Saturday, December 31, 2022

2022 ත් ඉවරයි!

 මීට අවුරුදු ගණනාවක ඉඳං රටේ දිනෙන් දින ජරා ජීර්ණ වූ දේශපාලන හා ආර්ථික යාන්ත්‍රණය නිසා ගහෙන් වැටී සිටි ජනතාවට, කොරෝනා මෙන්ම මහින්ද, ගෝඨාභය හා බැසිල් ඇතුළු රාජපක්ෂ රෙජිමය එක්වී ක්‍රි.ව. 2019 දෙසැම්බරයේ සිට ම පමණ ඉක්මවා ලබා දුන් ප්‍රභල විරේක බෙහෙත් නිසා ජනතාව ෆුල් මාවලස් තත්වයක සිටි අතර, මෙම වසරේ මාර්තු පමණ වන විට තත්වය වඩාත් උග්‍ර වූයේ රට පුරා, ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් මෙන්ම පැය 10-12 විදුලිය කැපීම් ද පටන් ගත් නිසා ය. ඇත්තෙන්ම සිදු වූයේ අඬන්නට බලා සිටි අහිංසක ජනතාවගේ ඇහැට එළිපිට ම රාජපක්ෂලා ඇඟිල්ලෙන් එක දිගටම ඇනීමේ ප්‍රථිඵලයක්ය. 


රසායනික පොහොර තහනම, හිතුමතේ මුදල් අච්චු ගැසීම, හොරකම් යට ගැසීම, මිනීමරුවන් නිදහස් කරගැනීම, සත්‍ය කතාකරන්නන් සිරගත කිරීම වැනි බොහොමයක් කරුණු නිසා දැඩි සිත්තැවුලට පත්ව සිටි මිනිසුන්ගේ ආවේග එළියට ආවේ ඉන් පසු ය. කබ්‍රාල් මහබැංකු අධිපති, බැසිල් මුදල් ඇමති, මහින්ද අගමැති පමණක් නොව ගෝඨාභය ජනපති ද  එළවා මිසක ජනතාව අරගලය අතහැරියේ නැත. එහෙත් සටනේ බලාපොරොත්තු අහිමි කරමින් තව දුරටත් හොරු රකින - බොරු කරන සිස්ටම් එක පවත්වා ගෙන යාමට පොහොට්ටු පක්ෂයේ සහායෙන් අටවන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්විය. කවුරු කොහොම කිවුවත් ඔහු මේ සිස්ටම් එකේ වඩාත්ම ජනතාව ප්‍රතික්ෂේප කළ කරුණු යම් පමණකට සංසිඳවමින් ද, තම ඥාතීන් වූ රාජපක්ෂලාට අගතියක් වන එක වළක්වමින්ද, අවුරුදු ගණනක් කෙළ හල හලා සිටි ජනපති පුටුව මහත් සතුටින් වැළඳගමින් ද තනි මන්ත්‍රී අසුනක් සතු එජාපය නියෝජනය කරමින් ගෝඨාභයගේ ඉතිරි වසර දෙක හමාරක පමණ ධූරකාලයට වග කියන්නට පටන් ගත්තේය. 

රනිල් ඒමට පෙර බන්කොලොත් වූ රට තවමත් එහෙමය. නමුත් ගෑස් ටික, ඉන්ධන ටික, විදුලිය ආදිය නොමැතිව  මිනිස්සුන් විඳි ප්‍රභලම ගැටළු ටික යම් මට්ටමකට පාලනය කළ ආකාරය සමස්ථයක් ලෙස ප්‍රශංසනීය ය. එහෙත් මේ හුදු කල් මැරීමක් මිස හැබෑ විසඳුමක් නොවන බව ජනතාව තේරුම් නොගන්නා නිසා, බැණ බැණ හෝ සියල්ල ඉවසීමට ජනතාව දැනට තීරණය කර ඇත. 

ඒ අතර ව්‍යාපාරිකයන්ගෙන් හා ලක්ෂයට වැඩි වැටුප් ලබන්නන්ගෙන් දරුණු ලෙස බදු අය කර ගැනීමටත් විදුලිය හා ජලය සඳහා දැවැන්ත මිළ (ඉහළ යාමේ) සංශෝධන ඇතුළත් කර රනිල් රජය ජනතාවගේ බොටුව තදින් ම මිරිකා ඇත. 

2020, 2021  වසර වල දැඩි ලෙස අකර්මණ්ය වූ ව්‍යාපාර යන්තම් ඔළුව උස්සන්නට හදන විට රනිල් දෝත බදලා තඩි පොල්ලකින් බෙල්ලටම ගසන්නට සැරසේ. 

2023 තත්වය වඩාත් අසීරු වීමට නියමිත බව පෙනෙන අතර එය එසේ නොවී ජනතාවට සුබසිද්ධිය උදාවේවායි ආදරයෙන් ප්‍රාර්ථනා කරමි. ඔබ හැමට ලබන්නා වූ නව වසර සුබ නව වසරක් වේවා!







Sunday, December 18, 2022

සීමොන් අයියගෙ කකුළුවො ඇල්ලිල්ල.

මුලු අවුරුද්දටම එකම එක පෝස්ටුවයි. බ්ලොග් එක අතෑරිලා ම ගියා වගේ. එහෙම කරලත් බෑ නෙව. ආයෙමත් ලියන්න ඕන කියලා ගැම්මක් ආවා. නිම්මානරතිය කියන මුහුණුපොත් සමූහයේ මං ලියා පළ කරපු කතාවක් බ්ලොග් එකේ අලවලා වැඩේ පටං ගන්ට හිතුවා. ලොකු රසයක් නම් නෑ. විනෝදයට ලිවුවෙ. ඔය එක එක ප්‍රදේශ වල ඈයො එහෙම ටිපර් වෙනවා නෙවෙයි ඈ.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ඔන්න එකෝමත් එක කාලයක දඹදිව, බඹදත් කියලා රජ්ජුරු කෙනෙක් විසින් පාලනය කරද්දි, ශ්රි ලඬ්කාද්වීපයෙහි මීගොං පුරවරයේ සිද්ධ වෙච්ච බොහොම භයානක සිද්ධියක් තමයි මං අද කියන්න යන්නෙ.


ඒ කාලෙ ඉතිං ප්රවාහන සේවා එහෙම ඒ හැටි දියුණු නැති නිසා පයිං තමයි හැමෝම වගේ ගමන් බිමන් ගියේ.

ටිකක් විතර රට ඇතුලට වෙන්න හිටපු සීමොන් අයියගෙ අඹුවට, ඒ කියන්නෙ සීදේවි අක්කට තමුන්නෙ කුළුඳුල් දරුවා ලැබෙන්නයි උන්නෙ. අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ ඉතිං ඒ කාලෙට තියෙන සැප . සීදේවි අක්කා ඔහොම සැපේ ඉන්න ගමන් දවසක් සීමොන් අයියගෙ දිහාවෙ අහිංසක බැල්මක් දාගෙන ඉන්නවා. මොකෑ සීදේවියෙ මොකක් හරි දොළක් වත් දැ? කියලා සීමොන් අයියා ඇහැවුවෙ බොහොම කරුණාවෙන්.

නෑ .. මේ මාළු ගේන සේතං අයියා කිවුවා , කකුළුවෝ ගේන්ට ඕනෑ පණ පිටිං හන්දා උන්දැ ගේන්නෙ නෑ කියාලා. මට කකුළුවෝ කන්න දොළක් පහල වුණා , කියලා සීදේවි අක්කා කීවේ ටිකක් විතර දුකෙන් කියලා සීමොන් අයියට හිතුණා.

හිටිංකො දෙදොහක් ඉවසලා, කියපු සීමොන් අයියා , වැඩට ගොහිං වැඩපොළේ යාළුවන්ගෙනුත් ඇහැවුවා, කකුළුවෝ ගේන විදිහක්.

පහුවෙනිදා නිවාඩුවක් ඉල්ලා ගත්තු සීමොන් අයියා, උදැහැනැක්කෙම ගියා, මූදු වෙරළට. ගොහිං කකුළුවෝ හතර දෙනෙක් සල්ලි වලට අරගෙන කාරිය, ආපහු ගෙදරට එන්න ආවා. හැබැයි ඉතිං ටික දුරක් එද්දි හරිම මහන්සියි. උදේ පාන්දර කහට කෝප්පයක් සප්පායම් වෙලා ආපු එක විතරනෙ. ඉතිං ගස් හෙවණක ඩිංගිත්තක් ඈඳී ගත්තෙ ඉක්මණින් යන්න ඕන බව හිත හිතාමයි. තෙහෙට්ටුවටම සීමොන් අයියට ඩිංගිත්තක් ඇහැත් පියැවුණා.

ඇහැරිලා බලනකොට ඔතාගෙන ආපු කකුළුවෝ හතර දෙනාම අතුරුදහන්. අනේ දැං සීදේවියට මොනවද දෙන්නෙ කියලා හිතමින්, විස්සෝපෙන් ඉන්න සීමොන් අයියව දැකලා හේතුව අහපු මනුස්සයෙක් පුංචි හෝඩුවාවක් දුන්නා.

මූදෙ ඉඳලා අල්ලපු කකුළුවෝ නෙ, මූද පැත්තට තමයි යන්න ඇත්තෙ. කකුළුවෝ එච්චර වේගෙන් යන්නෙන් නෑ නෙ.

මේ මනුස්සයගෙ කතාවෙන් හිතට හයිය ගත්තු සීමොන් අයියා, අඩියට දෙකට ආපහු මූද පැත්තට දිවුවා. එතකොට මගදි හම්බුවුණ මනුස්සයෙක් සීමොන් අයියගෙන් ඇහුවා කොහෙද දුවන්නෙ කියලා . මේ යකාටත් ඕනැන්නෙ නැති දෙයක් නෑ නෙ කියලා හිතුවත්, නිකමට වගේ මෙහෙම කිවුවා .

යාළුවෙක් ගියා මූදට පනින්න. මං මේ ඊට කලින් අල්ලන්න දුවන ගමන්.

මේක අහපු නොදන්න මනුස්සයට හරි දුකයි. මේ පාරෙන්මයි ගියේ කියලා විස්සාසයිද? කියලා ඇහැවුවෙ ඒ නිසයි.

තව පාරවල් තියෙනවද? කියලා අහපු සීමොන් අයියට , මොනවද මේ අහන්නෙ. පාරවල් කීපයක් ම තියෙනවා නෙ කියලා කිවුවලු. "හැබැයි කොයි පාරත් කොප්පර හන්දිය හරහා තමයි යන්නෙ. කෙටිම පාරෙන් ගිහින් කොප්පර හන්දියේදි අල්ලගන්න " කියලා කිවුවලු.

ඒ කතාව අහපු සීමොන් අයියත් "අද මං හොඳ පාඩමක් උගන්නන්නම්කො කකුළුවන්ට" කියලා පොල්ලකුත් අරං දිවුවලු කොප්පර හන්දිය ට.

"කොහෙන් ගියත් කොප්පර හන්දියට එන්න එපාය" කියලා සෑහෙන දොහක් සීමොන් අයියා කොප්පර හන්දියට වෙලා උන්නයි කියලා තමයි ඉතිහාස පොත් වල තියෙන්නේ .


පින්තූරෙ සීමොන් අයියා ගේ දුර්ලභ එකක් අන්තර් ජංජාලෙන් ගත්තෙ

Friday, March 11, 2022

බැරිදා විග්‍රහය! හරි වැඩේ ලංකාවට වුණේ

 දෙයියනේ කියලා යමක් කමක් මෙවුවා එකේ ලියන්ට ගත්තු දා හිටං මං ලියපු හෑලි වලින් මොකක්ම හරි පයිංඩයක් ..  සුබවාදී පයිංඩයක් කියවන ඔයාලටත් දෙන්ට හිතාන තමයි ඔය හෑලි ලිවුවෙ. ඒ වුණත් ඒක සතපහකට වැඩක් ඇති දෙයක් නෙමේය කියලා හිතුණෙ.. ස ට සහ පුතානෝ ට වැටිච්ච ඡන්ද කන්දරාව දැක්කම. ඉතිං පහුගිය ටිකේ මං මගේ බැරිදා විග්‍රහයත් අත්හැරලා දැම්මෙ ඒකයි.. 

ඒ වුණත්.. අපේ වත්මන් මුදල් ඇමති තුමා ගැන ඇබිංදක් ලියන්ටම ඕනෑ ය කියලා මගේ හිත වද දෙන හිංදා ආයෙමත් වංගියක් ලියන්ට තීරණය කොළා ය. 

කපුටාස් හිට් ද ප්ලේන් වගේ එකකින් නැත්තටම නැති කරලා දාන්ට හැදුවත්, මොළ හතාණෝ කියන්නේ ලංකාවේ මහපුටුවට වුවත් සුදුසු අපූරු චරිතයක් බව මගේ වැටහීමයි. ලංකාවේ සුවහසක් බයි පීපල්ස් ලා ගේ මොළයේ කේශනාලිකා වැඩකරන අන්දම ගැන කාවන්තිස්සයන්ටත් වඩා හොඳට දන්නේ යමෙක් ද, ඒ මොළ හතාණෝ ම මිස අන් කවරෙක් ද ය. කාවන්තිස්සයන් යනු හිටපු රජතුමා නොව අර MCC හුට්ටප්පරේ ට විරුද්ධව කතා කොරලා, ජාති මාමක බලවේග පුබුදුවාලූ ටියුසන් ඇදුරාණෝ බව දත යුතුය. 

දැං මං මේ සූජානම් වන්නේ, මොළහතාණන් ගේ ගුණ කිහිපයක් ඔබ ඉදිරියේ තබන්ටය. 

ස තුමාණෝ මුලින් බෑ කියා පසුව රට වහගෙන ජවුසම් නටන සමයෙහි, අයියණ්ඩිය බිය නොවන්න, අරිනා සැටි මම පෙන්වන්නම් යැයි අභීත වාක්‍ය පවසා රට(ට) ඇරියා පමණක් නොව, හොඳටම කොරෝනා තියෙන රටවල් වලින් සංචාරකයින් ගෙන්නවා, රටට සෞභාග්‍යය උදා කර දුන්නා හු ය. 

එතෙකින් නොනැවතුණු හෙතෙම, ලෝබ නැතුව මහබැංකුවෙන් අච්චු ගැසූ අලුත් ම පන්දාහේ නෝට්ටු, සාමාන්‍ය ජනතාව අතර බෙදා දුන්නද ඩොලරය ස්ථාවරව පවත්වා ගත්තේ ය. කොයි තරම් ස්ථාවරව පවත්වා ගත්තේදැයි කියතොත්, පිටරටවල ඉන්නා අපේ ඩයස්මී ලා වැනි උන්, ඩොලර් ලංකාවට එවන එක නවතා දැම්මෝය. 

ගෑස්, කිරිපිටි, ඉන්ධන, සිමෙන්ති වගේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය හිඟ කළා පමණක් නොව ඒවා ගෙනා නැවු දින ගණන් මුහුදේ නවත්වා තබා ඔවුනට හොඳ හොඳ පාඩම් ද උගන්වාලූ ය. ඒ හරහා කොරෝනා බියෙන් නිවෙස් තුළට වී කිසිදු සාමූහික කටයුත්තකට සහභාගී නොවී හුන් ජනයාට පෝලිම් වල ආතල් ගැනීමේ අවස්ථාවද සලසා දුන්නාහුය.  ගෑස් වෙනුවට දර, කිරිපිටි වෙනුවට ප්ලේන්ටි මෙන්ම වාහන වෙනුවට පයින් හෝ පුස් සයිකලේ ගමන ද හඳුන්වා දුන්නා පමණක් නොව, ලොකුවිතාන ද කවුදෝ මන්දා කෙනෙකුට කියා සිමෙන්ති පැක්ටේරියක් ද ඇරියාහු ය. 

ඡන්දයට ගෑස් මිළ හෝ ඉන්ධන මිළ කොහොමටවත් බල නොපාන බව තේරුම් ගත් මොළ හතාණෝ, 1350 ට තිබූ ගෑස්, 2800 ට යවා තමන්නේ නිර්භීත භාවය පෙන්වා දුන්නේ, 137 ට තිබූ පැට්‍රෝල් 254 ට යැවීමෙන් ය . 

තවත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසකට ඉස්ම යන්නට බදු ගසා සීමා පනවා මොළ හතාණෝ සිදු කළ සේවය ද ඉතිහාස ගත වනු ඇත්තේ ය.  ඇස් කණ්ණාඩියේ සිට කොම්පීතරය දක්වා බඩු වල ගණන් අහස උසට යනු ඇති අතර මෙතෙක් කල් බැඳ දමා දස වද දුන් රුපියලට ඕන හැටියට පාවෙන්ට ඉඩ දීමෙන්, මේ දවස් වල ලංකාවම හොල්ලන්ට පුළුවන් වීම ද මොළ හතාණන්ගේ තවත් වික්‍රමයක්ය. 

ජාත්‍යන්තර පිළිගැනීම ද උපරිමයෙන් ඇති බැවු අප දැන ගත්තේ අසල්වැසි ඉන්දියාවේ වැසිකිලි සංකීර්ණයක් විවෘත කිරීමටත් ආරාධනා කළේ මොළහතාණන්ට වීම නිසා ය. 

මේ අවුරුදු දෙක හමාරේ, හොඳට ම කළේ ස වුවද, මොළ හතාණෝ ඊට නොදෙවෙනිව හොඳම සහාය නළුවාට හිමි සම්මානයට උරුමකම් කියන බව සක්සුදක් සේ පැහැදිළි කළේ ය. 


ඉතිං ආදරණීය 69 ඔබට ඉස්තූතියි.. !



පින්තූරය අන්තර්ජාලයෙන්...