Wednesday, December 18, 2013

පැරණි රසාංගයක්..

අපේ අප්පච්චිගෙ පාසැල් කාලෙ මිතුරන් කිහිප දෙනෙක් පහුගියදා අපේ ගෙදරට ආවා.. ඒ අය කලාතුරකින් හමු වුණත්.. අපේ ම පවුලෙ අය වගේ.. මේ අයත් එක්ක සතුටු සාමීචියෙ යෙදෙද්දි කාලය යනවා තේරෙන්නෙ නෑ.. ගැටවු කාලෙ කරපු කවටකම්.. හ්ම්.. අපට හැරෙන්නවත් බෑ.. ඒ තරම්.. ඒ අතර එයාලගෙ පරණ පුංචි පුංචි හුට පට වුණත් ගෙනාවෙ අව්‍යාජ හිනාවක්..

අප්පච්චිගෙ මේ යහළුවන් අතර ඉන්නවා හමුදාවෙ සේවය කරපු කෙනෙකුත්.. ආරි මාමා.. එයා තවමත් බොහොම විනෝදකාමී චරිතයක්.. එයාගෙ හිනා මවන කතා රැසක් අතර මට හිත ගිය පුංචි කතාවක් තිබුණා.. ඒක මෙහෙමයි..

ආරි මාමා ඒ කාලෙ සේවය කළේ හිඟුරක්ගොඩ හමුදා කෑම්ප් එකේ. ටික කාලයක් මෙහි සේවය කරපු ආරි මාමා දැක්ක දුටු හැමෝගෙම හිත්ගත් චරිතයක් වෙන්ට ඇති කියන එක අමුතුවෙන් කියන්ට ඕන නෑ.. ඉතිං කොහොම හරි ආරි මාමට මාරුවීමක් ආවා.. පළවෙනිදට තමයි යන්ට තියෙන්නෙ.. දැන් 31 වෙනිදා සමුගැනීමේ සාදයට හෝ ගාලා සූදානම් වෙනවා.. මේ අතර ඔහුගේ මිතුරෙක් ඔහුව එක්කගෙන යනවා දැන්වීම් පුවරුව ළඟට.. එහි ගම් තලියක් ගාලා අලවපු ලිපියක් පෙන්වනවා.. එහි තිබෙනවා ලස්සන කවියක්..මෙන්න මෙහෙම..

  
කඳවුරු පෙදෙස අද නම් ගණඳුරු පාටයි
ලස්සන ආරි හිඟුරක්ගොඩ ආ දාටයි
ආරී කළු උනත් මට නම් සුදු පාටයි
මට දුක ආරි පළවෙනිදට යනවාටයි

  

හොයලා බලපුවාම මේක ලියලා එවලා තියෙන්නෙ අහල පහල බිත්තර ගෙදර බිත්තර අක්කගෙ දුව.. ආරි මාමට මේ ගැටිස්සි ගැන ඒ හැටි උනන්දුවක් නොතිබුණා කිවුවත් කවිය නං තවමත් කට පාඩං.. ඒ වගේම අපේ අප්පච්චි, ආරි මාමා සහ වෙනත් නැන්දා කෙනෙකු වෙනුවෙන් පද බැඳපු ගීතයකුත් ආරි මාමා හිනාවෙවී මතක් කර කර කිවුවා..

මේ කවිය මං සටහන් කළේ.. මීට අවුරුදු 40 කටත් ඉස්සර.. ගැමි තරුණියක ලියූ අව්‍යාජ කවියක සුන්දරත්වය ඔයාලත් එක්ක බෙදාගන්නයි..

අතීතයේ රස ආවර්ජනය කරපු අපේ අප්පච්චිගෙත්, ආරි මාමා ඇතුළු යාළුවන්ගෙත් ජීවිත එදා දවස ඇතුළෙ ආයෙමත් තරුණ වෙන්ට ඇති කියලා මට හිතෙනවා..  කට්ටියටම නිරෝගී සුව, චිර ජීවනය පතනවා.. 

4 comments:

  1. චතුර......ඒ අයගේ ලෝකය හරි සුන්දරයි. ඒගොල්ලන්ට ඕන ඒ අතීතය ආවර්ජනය කරන්න. මේ පෝස්ට් එක ආරි මාමා දැක්කද?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ නෑ.. ආරි මාමා මේවා කියවනවා කියලා.. ඒ කාලෙ ගැමි තරුණියගෙ නිර්ව්‍යාජ කම වගේම ආරි මාමා කියනවා.. ඒ කාලෙ හැම පිරිමියම හිතන්නෙ තමන් කාන්තාවන්ගේ ආරක්ෂකයෙක් කියලලු..
      එදත් අද වගේ ම සල්ලාලයො ඉන්ට ඇති.. හැබැයි ආරක්ෂකයො ගොඩක් එක්ක සෙල්ලම් දාන්ට නම් සල්ලාලයො බය ඇති.. ඒත් අද .. සල්ලාලයො සල්ලාල කම් කරනවා.. එහෙම නොවන අය.. කරදරයට මුහුණ දෙන්නෙ තමන්ගෙ කෙනෙක් නෙවෙයි නම්.. අහක බලාගෙන යනවා.. හ්ම්.. ඔහොම තමයි ලෝකෙ වෙනස් වෙනවා..

      Delete
  2. ඕනෑම කඳවුරකින් ජ්‍යොෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියකු (ඒ කියන්නේ සැරයන්, මාණ්ඩලික සැරයන්, බලලත් නිලධාරි 2, බලලත් නිලධාරි 1) හෝ කොමිෂන් ලත් නිලධාරියකු, (ඒ කියන්නේ 2/ලුතිතන් සිට මේජර් ජෙනරල් දක්වා) වෙනත් ස්ථානයකට මාරුඑඑ යනවිට සාදයක් පැවැත්වීම සම්ප්‍රදායක්. එදාට ඒ සාදයේදී අදාළ තැනැත්තා ඒ කඳවුරේ සිටියදී කළ කී දේ ගැන රසවත් කතා කියවෙනවා. කවදාවත් ඒවාට තරහවෙන්නේ නැහැ. අද එහෙම සමුගත් තැනැත්තා හෙට දිවි පුදන්න ඉඩ තිබෙනවා. අද ඒ විහිලුව කල තැනැත්තාටත් ඒ ඉරණමම අත්වන්න ඉඩ තියනවා. ඒ නිසා සුහදත්වය නැති කරගන්නේ නැහැ.

    මම එක කඳවුරකින් මාරුවෙලා එනකොට මගේ මිත්‍රයෙක් කල කතාවේදී කිව්වා අර GNT එකේ කට්ටිය නම් හරියට දුක්වෙයි කියලා. හමුදාවේදී විහිලුවට GNT කියන්නේ 'ගෑණු නාන තැන' කියන එකයි. මම දිනපතා හවස ශාරීරික අභ්‍යාස සඳහා ඇවිදින්න යන පාරේ තිබෙන වාරිමාර්ග ඇලක ගෑණු පිරිලා නානවා ඒ වෙලාවට.

    ReplyDelete
  3. සරල යි, සොඳුරු යි.

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..