Thursday, July 16, 2020

බැරිදා විග්‍රහය !අපි අලුත් ජනතාවක් පත් කර ගත යුතුද?

මෙවර ඡන්දයේ දී මගේ ඡන්දය දෙන්නේ කවර පක්ෂයකටදැයි තවම තීරණයක් නොමැත. ඇතැම් විට මා ඡන්දය පාවිච්චි නොකරනු ඇත. 
කාරණය එය නොවේ. මෙවර ඡන්දයට ඉදිරිපත් වන අයගෙන් කීයෙන් කීදෙනෙක් හැබෑටම තමන් දැරිය යුතු වගකීම ගැන අවබෝධයකින් පසුවන්නේද යන්නයි.  බොහෝ අයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය තිබෙන්නේ තමන්ගේ යාළුවාට කොන්ත්‍රාත් එකක් අල්ලා දීමට.. යාළුවාගේ දරුවාව පාසලකට දමා දීමට.. යාළුවාගේ බිරිඳට ස්ථාන මාරුවක් ලබා දීමට.. පොලීසියට ඇමතුම් ලබා දී සුළු වරදකරුවන් නිදහස් කර ගැනීමට... වගේ වැඩ වලට කියාය. ජනතාවත් හිතන්නේ එහෙමය. එහෙම කරන්ට පුළුවන් ජාතියේ මිනිස්සු පාර්ලිමේන්තු යවන්ට ඡන්දෙ දෙන්නේ ඒ නිසාය.  දැන් අපි අලුත් ජනතාවක් පත් කර ගත යුතුයැයි සමහරු කියන කතාව බැලුවාම ඇත්තය.
කාරණාව එය ද නොවේ. ජාතික මට්ටමෙන් ගත් කල වඩාත් ම ආකර්ශනීය ලැයිස්තුව ඉදිරිපත් කර ඇත්තේ ජාතික ජන බලවේගයයි. වෙනත් බලවේග හා පක්ෂ වල ආකර්ශනීය චරිත ඉඳ හිට තිබුණ ද, ඕනෑම තැනකින් බැලුවත් හොඳම බඩු ටික ඉන්නේ ජා. ජ. බලවේගයේ ය. එහෙවු ජා. ජ. බලවේගය ට මෙවරද ආතක් පාතක් නැතිවීමේ ඉඩ කඩ බොහෝ ය. NGO කාරයෝ යන්න ඔවුන්ට එල්ලවෙන ප්‍රභලතම විවේචනයයි. රාජ්‍ය නොවන සංවිධාන හෙවත් Non Government Organizations මේ තරම් අපට ඇලජික් ඇයිදැයි මට ප්‍රශ්නයක් විය. එයට ලැබුණු පිළිතුරු අතර වඩාත් තාර්කික පිළිතුර වූයේ.. රට තුළ වැරදි මත පතුරුවාලීම සඳහා පිටරට වලින් ඩොලර් එවැනි ඇතැම් සංවිධාන වලට ලැබෙන බවයි. ජාතික ජනබලවේගයේ ඇති සංවිධාන වලින් සැලකිය යුතු ප්‍රමාණයක් NGO ගණයට අයත් වන බව සත්‍ය නමුත්. ඒවා ඔය කියන ජාතියේ පිටරට ඩොලර් වලින් යැපෙන සංවිධාන නොවන බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා එක්තරා නාලිකාවක වූ සාකඡ්ඡාවකදී ශපථ කළේය. එහෙත් අපි හිතන්නේ NGO නම් බටහිර ඩොලර් වලට ඇති කෑදර කම නිසා රටට වින කටින සංවිධාන පමණක් වන බවය. දැන් අපි අලුත් ජනතාවක් පත් කර ගත යුතුයැයි සමහරු කියන කතාව එහෙම බැලුවාම ද ඇත්තය. 

කාරණාව එය ද නොවේ.  පසුගිය වසර ගනණාවක් පුරා රටේ සිදුවුණු හොරකම් ඇතුළු අකටයුතුකම් බොහොමයක් ගැන සාධාරණව හඬ නැඟූ අය අතර ඉදිරියෙන්ම සිටියේ ජවිපෙ මන්ත්‍රීවරු ය. ඔවුන්ගේ පුද්ගලික ජීවිත ගැන අප නොදන්නා මුත් ඉඳ හිට ලත් තොරතුරකින් හෙළි වූයේ ඔවුන් සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත් වන බවය. එසේ තිබියදී ඔවුන් මත් පැන් පානය කිරීම, තරමක් හොඳ වාහනයක් පැදීම වගේ අතිශය සාමාන්‍ය දේවල් ඇතැමුන්ට හරිම අමුතු දේවල්ය.  ඔවුන් සිතන්නේ ජවිපෙ මන්ත්‍රීවරු  පුස් සයිකලෙන් එහෙ මෙහෙ ගොස් රතු හාලේ බත් පමණක් තුන් වේලට ම කා ජීවත් විය යුතු බව ය. දැන් අපි අලුත් ජනතාවක් පත් කර ගත යුතුයැයි සමහරු කියන කතාව එහෙම බැලුවාම ද ඇත්තය. 



පිංතූරය අන්තර්ජාලයෙනි.

Thursday, July 9, 2020

IT දන්න අයට මොනවද කරන්න පුළුවන්!


IT හෙවත් තොරතුරු තාක්ෂණය කියන විෂයය  කියන්නෙ ඉතා පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය කරන  විෂයයක්. ඉතින් කෙනෙක්  IT  එහෙමත් නැත්නම්  Computer දන්නවාය කියලා කීවාම ඒක ඒ තරම් සාධාරණ ප්‍රකාශයක් වෙන්නෙ නෑ.. අපට බැලු බැල්මටම පේන්න තියෙන IT ක්ෂේත්‍ර කිහිපයක් මං සඳහන් කරන්නම්..
1. Networking
2. Computer Assembling & Repairing
3. Software Developing
4. Web Designing
5. Graphic Designing
ඉතිං ඔය කියන ක්ෂේත්‍ර වලින් එකක හෝ කිහිපයක දැනුමක් තියෙනවා නම්..
1. අදාළ විෂයයන් උගන්වන්න
2. අදාළ විෂයය දැනුම භාවිතයෙන් රැකියාවක් කරන්න
3. අදාළ විෂයය දැනුම භාවිතයෙන් ව්‍යාපාරයක් කරන්න
ඔබට අවස්ථාව තියෙනවා.
ඉගැන්වීම
උගන්නනවා කියන්නෙ අද කාලෙ හොඳ ව්‍යාපාරයක්. සේවයක් කරන අතරෙම හොඳ මුදලකුත් හොයන්න පුළුවන්. මේ ඉගැන්වීම තනි පුද්ගලයෙකු වශයෙන්, ආයතනයක් තමන් ම අරඹලා .. එහෙමත් නැත්නම් තිබෙන ආයතනයකට සම්බන්ධ වෙලා කරන්න පුළුවන් තමන්ගෙ කැමැත්ත අනුව.
ඒ ඇරුණම කරන්න පුළුවන් හොඳ වැඩක් තමයි තමන්ගෙ දැනුම පොතක් ලෙස එළිදක්වන එක. මුද්‍රිත පොතක් නැත්නම්  e-book එකක් ලෙසත් ජනතාව අතරට තම දැනුම ගෙනියන්න පුළුවන්. මේක තමන්ගෙ ලිවීමේ හැකියාව වර්ධනය කරගන්න, තමන්ගෙ දැනුම වැඩි දෙනෙක් අතරෙ බෙදා දෙන්න වගේ ම වැඩි කාලයක් පුරාවට ටිකෙන් ටික ලොකු වෙන ආදායමක් උපයා ගන්නටත් ප්‍රයෝජනවත් වෙන වැඩක්. IT සංකල්ප දිනෙන් දින දියුණු වීම නිසා.. ලියූ දේ ඉක්මණින් කල් ඉකුත් වීම කියන කාරණා අනෙක් කාරණයක් සම්බන්ධව පොත් ලියනවා ට සාපේක්ෂව ටිකක් පාඩුදායක වැඩක්.
ඔබ ගේ හැකියාව Software Developing, Web Designing, Graphic Designing වගේ අංශයකින් තියෙනවා නම් Free Lancer කෙනෙක් විදිහටත් ඔබට ඔබ ගෙ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අන්තර්ජාලයේ ඒ සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා.
Software Developing කියන විෂයය ගත්තත් එය Standalone Applications Developing, Web Applications Developing සහ Android Applications Developing කියලා ප්‍රධාන ධාරාවෙන් වෙන්කරගන්න පුළුවන්.  මේවැයිත් අනුකොටස් මහ ගොඩක් තියෙනවා.
Web Designing කියන්නෙ අද කාලෙ බොහෝ දෙනාට අවශ්‍ය වෙන සේවාවක්. ඒ වුණත්.. ලංකාවෙ ඒ සම්බන්ධ Market එක නම් හොඳටම සවුත්තු වෙලයි තියෙන්නෙ. ඒ වුණත් ඒ සම්බන්ධ කටයුතු සාර්ථකව කරගෙන යන අය නැතුවාමත් නොවෙයි.
Graphic Designing කියන්නෙ විවිධ ක්ෂේත්‍ර ගණනාවකට ප්‍රයෝජනවත් වෙන තාක්ෂණයක්. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සඳහා මෙන්ම වෙළඳ ප්‍රචාරණ ආයතන  වලින් මේ සම්බන්ධ දැනුම හා හැකියාව ඇති අයගේ සේවය ලබා ගන්නවා.

MS Office පැකේජයේ තිබෙන MS Word සහ MS Excel කියන  Application දෙකෙන් එකක් දැනගත්තත් ලංකාවෙ රස්සාවක් හොයාගන්න හොඳ අවස්ථාවක් තියෙනවා. Computer Type Setting, Computer Operator කියන්නෙ එහෙම රැකියා දෙකක්. රස්සාවකට කෙසේ වෙතත් ඔය  Office පැකේජ ගැන ටිකක් හදාරලා ඉන්න එක මොන දේ කරන්න ගියත් සෑහෙන්න ප්‍රයෝජනවත්. මොකද මේ Applications වලින් අපේ එදිනෙදා පරිගණක අවශ්‍යතා බොහොමයක් කරගන්න පුළුවන් වෙනවා.

Computer Assembling & Repairing කියන්නෙ නම් අද කාලෙ පොඩි එකෙකුටත් පුළුවන් දේවල්. ඒත් ඉතිං.. එච්චර කට්ටියකට පුළුවන් වුණත්.. මේ වැඩේට තියෙන ඉල්ලුම ඊට වඩා ඉහළයි. ඒකට හේතුව තමයි අද කාලෙ තියෙන සංකීර්ණ ජීවන රටාවත් එක්ක මිනිස්සු කැමතියි වගකීමක් ඇතුව.. හොඳට දන්න කෙනෙකුට කියලා වැඩක් කරවගන්න. මේකෙ වටිනාකම තවත් වැඩි වෙන්නෙ.. ඔබට Laptops Repair කරන්න පුළුවන්නම්. මොකද අපි වුණත් Desktop පරිගණකයක් ගලවලා.. RAM එක එහෙම  Check කරලා බැලුවට.. කවදාවත් Laptop එකක් ගලවන්න හිතන්නේ නෑ. දන්න කියන කෙනෙක් ගාවට යනවා මිසක්.

Networking කියන්නෙම ටිකක් පහළ මට්ටමේදි භාවිතා නොවෙන දෙයක්.. ඒ කියන්නෙ තනි පරිගණකයක් භාවිත කරන කෙනෙක්ට සම්බන්ධ වෙන්න තියෙන්නෙ Internet හෙවත් අන්තර්ජාලය කියන Network එකට විතරයි. ඉතිං ඒ දැනුම නම් හරිම සුලභයි. ඒත් එතනිං එහාට Domain එකක් Configure කරගන්න තැන ඉඳලා ඉහළට තියෙන වැඩ ටික හරි සුවිශේෂයි.. ඒ දැනුම හැමෝටම ඇත්තෙ නෑ විතරක් නෙවෙයි. ලංකාවෙ බොහොමයක් ආයතන වල IT Executive වගේ ම IT Manager තනතුරු වල ඉන්න බොහොම දෙනෙක් ට වත් මේ දැනුම ප්‍රමාණවත් මට්ටමට නෑ.  ඉතිං ඒ සම්බන්ධ සේවා සපයන ආයතනයක් පවත්වන්න ගත්තොත් දියුණු වෙන්න ඉතා හොඳ අවස්ථාවක් තියෙනවා කියන එකයි මගේ අදහස.