පියාඹන කාලයට
තටු දුන්න පුතණුවනි
දැං නුඹත් ලොකු වෙලා ගානයි
ඇස් පියාගෙන බැලූ
ඒ සොඳුරු ළමා විය
නුඹෙන් වෙන් වී යන්න වාගෙයි
පුතේ ඇස් ඇරගන්න
නව යොවුන් ලෝකයම
සුන්දරයි.. ඒත් හද පාරයි
පෙනෙන දේ ඇහෙන දේ
දැනෙන දේ නොව පුතේ
හරි ම දේ මයෙ පුතුට බාරයි
මම.. හදපතුලෙන් ම නැගෙන අදහස් අකුරු කරමි... ඔබ .. එය කියවන්න.. රස විඳින්න .. විවේචනය කරන්න... අපි .. මේ ලෝකය මොහොතකට සුන්දර කරමු...
පියාඹන කාලයට
තටු දුන්න පුතණුවනි
දැං නුඹත් ලොකු වෙලා ගානයි
ඇස් පියාගෙන බැලූ
ඒ සොඳුරු ළමා විය
නුඹෙන් වෙන් වී යන්න වාගෙයි
පුතේ ඇස් ඇරගන්න
නව යොවුන් ලෝකයම
සුන්දරයි.. ඒත් හද පාරයි
පෙනෙන දේ ඇහෙන දේ
දැනෙන දේ නොව පුතේ
හරි ම දේ මයෙ පුතුට බාරයි
ඉස්කෝලෙ ඉස්සරහම පේළියේ උන්නු දුනාල්, පංතියෙ හිටපු ආකර්ශනීය ම කොල්ලා. එයැයිට බැහැයි කියලා දෙයක් නෑ. ගණං, විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල, සමාජ අධ්‍යයනය, සංගීතය, නැටුම්, චිත්‍ර. මේ හැම දෙයක්ම පුළුවන්. ඉස්පෝට් මීට් එකේ දුවන්න, දුර පනින්න වගේම එල්ලේ, බැඩ්මින්ටන්, ක්‍රිකට් වගේ ඕනම සෙල්ලමක දුනාල් උන්නෙ ඉස්සරහින් ම.
ගුරුවරුන්ගෙ වගේම, ශිෂ්‍ය නායක නායිකාවන්ගෙත් හිත දිනා ගත්තු කීකරු දුනාල්ගෙ අකීකරු කමට තිබුණෙ එයැයිගෙ ගොඩක් ම කොට නොකෙරූ කෙහෙරැළි විතරමයි. දන්න අඳුරන, කතා කරන ඕනම කෙනෙකුට පුංචි විහිළුවක් කරලා, ලස්සනට හිනාවෙන්ට එයැයිට තිබුණේ පුදුම හැකියාවක්.
එයැයි සෞන්දර්යට කළේ නැටුම් හින්දා, මටත් එයැයිත් එක්ක එකට නටන්ට ලැබුණා. ඒ නැටුම් වෙලාව තමයි මං ඉස්කෝලෙ වෙලාවෙන් ආසම වෙලාව. ටීචර් අලුතින් වන්නමක් කියලා දීලා දුනාල් ට කියනවා ඉස්සරහට ඇවිත් නටන්ටය කියලා. තාලෙට වන්නම ගයමින් දුනාල් නටද්දි, මං එයැයි දිහා බලාගෙන ම නටනවා. වෙන වෙලාවල් වලදි, එයැයි දිහා බලන එක හරි නැති වුණා ට, මේ වෙලාවෙදි එයැයිගෙ හැම ඉරියවුවක් ම නිරීක්ෂණය කරන්ට මට නිරවුල් අයිතියක් තියෙනවා කියලා දැනෙද්දි මට දැනෙන්නෙ හරි සතුටක්.
විවේක වෙලාවක් ආවොත්, සංගීත ටීචර් ගෙන් සර්පිනාව ඉල්ලගෙන ඇවිත්, දුනාල් ලස්සනට ඒක වාදනය කරමින් සින්දු කියනවා අහන එක තමයි අපට තිබුණු ඊළඟ විනෝදය. වෙන පංති වල ළමයි හිස් පීරියඩ් වල දඟලද්දි, සණ්ඩු කරද්දි, අපි බොහොම සාවදානව දුනාල් ගෙ සංගීතයට ඒකාත්මික වෙන එකට ගුරුවරු වුණත් විරුද්ධ වුණේ නෑ.
කාලය ගෙවිලා ගිහිං ශිෂ්‍යත්ව විභාගෙන් ඉහළ ප්‍රථිඵල ගත්තු දුනාල් රටේ තියෙන හොඳමයැයි කියන ඉස්කෝලෙට ඇතුළු වෙනවා. පිටිපස්සෙ පේලියෙ ඉඳං දුනාල්ගෙ රසිකයො වුණු අපිට අලුත් වීරයෙක් හොයාගන්ට වෙනවා. ඒත් කාලය ගෙවුනාය කියලා දුනාල් ව මගේ හිතෙන් මැකෙන්නෙ නෑ. ඒ වෙනුවට දුනාල් කියලා චිත්‍රයක් මගේ හිතේ රජ කරන්ට ගන්නවා. යාළුවො, දෙමවුපියො, ගුරුවරු කවුරුත් හිතන්නෙ මං මහ සෝමාරි ළමයෙක් කියලා. ඒකෙ වරදකුත් නෑ. මං ඉතිං හැම වෙලාවෙම ඉන්නෙ ලෝක දෙකක අතරමං වෙලානෙ.
===========================================================
වෙනදට වාට්ටුවෙ වැඩ කළ මාව එදා හදිසියෙ සායනයට මාරු කරලා. කොතන වුණත් කරන්න තියෙන්නෙ වැඩ නෙ. මං ඉතිං සුපුරුදු දෙලොවක් අතර සීන් එකෙන් ම සායනයට යද්දි, දොස්තර මහත්තයා ලෙඩ්ඩු බලනවා. එයැයි වේලාසනම වැඩ පටං අරං. එහෙම නැතුව, මගේ පරක්කුවක් එහෙම නෙමෙයි.
ඔයා ගෙ පරෙස්සම නං මදි. බලන්න මේ සීනි හොඳටම වැඩියි නෙ. මොකද කියන්නෙ? ඉන්ජක්සන් එකක් දෙන්නද? කෑමෙන් පරිස්සම් වෙලා, ව්‍යායාම ටිකක් කරමුද? මට ඇහුණෙ, විහිළුවක් කරමින් හිනා වෙන අරුම පුදුම දොස්තර කෙනෙක්ගෙ හඬ.
ඒ තමයි එයැයිගේ, ඒ කියන්නෙ දුනාල් ගෙ හිනාව. ඒක තාමත් ආදරණීයයි, ආකර්ශනීයයි.
මොනවත් නොකියා ඒ මූණ දිහා මං බලා උන්නෙ හරියට නැටුම් කාමරේදි වගේ.
මහත්තයො චුට්ටක් ඉන්න.
රෝගියාට ආදරයෙන් කියන ගමන් මගේ ඇස් මඟ නොහැරිය ඔහු මා ළඟට ආවෙ විශ්මයෙන් විසල් වූ දෑසින් යුතුව.
"සිතාරි නේද?"
එයැයිගේ දෑසේ කාන්තිය, සුන්දර සිනාව සමඟ මුසු වී හාත් පස විල් තෙරක්, රෝස මල් පිරුණු මල් වත්තක් මැවුවේ මට උන් හිටි තැන් අමතක කරමින්.
ඔවු. සිතාරි තමයි. ඩොක්ටර් දුනාල්? මං ඒක ඇහුවෙ, මං ඉන්නෙ කොහෙද කියලා මිනිත්තුවක විතර මහන්සියක් අරං සිහි එළවගෙන, මහා පුදුමයකින්. එයැයි බොහොම ආදරෙන්, සියුම්ව අතට අත දීලා එයැයිගෙ සතුට ප්‍රකාශ කරමින්, අපි හවස හමු වෙමු කියලා මුව නොසොල්වා කිවුව එක ඇහුණෙ මට විතරමයි. ඒත් එතන හිටපු රෝගීන් ටිකත් ඒ ඩිංගට මං වගේ ම දැහැනට සමවැදිලා උන්නු බව මට තේරුණේ මං වට පිට බලද්දි.
අපි දෙන්නා හැන්දෑවල් වල ටී ෂොප් එකේ තේකක් බොන ගමන් වැඩියෙන්ම කතා කළේ, පහු ගිය අවුරුදු දා හත ගත වුණු හැටි ගැන.
හැම දේකම ශූරයෙක් වුණු දුනාල්ට උසස් පෙළ දි තමන්ගෙ මාවත විදිහට විද්‍යා විෂය ධාරාව තෝරගන්නට වුණේ දෙමවුපියන්ගෙ කැමැත්තට ලු. අනෙක් අතට දුර දිගට ඉගෙන ගන්ට තරම් සුවිශේෂී විෂය ධාරාවක් ලංකාවෙ එයැයිට තෝරගන්ට තිබුණෙ නැල්ලු. අනෙක් දේ වගේ ම දෙමාපියො ගෙනාපු යෝජනාවකට කැමති වෙලා, එයැයි ළඟදිම කසාද බඳින්නලු යන්නෙ.
එයැයිව අහිමි වෙනවැයි කියන දුක මගේ හිතට නො ආව නෙවෙයි. ඒත් මං මගෙ හිතින්ම ඇහැවුවෙ, අහිමි වෙන්ට එයැයිව මට කවදාවත් හිමි වෙලා තිබුණද කියලයි.
දුනාල් ට වගේ ශිෂ්‍යත්වෙ පාස් වෙන්ට බැරි වුණාට මාත් ඉතිං ඕ ලෙවෙල් පාස් වෙලා උසස් පෙළ කළේ, ජීව විද්‍යා අංශයෙන්. දොස්තර කෙනෙක් වෙනවට වඩා, මං ඒ විෂය ධාරාව තෝරගත්තෙ මගේ යාළුවෙක් නිසා. එයැයිගෙ තාත්තා පරිසරවේදියෙක්. එයැයි කියන්නෙ ජීවිතේට වඩාත් ම වටිනා දේ ඉගෙන ගන්ට තියෙන්නෙ සත්තුන්ගෙ ගැන සහ ගස් ගැනය කියලා. ජීවිතේ මේ වගේ වෙන්ට ඕන කියලා හීනයක් වෙනුවට මට හැමදාමත් තිබුණෙ එළොවටත් මෙළොවටත් නැති හීනයක්. ඔහේ එන එන විදිහට මොන මොනවා හරි කරලා, කොහොමින් කොහොම හරි මාත් ඉතිං නේස් නෝන කෙනෙක් වෙලා තමා පස්ස බැලුවෙ.
අතීතය ඉවර වුණත්, අපට ටී ෂොප් එකේ තේකක් තොල ගාන ගමන් කතා කරන්න නම් හුඟක් දේ තිබුණා. රෝගීන්, එයාලගෙ ප්‍රශ්න වගේ ම එයාලගෙ අනාගතය, එයාලගෙ දරුවන්ගෙ අනාගතය ගැන, වගේ නොයෙක් නොයෙක් මාතෘකා ටී ෂොප් එකේ දි දවස ගානෙ අපේ මාතෘකාව බවට පත් වුණා.
"එක්ස්කියුස් මී. මං එන්න පරක්කු වුණා ද?"
අපි දෙන්නා තේ බිබී ඉන්නැද්දි එතනට පාත් වෙච්චි සුමාලි අහද්දි මං පුදුම වුණත්, එයැයිගෙ තිබුණෙ සුපුරුදු මන්දස්මිතය.
"මං හිතුවෙ අපට කලිං මෙතනට එයි කියලා"
දුනාල් හිනා වෙමින් ම සුමාලි ට පුටුවක් ලං කළා.
"මෙයා ද මේ සිතාරි?"
සුමාලි හිනාවෙමින් ඇහුවේ ඔලොක්කුවටද කියලත් මට හිතුණා.
ඔයාලා අඳුනනවද?
ඒ ප්‍රශ්නය එක පාරට ම ඇහුවෙ මම විතරක් නෙවෙයි. දුනාලුත් ඒ ප්‍රශ්නයම ඇහුවා.
"ඔවු" අපි දෙන්නම එක වරම උත්තර දුන්නු විදිහට දෙන්නට ම හිනා.
ඔයා කියන්න. ලේඩීස් ෆස්ට් නෙ.
"මේ මගේ අර යාළුවා. මට බයෝ කරන්න කිවුවා කිවුවෙ?" මං සුමාලි ගැන දුනාල් ට කිවුවා.
"මේ මගේ වෙන්ට වයිෆ්." දුනාල් කිවුවෙ හිනා වෙවී. හැමදාම වගේ ඒ ඇස් දිලිසුණා.
ඒක හමු වීමක් ද, වෙන් වීමක් ද, නැත්නම් නමක් නැති සිදුවීමක් ද කියලා මං දන්නෙ නෑ. ඒත් ඒක අපූරුයි.
"ආදරය තියෙන්නෙ එක්වීම් වල නෙවෙයි, වෙන්වීම් වල" කියලා මං ම තියාගත්ත සටහනක් මට සිහි වුණා.
මං ආදරේ කළ , මාව වසඟ කළ ඒ හිනාව, මට දිගටම අයිතියි කියන විශ්වාසයත් එක්ක මං තේ කෝප්පෙ අන්තිම බින්දුවත් ඉවර කළා.
ඔන්න ඉතිං පහුගිය අප්‍රියෙල් 15 වැනිදා උදැහැනැක්කෙ 10ත් පහු වෙලා කුකුලත් අතින් අරං අපේ රථ පෙරහැර රාජාංගනේ ඉඳන් අනුරාජපුරේ බලා පිටත් වුණේ කලිං බලන්ට බැරි වුණු අපූරු පෞරාණික ස්ථාන කිහිපයක් බලාගන්න අරමුණ පෙරදැරි කරගෙන. මුලින් ම ගියේ ගල්පාලමක් බලන්ට. පාලමක් කිවුවට ළඟ ළඟ ම පාලං දෙකක් තිබුණා. ඒ දැනටත් හොඳින් ගලන මල්වතු ඔය සහ හිඳි තිබුණු හාල්පානු ඇල කියන ඒවැයින් එගොඩ වෙන්ට. හැබැයි දැනට ඉතිරි වෙලා තියෙන්නෙ ඒ ගල් පාලම් වලින් කොටසයි. මේ ගල්පාලම් වසර 1500 ක් විතර පරණ බවයි කියැවෙන්නෙ.
ඊළඟට අපි ගියේ රහතන් වහන්සේ වැඩ හිටියායැයි සැලකෙන පුරාණ අසපුවක් වූ විජයාරාමය බලන්න. ඇත්තෙන්ම එම ස්ථානයේ තිබුණු මිහිර නම් වචනයෙන් විස්තර කළ නොහැකි තරම්. ඉපැරණි චෛත්‍ය හා නටඹුන් වලට අමතරව එම උයනේ තිබූ ගස් කොලන් නිසා දැනුණු සුවය මනස්කාන්තයි. අනෙක් අය හතරවටේ ඇවිදලා ආපහු යන්ට පිටත් වෙනකල් ගහක් යට වාඩි වෙලා හිටපු මට හිතුණේ තව ටිකක් ඉන්ට තිබුණා නම් කියලා.
ඊළඟට අපි ගියේ අසෝකාරාමයට. එතනට ගමන ටිකක් විතර අපහසු වුණේ ගමන් මාර්ගය ටිකක් වල ගොඩැලි සහිත එකක් නිසාත් අපේ වාහන දෙකක් ම විට්ස් වර්ගයේ උස අඩු වාහන දෙකක් නිසාත්. පන්කුලිය කියන ගමේ පිහිටා තියෙන අසෝකාරාමය බලාගන්ට එක මහත්මයෙක් යොදවලා තිබෙනවා. එතන තිබෙන ශෛලමය බුදු පිළිමය සුප්‍රසිද්ධ සමාධි බුදු පිළිමයට සමාන කමක් දක්වන බව කියැවෙනවා. ඉතා අලංකාර මුරගල් සහ ඉදිකිරීම් කිහිපයක් ම මෙහි දකින්ට පුළුවන්.
ඊයෙත් වැවකින්, ඇළකින් නාන්ට බැරි වුණු නිසා උදේ ම රාජාංගනේ වැවෙන් පිට වෙන ඇලපාරකින් හොඳට නාගත්තා. ඊට පස්සෙ අනුරාධපුරේ හෝටලේකින් කන්ට හිතලා මැන්ගො-මැන්ගො, ඇඹුල වගේ තැන් දිහා බැලුවත් ඒවයෙ අතුරු සිදුරු නැතිව සෙනඟ පිරිලා හිටියා. ටවුම මැද තිබුණු The Bakers කියන අවන්හලෙන් අපේ අවශ්‍යතාවය ඉටු කරගෙන ඉවර වෙනකොට ම සෑහෙන්න හවස් වෙලා තිබුණා. ඉතුරු වෙලා තිබුණු වෙලාවෙ බලන්න පුළුවන් තැන් විදිහට තිබුණෙ, රන්මසු උයන සහ ඉසුරුමුණිය.
සාලිය - අසෝකමාලා දෙන්නා ආදරයෙන් බැඳුනයි කියන රන්මසු උයන ඇත්තටම ආදරවන්තයින්ට නම් කියාපු තැනක්. දිය නාන්ට තිබෙන පොකුණු අසල ම තිබෙන කුඩා කාමර, ඇඳුම් හැඳ ගැනීමට තැනුවා යැයි උපකල්පනය කළ හැකියි. විශාල ගල් මත තැනූ ආසන රජ වරුන් විනෝදයෙන් සිටින්නට තැනුවා විය හැකියි. මෙහි ගලක කොටා ඇති විශ්වයේ සිතියමක් යැයි සැලකෙන කිසියම් සංඛේත වලින් සමන්විත සිතියමක් ඉතා සුවිශේෂ යැයි සැලකෙනවා.
හැන්දෑවෙ හිරු බැස යන මොහොතට ආසන්නව වැවට බැහැලා නාගන්ට ඕනිය කියලා අපේ කොටසකට ආපු ආසාවටත් ඉඩ දීලා, හිරු බැස යද්දි වැවු බැම්මේ ඉඳන් ඒ සුන්දර දසුනත් බලලා තමයි අපේ සංචාරයේ මූලික වැඩ කටයුතු අවසන් කළේ.
විශේෂ ස්තුතිය:
සුවිශේෂී කරුණු රැසක් අපට කියා දෙමින් මාර්ගෝපදේශ දැක්වූ සේන අයියාට සහ නවාතැන් පහසුකම් සලසා දෙමින් අපට අනුග්‍රහ දැක්වූ ඔහුගේ (දෙටු) පුත් චමීරට.
ප.ලි.
14 වැනිදා රාජාංගනය දක්වා ගමන සහ 17 වැනිදා ආපසු නිවෙස් දක්වා ගමන ඇතුළු චාරිකාමය ගති ලක්ෂණ හීන කරුණු මෙම සටහනෙන් ඉවත් කළේ ඔබ සැමගේ රසවින්දනයට බාධා නොවන්නට බව කාරුණිකව සලකන්න.
All birds find shelter during a rain. But eagle avoids rain by flying above the clouds. Problems are commen, but the attitude makes the difference.
කුරුල්ලො වැස්ස වෙලාවට මොකක් හරි ආවරණයක් හොයනවා වැස්සෙන් බේරෙන්න. හැබැයි උකුස්සා, වළාකුළු වලට ඉහලින් පියාසර කරමින් වැස්ස මඟහරිනවා.
එකම ප්‍රශ්නෙට මුහුණ දෙන විදිහ ගැන අප දරණ ආකල්ප වල තමයි සැබෑ වෙනස තියෙන්නෙ.
මෙහෙම කියන්නෙ අපේ අසල්වැසි ඉන්දියාවෙ උන්නු 11 වැනි ජනපතිවරයා වූ අබ්දුල් කලාම් හෙවත් අවුල් පකිර් ජයිනුලාබ්දීන් අබ්දුල් කලාම් කියන අපූරු මිනිසා. 1931 ඔක්තෝබර් 15 වැනිදා තමිල්නාඩුවට අයත් මදුරාසියේ උපන් මෙතුමා, ඉන්දියාවේ න්‍යෂ්ඨික මිසයිල අත්හදා බැලීම් වල පුරෝගාමී විද්‍යාඥවරයෙකු ද වුණා.
2002 වසරේ ජනාධිපති තනතුර ලැබීමෙන් පසු "ජනතා ජනපති" යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනු ලැබූ මෙතුමා නොපසුබස්නා උත්සාහය මතින් ම සාර්ථකත්වයට පත් වූ පුද්ගලයෙකු ලෙස, මතු පරපුර සාර්ථකත්වය වෙත මෙහෙයැවීමෙහිලා අතිශයින් වැදගත් වන අපූරු කියමන් රැසක් ලොවට දායාද කළා.
83 වියැති කලාම් දේශනයක් පවත්වන අතරතුර ඇති වූ හදිසි ඇද වැටීමක් මත 2015 වසරේ ජූලි මස 27 වැනි දින මෙලොව හැරදා නික්ම යන තුරුම අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ලොවට තමා සතු දැනුම බෙදා දෙන්නට යුහුසුළු ව කටයුතු කළා.
ප.ලි.
පින්තූරය හා තොරතුරු අන්තර්ජාලයෙන්.
කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි සිලෝන් ටකරං බස් එකට ගොඩ වුණේ ඒ පාරෙ ඒ වෙලාවට තියෙන්නෙ ඒ බස් එක විතරක් හින්දා. සෙකන්ඩ් ෂයි එකේ විභාගෙත් ළඟ හින්දා පේපර් ක්ලාස් කරන අයියා කෙනෙක් ගෙ ක්ලාස් එකකට යන්න කියලා. ඒ මගේ ඒ ක්ලාස් එකට යන දෙවෙනි දවස. කිලෝ මීටරයක් වත් යන්න කලියෙං බස් එක කැඩුණා. දැං ඉතිං විකල්ප නෑ. වෙලාවට පංතියට යන්න නං. පුළුවන් ටික ප්රධාන පාරේ බස් එකක ගෙහුං ඉතුරු ටික පයිං අඹන්න ඕනි. දැං වගේ ඒ කාලෙ ටුක් ටුක් තිබුණ එකක්යෑ.
ඔයත් අයියගෙ ක්ලාස් එකට නේද යන්නෙ? කියලා.
අනේ ඔවු, මාර වැඩේ නේද වුණේ. වෙලාවට යන්න බැරි වෙයිද මංදා,
ඔයාවත් මං වත් වැරදි නෑ. අපි අපේ පාරවල් වල යමු.
පහුගිය අවුරුද්දෙ කොරෝනා හින්දා ගමන් බිමන් නවත්තලා දාපු පාර අවුරුද්දකට ආසන්න කාලයක් කොහේවත් යන්නෙ නැතිව ගෙදරට වෙලා උන්නු අපි දැන් මාසෙකට විතර කලින් ඉඳං පහුගිය එවුවටත් එක්ක එහෙ මෙහේ යන්න පටං ගත්තා. ඒ ගොඩාක් අය එක්ක නෙවෙයි.. තම තමන්ගෙම අය එක්ක බොහොම පරිස්සමට, රටේ නිරෝධායන ක්‍රියාවලියටත් හානියක් නොවෙන්න.
අපි මුලින්ම ගියේ යටගල රජ මහා විහාරයට. වාහල්කඩින් ඇතුලට වාහන දාන්න එපා කියලා තිබුණු නිසා, එළියෙම වාහනේ නවත්තලා අපි ඇතුළට ගියා. එදා ඉරිදා දවසක් නිසා දහම්පාසැල පැවැත්වුණා. දහම්පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවො සහ ගුරු භවතුන් හැර පිටස්තරයින්ට උන්නෙ අපි විතරයි.
ඇතුල් වෙන හරියෙම ලස්සන උයනක් තියෙනවා. ඉන්පස්සෙ මෑත යුගයේ ඉදි කෙරුණු ගොඩනැගිලි කිහිපයක්. පඩි 60-70ක් උඩට නැංගාම තමයි පුරාණ විහාරය හමුවෙන්නෙ. මෙහි වැඩ සිටින බෝධීන් වහන්සෙ දේවානම්පියතිස්ස රජ යුගයට අයත් ශ්‍රී මහා බෝධියේ නැගෙනහිර දිශා ශාඛාවෙන් උපන් දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ නමක් විදිහට තමයි සැලකෙන්නේ.
ගල් ලෙනක් තුළ පිහිටුවා ඇති බුදු මැදුර තුළ 18 රියන් සැතපෙන බුදු පිළිම වහන්සේ නමක්, ලෝහමය හිටි පිළිම වහන්සේ නමක්, ඉපැරණි බිතු සිතුවම් ආදිය දක්නට ලැබෙනවා.
එම සැතපෙන බුදු පිළිම වහන්සේ දෙවන පැරකුම්බා රජුගේ ඇමතිවරයෙකු වූ පතිරාජ විසින් ඉදිකරවන ලද්දක් බවයි පැවසෙන්නේ.
දඹදෙනි යුගයෙන් පසුව ක්‍රමයෙන් අප්‍රකටව ගිය මෙම විහාරය නැවත සොයාගෙන තිබෙන්නේ මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ගේ කාලයේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් විසින් බව පැවසෙනවා. එම භික්ෂූන් වහන්සේ ගේ උසට සමාන උසක් ඇති ලෝහමය බුදු පිළිම වහන්සේ නමක් නිර්මාණය කළ පුවත ආරංචි වූ රජ තුමා එම පිළිම වහන්සේ ගේ නේත්‍රා වලට එබ්බවීම සඳහා නිල් මැණික් පූජා කළ බව පැවසෙනවා. කෙසේ වෙතත් සොර සතුරු උවදුරු නිසා එම නිල් මැණික් ආරක්ෂිත ස්ථානයක තැන්පත් කර ඇති බවයි පැවසෙන්නේ. මෙම පිළිම වහන්සේ පිළිබඳ සුවිශේෂී ම කරුණ වන්නේ එය ඇතුලත හිස් නොමැති සම්පූර්ණ ලෝහමය පිළිම අතුරින් උසම පිළිමය ලෙස සලකනු ලැබීමයි.
මෙහි ඇති බිතු සිතුවම් නුවර යුගයට අයත් බවට පුරා විද්‍යාත්මකව පිළිගන්නා බව අප හට කරුණු කියා දුන් භික්ෂූන් වහන්සේ පැවසුවා.
රූමස්සල - ජන්ගල් බීච්
ඉන් අනතුරුව අප පැමිණියේ රූමස්සලටයි. එය කුඩා කන්දක් වගේ ම සංචාරක ආකර්ශනය ඉතා ඉහළ පෙදෙසක්. එම මාර්ගයේ සංචාරක හෝටල් කිහිපයක් ම තිබෙනු දක්නට ලැබුණා. වාහන නැවැත්වීම සඳහා නැවතුම්පොළවල් කිහිපයක් ම තිබුණා. එහි අය කිරීම රු. 150/=ක්. එක් වරම වැඩියි කියා සිතුණත් එහි අප ගත කරන කාලය අනුව එය අසාධාරණ නැති බැවු පසුව වැටහුණා.
එතනින් පහළට බැසීමට තිබුණේ තරමක් දුෂ්කර මාර්ගයක්. මුලින් ම ගිය අපේ පුතණ්ඩියා මාර්ගය බෙදෙන තැනකදී තෝරාගෙන තිබුණේ කෙටි එහෙත් දුෂ්කර වූ මාර්ගයයි. එය තරමක් වෙහෙසකර වුවත් අපූරු අත්දැකීමක්. මග දෙපස කුඩා වනරොද අතර බියර් ටින්, ෂොපින් බෑග් වැනි නොදිරන අප ද්‍රව්‍ය පිරී පැවතීමෙන් පෙනී ගියේ මෙහි පැමිණෙන්නන් (ලංකාවේ සුපුරුදු පරිදි ) නිසි පරිසර සාක්ෂරතාවයක් නැති පිරිසක් බවයි. කලපුවක ආකාරයට වන රොදින් වට වූ මුහුද ට අප සැම ආශක්ත වුණා. අඩු තරමේ පැය 2-3 ක් වත් අප එහි දිය නාන්නට ඇති. ක්‍රම ක්‍රමයෙන් එතැනට එන පිරිස වැඩි වන විට අප ස්නානය හමාර කොට නැවතත් ඉහළට ගමන් කළා. මෙවර අප තෝරා ගත්තේ දුෂ්කර බවින් අඩු මාර්ගය. එහි සිමෙන්ති පඩි පෙල් සකස් කර තිබුණා.
මුහුදු දිය නා පැමිණි අපට පිරිසිදු දිය නා ගැනීමට අසල නිවෙස් වල පහසුකම් පනවා තිබුණා. එක් අයෙකුගෙන් අය කළේ රුපියල් පනහක් පමණයි. එම නිවෙස් වල කළුකුං සතුන් කිහිප දෙනෙක් සිටිනු දක්නට ලැබුණා.
ඉන් පසු අප ඒ අසල ම වූ ජපන් සාම චෛත්‍යය වෙත ගියා. එතැනට ගිය විට ගාල්ල නගරය හොඳින් දර්ශනය වූවා. එතැන සැලකිය යුතු වෙලාවක් ගිමන් හැරීමෙන් අනතුරුව අප රූමස්සලින් පිටත් වුණා.
තෙල්වත්ත පුරාණ තොටගමු රම්පත් රජමහා විහාරය.
දිවා ආහාරය විහාරයට එපිටින් ඇති උද්‍යානයේ භුක්ති විඳි අපට එහි භාරකාර තුමා විශ්‍රාම ශාලාවට ගොස් ආහාර ගන්නා ලෙසත් පවසා සිටියා. එමෙන්ම පුරා වස්තු තිබෙන ස්ථානයක් නිසා එහි ආරක්ෂාවට සිටින සිවිල් ආරක්ෂක නිලධාරී මහතා තමා අපට එහි ඇති දේවල් ගැන ඉතා අගනා විස්තරයක් ඉදිරිපත් කළේ. ඒ විස්තරය සාරාංශ ගත කළොත් මෙහෙමයි.
තොටගමුවේ රාහුල නම් ශ්‍රේෂ්ඨ සාහිත්‍යධර ස්ථවිරයන් වහන්සේ මෙන්ම උන් වහන්සේ ගේ ගුරු වීදාගම මෛත්‍රී හිමියන්ගේත් රාහුල හිමිගේ සහෝදර භික්ෂූන් වහන්සේගේ ත් පහස ලැබූ මේ පිං බිම බොහොම හාස් කම් තිබෙන තැනක්. අනංගයා හෙවත් මල්සරා ගේ ප්‍රථිමාවක් ලෝකයේ වෙනත් තැනක නැති බව පැවසෙනවා. රාහුල හිමියන් විසින් ගුරු හිමියන් සතු වූ ඖෂධයක් අධි මාත්‍රාවෙන් පානය කර මෙතැනදී සිහි නැතිව උන් බවත් රාහුල හිමියන් ගැන ගිරවෙකු ගුරු හිමියන්ට දැනුම් දුන් බවත්. ගුරු හිමියන් කිරි දෙන මවු වරුන්ගේ උපකාරයෙන් රාහුල හිමියන් ව සනීප කරගත් බවත් පැවසෙනවා. ඒ සඳහා යොදාගත් බෙහෙත් ඔරුව මෑතක් වන තුරු මෙහි තිබුණත් දැන් නම් කොහෙද කියා දන්නේ නෑ. විෂ්ණු දේව ප්‍රතිමාවේ ඇඟිල්ලක් කැඩී එයින් ලේ ආ බවත් කියවෙනවා. යකුන්ගෙන් පවා වැඩ ගෙන තිබෙන නිසා මෙහි තිබෙන බොහෝ දේ අද්භූතයි.
අනෙක් විහාර ගෙය ශක්‍ර දෙවියන් විසින් මැවූ බව පැවසෙනවා. එම විහාර ගෙයට ඇතුළු වෙන තැන ඇති ප්‍රතිමාව සක්දෙවු රජු ගේ යැයි පැවසෙනවා. එහි ඇති සැතපෙන බුදු පිළිමයෙහි සිරස බස්නාහිර දෙසට පිහිටා තිබීම විශේෂත්වයක්. විහාර මහා දේවී ගේ සමයේ මුහුද ගොඩ ගැලූ පසු යළිත් එවැන්නක් සිදු නොවීම පිණිස මෙම පිළිම වහන්සේ මෙසේ බස්නාහිරට සිරස පිහිටන සේ නිමවා ඇති බවයි ජනප්‍රවාද වල පැවසෙන්නේ. යම් හෙයකින් මෙම පිළිමයෙහි සිරසට ඉහළින් මුහුද ගොඩ ගැලුවහොත් ඒ ලෝක විනාශය බවයි පැවසෙන්නේ. මුහුදට ඉතා ආසන්නයෙන් ඇති, උස් බිමකත් නොවූ මෙම පිං බිමට අබමල් රොණක තරම් හානියක් සුනාමියෙන් සිදු වූයේ නෑ. මෙහි කෝට්ටේ යුගයට අයත් චිත්‍ර වලට යටින් නුවර යුගයට අයත් චිත්‍ර හමු වී ඇති අතර, ඊටත් යටින් තවත් පැරණි චිත්‍ර ඇති බවට විශ්වාස කරනවා.
විහාර මළුවේ පිහිටුවා ඇති නාථ දෙවොල ද ඉතා හාස්කම් ඇති, ප්‍රාර්ථනා කරන දේ ඉටු වන තැනක්.
රාහුල හිමියන් විසින් පරිහරණය කළ පුස්කොළ පොත් සංරක්ෂණය කොට කෞතුකාගාරයක් ද මෙහි පවතිනවා.
මෙම විහාරස්ථානයේ නායක හිමි වරුන් තිදෙනෙකු සිටීම විශේෂත්වයක්. විහාරස්ථානයට අදාළ යම් සුවිශේෂී තීරණයක් ගැනීමේදී මේ තිදෙනාගේ ම අනුමැතිය අවශ්‍යයි..
ඔය ආකාරයට බොහෝ වටිනා කරුණු අප හට කියා දුන් සිවිල් ආරක්ෂක නිලධාරී මහතා ට පිං දී අප එදිනට නියමිත ගමන් නිම කොට අපගේ නවාතැන වූ CASA Hikka Villa වෙත පැමිණියේ දැනුමට, විනෝදය ට අමතරව හොඳ විවේකයක් ද ලබා ගැනීමේ අරමුණෙන්.
එම ආයතනය භාරව හුන් ධම්මික මහතා අප වෙත දැක්වූ සැලකිලි ඉතා ම සතුටුදායක වූ අතර, එහි සැප පහසුකම් ද ප්‍රමාණවත් මට්ටමින් විය. පුරා පැය විස්සක් පමණ එහි ගත කරද්දී, නිදාගත් පැය වලට අමතරව පොඩ්ඩෝ වැඩිම වෙලාවක් ගත කළේ නාන තටාකයේ ය. අප ගෙන ගිය වියළි/අමු ආහාර ද්‍රව්‍ය පිස අපට ඉතා ප්‍රණීත ආහාර වේලක් ධම්මික මහතා අපට සකසා දුන්නේ ය.
අම්බලන්ගොඩ - ආරියපාල වෙස් මුහුණු කෞතුකාගාරය.
පසුදා දිවා ආහාරයෙන් පසු අපගේ ඥාති නිවසකට ද ගොස් අම්බලන්ගොඩ ආරියපාල වෙස් මුහුණු කෞතුකාගාරය නැරඹීමට ගියේ නැවත නිවෙස් බලා ඒමට පෙර ය.
එය ද ඉතා අපූරු අත්දැකීමක් බව කිව යුතුය. ආරියපාල ගුරුන්නාන්සේ විසින් නිර්මාණය කරන ලද වෙස් මුහුණු, කෝලම් ආදී නිර්මාණ රැසක් එහි විය. ජසයා, නොන්චි, ලෙන්චිනා, මහසෝනා ආදී නොයෙක් කෝලම් මෙන්ම නාග ගුරුලා, ගරා යකා ආදී නොයෙක් වෙස් මුහුණු ද දක්නට ලැබුණා. ජර්මන් රජයේ ආධාරයක් ලෙස එම ස්ථානය ඔවුනට ලැබී ඇති අතර, වත්මනෙහි ආරියපාල ගුරුන්නාන්සේ ගේ පුතුන් විසින් එම ස්ථානය පවත්වාගෙන යනවා. අගනා පැහැදිලි කිරීමෙන් පසු පුංචි ආධාරයක් කරන්නත් අපි උත්සුක වුණේ එම සේවය මතු පරපුර වෙත අපගේ සංස්කෘතික නිර්මාණ ගෙන යාම පිණිස ඉවහල් වන නිසයි.
ඉහළ මාලයේ ඇති වෙළඳ සලෙහි ඉතා ඉහළ මිළ ගනන් වලට විකිණීමට ඇති වෙස් මුහුණු ඇතුළු දේශීය නිශ්පාදන දක්නට ලැබෙන අතර දේශීය සංචාරකයින් සඳහා ඔවුන් 20% ක වට්ටමක් ලබා දෙනවා. මිළ තරමක් ඉහළ වුවත්, ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවාගේ දස්කම් විස්කම් ලොව අභිමුවෙහි පෙන්වීමට දරණ වෑයම ට උදවු වීම පිණිස පුංචි සිහිවටන කිහිපයක් අපිත් මිළ දී ගත්තා.
කළු වඩු මුල්ල පන්සල නම් අලංකාර පන්සලක් ඇති බවත් එය නැරඹීම ඉතා ප්‍රයෝජනවත් විය හැකි බවත් කිහිප දෙනෙකු ම කීවත්, පැවති තෙහෙට්ටු ගතිය සහ ඊළඟ දිනයේ රාජකාරී සඳහා පිටත් විය යුතු නිසා එතැනින් අපගේ සංචාරය නිම කර නිවෙස් බලා යාමට පිටත් වුණා.
නැරඹූ තැන් ප්‍රමාණය ඉතා ස්වල්පයක් වුවත්, ඉතා වින්දනීය චාරිකාවක් එසේ නිමාවට පත් වුණා.
නැවතුනේ නෑ එකම තැනක කවදාවත්
පිළිගත්තෙ නෑ නුඹම ආදරෙයි කීවත්
මම දන්නෙ නෑ නුඹට මතකයිද මාවත්
තරහකුත් නෑ මගේ ළඟට නුඹ නාවත්
ඉර හඳ ට මොන දුර ද තරු ඊට ඈතයි
නුඹ ඉන්නෙ ඔහු ගාව ඒත් ළඟ පාතයි
හදවතට දුක එද්දි ආදරය බේතයි
ඒ බේත මම බොද්දි මට හරිම සීතයි
ඇස් හතර ලංකරන් බල බලා මූණු
මස් නහර තුළ පවා සෙනෙහසින් පීනූ
හිස් පැතුම් මව මවා සතුටකට මෑනූ
රැස් විහිද හඬ නැඟුණි රජ මඟුල් සීනු
මදු විතෙන් සැරසීමි විරහ දුක මාගේ
සුදු ඔබේ මතකයෙන් දුකක් දැන් නෑඟේ
හුදු මතකයක් ලෙසින් ඇති කළද වේගේ
රුදු පැතුම් නොපැතුවෙමි දුනිමි සහයෝගේ
පියුමකට උපත දී බඹරු වැනසේ දෝ
බඹර සුව නොලද මල හනික පරවේ දෝ
ආයෙමත් හීතලක් මගෙ හිතට ඒ දෝ
මා තුරුලෙ රස මවන් එ මල සුව වේ දෝ
පුංචි පුතු හුරතල් ද කෝ මටත් දෙන්න
ඒ රුවන් මිණි කිරුළ හිසෙහි පළඳින්න
හිත් මලට පියෙකු නැති අඩුව නොදැනෙන්න
අප්පච්චි බව මෙමා ඔහුට පවසන්න
දියවැඩියාව, එහෙමත් නැත්නම් මධුමේහය කියලා සිංහලෙන් හඳුන්වන, Diabetes mellitus කියලා ඉංගිරිසියෙන් කියන, බෝ නොවෙන රෝගයක් තියෙනවා කියලත්, ඒ රෝගය ලෝකෙ වගේ ම ලංකාවෙත් බොහෝ දෙනෙක් ට තියෙන සුලභ රෝගයක් බවත් අපි ඔයාලා කවුරුත් දන්නවනෙ. මේ ලෙඩේ තියෙනවද කියලා හොයන්න වෙන්නෙ රුධිරයේ සීනි එහෙමත් නැත්නම් ග්ලූකෝස් ප්‍රමාණය පරීක්ෂා කිරීමෙන් තමයි.
අපේ අප්පච්චිටත් දියවැඩියාව තිබුණා. දැනගත්තු දවසෙ ඉඳං අප්පච්චි පුදුම විදිහට කෑමෙන් පරෙස්සම් වුණා. පැණි රහ තියා, අල ගෙඩියක් දාලා උයපු හොද්දකින් චුට්ටක් වත් කෑවෙ නෑ. මොන තරම් පරෙස්සම් වුණත්, අප්පච්චිට සීනි දෙයියන්ගෙන් කිසිම සහනයක් ලැබුණෙ නෑ. එයා 75 වසරක දිවි සැරිය නිමා කරනකම් ම ඒ දෙයියා අප්පච්චිට හරියට හිරිහැර කළා. හැබැයි අප්පච්චි පුරුදු වෙලා තිබුණු එක පුරුද්දක් නිසා, කොච්චර බෙහෙත් බිවුවත්, අප්පච්චිගෙ වකුගඩු දෙක නම් පරෙස්සම් වුණා අන්තිම වෙනකම් ම. ඒ තමයි වතුර බොන එක. උදේ ඉඳං රෑ වෙනකං වගේ ම රෑ ඉඳං උදේ වෙනකං මෙගා බෝතල් 2-3ක් වත් අප්පච්චි අනිවාර්යයෙන් හිස් කරනවා.
ඔන්න ඉතිං මට අවුරුදු 34 සම්පූර්ණ වෙන්න මාස කිහිපයකට ඉස්සර උණක් හැදුණු වෙලාවක, RBS එකක් හෙවත් අහඹු රුධිරයේ සීනි පරීක්ෂාවක් කළා ම මට්ටම ටිකාක් උඩට ගිහිං කියලා හඳුනා ගන්නවා. ඒ හරියට ම මීට අවුරුදු දහයකට කලිං. ඊට පස්සෙ මම සම්පූර්ණ පරීක්ෂණ සැට් එක ම කරගත්තහම ලෙඩ දෙක තුනක් හොයා ගන්නවා.
1. දියවැඩියාව
2. වකුගඩු වල ගල්
3. High blood preasure හෙවත් අධි රුධිර පීඩනය (බෝඩර් එකේ).
හැබැයි මං ඔය ඉස්පිරිතාලෙ ඉන්න දවස් ටිකේ අලුත් දෙයක් හොයා ගන්නවා. ඒ තමයි මට අම්මා බෙදලා දෙන බත් එක අවශ්‍ය ප්‍රමාණයට වඩා ගොඩාක් ලොකුයි කියලා. ඉතිං සෑහෙන සටනක් කරලා බත් ප්‍රමාණය 50% කින් විතර අඩු කරගන්න මට පුළුවං වෙනවා.
ඉස්පිරිතාලෙ උන්නු දොස්තර මහත්තැන් 2,3 එවුවට ප්‍රතිකාර කරන්නෙ නැතුව දියවැඩියාවට විතරක් Metformin කියන ඉංගිරිස් ඖෂධය ලබා දෙනවා උදේ හවස ගන්ට ය කියලා.
සති දෙකක් විතර ඒ දීපු බෙහෙත් බීපු මම නිතර නිතර රුධිරගත සීනි පරීක්ෂාව කරන ගමන් අර බෙහෙත් නවත්වලා සැපෙන් සනීපෙන් ඉන්නවා. මාස තුනක් විතර හොඳට සීනි පාලනය වෙන බවට කරපු නිරීක්ෂණයත් එක්ක, රුධිර පරීක්ෂාව කරන එක ටික ටික මඟ හැරෙනවා. හැමෝටම දැං අමතකයි මං දියවැඩියාවට බෙහෙත් බීපු එකෙක් බව. ඔහොම අවුරුදු 4-5 ක් යද්දි මට තේරෙනවා මගේ ඇස් පෙනීම මාර විදිහට අඩුයි කියලා.
පරීක්ෂා කරලා බැලුවම සීනි මට්ටම ටිකක් දරුණුවට වැඩි වෙලා. ඊට පස්සෙ Metformin SR කියන පෙත්ත උදේ හවා අරගන්න නියම වෙනවා. මාත් කාලා බීලා ඉන්නවා. ඔය අතරෙ අධි රුධිර පීඩනයටත් බෙහෙත් පටං ගන්නවා.
2020 කොරෝනා ආපු අවු අස්සෙ මගේ බිරින්දෑ Youtube කියන මෙවුවා එකේ වීඩියෝ බලන්න පටං ගන්නවා. ඔන්න අපිට හම්බ වෙනවා වෙද මහත්තයෙක් දියවැඩියාව නිට්ටාවට ම සුව කරනවා යැයි කියන. සිංහල වෙදකම ගැන මගේ කොහොමටත් ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතිං මට හිතෙනවා ටිකක් උත්සාහ කරලා බලන්න. ගිය පළවෙනි දවසෙම මට තේරෙනවා, උන්නැහේ ට ඒ හැටි දැනුමක් නැති බව. හැබැයි දුන්නු බෙහෙත් වලින් සීනි මට්ටම නං සුපිරියට බහිනවා. සති දෙකක බෙහෙත් වලට රුපියල් ම පන්දාහක් ගන්නවා එයැයි. පාන් පිටි මිශ්‍රිත කෑම, සම්බා හාලේ බත්, ගස්ලබු, අඹ, වට්ටක්කා වගේ කෑම ජාති කිහිපයක් තහනම් කළාට අයිස් ක්‍රීම්, අලුවා, කිරි පැණි එහෙම තහනම් කළේ නෑ. සතියකට දවස් තුනක් වත් පැය භාගය ගානෙවත් ව්‍යායාමයක් නම් කරන්න ඕනමයි කිවුවා.
පළවෙනි බහෙත් ටික ඉවර වෙන්නත් ඉස්සර ඉංගිරිසි බෙහෙත් නවත්තලා තියෙද්දිත් සීනි මට්ටම හොඳින් පාලනය කරගන්න මට පුළුවන් වුණා. දෙපාර, තුන්පාර ගන්නකොට බෙහෙත් ප්‍රමාණයත් ටිකෙන් ටික අඩු කරනවා. බෙහෙත් වර්ගත් ටිකක් වෙනස් කරනවා. දැං ඉතිං සනීපයි කියලා හිතපු මං තුමාට ආයෙමත් රස ම රස කෑම බීම වර්ග නො අඩුව ලැබෙනවා. ආසම කෑමක් වුණු පෑන් කේක් එහෙම හැදුවාම බය නැතුව දහයක් විතර බඩට දාගත්තම ලැබෙන ආධ්‍යාත්මික සුවය ගැන මොනවට කියනවද ඉතිං.
ඔන්න ඒ පාර මගේ සීනි මට්ටම ආයෙත් උඩ යනවා. මං ම කල්පනා කරලා කන බත් ප්‍රමාණය අඩු කරන්න තීරණය කරනවා. අනිත් පැණි රහ කෑමත් අඩුවක් නැතුව කනවා. වැඩේ හරියට ම හරි. මාස තුන හමාරක් විතර බීලා, වෙද මහත්තයා නවත්තන්න කියන්නෙ නැති පාර මං විහිංම නවත්තනවා. දැං ඒ නවත්තලත් මාස කිහිපයක් වෙනවා. තාම නං හොඳින් පාලනය සිද්ධ වෙනවා. එකම වෙනස, කන බත් ප්‍රමාණය විතරයි. බත් මේස හැඳි 2 කට වැඩිය බෙදා ගන්නෙ නෑ. හැමෝම පුදුම වුණත්, මාළු පිණි වැඩියෙනුත් එක්ක බෙදා ගන්න නිසා අතරමඟ බඩගිනි වෙන්නෙත් නෑ. කන කෑම වල රසත් වැඩියි.
මට මඟ හැරෙන එක ම දේ ව්‍යායාමය. පුළු පුළුවන් වෙලාවට ව්‍යායාමයත් කරගත්තා නං, ආයෙ ටික කාලෙකට බෙහෙත් ඕන නෑ කියලා මට හිතෙනවා. ආයෙමත් කතාවෙ මුලට ගියොත්, අප්පච්චි කොච්චර කෑම පාලනය කළත් බත් පිඟානෙ සයිස් එක නං අඩු වුණේ නෑ. අප්පච්චිගෙ සීනි මට්ටම අඩු නොවුණෙ ඒක වෙන්නැති. දැං ඉතිං සීනි දෙයියා නයා මැරුණු අහිකුණ්ඨිකයා වගේ මං දිහා බලං ඉන්න හැටි දැක්කම මට හිනා. අප්පච්චිට ඔය උපදෙස දෙන්න ඒ කාලෙ මට නොහිතුණු එක ගැන නං දුකයි.
මේ කතාව ලිවුවෙ, ඔයාලටත් දැනුවත් වෙන්න. තුන් වේලට ම බත් කන්න. හැබැයි බත් ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන්න. ව්‍යායාම කරන්න. Metformin ඕන වෙන්නෙ නෑ. අත්දුටුවයි-ප්‍රත්‍යක්ෂයි. සිංහල වෙදකම බොරුවකුත් නෙවෙයි. හොඳ වෙද මහත්තුරු හොයා ගන්න එකයි අමාරු.
අද දින කියැවූ ලිපියක ප්‍රශ්න කර තිබුණේ මවකට හෝ පියෙකුට දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩිය ඉන්නා විට සමානව ආදරය කළ හැකි ද යන්නයි. මේ වන විටත් ඔබ එක් දරුවෙකුට වඩා සිටිනා මවක හෝ පියෙකු නම් ඔබේ පිළිතුර බොහෝ විට "ඔව්" විය හැකියි. ඒ ලිපිය කියවන තුරු ම මා සිටියේ ද "ඔවු" පිළිතුරේ ය. තවමත් එය එසේ නොවන්නේ යැයි මට ස්ථිර නැත. මම මගෙන් ම ඒ ගැන ප්‍රශ්න කරමින් සිටිමි.
හිට්ලර් ගේ නාසි හමුදාව යුදෙවුවන් දස දහස් ගණනින් ගෑස් කාමර වලට දමා මරා දැමූ අයුරු ඔබ අසා ඇතිවාට සැක නැත. එම සිදුවීම් පාදක කොට ගනිමින් William Styron නම් ඇමෙරිකානු කතුවරයා ලියූ Sophie's Choice නම් කෘතියේ සඳහන් වන අපූරු තෝරාගැනීමක් ගැන අදාළ ලිපියෙහි දක්වා ඇත.
අදාළ සිර කඳවුරෙහි වෛද්‍යවරයා සොෆී නම් මව ට මෙසේ කියයි.
// මේ කොටස ඔහුගේ ලිපියෙන් උපුටා ගතිමි
"උඹේ දරුවො දෙන්නගෙන් එක්කෙනෙක් තෝරලා දීපන් මට, ගෑස් කාමරයට යවන්න. හැබැයි උඹ එක්කෙනෙක් තෝරලා දුන්නේ නැත්නම් මම දරුවො දෙන්නවම ගෑස් කාමරයට යවනව"
//
මගේ විදිහට නම් මගේ පළමු තේරීම වනු ඇත්තේ, "ළමයි දෙන්නා වෙනුවට මාව ගෑස් කාමරයට යවපන්" යන්නයි. එහෙත් සොෆී ඊට මදක් කල්පනාකාරී, ශක්තිමත් එහෙත් ආන්දෝලනාත්මක ලෙස තොරා ඇත්තේ තමාගේ අට හැවිරිදි දියණිය ගෑස් කාමරයට යැවීමටයි. නමුත් ඇය ඉන් පසුව තමා කළ දේ ගැන සොවින් සිය දිවි නසාගෙන තිබෙනවා.
දැන් ඔබේ වාරය; ඔබේ දරුවන් ගෙන් කෙනෙක් ඔබට ගෑස් කාමරයට යැවීමට තෝරා දිය හැකි ද?
අදාළ ලිපියට