Tuesday, February 21, 2012

හදපතුලටත් අවුරුදු දෙකයි

ගුරු මවු පිය වරුන්ගේ පිහිටෙන් අකුරු සෑස්තරේ, කොම්පියුටර් සෑස්තරේ ඉගෙන ගෙන, සයිබරයේ සාමූහික ගමනක් යන්න පටං ගත්තු මං බ්ලොග් කරුවෙක් වීමත් මගේ ජීවිතේ ගොඩාක් දේවල් වගේම අහම්බයක්..


එළකිරියේ Blog බොත්තම එබීමෙන් තමයි මේ අහම්බය සිද්ධ වුණේ. ඊට පස්සේ තමයි හදපතුල කියලා මගේම බ්ලොග් එකක් පටං ගන්න අදහස ආවේ.. ඒක පටං ගන්න දුකා, දිල්, මින්දද වගේ අයගේ අදහස් මට බෙහෙවින් ඉවහල් වුණු බව මං මතක් කරන්නේ බොහොම කෘතවේදීව.


මේ කාලෙ ඇතුලත හදපතුල ට ඇවිත් ගිය ගණන (Hits) 42,700 ත් ඉක්මවා තියෙනවා.. දවසකට සාමාන්‍යයෙන් 100 ක් විතර ගානක් මේ පැත්තට එනවා.. ඒත් ඉතිං කමෙන්ටු නං වැටෙන්නේ බොහොම අඩුවෙන්.. මං මේ ලිපියට ඉස්සෙල්ලා එළියට දාලා තියෙන ලිපි 62ටම මගේ කමෙන්ටුත් එක්කම වැටිලා තියෙන මුළු කමෙන්ටු ගාන 348යි.. ඒ කියන්නේ එක ලිපියකට කමෙන්ටු 5ක් විතර.. ඒ ගැන ඉතිං දුක් වෙලා මක් කරන්ටෙයි..


ඉතිං මේ තරං කට්ටියක් මේ පැත්තට ගෙන්න ගන්ට මට උදවු වුණු අයවත් අමතක කරලා බෑ නොවැ..


සින්ඩිකේටර
සින්ඩිකේටර ගොඩක ප්‍රචාරක පිංතූර, බැනර් හද පතුලේ පිරිලා..
මෙයින් වැඩිම පිරිසක් ඇවිත් තියෙන්නේ සිංහල බ්ලොග්කරුවන්ගේ එකතුවෙන්කොත්තුවෙන් සහ ලාංකීය බ්ලොග් කියවනයෙනුත් සැලකිය යුතු පිරිසක් මේ පැත්තට ඇවිත් තියෙනවා.. ෆේස් බුක් වල ඇති සින්ඩි සහ මම ම දාන ලිංක් වලින් හොයාගෙනත් විශාල පිරිසක් මේ පැත්තට එනවා..


බ්ලොග් වලිනුත් මේ පැත්තට එනවා..


වැදගත්ම දේ තමයි.. බ්ලොග් වලින් බලලාත් මේ පැත්තට කට්ටිය එන එක. දුකා බ්ලොග් එක තමයි පළමුවැනි. එයට අමතරව ගලායන ජීවිතයසංසාරේ කියන බ්ලොග් වලිනුත් සෑහෙන පිරිසක් ඇවිත් තියෙනවා..


මෙයිට අමතරව පුළු පුළුවං හැටියට මේ පැත්තට ආපු, ඇවිත් අදහස් දක්වපු, ඒ වගේම මේ පැත්තට කට්ටිය එවපු හැම දෙනාටමත් නිරතුරු මාව දිරිමත් කළ දුකා, ඩීන් අයියා, තිස්ස අයියා, චන්දි අක්කා, කල්හාර ආදී සෑම දෙනාටමත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා..


අපිට නොමිලේ මෙච්චර සෙල්ලම් දාන්න දීපු බ්ලොගර් වලටත් මගේ අවංක ආදර ස්තුතිය පුද කරන්ටම එපාය...


තව කවුරු හරි අමතක වුණා නං එහෙම සමාවෙන්ට ඕන..


මෙතෙක් මා සමඟ රැඳී මට දුන් දිරිය ඉදිරියටත් දෙන ලෙස ද, මාගේ දුර්වල තැන් ඇතොත් ඒවා නිවැරදි කර ගන්නට ඔබගේ යෝජනා හා චෝදනා ද මට ලබා දෙන ලෙස ද, මහත් වූ ගෞරවයෙන් යුතුව ඉල්ලමි..
වසර දෙකක් මා ඇසුරේ වැඩුණත් නිමක් නොවෙයි මෙහෙවර ඉතිනේ
මා මළ පසුවත් හද පතුලින් තව ගෙනෙනු ඇතේ රස ලිපි නිතිනේ
සරසා ලන්නට රසවත්, ගුණවත් අදහස් සමඟින් නිති තුටිනේ
අපත් සමඟ මෙහි රැඳුණු ඔබට පිං පතමි සෙනෙහසින්මම මෙදිනේ


මුල් පිංතූරෙ ගත්තේ මෙතැනින්

Thursday, February 16, 2012

මිත්‍රත්වයේ දම්වැල (Chain of Love)

මේක මං මුලින්ම ලිව්වේ එළකිරියේ බ්ලොග් ලිපියකට. ඒක පොඩ්ඩක් වැඩි දියුණු කරලා මේකට දාන්න හිතුණේ ඒ අදහස හුඟක් වටිනවා කියලා හිතුණු නිසාමයි..


මම අපේ පුංචිලාගෙ ගෙදර ගිහින් ආපහු ගෙදර එන්න පිටත් වුණා. නුවර බස් එකකට නැගලා ඉඳගත්තා. ඊළඟ නැවතුමෙන් අවුරුදු 18 ක විතර පිරිමි ළමයෙක් නැගලා මගේ ලඟින් ඉඳ ගත්තා. කොන්දොස්තර මහත්තයා ලඟට ආවාම ඉස්සෙල්ලම ඔහු ටිකට් ගත්තා. ඔහුගේ ගාස්තුව අරන් කොන්දොස්තර මහතා ඉතුරු දුන්නා. ඉන්පසු මම ටිකට් ගන්න සල්ලි දුන්නා. මාරු සල්ලි රු.2 ක් දෙන්න. කොන්දොස්තර මහත්තයා කිව්වා. මම කවදාවත් දැකලා නැති අර මල්ලී ටක් ගාලා මගේ දිහා බැලුවා. කොන්දොස්තරට රු. 2 ක් දුන්නා. මට නම් ඇත්තටම පුදුම හිතුනා. ඊලඟට ඔහු හිනාවෙලා ඉස්සරහට ගිහින් තව නැවතුමකින් බැහැලා ගියා. අඩු ගානෙ මම හිනාවකින් සංග්‍රහ කරනවාද කියලාවත් බැලුවෙ නෑ. මේ තරම් අපූරු මිනිසුන් වෙසෙන රටක ජීවත්වෙන අපි කොයි තරම් වාසනාවන්තද? ඇත්තටම මගෙ හිතට මේ සිද්ධිය තදින්ම කා වැදුනා. ඒ විතරක් නොවෙයි මාත් නොදන්න මිනිසුන් එක්ක වුනත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කරන්න පුළුවං දෙයක් කරන්න හිතා ගත්තා.


ඊට පස්සේ මට ඊ ලිපියකිනුත් ඔය වගේ අපූරු කතාවක් කියවන්ට ලැබුණා.. ඇත්තටම ඒක Walker Clay කියන මහත්තයගෙ සිංදුවක් කියලා පස්සේ දැනගත්තා.. ඒක හැබෑවටම අපූරු සිදුවීම් පෙළක් කැටි වුණු නිර්මාණයක්.එම නිර්මාණය තුළ මතු වෙන වැදගත්ම දේ .. එකිනෙකාට අවශ්‍ය දේ වෙනස්.. දුප්පතාට පොහොසතාත්, පොහොසතාට දුප්පතාත් උදවු කර ගන්නවානම් සුන්දර මිත්‍රත්වය බෙදා ගන්නවා නම් ජීවිතය කොයි තරම් අපූරුද කියන එකයි..


මෙතැනට ගියා නම්.. ඒ සිංදුව අහන්න පුළුවං..



දන්නා නොදන්නා හැම හා හිනැහීලා
හැම දෙන වෙතම, හැම විට මෙත් සිත පාලා
හැකි හැකි විලස සැප දුකෙහි දි එක් වීලා
සතුටින් හිඳිමු සොයුරන් ලෙස වැජඹීලා

Friday, February 10, 2012

ලෝක විනාසය

2012 ලෝක විනාසය වෙයි ද?  
නෑ...
නැද්ද..?  
ඇයි ඔය තරං අහන්නේ..?


කාලෙකිං හම්බ වුණු සතුටින් ඉතිරෙමින්, වයසක මහත්තුරු දෙන්නෙක් කතා වෙන අයුරු සිරිමල් ට පෙනෙයි...


රට පුරා බොහෝ දෙනා ගේ කතා බහ දැන් මේ ලෝක විනාසය ගැන ය. සිරිමල් ට නං ඒකේ වගක් නැත... උදයේ නැගිට කෑම පිසීමට බිරිඳට උදවු වන ඔහු, දරුවන්ට පාසැල් යාමට අවශ්‍ය වන අඩුම කුඩුම ලෑස්ති කරයි.. ඊ ලඟට බිරිඳටත් සූදානම් වීමට උදවු කරන ඔහු අවසානයේ ඇඳ පැළැඳ රැකියාවට යයි. අවුරුදු 20ක් තිස්සේ කරපු රස්සාව කිසිදා සිරිමල්ට එපා වූයේ නැත. එපා වුණත් වෙනත් විකල්පයක් නැති බව සිරිමල් දනී. ලෝක විනාසේ ගැන කන්තෝරුවේ මහත්තුරු කතා කරනවා ඇසුනු හැටි සිරිමල් ට මතක් වෙයි..


උසස් පෙළ පංති ඇරී ගෙදර එන ලොකු දෝණී බසයෙන් බසී.. සිරිමල් ඒ වන විටත් දෝණිගේ අතින් අල්ලා ගෙනය.. මඟ තොට හමු වෙන එවුන්ට තමාව නොපෙනෙන එක ගැන සිරිමල් ට පුදුමය. තනියෙන් යනකොට අපූරුවට තමා සමඟ සිනාසෙන වුන්, දැන් දෝණි දෙස බලාගෙන යයි.. ඔවුන් බලන්නේ කෑදර කමකින් යැයි සිරිමල්ට සිතේ..


පුතේ.. මීට පස්සේ උඹව එක්ක යන්න හැමදාම මම එන්ටද? 
වෙනදාට එන්නේ ළමයින්ගේ අම්මා බව මතක් වූ සිරිමල් අසයි.
තාත්තගේ කැමැත්තක්.. ඇයි අද අම්මා නාවේ.. ? 
අම්මා ටිකක් සනීප මදි කියලා ඉක්මණට ගෙදර යනවා කිවුවා.. සිරිමල් කීවේ කල්පනාව වෙනස් නොකරමිනි.
හැමදාම මේ වෙලාවට එනවා නම් ඕ.ටී එක අහිමි වෙයි. ඒත් දුවගේ ආරස්සාව ගැන වැඩියෙන් හිතන්න එපැයි.. සිරිමල් හිත හදා ගත්තේය.
"මට හීනයක් වගේ.. ඔබේ ඔය ආදරේ.." දුවගේ පොත් අතරින් දුරකථනය නාද වෙයි.


හෙට පංති නෑ.. ඔවු ආයෙ ලබන සඳුදා.. මං එහෙනං තියන්නං.. තෙරුවන් සරණයි.
.
කතාව කෙටියෙන් නිම කරන දෝණි ගැන සිරිපාලට පැහැදීමක් ඇති වේ.. වෙන ළමයි කොයි තරං කාලයක් ෆෝන් එකේ එල්ලිලා ඉන්නවද?
===============================================


වයසක මහත්තුරු දෙන්නා සඳුදාත් හමු වෙලා තවමත් සතුටිනි..


ලෝක විනාසේ එනවාය කියලා හරියටම අනාවැකියක් කියලා තියෙනවාලු කවුද මහත්තයෙක්. 


අදත් ලෝක විනාසේ ගැන.. සිරිමල් තනිවම සිතයි..


ඇඳිරි වැටුණත් දෝණි තවම නැත.. සිරිමල් ගේ හිත ඇවිස්සෙයි.. දෝණි එදා කතා කළේ එයාගේ කොල්ලත් එක්ක වත්ද? අද ගියේ එයා එක්ක වත් ද? සිරිමල් ගේ හිතේ ප්‍රශ්න වැලකි..


මහා ශබ්දයක් නැඟෙයි.. විලාප හඬක් ද ඇසෙයි.. සිරිමල් කල්පනාවෙන් මිදෙන්නේ ඒ ශබ්දයෙනි..


මං හිතුවේ ලෝක විනාසය කියලා.. මහත්තුරු කතා වෙයි..


සිරිමල් ගේ ඇස ශබ්දය ආ තැන සොයා ගනියි.. බස් රියක වැදුණු ත්‍රී රෝද රියකි.. මිනිස්සු අස්සෙන් සිරිමල් ද අනතුර බැලීමට යයි.. !


මගෙ පුතේ..! සිරිමල් සිහින් හඬින් පවසා දෝණි ගේ අත අල්ලාගෙන යයි..


ඇයි තාත්ත බය වෙලා...වගේ.. ? දෝණි අසන්නේ සැකයෙනි..


ඇක්සිඩන්ට් එකේ සද්දෙට හිත ගැස්සුනා පුතේ..?


තාත්තා ඔයිට වඩා කොච්චර ඇක්සිඩන්ට් දැකලා තියෙනවද?  එදා පිළියන්දල බෝම්බෙ පුපුරපු දවසෙවත් තාත්තා ඔච්චර කලබල වෙලා ඉන්නවා මං දැක්කේ නෑ..


තාත්තාගේ වැඩිම කලබල වීම මතක් කළ දෝණි ඇසුවේ පැනයකි..


එදා උඹ උන්නෙ මගෙ ලඟමනේ පුතේ.. 


සිරිමල් සුසුමක් ලමින් ලය සැහැල්ලු කර ගනී....

අවසානයි..!

Thursday, February 2, 2012

කොම්පියුටරේ එක්ක මගේ ගමන - 2 (සයිබරයේ සාමූහික අත්දැකීම්)

කොම්පියුටරේ එක්ක මගේ ගමන - 1 තුළින් මං ලිවුවේ කොම්පියුටරේ එක්ක බැඳුණු අතීතයේ සාරාංශයක්..


මුලින්ම සමූහයක් එක්ක වැඩ කරන අත්දැකීම මම ලැබුවේ http://www.vbforums.com/ කියන දැවැන්ත ෆෝරමයෙන්.. Visual Basic 6 වලින් Programming  කරණ අවධියේ දී තමයි වැඩිපුර මේ ෆෝරම් එක පාවිච්චි කළේ.. මෙහිදී මිතුරන් කීප දෙනෙක් හඳුනා ගත්තත්.. වඩාත් සමීප මිතුරෙක් වුණේ.. Danasegaran Arun කියන ඉන්දීය සොහොයුරා.. මෙහිදී මට පුළුවං හැටියට මගේ දැනුම අනෙක් අය හා බෙදා හදා ගන්නටත් නොදන්නා දේ අනෙක් අයගෙන් අසා දැනගන්නටත් හැකි වුණා.. අලුතින් VB6, VB.Net වගේ Programming Languages ඉගෙන ගන්න කට්ටියට මේ ෆෝරම් එක මහත් අත්වැලක් වෙන බව නම් පැහැදිලියි..


http://www.wayn.com කියන Community එක තමයි මගේ සයිබර් ගමනේ ඊලඟ සාමූහික අත්දැකීම. ඒකෙදිත් මං දන්නා කීප දෙනාට අමතරව තව කීප දෙනෙක්ව අඳුනගන්න ලැබුණා.. ඒ අතර එක්තරා යෙහෙලියක් හිටියා.. ඇය තාමත් කලාතුරකින් මාත් එක්ක චැට් කරනවා..


ඔය අතරේ අපේ ඉස්කෝලේ අපිත් එක්ක උ/පෙ කරපු මිතුරෝ ටික Yahoo Groups වල  Group එකක් හදාගෙන හිටියා Mahanama 1996 කියලා.. මේ Group එකේ ආනුභාවයෙන් අපිට Get එකකුත් තියන්න පුළුවං වුණා..
මතක විදිහට ඊලඟ නැවතුම තමයි ෆේස් බුක් . බොහෝ අය හිතාගෙන ඉන්න තරම් භයංකාර දේවල් වලට මට නම් ෆේස් බුක් තුළ මුහුණ දෙන්න ලැබුණේ නෑ.. ඒත් කවමදාකවත් හමු නොවෙයි කියලා හිතුණු යාළුවෝ විශාල පිරිසක් ආයෙමත් මුණ ගස්සන්න ෆේස්බුක් සමත් වුණා.. ඒක නම් ඇත්තටම සුන්දර අත්දැකීමක්..


එළකිරිය තමයි සයිබරය තුළ මගේ ගමනේ සැබෑ වෙනසක් කරපු තැන.. නිර්මාණකරණය වෙත මාව නැවත යොමු කරපු තැන.. එතැනදී මට හමු වුණු සුන්දර සොයුරු, සොයුරියන් ඇත්තෙන්ම සිහිනයක් වගේ..


සඳුන් තිලක මල්ලී, cspMax, Amalka101Asoka Hemanthaamila_90210amilapriyankara.dscj2lNisha.hasanthi,Meeeharaka,RuZZa,maranaya,lmw, ZurieL,  එළකිරියෙදි හඳුන ගත්තු අපූරු යාළුවෝ කීප දෙනෙක්..  ඒ දවස් වල සිංහල යුනිකෝඩ් භාවිතය අද තරම් ජනප්‍රිය නැති කාලෙ.. මට මුලින්ම සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරන්න කියලා දුන්නේ සඳුන් තිලක මල්ලී.. සිංහල බිංදුව වෙනුවට '0' ටයිප් කර කර හිටපු මට ඒක කියලා දුන්නේ cspMax මල්ලී.  ඔය වගේ මේ යාලුවෝ හැමෝම මට විවිධ ආකාරයෙන් උදවු කළා.. ඒ අතර විශේෂයෙන්ම මතක් කරන්න ඕන නම් කීපයක් තියෙනවා..


1. ronsilva පහු කාලෙක එක එක කතන්දර මෙයාට විරුද්ධව කීවත් මගෙ හිතට දැනුණු දෙය රොන් අයියා සමාජයේ යහපත වෙනුවෙන් ලොකු මෙහෙයක් කරන්න උත්සාහ කළා.. ෆේස් බුක් එකේ බන්දුල රුවන්පුර කියලා ඉන්නේත් මේ රොන් අයියම තමා ලු.. රොන් අයියා තමා මගේ නිර්මාණයකට මට දැනෙන්න විචාරයක් දීපු මුල්ම කෙනා... ඉතිං මං කොහොම අමතක කරන්නද එයාව..


2. DiLakshika පහුගිය දවස් වල යම් ලිපි වගයක හුට පටයක් හින්දා එයාගේ බ්ලොග් අඩවිය හංග ගත්තු දිල් තමයි ඊලඟ නම.. දිල් එළකිරියෙදි මට ලොකු ශක්තියක් වුණා.. විශේෂයෙන් කවියකට පසුබිම් නිර්මාණයක් ගැන මෙලෝ අදහසක් නැති කාලෙක දිල් තමයි මගේ නිර්මාණයකට මුල්ම පසුබිම් නිර්මාණය කරලා දුන්නේ.. දිල් ම තමයි මට බ්ලොගර් වල බ්ලොග් එකක් කරන්න කියන අදහස දුන්නෙත්.. 


3. dukaa|දුකා .. ඔවු ඔවු.. අපේ දුකාම තමයි.. දුකාගේ බ්ලොග් ලිවිල්ල බලලා මං ඉගෙන ගත්තු ගොඩක් දේ තියෙනවා.. ඒ ඔක්කෝටම වඩා.. කමෙන්ටුවක් දාන්න කවුරුවත් නැති මොහොතක ඇවිත් කමෙන්ටුවක් දාලා යන්න මැලි වුණේ දුකා නොවේ.. හුඟාක් බ්ලොග්ස් වල වගේම... හදපතුලේ මුල්ම කමෙන්ටුව දැම්මෙත් දුකා ම තමයි..

4. mdee: අපි කවුරුත් අඳුරන ඩීන් අයියා.. ඔවු.. ඔවු.. ගල්-මල්-කොරල් ලියන්නේ.. මෙයා තමයි එළකිරියේ හිටපු අමුතුම විදිහේ නිර්මාණකරුවා.. විටෙක තාක්ෂණිකයි, විටෙක හැඟුම් බරයි.. හිතාගන්නත් අමාරුයි ඩීන් අයියගේ නිර්මාණ.. ඩීන් අයියා දීපු පවර්පොයින්ට් පාඩම් පෙළ පවර්පොයින්ට් ගැන තිබුණු අදහස වෙනම මානයකට අරන් ගියා.. මට ඒක හුඟක් ප්‍රයෝජනවත් වුණා.. 


5. Mindada hee sara.. සහ nwnbs කියන්නෙත් අමතක නොවෙනම දෙන්නෙක්.. අපි නිතරම අපේ නිර්මාණ ගැන කතා කළා.. ඒ තුළින් ලබා ගත් සතුට බොහෝයි..

6. Anjala_88 සහ dulhari ද මා සිත් ගත් සොයුරියන් දෙපලකි.. මෑතකදී යාවත්කාලීන නොවුණු එහෙත් ලස්සන නිර්මාණ වලින් ගහණ http://anjalasl.blogspot.com/   හා ලස්සන නවකතා තියෙන  http://mennamehemai.blogspot.com  සහ http://kiyannamahanawada.blogspot.com/  මේ බ්ලොග්ස් කියවන්න වටින තරම් රසවත්..

7. චාන්දිගේ සිතුවිලි උයන ලියන චන්දි අක්කත් මට මුලින්ම හමු වුණේ එළකිරියෙදී.. ලැබෙන හැම වෙලාවෙම මගේ බ්ලොග් එකට ඇවිත් මට දිරිය දෙන චන්දි අක්කව අමතක කරන්නේ කොහොමද?

ඔන්න නම් සඳහන් කරන්න අමතක වුණා කියලා එහෙම අමනාප වෙනවා නෙවෙයි..

එළකිරියෙදි තමයි.. මං මුලින්ම බ්ලොග් ලිපියක් ලිවුවේ.. ඊට පස්සේ තමයි මං මගේම කියලා හදපතුලනිදුක් වගේ බ්ලොග් ලියන්න පටං ගත්තේ.. ඒ ගැන ඊලඟ ලිපියකින් කියන්නම්කෝ..

ෆේස්බුක් එකේ සඳැස කියන සඳැස් කවි සමූහය හා එක්වෙලා වැඩ කරන්න ගත්තේ පහුගිය අවුරුද්දේ අග හරියේ.. ඒ කියන්නේ මීට මාස 4 කට විතර ඉස්සර.. 



ප.ලි.
ලිපිය දිග වැඩි වෙලා නීරස උනාද දන්නේ නෑ.. මං මේ ලිපියෙන් උත්සාහ කළේ අද වෙනකොට මං නිර්මාණකරණයේ ඇවිත් තියෙන තැනට එන්න උදවු වුණු  ආදරණීය සහෘදයන් හා සමූහ ගැන මතකය අවදි කරන්ටයි..