කෑම ලෑස්තියි, කට්ටියම කන්න එන්න, සිත්මී, ආච්චි අම්මවත් එක්කරගෙන එන්න කන්න.
නදීෂා තරමක් උස් හඬින් කීවේ, සාලයේ ජංගමය ඔබමින් උන් රුවන්ට, බණ අසමින් උන් අම්මාට සහ සිංදු ගුලි දෙකක් කණේ ඔබාගෙන පාඩම් කරන සිත්මිටත් එක පාර ඇසීමටය.
අම්මෝ, මොකද ඔච්චර සද්දෙ?
රුවන් ඇසුවේ විමතියෙන් මෙනි. වෙනදාටත් මේ හඬින් නදීෂා කතා කරයි, අද කියා වෙනසක් නැත. වෙනදාටත් රුවන් විමතියෙන් හා අපහසුවෙන් මෙසේ අසයි, එහි ද වෙනසක් නැත.
============================================================
පොඩ්ඩක් හෙමින් කතා කරන්නකො නදී. ගිය ආත්මෙ ගන්ඨාර විතරද මංදා පූජා කරලා තියෙන්නේ.
රුවන් නෝක්කාඩු කියන්නේ හිනාවක් ද සමඟින් නිසා, නදීෂා ට ඒ ගැන විශේෂයක් දැනුණේ නැත.
නමුත් අද විශේෂයක් තිබේ. අද රාත්‍රී ආහාරය ට ඇත්තේ බිත්තර හොද්ද සමඟ පාං ය. එය ගෙදර හැමෝම ආසාවෙන් ම කන සරල වට්ටෝරුවක් නිසා, අද කෑම මේසයට වෙනදාට වඩා ඉක්මණින් හැමෝම ඉඳගන්නා බව නදීෂා දැන සිටියා ය.
කොච්චර කිවුවත් අහන්නෙ නෑ නෙ. අම්මපා මේ බිත්තරයක් අඩුවෙන් දාන කිකිළිව මට අහුවුණොත්.
තම්බා ඇති බිත්තර ගනණ තුනක් බව දුටු රුවන්, තමාගේ බිත්තරයෙන් පංගුවක් නදීෂාට බෙදන්නේ නෝක්කාඩුවෙන් වුවත් ආදරයෙනි.
අම්මා ක්ලිනික් දවස හෙට නේද? ඕවැයි ගිහිං පෝලිමේ ඉන්න ඕන නෑ, අපි ඩොක්ටර් මහදෙනියට චැනල් එකක් දාලා පෙන්නලා පොත අලුත් කරගමු. අපි හෙට හවස ෂෝට් ලීව් දාමු නේද?
රුවන් ගේ වචනයට නදීෂා හදවතින් ම එකඟ බව ඇගේ මුහුණෙන් කියයි. අම්මාගේ මුහුණේ ද සතුටු සිනාවක් ඇඳේ.
චූටි දුව ආච්චි අම්මට බෙහෙත් අරං එන ගමන්, හෙට රෑට අපි එළියෙන් කමු නේද? කොහෙන්ද හොඳ? ෆයිව් ස්ටාර් ද? ත්‍රී ස්ටාර් ද?
සිත්මි හිනා වෙමින් ඇඟිළි තුනක් පෙන්වන්නේ, ත්‍රී ස්ටාර් බව අඟවමිනි. සියල්ලෝම සිනහ මුසු මුහුණින්, ප්‍රණීත ආහාර වේල භුක්ති විඳිති.
===================================
චූටි දූ, කිවුවම අහලා ඔය ආච්චි අම්මවත් අඬගහගෙන එන්න කන්න.
බලාපොරොත්තු වූ ලෙස සිත්මි කෑම මේසය වෙත නොපැමිණියෙන් කෝපාවිෂ්ඨ වූ නදීෂා කෑ ගසයි. රුවන් ගේ සුන්දර සිහින ලෝකය බිඳී යන්නේ එසේය. සිත්මි සිටින්නේ සිංදු ගුලි කණේ ගසාගෙන නිසා බව නදීෂා නොදනිතත්, වහා එය තේරුම් ගත් රුවන්, ඉක්මණින් දෝණිව කැඳවාගෙන එන්නේ පවුලේ සාමය වෙනුවෙනි.
කෑම මේසයට වාඩි වූ සිවු දෙනා ගල් ගිල්ලාක් මෙන් සිටී. රුවන් නිහඬවම තමාගේ බිත්තරයෙන් පංගුවක් තම ආදරණීය බිරිඳ වෙත පුදයි.
මට එපා අනේ! ඕන්නම් මං හදාගන්නවනේ.
නදීෂා එය ප්‍රතික්ෂේප කළත්, රුවන් එය ආපසු නොගනියි.
හෙට අම්මගෙ ක්ලිනික් දවස නේද?
ඔවු, උදේම යන්න ඕන, එහා ලේන් එකේ වීණත් එනවා කිවුවා. පෝලිමේ ඉද්දි පාළුවකුත් නෑ නෙ.
රුවන් ගේ හා නදීෂාගේ සිත් කලින්ම හඳුනාගත් අම්මා කියයි. දෙදෙනාගේම මුවින් එකවර පිටවන්නේ දිගු සුසුම්ය.
අනේ ලොකු දෙයක් අම්මෙ, මගෙත් නිවාඩු තව පොඩ්ඩයි නෙ තියෙන්නෙ. මං මේ අම්මව තනියෙන් යවන්නෙ කොහොමද කියලා හිත හිත හිටියේ.
නදීෂා තම දහසකුත් එකක් පැන වලින් එකක් විසඳුනාක් බඳු සැහැල්ලුවක් හිතේ මවාගෙන කියයි.
තාත්තෙ, පහසුකම් ගාස්තු ගෙවන්න තියෙන අන්තිම දවස මේ සිකුරාදා, සිත්මි මතක් කරයි.
අද අඟහරුවාදා නේද? අනිද්දටවත් ගෙවමු. පරක්කු වුණා වැඩි ද මංදා.
රුවන් ගේ හිතට හරි නැත. මොන ප්‍රශ්න තිබුණත්, දරුවාගේ ගෙවීම් සියල්ල වෙලාවට කලාවට කිරීම ඔහුගේ පිළිවෙතයි.
ප්‍රශ්නයක් නෑ තාත්තෙ, සිකුරාදා වෙනකම් කල් තියෙනවා නෙ. තාම පංතියෙ බාගයක්වත් ගෙවලා නෑ. සිත්මි පුංචි කමට තාත්තාගේ හිත සනසයි.
========================================================
රුවන්. ඇයි ඔයා කල්පනා කරන්නෙ?
එහෙම විශේෂයක් නෑ.
හැම මොහොතක්ම විශේෂයි කියලා ඔයාම නේද කියන්නෙ.
ඒකත් ඇත්ත, හැම මොහොතක්ම විශේෂයි තමයි නදී. හැම මොහොතක්ම, හැම කෙනෙක් ම විශේෂයි.
අභියෝග නම් මොනවද, අපි අපිව තේරුම් අරං ඉන්නවා නම්.
ආච්චි අම්මෙ, ඔයයි සීයයිත් ඉස්සර මේ වගේ රොමෑන්ටික් ද?
සිත්මිගේ ප්‍රශ්නය නිසා, කෑම මේසය සිනාවෙන් පිරී ගියේය. හැමෝම බැලුවේ අම්මා දෙස ය.
හපොයි ඔවු, හැබැයි මෙච්චරම නැද්ද කොහෙද.
අම්මා හැමෝගෙම සිනාව නැවතත් අලුත් කළේ එලෙසිනි.