ඇල්බට් අයින්ස්ටයින් ගැන රස කතා ටිකක් පහුගිය දවස් වල සමාජ ජාලා වල පැතිරුණා. මට ඒක දැම්මම මතක් වුණේ අපේ ශ්‍රියානන්ද මහාචාර්ය තුමා ගැන තියෙන රස කතා ටිකක්. මෙතුමා ඉතාම අල්පේඡ්ඡ ජීවිතයක් ගත කරන, සමාජ වාදී ලක්ෂණ පෙන්වන, චුට්ටක් අමුතු ඇක්සන්ට් එකකින් කතා කරන මහා දැනුම් ගබඩාවක්. යම් විෂය කරුණක් ගැන එතුමාගෙන් විමසූ විට ඉතා නිහතමානී ව ඒ ගැන සරල ව පහදා දීමට එතුමා ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි. යම් දෙයක් පැහැදිලි කරද්දී, "මොකද" යන වචනය මැදින් යෙදීම එතුමාගේ පුරුද්දකි.
1. විවෘත විශ්ව විද්‍යාලයේ කිසියම් විෂයක් මෙතුමා උගන්වන කාලෙක අපේ ශිෂ්‍යයො දෙන්නෙක් ගියා ලු විෂයානුබද්ධ කාරණාවකට මෙතුමා මුණ ගැහෙන්න මෙතුමාගෙ ගෙදරට. ඉදිරියට ඇවිත් තියෙන්නෙ මෙතුමාගෙ බිරින්දැ.
මැඩම් අපි පොඩ්ඩක් සර් මුණගැහෙන්න ආවෙ.
(පුටු පෙන්වමින්) චුට්ටක් වාඩි වෙලා ඉන්න පුතා. සර් ගියා බල්ලන්ට බෙහෙත් විදින්න කියලා. දැං එයි.
මැඩම් ගෙ කීමට අසුන් ගත් දෙදෙනා හෙමිහිට කුටු කුටු ගෑවේ සමාජ වාදී සෑර් ගේ ධනවාදී බලු හුරතලය ගැනයි. ටික වෙලාවක් යන විට අපේ සර් පා ගමනින් ම ගේට්ටුවෙන් ඇතුළු වනු පෙනේ. තනිවම ද? නැත. බල්ලන් දෙදෙනෙක් ද සමඟිනි. බල්ලන් ඇල්ටේෂන් ද? නැත, වල්ටේෂන් නකුටු බල්ලන් දෙදෙනෙකි. අපේ මිත්‍රයන් දෙදෙනා දුටු සර් සිනාසී මෙසේ කීවේ ලු.
"පාරෙ ඉන්න බල්ලො දෙන්නෙක්. මෙයාලා කෑම දීලා දැං වැඩි හරියක් මෙහෙ ඉන්නෙ. පොඩි අය සෙල්ලම් කරනවනෙ. ඒකයි බෙහෙත් විදින්න එක්ක ගියෙ"
2. මෙතුමා බොහෝ දින වලට නිවසේ සිට විශ්ව විද්‍යාලයට පැමිණියේ පා ගමනින්. ඉඳ හිට බසයේ ද පැමිණියා. කෙසේ හෝ වි.වි. ට ආසන්නතම බස් නැවතුම පසු කර මෙතුමා ගමන් කරන විට, තරමක වර්ෂාවක් පතිත වෙන්නට ගත්තා. බසයෙන් පැමිණි සිසුවෙක් මෙය දැක වහා දිව විත් මෙසේ කීවා.
"සර්. මේ කුඩේ ගන්න. මං යාළුවත් එක්ක එයාගෙ කුඩෙන් යන්නම්."
නෑ. පුතා අවශ්‍ය නෑ.
"නෑ සර් තෙමෙනවනෙ. අපට මේකෙන් යන්න පුළුවන්. සර් මේක ගන්න."
නෑ පුතා අවශ්‍ය නෑ. මං වැස්ස නෑ කියලා උපකල්පනය කරලා මේ ටික යනවා.
3. එදින විශ්ව විද්‍යාලයේ කිසියම් උත්සවයක් සංවිධානය කර තිබූ අතර එහි එක් අංගයක් ලෙස කුඩා සංගීත සාජ්ජයක් ද පැවැත්වෙමින් තිබුණි. කවුරුත් ආදරය කරන ශ්‍රියානන්ද මහාචාර්ය තුමාට වැඩි ගෞරවයක් ලබා දෙනු වස් නිවේදක තෙමේ එතුමාට මෙසේ ආරාධනා කළේය.
දැන් ඔබ සැම පිනවමින් ගීතයක් ගායනා කිරීමට මහාචාර්ය ශ්‍රියානන්ද මැතිතුමා!
ඔන්න ඉතිං අපේ සර් නැග්ගා වේදිකාවට. ගත්තා මයික් එක අතට.
ළමයි. මං සිංදු කියන්න නං දන්නෙ නෑ. ඕනෙම නං මං කවියක් කියන්නං.
දැං ඉතිං ළමයි ටිකටත් හරිම සතුටුයි. අත්පුඩි ගහනවා, විසිල් ගහනවා, එක කෙළියයි.
පැහැදිලි කිරීමක් කරන ඇක්සන්ට් එකෙන් මෙහෙම කිවුවා.
රෝස මලේ නටුවෙ කටූ - වන බඹරෝ ඔහොම හිටූ
නටුව නොවේ මල සිඹිමී - මොකද - මම ළමයෝ පැණි උරමී.
4. දිනක් අප යෙහෙළියක් කිසියම් දෙයක් සඳහා එතුමාගේ සහයෝගය ලබා ගැනීමේ අරමුණින් එතුමාගේ කාර්යාල කාමරයට ගියාය. කාරණාව කියාගෙන යද්දී කාර්යාලීය දුරකථනය නාද වන නමුත් දුරකථනයක් පෙනෙන්නට නැත. සුළු මොහොතකින් මේසය පුරා සී සී කඩ අතුරා තිබූ පොත් ඈත් මෑත් කොට දුරකථනය සොයාගෙන කතා කරන්නට ඔහු සමත් විය. අසුවල් දින අසුවල් වෙලාවට මෙතනට එන්න මං අවශ්‍ය තොරතුරු ලබා දෙන්නම් කියා පැවසූ එතුමා ඔහු කර කර සිටි රාජකාරියට යොමු විය. කියූ දිනයේ කියූ වෙලාවට එතුමා හමු වන්නට ගිය ඇයව හඳුනාගත් සැණින් අර පොත් මේසයේ පොත් පත් එහා මෙහා කර කොළ කෑල්ලක් අතට ගෙන එය ඈ වෙත ලබා දුන්නේ සුපුරුදු මන්දස්මිතයෙනි. කොතරම් රාජකාරි මධ්‍යයේ වුවද සාමාන්‍ය දරුවෙකු කෙරෙහි ඔහු තුළ පැවති ආකල්පය මෙන් ම පිස්සීගේ පළා මල්ල වැනි අපිළිවෙල මේසය මත පොත් පත් මහා ගොඩක් අතර චූටි කොළ කැබැල්ලක් ඉතා සුළු මොහොතකින් සොයා ගැනීමට එතුමාට තිබූ හැකියාව ද විශ්මය ජනකය.
5. Assignment එකකට පිළිතුරු භාර දීමේ දී, VIVA හෙවත් වාචික ඇගැයීමක් ද සිදු කිරීම ශ්‍රියානන්ද සර් ගේ මෙන්ම බොහෝ කථිකාචාර්ය වරුන්ගේ සිරිත විය. කිසියම් කාරණාවක් සම්බන්ධව කාගෙන් හෝ පිළිතුරක් කොපි කරගෙන ගිය අප මිතුරෙකුගෙන් එම පිළිතුර පිළිබඳ පැහැදිලි කිරීම ප්‍රමාණවත්ව නොලද තැන ඉතා හොඳින් එම කාරණාව කියා දී අවසානයේ එතුමාගේ දෑස යොමු වූයේ මිතුරා අත වූ දැවැන්ත පුස්තකය වෙතටයි. ඇත්තෙන්ම මිතුරා එම පොත ගෙන ගොස් තිබෙන්නේ තමා මෙවැනි පොත් පරිශීලනය කරන බව පෙන්වීමටයි. ඒ දෙස බලා සිනාසුනු මහැදුරු තෙමේ මෙසේ කීවේ ලු. " ඔය පොතේ නං මේ Assignment එකට අදාළ මොනවත් නෑ"
එතුමා පිළිබඳ වූ රසකතා සාහිත්‍යයෙන් මා හට මතක අවස්ථා කිහිපයක් මෙලෙස දැක්වෙන අතර ඇතැම් ඒවා ගෙතූ ඒවා බවට ද මත පවතී. එතුමාගේ දැනුම් සම්භාරය මිනිස් සංහතිය වෙනුවෙන් කොයිතරම් ඵලදායීව යොදා ගත්තාදැයි කීමට මා සතු අවබෝධය ඉතා ම අල්ප වුවද, මා දුටු ශ්‍රේෂ්ඨතම මානව වාදී ගුරුවරයෙකු ලෙස එතුමා හට ඇති ගෞරවය නම් ඉතා ඉහළ ය.
No comments:
Post a Comment
වටිනා අදහස් ලියනු මැනේ..