Tuesday, December 31, 2013

ගුඩ්..බායි.. 2013 නොහොත්.. වෙල්කම් 2014


තත්පරය, විනාඩිය, පැය, දවස, සතිය, මාසය වගේ ම අවුරුද්දත්.. එකක් යද්දි තව එකක් එනවා.. මේවා ඔක්කොම සාපේක්ෂ මිනුම් ඒකක.. තත්පරය කියන එකේ කාල පරාසය චුට්ටක් වෙනස් උනානම් ඉස්සෙල්ලා කියපු හැම එකකම තරාතිරම වෙනස් වෙන හැටි හිතාගන්න පුළුවන්.. ඒ විතරක්ය.. විනාඩියට තියෙන්නෙ තත්පර 60යි කියලා අපි (අපි කිවුවට මං නං නෙවෙයි.. වෙන කවුරුහරි තමයි ඕක කොරල තියෙන්නෙ) ගොඩනගාගත්තු නිර්නායකය පොඩියක් එහෙ මෙහෙ කළොත්.. ඉතිං ඔය කාල මනින ඒකක ඇතුළුව ඒ වටා ගොඩනැඟිච්ච හැම දෙයක් ම අනේ ඉතිං උපකල්පන මත ගොඩනැගුණු බහුබූත නොවෙයි ද?  එහෙම බැලුවාම මේ ලෝකෙ භෞතිකව ගොඩනගලා තියෙන හැම දෙයක්ම සංකල්ප හා උපකල්පන.. ඔය ඉතිං භෞතික විද්‍යාව ඇම්. සී. කිවු එකට විතරක් උත්තර දෙන්ට හැකියාවක් තිබුණා (කණා ගැසීමේ හැකියාව නිසා)  වුණත්.. උ.පෙ ට සී එකක් (මීට අවුරුදු 16 කට විතර කලිං) ගත්තු මං වගේ ගොබිලෙකුගෙ මෝඩ අදහසක් වෙන්ටත් පුළුහං..

ඒත් ඉතිං මට තේරෙන විදිහට මේ කාලය කියන රෙද්ද කීතු කීතු වලට ඉරුවොත් ඉරන්ට පුළුහං චූටිම රෙදි කෑල්ල තමයි ක්ෂණය.. තත්පර විදිහට, විනාඩි විදිහට, පැය විදිහට.. ඔය කොයි විදිහටත් අපි ඔය ක්ෂණ බුරුතු පිටිං පහු කරනවා.. ඔය අතරෙ පොරෝජන ගත්තු ක්ෂණ තියෙන්නෙ කොයි තරං අල්පයයිද හැබෑට.. ?

අපි ඉතිං අවුරුද්දක් මාරු වෙද්දි.. මාතෘකාවෙ තිබුණා වගේ පරණ අවුරුද්දට  ගුඩ් බායි කියන්නෙ ආයෙමත් ඒ අවුරුද්ද අපට හමු නොවන බව දැන දැනමයි.. වී මිස් යූ 2013 කිවුවා නං වැඩිය ලස්සනයි නේද? අපි එහෙම කිවුවට.. අපි ජීවත් වෙනකං කී පාරක් නං 2013 අපේ ජීවිත වලට එයි ද?  ඒ එද්දි .. මොන වගේ තෑගි අපට අරං එයිද? එයාට අපිව හිතට අල්ලලා නං.. හොඳ තෑගි අරං එයි.. මොකද හිතන්නෙ...?

වෙල්කම් කියලා 2014 පිළිගත්තට මදි.. එයාට අපි ගැන සුන්දර මතකයක් ලබා දෙන්ට ඕන..

Saturday, December 28, 2013

නාන විදිහ..

මචං.. උඹ හොඳටම වයසට ගිහිං නෙ..
ඉතිං වයසයිනෙ බං දැං..

නෑ බං උඹේ මූණෙවත් ඇඟේ වත් නෙවෙයි වයස.. ඔය කොණ්ඩෙයි රැවුලෙයි.. බලපං සුදුවෙලා බාගෙට බාගයක්.. ඒ මදිවට තට්ටෙත් එනවද කොහෙද?
හරි හරි ඉතිං කොණ්ඩෙයි රැවුලයි තියෙන්නෙත් ඇඟේ නෙ..
උඹ හවස නානවද?

නෑ බං..
එහෙනං උදේ පාන්දර ?
එහෙමත් නෑ බං..ඇයි එහෙම අහන්නෙ..
නෑ.. උඹ හැමදාම වැඩට යනවනෙ.. ඉතිං අවේලාවෙ නාලා වෙන්න ඇති ඔය කොණ්ඩෙ පැහෙන්නෙ කියලා හිතුණා..
ආ.. ඒකනම් වෙන්න ඇති..
ඈ.. දැං උඹ කිවුවෙ අවේලාවෙ නාන්නෙ නෑ කියලා..
හෙක්.. හෙක්.. මං කිවුවෙ උදේ පාන්දරටයි .. හැන්දෑවටයි නාන්නෙ නෑ කියලා.. මං නාන්නෙ රෑ දොලහට එකට විතර බං..



Friday, December 27, 2013

සලජාතකය කියන්නෙ මොකක්ද?

මචං ඔය සලජාතකය කියන්නෙ මොකක්ද? 
එහෙම ඇහුවේ මගේ මිතුරෙකි.. ඒ මිතුරා ඇසූයේ නොදන්නා කමටමය.. 
ඇත්තටම ඒක සලජාතකය නෙවියි සලජාකස ය .. සමස්ථ ලංකා ජාතික කවි සම්මේලනය.. 
මං තෝරා දුන්නෙමි
එතකොට අතකසය කියන්නෙත් ඒ වගේ එකක් ද? 
ආ.. ඔවු.. ඒ අගනුවර තරුණ කවි සම්මේලනය නෙ...
උඹ ඒකෙ නැද්ද?
නෑ මචං..
ඒකෙ ඉන්නෙ තරුණ අය හින්ද ද?
හෙහ්.. හෙහ්.. ඒකත් හරි දැං අපි වයසයිනෙ නේ බං..? ඒත් ඒක නෙවෙයි හේතුව.. අපි ඉතිං මූණුපොත් කවියොනෙ.. මූණුපොතට තවම අතකස ඇවිත් නෑ.. සලජාකස යි.. කෝකිලහඬයි තමයි දන්න තරමින් ඉන්නෙ..
මූණුපොතේ කවිපිටු ගොඩාක් තියෙනවනෙ..?
ඔවු මචං.. මොනවා කරන්නද? එක එක්කෙනා දා ගන්නවා.. එපා කියන්නයෑ..
ඔක්කොගෙම ඉන්නෙ එකම කට්ටිය ද?
ඒකනෙ.. හුඟක් වෙලාවට එකම කට්ටිය..
කවි සංගම් වලත් එහෙමද?
ඔවුනෙ මචං.. ඒවයෙත් එහෙම තමයි.. ලොකු ලොක්කො ටික තමයි වෙනස්.. ඇතුළ එම මයි..
කිසි තේරුමක් නැති වැඩක් නේද?
හැබැයි නැත්තෙමත් නෑ..
එක එක කවි සංගම් වල වගේ ම කවි පිටු වලත් ප්‍රතිපත්ති වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.. ඒ වගේම වැඩි කවියො පිරිසකට මේ කවි කලාවෙ රැඳෙන්නත් මේක ලොකු උදවුවක් වෙනවා.. මොකද හැමෝම තමන්ගෙ පිටුවල/සංගම් වල ජනප්‍රිය කම රැකගන්නත් එක්ක මොන මොනවා හරි වැඩකට ඇති දෙයක් කරනවා.. තරඟකාරීත්වය ඇතිවෙනවා..
හපෝ.. තරඟකාරීත්වය ඇති වුණාම... කොලිටිය අඩුවෙනවා නෙ බං..
තරඟකාරීත්වය ගානකට තියෙනකං හොඳයි.. වැඩි වුණොත් නං එහෙම වෙනවා.. දැනට ෂේප්..
හෙක්.. හෙක්..
ඉතිං මොනවද උඹලා ඔය කරන සේවය?
එහෙම ලොකුවට කියන්න තරං දෙයක් නෑ.. සිංහල සඳැස් කවියත් දැං හැංගිලා තියෙන්නේ.. ඔය සිවුපද කීපයක් විතරනෙ බං සමාජයේ තියෙන්නෙ.. ඒත් සඳැස් කවිය ඔයිට වඩා ලොකු පරාසයක විහිදිලා තියෙනවා.. ඒවා පොඩ්ඩක් එළියට දාන්න තමයි අපි ට්‍රයි කරන්නෙ..
එළ.. එළ..

Tuesday, December 24, 2013

කවිය හා පැදිය

චිත්‍ර කලාව, මූර්ති කලාව, නාඩගම් කලාව, නූර්ථි කලාව ආදී වශයෙන් කලාවෙහි විවිධ වූ ප්‍රභේධයන් පවතී. සකලවිධ කලාවන් වූ කලී අපගේ සංස්කෘතිය ගොඩ නැඟූ මහා ශක්තීන්ගේ එකමුතුවකි. කාව්‍ය සාහිත්‍යය යනු ඉහත කලාවන්  අතුරින් වඩාත් ජනතාවට සමීප වූ කලාවකි. එය අනෙක් බොහෝ කලාවන්ට මූලික වූ නිසාම විශිෂ්ඨ කලාංගයකි. කාව්‍යයක් යැයි කී විට එය ගද්‍ය, පද්‍ය , නාද, සිනමා ආදී වශයෙන් ප්‍රභේධ වේ. එහෙත් භාවිතයේ දී, පද්‍ය කාව්‍ය වලටම කාව්‍ය යැයි කියන්නට පුරුදු වී ඇත්තෙමු. එහෙත් පද්‍ය කාව්‍ය හෙවත් පැදි නිවැරදි අරුතින්ම යොදා ගැනීම අප සතු යුතු කමකි. 

පැදි හෙවත් පද්‍ය
කුමරතුඟුවන් කී පරිද්දෙන්ම "ඇද පැද කිව හැක්කේ - පැදි" බව වටහා ගැනීම වඩාත් පහසු තේරීමකි. මෙකී රිද්මය නිසාම අපට පද්‍යයක් ගද්‍යයකින් වෙන්කොට හඳුනා ගැන්ම අපහසු නොවේ. ඉහත කී පැදි ප්‍රධාන වශයෙන් ගී, සැහැලි, සිලෝ සහ සීපද වශයෙන් ප්‍රභේධ වේ. ඒ ඒවායෙහි තිබෙන ආකෘතිමය ලක්ෂණ නිසාවෙනි. අවාසනාවකට බොහෝ අය සිතනුයේ පැදි යනු සීපද බවයි.

ඇද පැද කීවාම ඇති ද?
ඉහත කී ආකෘතිමය ලක්ෂණ වලින් ඔබ්බට යන කල, අපට හමුවන බොහෝ ලක්ෂණ සමස්ථ කවියටම එනම් සමස්ථ සාහිත්‍ය කලාවන්ටම අදාල වේ.එනම් නිර්මාණය සාර්ථක පැදියක් වීමට ප්‍රථම සාර්ථක කවියක් විය යුතුය. එය අරුතින්, රසයෙන් සුපෝෂිත නිර්මාණශීලී යමක් විය යුතුය. එය එසේ වන්නට අප සැළකිය යුතු ලක්ෂණ කිහිපයක් පහත දක්වමි.

1. අනුභූතිය
නිර්මාණයට පාදක වන අත්දැකීම හෙවත් වස්තු බීජයයි. නිතරම සුලභ නොවන අනුභූතියක් තෝරා ගැනීමට උත්සුක විය යුතුය
2. පරිකල්පනය
තරමක් සුලභ අනුභූතීන් වුවද සාර්ථක පරිකල්පනයන් තුළින් ඉදිරියට ගෙන යමින් බිහි වූ සාර්ථක නිර්මාණ අප දැක ඇත. පරිකල්පනය යනු සත්‍යයේ හා කල්පිතයේ සංකලනයෙන් නිර්මාණ බිහි කරන අපූරු මෙවලමක් බඳුය. කවියා සිතින් මවා ගන්නා දේ පරිකල්පනයයි.
3. ව්‍යුත්පත්තිය
කවියා සිය නිර්මාණය ඉදිරිපත් කරන ආකාරය, භාවිතා කරන බස, ආකෘතිය, යෙදුම් ආදිය තුළින් ව්‍යුත්පත්තිය හඳුනාගත හැක. 
4. අලංකාර
උපමා, රූපක, දීපක, ආක්ෂේප, උත්ප්‍රේක්ෂ ආදී අලංකාර වලින් නිර්මාණය ඔපවත් වෙයි. 
5. දෘෂ්ඨි කෝණය
කාගේ දෘෂ්ඨියෙන් ඉදිරිපත් කොට ඇති ද යන්නයි. එනම් කථන ක්‍රමයයි. කවියා තමන් දක්නා ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ ද? බාහිර අයෙකු ලෙස ඉදිරිපත් කරන්නේ ද යන බවයි.
6. උචිත බව
කවියේ අර්ථයට උචිත ලෙස භාෂාව, වචන, රිද්මය, අලංකාර ආදිය සැකසී තිබීම උචිත බවයි.
7. ව්‍යංගාර්ථය
නිර්මාණයක යටි පෙළ අරුත, සැඟැවුණු අරුත හෙවත් ධ්වනිතාර්ථය ලෙස හඳුන්වන්නේ මතු පිටින් පෙනෙන අරුතට එනම් වාච්‍යාර්ථයට අමතරව පවතින අරුතයි.

මෙලෙස රසවත්, හරවත් හා සවිමත් වන කවිය ප්‍රාණවත් වූ පැදියක් බවට පත් කිරීමෙහි ලා ආකෘතිය ඉටු කරන්නේ මහඟු මෙහෙවරකි. 


එළිසම හා එළිවැට තුළින් ආලෝකමත් වන පැදිය, යති පිහිටුවීම් තුළින් වර්ණවත්ව ගයන්නාගේ මෙන්ම අසන්නාගේ ද සිතෙහි නිවීම, ආශ්වාදය හා රසවත් බව සනිටුහන් කරන්නේ නම් පැදිය මෙන්ම කවියා ද සාර්ථකය. බස වත්, රස වත්, මස වත්, හිස වත් අමතක නොකළ යුතුමය..


මූලාශ්‍ර :- හරියටම කවි හදන හැටි (ගුරු මුෂ්ඨි) - සේන අම්බලම්ගොඩ
      නූතන පද්‍ය සංග්‍රහය - ගොඩගේ ප්‍රකාශකයෝ

Wednesday, December 18, 2013

පැරණි රසාංගයක්..

අපේ අප්පච්චිගෙ පාසැල් කාලෙ මිතුරන් කිහිප දෙනෙක් පහුගියදා අපේ ගෙදරට ආවා.. ඒ අය කලාතුරකින් හමු වුණත්.. අපේ ම පවුලෙ අය වගේ.. මේ අයත් එක්ක සතුටු සාමීචියෙ යෙදෙද්දි කාලය යනවා තේරෙන්නෙ නෑ.. ගැටවු කාලෙ කරපු කවටකම්.. හ්ම්.. අපට හැරෙන්නවත් බෑ.. ඒ තරම්.. ඒ අතර එයාලගෙ පරණ පුංචි පුංචි හුට පට වුණත් ගෙනාවෙ අව්‍යාජ හිනාවක්..

අප්පච්චිගෙ මේ යහළුවන් අතර ඉන්නවා හමුදාවෙ සේවය කරපු කෙනෙකුත්.. ආරි මාමා.. එයා තවමත් බොහොම විනෝදකාමී චරිතයක්.. එයාගෙ හිනා මවන කතා රැසක් අතර මට හිත ගිය පුංචි කතාවක් තිබුණා.. ඒක මෙහෙමයි..

ආරි මාමා ඒ කාලෙ සේවය කළේ හිඟුරක්ගොඩ හමුදා කෑම්ප් එකේ. ටික කාලයක් මෙහි සේවය කරපු ආරි මාමා දැක්ක දුටු හැමෝගෙම හිත්ගත් චරිතයක් වෙන්ට ඇති කියන එක අමුතුවෙන් කියන්ට ඕන නෑ.. ඉතිං කොහොම හරි ආරි මාමට මාරුවීමක් ආවා.. පළවෙනිදට තමයි යන්ට තියෙන්නෙ.. දැන් 31 වෙනිදා සමුගැනීමේ සාදයට හෝ ගාලා සූදානම් වෙනවා.. මේ අතර ඔහුගේ මිතුරෙක් ඔහුව එක්කගෙන යනවා දැන්වීම් පුවරුව ළඟට.. එහි ගම් තලියක් ගාලා අලවපු ලිපියක් පෙන්වනවා.. එහි තිබෙනවා ලස්සන කවියක්..මෙන්න මෙහෙම..

  
කඳවුරු පෙදෙස අද නම් ගණඳුරු පාටයි
ලස්සන ආරි හිඟුරක්ගොඩ ආ දාටයි
ආරී කළු උනත් මට නම් සුදු පාටයි
මට දුක ආරි පළවෙනිදට යනවාටයි

  

හොයලා බලපුවාම මේක ලියලා එවලා තියෙන්නෙ අහල පහල බිත්තර ගෙදර බිත්තර අක්කගෙ දුව.. ආරි මාමට මේ ගැටිස්සි ගැන ඒ හැටි උනන්දුවක් නොතිබුණා කිවුවත් කවිය නං තවමත් කට පාඩං.. ඒ වගේම අපේ අප්පච්චි, ආරි මාමා සහ වෙනත් නැන්දා කෙනෙකු වෙනුවෙන් පද බැඳපු ගීතයකුත් ආරි මාමා හිනාවෙවී මතක් කර කර කිවුවා..

මේ කවිය මං සටහන් කළේ.. මීට අවුරුදු 40 කටත් ඉස්සර.. ගැමි තරුණියක ලියූ අව්‍යාජ කවියක සුන්දරත්වය ඔයාලත් එක්ක බෙදාගන්නයි..

අතීතයේ රස ආවර්ජනය කරපු අපේ අප්පච්චිගෙත්, ආරි මාමා ඇතුළු යාළුවන්ගෙත් ජීවිත එදා දවස ඇතුළෙ ආයෙමත් තරුණ වෙන්ට ඇති කියලා මට හිතෙනවා..  කට්ටියටම නිරෝගී සුව, චිර ජීවනය පතනවා.. 

පුළුවන්නම් මාව නවත්තන්න...


ඒක කරන්න පුළුවං මට ම විතරයි.. ඔයා කොච්චර උත්සාහ කළත් ඔයා ට මාව නවත්තන්න බෑ. මේක මගේ අයිතිය. 

කඳූ මුදුනින් එන ගඟ මං පවුර වුණා ..........ඔයා 
කොහොම නැවැත්තුවත් මාව මං යන මඟ ගියා
ඔයාගෙ කඳුළුත් අරගෙන මගේ ළඟින් .....තියා
කඳු පාමුල හිනා වෙවී හිඳිමි දෙනෙත් ........පියා

ඔයා කිවුවෙ මං නපුරුයි කියලා.. ඒත් මට ඕන උනේ ඔයාව තනි කරන්න නෙවෙයි.. ඔයාට ඔයාගෙ පාඩුවෙ ඉන්න දෙන්නයි. ඔයාගෙ දුක, ලෙංගතුකම මට නොදැණුනා නෙවෙයි. ඒත් ඒක ආදරය නෙවෙයි.. ඔයාට ඒ ආදරය දැනේවි..

මට ම කියා මල් නැතුවට පිපුණේ කිසි ..........ගසක
යට ම මලේ සුවඳ නිසා බැඳූණත් හිත ...........රසක
රට ම බලා සිටියත් ඔය කඳුළැලි පෙම් .........ඇසක
හෙට ම ඔයත් පෙම් කරාවි පෙර නොකරපු ලෙසක

එදාට ඔයා අද වගේ මට සාප කරන එකක් නෑ.. ඒ වෙනුවට මට ස්තුති කරාවි.. ඔයාව නිදහස් කළාට.. මගේ නැවතුම ඔයා නෙවී.. මට සාප කරලා හරි හිත හදාගන්න.. ඔයා තනන අලුත් ලෝකය සුන්දර, පින්බර එකක් වේවි.. මං ඒ ලෝකෙ නැතුවට.. ඒක මට සතුටක්..

අද පිපිලා හෙට පරවෙන මල බඳු සිත ...........අතැර
මඳ සුවඳින් රස නොනැඟෙන තැන නොම වී නතර
සඳ ඉර සේ ළඟ රැඳෙනා හදකට වී ..............සොඳුර
ළඳ දියතේ හස වපුරන් උණුසුම හැර ...........කතර

Wednesday, December 11, 2013

පුතේ අද පරදින්න..

        

හඬ හඬා ඉකිලන්න
එපා එ ද පැකිලෙන්න
පුතේ මගෙ ගුණ පුන්ණ
සටන අත නොහරින්න

සෙනේහය

පතුරන්න
දමේ ගොස මතුරන්න
සදාකල් පවතින්න
ගුණ සුවඳ විහිදන්න

අසීරුයි

ඉවසන්න
පරාජය විඳගන්න
හෙට යළිඳුනැගිටින්න
පුතේ අද පරදින්න
  

Friday, December 6, 2013

මගෙ ආදර අම්මා


කවි ලියන්න ඔබ වෙනුවෙන් දැරු තැත නැත නිම්මා
බැහැ මගෙ හිත එක විදිහට තියාගන්න නම්මා
ලියන ලියන කවිය ඔබට මදි මල් දම් දැම්මා
සඳකට ඉර කොතරම් වෙද, එතරම් මට අම්මා
  



අද අම්මා ගැන කවි ලියන්න විශේෂ දිනයක් නෙවෙයි. මගේ නිර්මාණ අතර දෙමවුපියන් වෙනුවෙන් කෙරුණු නිර්මාණ බොහොම ස්වල්පයයි තියෙන්නෙ. අම්මට, අප්පච්චිට කොහොම කවි ලිවුවත් ඒවයෙ අඩුවක් මට දැනෙනවා.. ඉතිං ඒක මකලා දාලා නිකම් ඉන්නවා.. මගේ අම්මගෙන් මගේ ජීවිතයට ලැබුණු ශක්තිය මෙතෙකැයි කියන්න බෑ. ඒක හුඟාක් දරුවන්ට නොලැබෙන තරමේ එකක් කියලා මං දන්නවා..

මගේ ආදර අම්මාට.. දීර්ඝායුෂ, චිර ජීවනය ප්‍රාර්ථනා කරන්න ඕන කියලා හිතුණු හින්දයි එක පාරටම මෙහෙම සටහනක් ලිවුවෙ..