Thursday, January 21, 2021

සීනි දෙයියා!

 දියවැඩියාව, එහෙමත් නැත්නම් මධුමේහය කියලා සිංහලෙන් හඳුන්වන, Diabetes mellitus කියලා ඉංගිරිසියෙන් කියන, බෝ නොවෙන රෝගයක් තියෙනවා කියලත්, ඒ රෝගය ලෝකෙ වගේ ම ලංකාවෙත් බොහෝ දෙනෙක් ට තියෙන සුලභ රෝගයක් බවත් අපි ඔයාලා කවුරුත් දන්නවනෙ. මේ ලෙඩේ තියෙනවද කියලා හොයන්න වෙන්නෙ රුධිරයේ සීනි එහෙමත් නැත්නම් ග්ලූකෝස් ප්‍රමාණය පරීක්ෂා කිරීමෙන් තමයි.


අපේ අප්පච්චිටත් දියවැඩියාව තිබුණා. දැනගත්තු දවසෙ ඉඳං අප්පච්චි පුදුම විදිහට කෑමෙන් පරෙස්සම් වුණා. පැණි රහ තියා, අල ගෙඩියක් දාලා උයපු හොද්දකින් චුට්ටක් වත් කෑවෙ නෑ. මොන තරම් පරෙස්සම් වුණත්, අප්පච්චිට සීනි දෙයියන්ගෙන් කිසිම සහනයක් ලැබුණෙ නෑ. එයා 75 වසරක දිවි සැරිය නිමා කරනකම් ම ඒ දෙයියා අප්පච්චිට හරියට හිරිහැර කළා. හැබැයි අප්පච්චි පුරුදු වෙලා තිබුණු එක පුරුද්දක් නිසා, කොච්චර බෙහෙත් බිවුවත්, අප්පච්චිගෙ වකුගඩු දෙක නම් පරෙස්සම් වුණා අන්තිම වෙනකම් ම. ඒ තමයි වතුර බොන එක. උදේ ඉඳං රෑ වෙනකං වගේ ම රෑ ඉඳං උදේ වෙනකං මෙගා බෝතල් 2-3ක් වත් අප්පච්චි අනිවාර්යයෙන් හිස් කරනවා. 


ඔන්න ඉතිං මට අවුරුදු 34 සම්පූර්ණ වෙන්න මාස කිහිපයකට ඉස්සර උණක් හැදුණු වෙලාවක, RBS එකක් හෙවත් අහඹු රුධිරයේ සීනි පරීක්ෂාවක් කළා ම මට්ටම ටිකාක් උඩට ගිහිං කියලා හඳුනා ගන්නවා. ඒ හරියට ම මීට අවුරුදු දහයකට කලිං. ඊට පස්සෙ මම සම්පූර්ණ පරීක්ෂණ සැට් එක ම කරගත්තහම ලෙඩ දෙක තුනක් හොයා ගන්නවා.


1. දියවැඩියාව

2. වකුගඩු වල ගල්

3. High blood preasure හෙවත් අධි රුධිර පීඩනය (බෝඩර් එකේ).


හැබැයි මං ඔය ඉස්පිරිතාලෙ ඉන්න දවස් ටිකේ අලුත් දෙයක් හොයා ගන්නවා. ඒ තමයි මට අම්මා බෙදලා දෙන බත් එක අවශ්‍ය ප්‍රමාණයට වඩා ගොඩාක් ලොකුයි කියලා. ඉතිං සෑහෙන සටනක් කරලා බත් ප්‍රමාණය 50% කින් විතර අඩු කරගන්න මට පුළුවං වෙනවා. 

ඉස්පිරිතාලෙ උන්නු දොස්තර මහත්තැන් 2,3 එවුවට ප්‍රතිකාර කරන්නෙ නැතුව දියවැඩියාවට විතරක් Metformin කියන ඉංගිරිස් ඖෂධය ලබා දෙනවා උදේ හවස ගන්ට ය කියලා.  


සති දෙකක් විතර ඒ දීපු බෙහෙත් බීපු මම නිතර නිතර රුධිරගත සීනි පරීක්ෂාව කරන ගමන් අර බෙහෙත් නවත්වලා සැපෙන් සනීපෙන් ඉන්නවා. මාස තුනක් විතර හොඳට සීනි පාලනය වෙන බවට කරපු නිරීක්ෂණයත් එක්ක, රුධිර පරීක්ෂාව කරන එක ටික ටික මඟ හැරෙනවා. හැමෝටම දැං අමතකයි මං දියවැඩියාවට බෙහෙත් බීපු එකෙක් බව. ඔහොම අවුරුදු 4-5 ක් යද්දි මට තේරෙනවා මගේ ඇස් පෙනීම මාර විදිහට අඩුයි කියලා. 


පරීක්ෂා කරලා බැලුවම සීනි මට්ටම ටිකක් දරුණුවට වැඩි වෙලා. ඊට පස්සෙ Metformin SR කියන පෙත්ත උදේ හවා අරගන්න නියම වෙනවා. මාත් කාලා බීලා ඉන්නවා. ඔය අතරෙ අධි රුධිර පීඩනයටත් බෙහෙත් පටං ගන්නවා.  


2020 කොරෝනා ආපු අවු අස්සෙ මගේ බිරින්දෑ Youtube කියන මෙවුවා එකේ වීඩියෝ බලන්න පටං ගන්නවා. ඔන්න අපිට හම්බ වෙනවා වෙද මහත්තයෙක් දියවැඩියාව නිට්ටාවට ම සුව කරනවා යැයි කියන. සිංහල වෙදකම ගැන මගේ කොහොමටත් ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතිං මට හිතෙනවා ටිකක් උත්සාහ කරලා බලන්න. ගිය පළවෙනි දවසෙම මට තේරෙනවා, උන්නැහේ ට ඒ හැටි දැනුමක් නැති බව. හැබැයි දුන්නු බෙහෙත් වලින් සීනි මට්ටම නං සුපිරියට බහිනවා. සති දෙකක බෙහෙත් වලට රුපියල් ම පන්දාහක් ගන්නවා එයැයි.  පාන් පිටි මිශ්‍රිත කෑම, සම්බා හාලේ බත්, ගස්ලබු, අඹ, වට්ටක්කා වගේ කෑම ජාති කිහිපයක් තහනම් කළාට අයිස් ක්‍රීම්, අලුවා, කිරි පැණි එහෙම තහනම් කළේ නෑ. සතියකට දවස් තුනක් වත් පැය භාගය ගානෙවත් ව්‍යායාමයක් නම් කරන්න ඕනමයි කිවුවා. 


පළවෙනි බහෙත් ටික ඉවර වෙන්නත් ඉස්සර ඉංගිරිසි බෙහෙත් නවත්තලා තියෙද්දිත් සීනි මට්ටම හොඳින් පාලනය කරගන්න මට පුළුවන් වුණා. දෙපාර, තුන්පාර ගන්නකොට බෙහෙත් ප්‍රමාණයත් ටිකෙන් ටික අඩු කරනවා. බෙහෙත් වර්ගත් ටිකක් වෙනස් කරනවා. දැං ඉතිං සනීපයි කියලා හිතපු මං තුමාට ආයෙමත් රස ම රස කෑම බීම වර්ග නො අඩුව ලැබෙනවා. ආසම කෑමක් වුණු පෑන් කේක් එහෙම හැදුවාම බය නැතුව දහයක් විතර බඩට දාගත්තම ලැබෙන ආධ්‍යාත්මික සුවය ගැන මොනවට කියනවද ඉතිං. 


ඔන්න ඒ පාර මගේ සීනි මට්ටම ආයෙත් උඩ යනවා. මං ම කල්පනා කරලා කන බත් ප්‍රමාණය අඩු කරන්න තීරණය කරනවා. අනිත් පැණි රහ කෑමත් අඩුවක් නැතුව කනවා. වැඩේ හරියට ම හරි. මාස තුන හමාරක් විතර බීලා, වෙද මහත්තයා නවත්තන්න කියන්නෙ නැති පාර මං විහිංම නවත්තනවා. දැං ඒ නවත්තලත් මාස කිහිපයක් වෙනවා. තාම නං හොඳින් පාලනය සිද්ධ වෙනවා. එකම වෙනස, කන බත් ප්‍රමාණය විතරයි. බත් මේස හැඳි 2 කට වැඩිය බෙදා ගන්නෙ නෑ. හැමෝම පුදුම වුණත්, මාළු පිණි වැඩියෙනුත් එක්ක බෙදා ගන්න නිසා අතරමඟ බඩගිනි වෙන්නෙත් නෑ. කන කෑම වල රසත් වැඩියි. 


මට මඟ හැරෙන එක ම දේ ව්‍යායාමය. පුළු පුළුවන් වෙලාවට ව්‍යායාමයත් කරගත්තා නං, ආයෙ ටික කාලෙකට බෙහෙත් ඕන නෑ කියලා මට හිතෙනවා. ආයෙමත් කතාවෙ මුලට ගියොත්, අප්පච්චි කොච්චර කෑම පාලනය කළත් බත් පිඟානෙ සයිස් එක නං අඩු වුණේ නෑ. අප්පච්චිගෙ සීනි මට්ටම අඩු නොවුණෙ ඒක වෙන්නැති. දැං ඉතිං සීනි දෙයියා නයා මැරුණු අහිකුණ්ඨිකයා වගේ මං දිහා බලං ඉන්න හැටි දැක්කම මට හිනා. අප්පච්චිට ඔය උපදෙස දෙන්න ඒ කාලෙ මට නොහිතුණු එක ගැන නං දුකයි. 


මේ කතාව ලිවුවෙ, ඔයාලටත් දැනුවත් වෙන්න. තුන් වේලට ම බත් කන්න. හැබැයි බත් ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන්න. ව්‍යායාම කරන්න. Metformin ඕන වෙන්නෙ නෑ. අත්දුටුවයි-ප්‍රත්‍යක්ෂයි. සිංහල වෙදකම බොරුවකුත් නෙවෙයි. හොඳ වෙද මහත්තුරු හොයා ගන්න එකයි අමාරු. 

Monday, January 4, 2021

ආදරණීය ම දරුවා

 අද දින කියැවූ ලිපියක ප්‍රශ්න කර තිබුණේ  මවකට හෝ පියෙකුට දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩිය ඉන්නා විට සමානව ආදරය කළ හැකි ද යන්නයි. මේ වන විටත් ඔබ එක් දරුවෙකුට වඩා සිටිනා මවක හෝ පියෙකු නම් ඔබේ පිළිතුර බොහෝ විට "ඔව්" විය හැකියි. ඒ ලිපිය කියවන තුරු ම මා සිටියේ ද "ඔවු" පිළිතුරේ ය. තවමත් එය එසේ නොවන්නේ යැයි මට ස්ථිර නැත. මම මගෙන් ම ඒ ගැන ප්‍රශ්න කරමින් සිටිමි.


හිට්ලර් ගේ නාසි හමුදාව යුදෙවුවන් දස දහස් ගණනින් ගෑස් කාමර වලට දමා මරා දැමූ අයුරු ඔබ අසා ඇතිවාට සැක නැත.  එම සිදුවීම් පාදක කොට ගනිමින් William Styron නම් ඇමෙරිකානු කතුවරයා ලියූ Sophie's Choice නම් කෘතියේ සඳහන් වන අපූරු තෝරාගැනීමක් ගැන අදාළ ලිපියෙහි දක්වා ඇත. 


අදාළ සිර කඳවුරෙහි වෛද්‍යවරයා සොෆී නම් මව ට මෙසේ කියයි. 

// මේ කොටස ඔහුගේ ලිපියෙන් උපුටා ගතිමි

"උඹේ දරුවො දෙන්නගෙන් එක්කෙනෙක් තෝරලා දීපන් මට, ගෑස් කාමරයට යවන්න. හැබැයි උඹ එක්කෙනෙක් තෝරලා දුන්නේ නැත්නම් මම දරුවො දෙන්නවම ගෑස් කාමරයට යවනව"

//

මගේ විදිහට නම් මගේ පළමු තේරීම වනු ඇත්තේ, "ළමයි දෙන්නා වෙනුවට මාව ගෑස් කාමරයට යවපන්" යන්නයි.  එහෙත් සොෆී ඊට මදක් කල්පනාකාරී, ශක්තිමත් එහෙත් ආන්දෝලනාත්මක ලෙස තොරා ඇත්තේ තමාගේ අට හැවිරිදි දියණිය ගෑස් කාමරයට යැවීමටයි.  නමුත් ඇය ඉන් පසුව තමා කළ දේ ගැන සොවින් සිය දිවි නසාගෙන තිබෙනවා. 

දැන් ඔබේ වාරය; ඔබේ දරුවන් ගෙන් කෙනෙක් ඔබට ගෑස් කාමරයට යැවීමට තෝරා දිය හැකි ද?

අදාළ ලිපියට 

ජේමිස් බණ්ඩා ගේ ලිපිය කියවන්න