි දේ සපයමි.. ඉන්පසු .. කන බත් කටවල් රහ වැඩිය.. ඒ ඒවා කවන්නේ අම්මා නිසා විය යුතුය ..

හැන්දෑවට අම්මා උයන ආප්ප..පිට්ටු..ඉඳිආප්ප .. වල රහ බලන්නට .. නො එන්නෝ ගමේ ඇත්තේ අතලොස්සකි.. පිරිසිදුකම ..රස .. මෙන්ම සුහදත්වය .. මුසු අපගේ සංග්‍රහය සැවොම සතුටින් භුක්ති වින්දාහ..

දැං මහතුං ගෙ කඩේ වැහෙන්ටයි යන්නෙ.. ආරංචිය දෙන්නේ මහතුං මාමා සමඟ තරමක් අමනාප සුමනෙ මාමා ය..

හපොයි.. අර මොකද..?  අම්මා විස්සෝප වෙයි.. මොනා වුණත් අපේ එක්කෙනා නැතිවුණ දා පටං.. මට පිහිට වුණු කඩේ.. ඒ විස්සෝපය ඈ ම සාධාරණීකරණය කරයි..

රංමැණිකෙ ගෙ කෑම කන්න මිනිස්සු මෙතන්ට හොයාගෙන එන්නෙ.. දැං මහතුවගෙ කඩේට කවුරු කඩයප්පන් දානවද මංදා.. මෙලෝ රහක් නෑ.. සුමනෙ මාමා කියන කතාව ඇත්ත නං .. මහතුං මාමා බොහෝ අසරණ වී ඇත.. එය අම්මාගේ මෙන්ම මගේ සිත ද කම්පාවට පත් කළ ආරංචියක් විය..

අම්මා ම‍ං අද හවස මහතුං මාමාගේ කඩේ පැත්තේ ගිහිං එන්නම්.. කියන පරක්කුවෙන් .. ඈ එය අනුමත කළා ය..

-=========================

පළමු කොටසට මුහුණුපොතේ ලැබුණු ප්‍රතිචාර අනුව හිතුණා .. භාශාව තව චූට්ටක් විතර ලිහිල් කරන්න.. අදහස් කියනවා නම් හරි වටිනවා..





Saturday, October 3, 2020

කැඩපත ට මුළා වී! 1

 

හාත්පස අඳුර රජයන්නට වී ද මා හැර යන හිතක් ඈ වෙත නො වී මා තුරුලේ මැ රස සුව මැවුවා ය. කාඩයෙකු පිස්සෙකු ලෙසින් ලෝකයා ගේ අනේකවිද අපහාසයන්ට මැදිව සිටි මා.. අපිළිවෙලට පිහිටි දසන් දෙපෙලෙහි මිස කිසි දු පැහැපත් බවෙක් නැති මා.. ස්ත්‍රීන් සහසෙක් අතර වුව රුවෙන් දිදුලන ඈ වැන්නියක මෙතරම් වසඟයට ගත්තේ කෙසේදැයි ඊර්ෂ්‍යාව මුසු විශ්මයාර්ථයෙන් මිතුරන් කරන විමැසීම් මනසෙහි නැඟී මා දෙතොලග සිහින් සිනහවක් මැවෙනු නිරීක්ෂණය කළ ඈ දෙනෙත් හි මැවි විමතිය මුසු භීතිය .. මෘගයෙකු දුටු මුවැත්තියක මා හට මවා පෑ ය.
" ඇයි?" ඈ කතා කළේ මිනිත්තු තිහ හතලිහකට පසු ව යැයි මා හට හැඟිණ.
"නෑ.. මට රට්ටු කියන කතා සිහි වුණා" .. ඈ නිහඬව ම සිටී...
"ඔයා වගේ ලස්සන කෙල්ලක් මං වගේ අපතයෙකුට කැමති වුණේ කොහොමද කියලා උන් පුදුම වෙනවා" මම මෙතෙක් තෙරපා සිරකැර ගෙන හුන් සිනහව මුදා හළෙමි.
"අපතයා කියන්නේ මොකක්ද ?" ඇගේ ස්වරය සිහින් යැ .. එ ද බැරෑරුම්යැ.
"අපතයා කියන්නේ වැඩකට නැති එකා කියන එක නේද?" ඈ තරමේ භාෂා ඥානයක් නොවූ මා හිතෙහි නැඟි පිළිතුර ඈ වෙත යොමු කළෙමි.
"අපතයා කියන්නේ අපතේ යන එකා කියන එක"
"අපතේ යන වටිනා සම්පතක් රැක ගන්න එක වරදක් යැ?" ඈ තොඳොල් වැ එද ස්ථිර වැ අසයි..
"අපි යමු සුදූ දැන් රෑත් වුණා.." ආදරයෙන් නලලත සිප.. උයන් මළුවෙන් නික්ම යන රිසින් මා නැඟී එනු දුටු ඈ ද හනි හනික නැඟී ගමනට සූදානම් වූවේ .. ගෞරවය.. ආදරය .. සපිරි.. කීකරු ම කඩිමුඩියකිනි.

අත්වැල් අල්වා පාළු මාවතෙහි පිය මැනැ ආ අපි .. මහ මඟ ට පිළිපන්නේ.. කිසි දා දැක නොමැති පරදේශක්කාරයින් දෙපලක් බඳුවයැ.

සත්තකින් මැ .. ඈ මා අපතේ යා නොදී රැකැ ඇත්තේ වරක් දෙවරක් නොවැ.. දහ පහලොස් වරෙක් ඈ මා රැකගෙනැ තිබෙයි. පස් පවින් මා වැළැකූ ඈ කරුණාව.. මුදිතාව මා හට ඉගැන්වීයැ. කලින් මෘගයෙකු වූ මා හෘදයාංගමයෙකු සේ දකින්නට බොහෝ යහපත් මිනිසුන් උත්සුක වෙද්දී ඇතැම් මිතුරෙක්.. ඒ ගමනට අකුල් නොහෙලුවේ ද නොවේ.

"ජීවිතේ... සුන්දර ද මෙතරම්.. සුවඳ දැනී.. දැනී .. දැනෙනවා.. " කියා කිසිවෙකුට නෑසෙන්නට.... මා සිතට පමණක් ඇසෙන්නට ගයමින් නින්දට යන්නට එදා මම සමත් වීමි.
===================
මතු සම්බන්ධයි..
===================
ටිකක් වෙනස් විදිහෙ භාෂා විලාශයක් ද භාවිත කරමින්.. ටිකක් වෙනස් විදිහේ වැඩක් කරන්න හිතුණා.. හොඳයි ද බලන්න.. බලලා කියන්න.. තව කොටස් 3-4 ක් ලියන්න හිතාන ඉන්නවා.. ප්‍රතිචාර අනුව.. තමයි..