නැවතුනේ නෑ එකම තැනක කවදාවත්
පිළිගත්තෙ නෑ නුඹම ආදරෙයි කීවත්
මම දන්නෙ නෑ නුඹට මතකයිද මාවත්
තරහකුත් නෑ මගේ ළඟට නුඹ නාවත්
ඉර හඳ ට මොන දුර ද තරු ඊට ඈතයි
නුඹ ඉන්නෙ ඔහු ගාව ඒත් ළඟ පාතයි
හදවතට දුක එද්දි ආදරය බේතයි
ඒ බේත මම බොද්දි මට හරිම සීතයි
ඇස් හතර ලංකරන් බල බලා මූණු
මස් නහර තුළ පවා සෙනෙහසින් පීනූ
හිස් පැතුම් මව මවා සතුටකට මෑනූ
රැස් විහිද හඬ නැඟුණි රජ මඟුල් සීනු
මදු විතෙන් සැරසීමි විරහ දුක මාගේ
සුදු ඔබේ මතකයෙන් දුකක් දැන් නෑඟේ
හුදු මතකයක් ලෙසින් ඇති කළද වේගේ
රුදු පැතුම් නොපැතුවෙමි දුනිමි සහයෝගේ
පියුමකට උපත දී බඹරු වැනසේ දෝ
බඹර සුව නොලද මල හනික පරවේ දෝ
ආයෙමත් හීතලක් මගෙ හිතට ඒ දෝ
මා තුරුලෙ රස මවන් එ මල සුව වේ දෝ
පුංචි පුතු හුරතල් ද කෝ මටත් දෙන්න
ඒ රුවන් මිණි කිරුළ හිසෙහි පළඳින්න
හිත් මලට පියෙකු නැති අඩුව නොදැනෙන්න
අප්පච්චි බව මෙමා ඔහුට පවසන්න
No comments:
Post a Comment
වටිනා අදහස් ලියනු මැනේ..