Wednesday, August 28, 2013

දැම්මෙමි මමත් එහෙනම් ලස්සෙට ..කොඩිය


දවසක් දෙකක් නොව තෙවසරකට .....වැඩිය
හෙමිහිට නමුදු නැංගෙමි පඩියෙන් .......පඩිය
ලද සහයෝගෙ ඔබ ගෙන් ගෙන දුනි ...එඩිය
දැම්මෙමි මමත් එහෙනම් ලස්සෙට ..කොඩිය

කවියෙන් පටන් ගත්තෙමි යන්තම් ....අමුණා
හරියට කවි හදන්ටත් ඉඩ කඩ ..........ලැබුණා
පැදියට ගැදියටත් සහයෝගය ..........තිබුණා
බැරිදා විග්‍රහය ජීවිතයට .....................එබුණා

පළවෙනි කමෙන්ටුව ගෙන ආ මිතුරු .....දුකා
"මනුසත්" දෙවැනි.. "බිඟුවා" ලෙංගතුම ...එකා
ඔය වගෙ බොහෝ අය සිටියා තනිය ......මකා
හැම ගැන කියනු බැහැ පින් දෙමි කඳුළු ..වකා

මුලදී මටත් දැමුවට එක එක ................කින්ඩී
අමතක කරනු බැහැ අවකාශයෙ ..........සින්ඩී
ගැහුවට පම්පෝරි අද වාගේ ...............චණ්ඩී
සින්ඩිය නොවෙන්නට "හදපතුල"ත් නොන්ඩී

පෙර දින දුන්නු සහයෝගය දෙගුණ ....කර
පිය මැන යන්න ලොව වෙත එය එකළු කර
මට අත දෙන්න ඔබෙ අදහස් අවදි .......කර
සලකමි ඔබට මගෙ කවි හිත පුබුදු .......කර

Tuesday, August 27, 2013

Phobia.. ! භීතිකා

යම් කිසි දෙයකට දක්වන අනියත බිය හෙවත් භීතිකාව ට ඉංගිරිසියෙන් ඔහොම කියනවා.. මනස ගැන ටිකක් හදාරපු කෙනෙක් හරි.. සියල්ල දත් කෙනෙක් හරි හිටියා නං මීට වඩා විස්තරයක් ඒ ගැන කරාවි.. 

මට Phobia කියපු ගමන් මතක් වෙන්නෙ එක්තරා කාලයක බොහොම හිතවත්ව හිටපු නංගි කෙනෙක්ව.. 

මෙන්න මේකයි කතාව.. අපි එක්තරා ප්‍රසිද්ධ උපදේශක මහත්මයෙකුගේ වැඩමුළුවකට සහභාගී වුණා.. මේ නංගිවත් මට මුණගැහුනෙ එහෙදි.. ඉතිං ඔය වැඩමුළුවෙ එක්තරා අවස්ථාවක.. අපි ඔක්කෝවම එක තැනකට ගෙනත් අපේ ගුරුතුමා අපට පුංචි පාඩමක් කියලා දෙනවා.. ඒ Phobia.. ගැන.. 

සර් කියනවා සමහරු කැරපොත්තන්ට බයයිලු, සමහරු මකුළුවන්ට බයයිලු, සමහරු සර්පයින්ට බයයිලු.. යනාදී වශයෙන්.. මේවා ඔක්කොම අපේ හිතේ තියෙන අදහස් නිසා ඇති වෙන බියවල් මිසක ඇත්තටම බය වෙන්ට කරුණු බොහොම අඩුයි... යනාදී වශයෙන්..  මේ කෙටි පැහැදිලි කිරීමෙන් පස්සෙ.. අපේ සර් අහනවා.. දැන් ඔයාලගෙන් කාට හරි Phobia... එහෙම තියෙනවද? කියලා..

අපේ හිතවත් නංගි නැගිටලා.. මෙහෙම කිවුවා.. 

"සර්.. මං මීයන්ට හරී... බයයි.."

සර් ගත් කටටම කිවුවා.. 

"ආ.. ඒක බැන්දම හරියයි.." කියලා..


ප.ලි.
ඔය මීට අවුරුදු 13කට විතර ඉස්සර සිද්ධ වෙච්ච කාරණයක්..

කෙල්ල (ඒ කාලෙ) බැඳලා නං දැං ටික කලක්.. ඒත් අහන්න මොකද්ද වගේ තාම මීයන්ට බයද කියලා..

සහන් එළි සෙවිමි ඇගෙ නෙතු උයන් මැද..



ඔබ දිය බිඳයි හමු වුණ නිරුදක .........කතර

ඇය මහ සයුර හදවත මගෙ කළ .......නතර
නොසොයමි පැණි බිඳක් නිල මැස්සන් අතර
පෙම මගෙ තරු බඳුය දිලි අතරින්....... පතර

හිරු නැඟ සැඟව ඇත තුළ රුදු අඳුරු ....වළා
එළියද විටෙක දෙයි සිටි මුත් නිසල ...වෙලා
ඔබ ගැන මතක මගෙ හද කම්පනය ....කළා
ඇය නිවැරදියි ගිය එක නිසි සෙවණ ....බලා


වහන් කරන් නුඹ මට දුන් සෙනෙහෙ ...කඳ
සහන් එළි සෙවිමි ඇගෙ නෙතු උයන් ..මැද
යහන් මත වැටුණි කඳුළැලි බිඳෙන් ......බිඳ
පහන් ටැඹත් මට කළුවර ගෙනෙයි .......අද

Wednesday, August 21, 2013

කෘතවේදී මිනිස්සු.. 1! සිමෙන්ති මිටිය.


මහත්තයා පුළුවන්නං තව සිමෙන්ති කොට්ට දෙකක් වත් ගෙනත් දාලා යන්න.. බාසුන්නැහේ අප්පච්චිට කිවුවෙ.. හෙට අප්පච්චි වැඩට ගිහාම ආයෙ එන්නෙ දවස් දෙක තුනකින් බව දන්න හින්දා..  ඉතිං අප්පච්චිත් අප්පච්චිගෙ දඬුමොනරෙ නැඟලා ටවුන් එකට ගිහිං සිමෙන්ති කොට්ට දෙකක් අරං ආවා.. ඒත් ගෙදට්ට ඔන්න මෙන්න කියලා තියෙන හංදියෙදි එක කොට්ටයක් බිමට වැටුණා.. මෝටර් සයිකලේ පාර මැද්දෙ නවත්තලා ඕක පටවගන්න දුක් විඳින්නෙ මොකටද කියලා හිතපු අප්පච්චි.. ගෙදරට ඇවිත් අනෙක් සිමෙන්ති කොට්ටෙ බාලා ආපහු ගියෙ වැටුණු සිමෙන්ති කොට්ටෙ පටවගෙන එන්න හිතාන..  ඒත් එතනට යනකොට සිමෙන්ති කොට්ටෙ තිබුණෙ නෑ..

එතනට ආපු කළු අයියා.. වෑන් එකකින් ඇවිත් සිමෙන්ති කොට්ටෙ දාගෙන ගියානෙ.. මං කෑගැහුවා.. මිනිහා ගනං ගන්නෙ නැතුව ගියා.. හැබැයි මං නොම්මරේ ලියාගත්තා.. මහත්තයා ගිහිං පොලීසියෙ ඇන්ට්‍රියක් දාන්න.. කියලා කිවුවා..

අප්පච්චිත් ඒ පිම්මටම ගිහිං පොලීසියෙ ඇන්ට්‍රියක් දැම්මෙ.. ආයෙ සිමෙන්ති මිටිය හම්බවෙයි කියලා ලොකු විශ්වාසයක් ඇතුව නම් නෙවෙයි.. හොරුන්ට දඬුවමක් දෙන්න ඕන නිසා.. පහුවදා උදේම අප්පච්චි වැඩට ගියා..

පහුවදා හවස් වෙද්දි.. අපේ ගෙදරට වෑන් එකකින් කට්ටියක් ආවා.. මං හිතන්නෙ දහ දොලොස් දෙන්නෙක් හිටියා..
ඔයාලගෙද සිමෙන්ති මිටියක් නැති උනේ..?  එක්කෙනෙක් ඇහුවා..
ඔවු.. ඔයාලා කවුද? එහෙම ඇහුවේ අපේ අම්මා..
අනේ අපේ පුතා තමයි සිමෙන්ති මිටිය දාගෙන ගිහිං තියෙන්නෙ.. මෙතන කඩේ හිටිය කෙනෙක් තමයි කියලා තියෙන්නෙ දාගෙන යන්න කියලා.. පුතා හිතලා තියෙන්නෙ දුර ගිය වාහනේකින් වැටුණ එකක් වෙන්න ඇති කියලා.. අනේ අපේ පුතාව බේරලා දෙන්න..  මේ මිනිස්සු පිංසෙණ්ඩු වෙනවා..
මහත්තයා නම් ගෙදර නෑ.. වැඩට ගිහිං.. හෙට හවසට තමයි එන්නෙ.. මහත්තයා තමයි ඇන්ට්‍රිය දැම්මෙ..
අපේ අම්මටත් දුක හිතිලා වගෙයි.. මටත් ඉතිං වැඩේට දුකයි..

අපි දැං ගිහිං මහත්තයාව එක්කගෙන එමු.. පුතාට පුළුවන්නෙ අපිත් එක්ක එන්න..
මෙයාට විභාගෙට පාඩං කරන්නත් තියෙනවා.. අපි මහත්තයව හම්බවෙන විදිහ කියන්නම්.. අම්මා කිවුවෙ.. මට මඟදී කරදරයක් කරයි කියලා බව මට තේරුණා..

අනේ පුතේ යං.. ඒ අම්මා මට පිංසෙණ්ඩු වෙනවා.. කොහොම බෑ කියන්නද..? මං අපේ අම්මගෙන් අවසර අරං යන්න පිටත් උනා.. කොයි එකටත් සාක්කුවෙ පොඩි කතුරක් දාගත්තා.. මගදි තත්වෙ වෙනස් උනොත් කියලා.. ඒත් ඒ මිනිස්සු අහිංසකයි.. අප්පච්චිත් එක්කරගෙන ආවා.. ඇවිත් පොලීසියට කියලා බැලුවත්.. හරි ගියේ නෑ.. හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට තියලා තමයි ගන්ට වෙන්නේ කිවුවා.. මේ මිනිස්සුන්ට කන්න බොන්න එහෙමත් දීලා එදා පිටත් කොළා.. ඔන්න පහුවදාත් කට්ටිය ඇවිත්.. හඳුනාගැනීමේ පෙරෙට්ටුවට යන්න වෙන්නෙ.. කළු අයියටයි, බාසුන්නැහේටයි..  ඒ දෙන්නගෙ දවසෙ මහන්සිය නම් ගෙවන්න වෙයි කියලා අප්පච්චි එයාලට කිවුවා.. ඒ දෙන්නට තිබුණේ.. හඳුනාගැනීමේ පෙරෙට්ටුවෙදි හඳුනානොගෙන ඉන්න.. ඒකට එයාලට පොඩි සම්තිං එකක් හම්බ උනා.. හවස යන ගමං කට්ටිය අපේ ගෙදර ඇවිත් තේත් බීලයි ගියෙ..

සිමෙන්ති මිටිය කෝ.. මං අප්පච්චිගෙන් ඇහුවා..

ඒක නඩු භාණ්ඩයක් විදිහට පොලීසියෙ තියාගත්තා..

ඒ නඩුව නං අපූරුවට විසඳුනා.. මං තනියෙම කල්පනා කළා..

අපරාදෙ කියන්න බෑ.. ඒ මිනිස්සු අපේ ගේ ඉස්සරහින් යන හැම වතාවෙම...
තියා එක වතාවක්වත්..  ආයෙ අපේ ගෙදර ආවෙ නෑ...





Tuesday, August 6, 2013

හී ගඩු පිපුණා..

එක දොහකට 
දහ දොලොස් වතාවක්
හී ගඩු පිපුණා..
හීතල දැනුණා..

අප වෙනුවෙන් 
කෑ ගසන සියොතුනේ
නුඹ වෙත පෑ හී .. 
සැරටම වැදුණා..
අපටත් රිදුණා..

බයක් නිසා නොව
නිහඬව ඉන්නේ
ඵල නැති හින්දා..
අසරණ වූ දා..
කරනු කුමංදා..