Tuesday, November 29, 2011

ගුරු මවු පිය වරු

අපි පුංචි කාලෙ ඉඳං කොයි තරං දේවල් ඉගෙන ගන්නවද? දරුවාගේ මුල් ම ගුරුවරු ඉන්නේ ගෙදර කියලා නොවැ කියන්නේ.. ඒත් ටික ටික ලොකු වෙද්දී එක එක විදිහෙ පාඩං අපි ඉගෙන ගන්නවා. ඒ දෙගුරුන් ගෙන් විතරක් නෙවෙයි. සමාජ තක්සලාවෙන්, පාසලෙන්, පංසලෙන්, පොත පතින්, ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන්. මගේ ජීවිතයේ දී මං පහු කරපු, මගේ හිතේ රැඳුණු ගුරුවර, ගුරුවරියෝ ටිකක් කෘතවේදීව සිහිපත් කරන්න ඕන කියලා හිතුණා.

මුලින්ම සිහියට එන්නේ එකේ පංතියේ (දෙක වසරේ) පංති බාර ගුරු තුමිය. නාවල මිස්. ඒ කාලෙත් නාවල මිස් හුඟාක් වයසයි. ඒත් කරුණාවන්ත හිනාව, කතාව මට යන්තම් මතකයි. ඊ ලඟට 3-4 පංති වලදී ඉංග්‍රීසි උගන්නපු රුවිනි මිස්. කොයි තරම් ආකර්ශණීය කරුණාවන්ත බවක් තිබුණාද රුවිනි මිස් ට. ළමයින්ට පාඩං කියලා දීපු අපූරුව. රුවිනි මිස් තරුණම තරුණයි. රුවිනි මිස් අකාලෙ මිය ගිහින් කියන ආරංචිය ආවේ මිය ගිහිං  අවුරුදු ගානකට පස්සේ. විමලරත්න සර්. පොඩි කාලෙ අපේ ඉස්කෝලේ (දැරණියගල කණිෂ්ඨ විද්‍යාලය) විදුහල්පති තුමා. මෙතුමා ගැන නම් ඉස්සර හිතේ තිබුණේ තරහවක්. මොකද එයා සාධාරණ විදිහට නඩු විසඳුවේ නැති නිසා. ඒත් එතුමගේ නීති රීති ටිකත්, ළමයි ගැන එතුමාගේ තිබුණු දැක්මත් කොයි තරම් උසස් ද කියලා තේරුණේ බොහොම කාලෙකට පස්සේ. වෙලාවට වැඩ කරණ පුරුද්ද මට ඇති කරන්න එතුමාත් පිටිවහලක් වෙන්න ඇති.

ඊ ලඟට  සංගීතය උගන්නපු ඔස්ටින් මුණසිංහ සර්. එතුමාගේ චරිතය දිහා බලලා මම මනුස්සකම ගැන හුඟක් පාඩම් ඉගෙන ගත්තා. මම මහානාමෙට ඇතුල් වෙන කාලෙ විදුහල්පති සුමනසේකර සර් ගේ තරම් හික්මුණු පෞර්ෂයක් මට වෙන කෙනෙක්ගෙන් දැක්කා මතක නෑ. එතුමාගේ යුගය තමයි මහානාමේ ස්‍වර්ණමය යුගය මං හිතන්නේ..

උසස් පෙළ ගණිත විෂයන් උගන්නපු (ටියුෂන්) සුමේධ උඩවත්තගේ සර් මගේ චින්තනයට සෑහෙන්න බලපෑවා. එතුමා නිසා තමයි මං හිතන්න පෙළඹුනේ කියලා මට හිතෙනවා. අද අපේ රටේ බොහෝ දෙනා හිතන්නේ නැති ගතියක් තියෙනවා. සල්ලි පසු පසම දුවනවා.. තමන් යන පාර ගැන අවබෝධයක් ගන්න හැටි, හිතන හැටි ඉගැන්වූ සුමේධ සර්ට ඉතිං අපි ණය ගැතියි.

උ/පෙ රසායන විද්‍යාව උගන්නපු වසන්ත ජයසූරිය සර් ගෙනුත් බොහෝ දේවල් ඉගෙන ගත්තා. එතුමා ඒවා කියලා දුන්නා ම නෙවෙයි. ඒත් ඒ චරිතයෙන් ඒවා පෙනුනා. සමහර ඒවා කියලත් දුන්නා.

පසු කාලෙක ස්වයං අධ්‍යයනයේ යෙදෙන්න වුණු වෙලාවට සුමේධ සර් හා වසන්ත සර් දීපු අදහස් ගොඩක් ප්‍රයෝජන වුණා.

කුමා ඉද්දමල්ලෙන සර් ගෙ WISDOM වැඩසටහන තුළිනුත් බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ කාලේ දැන් වගේ අති දැවැන්ත මුදලක් පාඨමාලා ගාස්තුව විදිහට ගත්තේ නෑ. ඔය කාලයේම මං කියවපු දයා රෝහණ මහත්තයාගේ හා සුමනදාස සමරසිංහ මහත්තයාගේ පොත් වලිනුත් සෑහෙන්න යමක් ලැබුණු බව කියන්න ඕනි.

දැනට මං ජීවිකාව කරගෙන යන "Software Development" වලට ගුරුහරුකම් ලැබුණේ ධම්මික වික්‍රමසිංහ අයියා ගෙන්. ඔහු නියමෙට ඒ සඳහා මඟ පෙන්නුවා.. ඒ වෙනුවෙන් ඔහු මුකුත්ම බලාපොරොත්තු නොවුන එකයි වටිනාම දේ. ඔහු  අපෙන් ඉල්ලුවේ තවත් ඒ වැනි අයට අත දෙන්න කියලයි. ධම්මික අයියා මට පූර්වාදර්ශී ගුරුවරයෙක්...

මෑත කාලයේ මං කියවපු සේන අම්බලන්ගොඩ මහත්තයා ලියපු හරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි) පොත මගේ කවි නිර්මානකරණයේ ඉදිරි ගමනට ලොකු පිටිවහලක් වුණා.

තවත් මට නොයෙක් පාඩම් කියා දීපු ගුරුවරු ඉන්නවා ඒ ගුරුවරුන්ටත්, ඉහතින් කියපු ගුරුවරුන්ටත් බොහොම පිං! මාව අද මෙතැනට ගෙනාවට..

පුංචිම පුංචි දරුවෙකු විදිහට ඉඳලා
එක එක අලුත් දේ හෙමිහිට ගෙන අහුලා
දැන් නම් ඉතින් මැදි වයසත් ලං කරලා
බැලුවා මඟ දිගට හිටි ගුරුවරු හොයලා

ඒ ගුරුවරුන් මට දුන් දැනුමත් සමඟ
මා නිතරම ගියේ දහමට ලැදි සුමඟ
හැම දෙන අතර බෙදමින් ලද දම් එමඟ
මම හිස නමා පුදදෙමි තුති බැතිනි රඟ




.

8 comments:

  1. මගෙත් ජීවිතය සාර්ථක කරගන්න මග පෙන්වපු ගුරුවර ගුරුවරියන් කීප දෙනෙක්ම ඉන්නවා.

    ReplyDelete
  2. ගුරු මව් පියවරු සදා වාසනාවන්! මගෙත් ජීවිතය සාර්ථක කරගන්න මග පෙන්වපු ගුරුවර ගුරුවරියන් කීප දෙනෙක්ම ඉන්නවා. ඒ හැම ආදරෙන් භක්තියෙන් සිහි කරනවා.

    ReplyDelete
  3. බොහෝම අගේ කර යුතු සටහනක් චතුර මල්ලී. මේ සටහන නෙත ගැටෙන කීපදෙනෙක්වත් තමුන්ගේ ගුරුවරු සිහි කරාවි.

    ගුරු මව්වරු පියවරු කවදත් අපේ ජීවිතවල ලොකු සෙවණක් දුන් උත්තමයින්. ඔවුන්ට බොහෝ පිං අයිති වෙන්න ඕනේ.

    ReplyDelete
  4. නියම ලිපියක් සහෝ....ගුරුවරු අපේ දෙවෙනි දෙමව්පියෝ කියලා කියන්නේ නිකම් නෙ‍මේනේ.....

    ReplyDelete
  5. චතුර විජේකෝන්December 1, 2011 at 1:02:00 PM GMT+5:30

    හැකි හැම විටම ඒ ගුරුවරු සිහිකරන එක, එයාලට කෘතවේදී වෙන එක අපේ යුතුකමක්..

    ReplyDelete
  6. චතුර විජේකෝන්December 1, 2011 at 1:04:00 PM GMT+5:30

    අපේ ජීවිතය සාර්ථක කරගන්න අපේ දායකත්වය හා සමානවම ගුරුවරුන්ගේ සහායත් වැදගත් වෙනවා කියලා මට හිතෙනවා.. ඒ අයව නිතර සිහි වෙන්නේ ඒ හින්දයි..

    ReplyDelete
  7. චතුර විජේකෝන්December 1, 2011 at 1:07:00 PM GMT+5:30

    අපේ කාර්‍ය බහුල ජීවිතයත් එක්ක ඒ අතීතයට යන්න හැම වෙලාවෙම බැරි වෙන්න පුළුවන්. ඒත් පුළුවන් හැම වෙලාවෙම අතීත මතකයන් තුළින් අපේ ගුරුවරුන්ට කෘතවේදී වෙන්නත් ඔවුන්ගේ උසස් ගතිගුණ මෙනෙහි කරන්නත් අපි උත්සාහවත් වුණොත් අපෙන් සමාජයට යහපතක් වෙයි නේද චන්දි අක්කා..

    ReplyDelete
  8. චතුර විජේකෝන්December 1, 2011 at 1:11:00 PM GMT+5:30

    ඇත්ත අයියා.. මේ වගේ සටහනක් බලද්දී හරි එයාලව ආයෙ ආයෙත් මතක් කරලා පිං පෙත් අනුමෝදන් කරන්න පුළුවන් නම් අපේ මිනිස්කම රැකෙනවා..

    පැන මඩ කඩිති වැවු තාවළු වැහි කාලේ
    පෙන්වා මඟ නොමඟ නොවැටී යන තාලේ
    සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
    අපෙ ගුරු තුමා යයි තාමත් ඉස්කෝලේ..

    සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන සිංදුව... මේ කතාව අපූරුවට කැටි කරණවා..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..