Friday, November 2, 2018

බැරිදා විග්‍රහය! මහින්ද අගමැති වීමේ හොඳ නරක

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති කමින් නෙරපා දමා මෛත්‍රී විසින් හිටපු ජනපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත් කර ගැනීම පසුගිය සිකුරාදා හවස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කළ අතර රනිල් පාර්ශවය හා අනෙකුත් බොහෝ පාර්ශවයන් එම පත් කිරීම ව්‍යවස්ථා විරෝධී පත් කිරීමක් බවත්.. ජනපතිවරයාට අගමැති ඉවත් කිරීමේ බලයක් නොමැති බවත් පෙන්වා දෙති. ඒ අතර මහින්ද පාර්ශවය පාර්ලිමේන්තුව නොකැඳවා ම ඇමති මණ්ඩලයක් ද  පිහිටුවාගෙන ඉදිරියට ඇදෙයි.. .. මේ එයින් ලැබෙන/ලැබිය හැකි පිළිබඳ මගේ අවබෝධය අකුරුය.. (එම පත් කිරීමේ නීත්‍යානුකූල බව හෝ ආචාර ධර්ම උල්ලංඝනය ගැන හෝ කතා කිරීම මෙහි අරමුණ නොවේ..)

දෛනික කටයුතු වලට බාධා..
පුද්ගලික අංශයේ කටයුතු බොහෝ දුරට වෙනදා සේ ම කෙරීගෙන ගිය ද, රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන බොහොමයක, අමාත්‍යංශ ලේඛම් වරුන් හෝ අදාළ ප්‍රමුඛ නිලධාරීන් මාරුවීම හා මාරු වෙතැයි යන උපකල්පනය නිසා බොහෝ වැඩ කටයුතු මේ වන විටත් අඩාල වී ඇතැයි සිතමි. එම ආයතන හා සම්බන්ධ විවිධ ආකාරයේ ව්‍යාපෘති ද මේ වන විට ඇණ හිට ඇතුවාට සැක නැත. විශේෂයෙන් නැවතත් රනිල් අගමැති වී සියල්ල කණපිට ගසාවි දැයි යන අවිනිශ්චිත භාවය මේ වන විට සෑම තැනකම වැඩ කටයුතු අඩාල වීමට බෙහෙවින් බලපා ඇත. මෙය තාවකාලික වුවත්.. පාර්ලිමේන්තුව පවත්වා.. දෙකෙන් එකක් බේරා නොගෙන කල් මැරීම රටට සිදු කරන පාඩුව සුළු පටු නොවේ..

උද්ඝෝෂණ කරුවන්ගේ කරදර ඉවරයි..
පහුගිය කාලේ හයියෙන් අධෝවාතයක් පිට වුණත් උද්ඝෝෂණ කරන්නට පෙළැඹී සිටි අය දැන් පාඩුවේ තමන්ගේ වැඩක් බලා ගනු ඇත. එය පාඩුවේ වැඩ කරන මිනිසුන්ට කරන ලොකු උදවුවකි..

ජනතාවටත් සංතෝෂම්..
මන්ත්‍රී වරුන් කෝටි ගණන් වලට වෙන්දේසි වන මේ සමයේ.. ජනතාවට ද පුංචි පුංචි සංතෝෂම් ලැබෙනු ඇත. පෙට්‍රල් රු. 10 කින් අඩුවීම, පරිප්පු, සීනි, තිරිඟු පිටි මිල අඩු වීම, විදුලි සංදේශ බදු අඩු වීම ඒ අතර කැපී පෙනෙන.. . මේ වන විටත් ලැබී ඇති සංතෝෂම් ය. 

ජාත්‍යන්තර පීඩනය
 2015 ට පෙර.. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ කුප්‍රකටව සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය ඉතා දුර්වලව පවතින රටක් ලෙස ය. එහෙත්.. 2015 න් පසුව.. රජය.. බොහෝ අංශ වලින් ඉතා සාධනීය මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කළ නිසා.. එම අංශයෙන් රට ගැන තිබූ අප්‍රසාදය බොහෝ සෙයින් දුරු විය. එහෙත්... ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් මහින්ද මහතා ව අගමැති කළ බවට වත්මනෙහි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනීසිටින ජාත්‍යන්තරයේ බහුතරයක් රටවල් පිළිගන්නා තත්වය තුළ.. ඉදිරියේ දී වත්.. ප්‍රජාතන්ත්‍රවාදී ව නොහැසිරුණහොත්.. පෙරටත් වඩා ප්‍රබල ලෙස... ජාත්‍යන්තරය ක්‍රියාත්මක වනු ඇතැයි අනුමාන කළ හැක. 

රට හදනවා නම්..
මහින්ද - මෛත්‍රී හවුල ට රට හදනවා නම්.. මේ ද එක් හොඳ අවස්ථාවක් බව කිව යුතුය.. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ.. පැවති රජය ගෙන ආ.. ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත් වල වෙනසක් නොකොට.. ඔවුන්ගේ තිබූ දුර්වලතා වන.. හොරකම්, දූෂණ හා වංචා දුරු කිරීමත්, අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීමත් ය.

ප.ලි.
රටේ පවතින තත්වය හා දේශපාලකයින්ගේ ජරා ජීර්ණ ස්වභාවයට අනුව.. ආණ්ඩු මාරු වූවත් නැතත්.. රටට හා ජනතාවට යහපතක් නම් සිදු නොවන බැවු පැහැදිලි ය.