Thursday, June 30, 2016

චරිත වලට ආදරය කිරීම


මා මුලින්ම ආදරය කළ චරිතය වන්නට ඇත්තේ අම්මාය.. නැතහොත් අප්පච්චී ය.අත්තම්මලා, අක්කා මෙන්ම පුංචි අම්මලා, නැන්දලා, මාමලා සහ බාප්පලා ද ඒ අතර සිටින්නට ඇත.. පාසැල් ගුරුවරියන්.. අසල්වැසියන්.. යහළුවන්.. යෙහෙළියන් ගේ චරිත වලට ද මා ආදරය කරන්නට ඇත.. ඒ චරිත අතර මුලින්ම මට මතකයට එන්නේ එකේ පංතිය භාරව උන්නු නාවල මිස් නමින් හැඳින්වූ ගුරුවරියයි.... ඉතා වයෝවෘද වුවත්..  කරුණාබර ඇයගේ කතා බහ තවමත් සිතෙහි ඇතිවී නැතිවී යයි.. තුනේ පංතියේ දී ඉංග්‍රීසි ඉගැන්වූ රුවනි මිස් ගේ චරිතයටද මම ආදරය කළෙමි.. ඇය ඉතා තරුණ, ඉතා ලස්සන,ඉතා කරුණාබර ගුරුවරියක් වූවා පමණක් නොව..අපට අම්මා කෙනෙකු තරම් සමීප බවක් දැක්වූ බව මට සිතේ.. අවාසනාවකට මෙන් මේ පරමාදර්ශී ගුරුවරියන් දෙදෙනාම අද මිහිපිට නැත..
ඊ ළඟට මා ආදරය කළ චරිතය.. අපේ සංගීත ගුරුතුමා.. ඔස්ටින් මුණසිංහයන් ය.. ඇත්තටම එම ආදරයේ විශේෂත්වයක් ඇත.. ඒ ආදරය ඇති වූයේ.. එතුමා මිය ගිය පසු ය.. ඒ.. එතුමාගේ චරිතය පිළිබඳව, එතුමා මිය යෑමෙන් පසුව මා ඇසූ කරුණු හා මා අත්විඳ තිබූ කරුණු සැසැඳීමකින් පසුවය..
ගාමිණී දිසානායක මහතා ගේ චරිතයට මා ඉතා ආදරය කළ බව මට සිහිවන්නේ ඔහු මිය ගිය දින මට හැඬුම් ආ බව මතක නිසා ය. එහෙත් ඩී.බී. විජේතුංග චරිතයට මම ඊට වඩා කිහිප ගුණයකින් ඇලුම් කළෙමි.. වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ ගේ චරිතයට ද මම ආදරය කළෙමි..
දුලිප්, රෝයි, අර්ජුන, අරවින්ද, රොෂාන්, ගුරා, සනත්, මාවන්, සංගා,මුරලි මෙන්ම, අසාරුදීන්, ස්ටීව් වෝ, බ්‍රයන් ලාරා, කාල් හූපර්, විවියන් රිචර්ඩ්ස් ඇතුළු බොහෝ ක්‍රිකට් චරිත වලට ද මම බෙහෙවින් ආදරය කළෙමි..
යුද්ධය අවසානයේ.. ගෝඨා සහ සරත් ෆොන්සේකා චරිත වලට ආදරය කළෙමි..
මිතුරන් අතර.. උතුම්, පරෝපකාරී, පරාර්ථකාමී මිතුරන්ට ද අප්‍රමාණව ආදරය කළෙමි..
නිසි වයස එළැඹි කල පෙම්වතියන්ට ද විවාහයෙන් පසු බිරිඳට ද ආදරය කළෙමි..
පසුගිය ආණ්ඩු පෙරළි සමයේ විචිත්‍ර කථිකයන් වූ පාඨලී, අනුර කුමාර, ලාල් කාන්ත වැන්නන් හට ද බෙහෙවින් ඇලුම් කළෙමි..

ආණ්ඩු පිහිටුවීමෙන් පසු වත්මන් ජනපති තුමා ගේ චරිතයට ද බෙහෙවින් ආදරය කළෙමි..
මෙකී ආදරය හා ගෞරවය.. අප කරන්නේ චරිත වලට ය.. ඔවුන්ගේ අප දකින ක්‍රියාකාරකම් වලට ය.. මිය ගිය අය හැර අනෙක් බොහෝ චරිත හිමියන්.. ඔවුනට අප ආදරය කර ඇත්තේ වැරදි වැටහීමකින් බව ඔප්පු කර හමාර ය..
ඒ අතර ප්‍රධාන ම දෙදෙනා .. අර්ජුන රණතුංග සහ සරත් ෆොන්සේකා ය..
ඉතා ඉක්මණින්.. ඉතුරු දේශපාලන චරිත ටිකත්.. මගේ බලාපොරොත්තු සුන්කරනු ඇතැයි සිතේ..

මා කියන්නට ආවේ එය නොවේ..

ඉහත කී හැම තැනකම මා ආදරය කළේ ඔවුන්ගේ චරිතයටයි.. චරිත ලක්ෂණ වලටයි.. එහෙත් චරිතය මක්ක උනත් මා එක ලෙස ම ආදරය කරන දෙදෙනෙකු ඇත.. ඒ මගේ දරුවන් දෙදෙනායි.. ඔවුන් කෙසේ කොයි ලෙස හැසිරුණ ද... හදවතේ ඔවුන් වෙත ඇති ඉඩ කිසිදා නොවෙනස් වනු ඇත.. මා සිතා සිටියේ.. මා වැඩිපුරම ආදරේ කරන්නේ මගේ මවට බවය.. එහෙත් මා ආදරය කරන්නේ ද ඇගේ චරිතයටය. මවක් නම් ඈ බඳු විය යුතුය.. බිරිඳක් නම් මගේ බිරිඳ බඳු විය යුතුය..මම ඒ චරිත වලට ආදරය කරමි.. එහෙත්..දරුවන්.. මම ආදරය කරන්නේ ඔවුන්ගේ චරිත වලට නොවේ.. ඔවුන්ට ම ය..

Saturday, June 11, 2016

ජල - සසර


ඇලෙන් දොළෙන් ගඟට ගියා
ඟඟ නොබියව මූදු .........ගියා
මුහුදෙන් අහසටත් .........ගියා
පුදුමයි කන්දටත් ...........ගියා

කන්දෙන් ආ ජල ........බින්දූ
පොළොවෙහි සිසිලත් රැන්දූ
සිඳු කුස දඟ කළ .........ලන්දූ
එකමැයි නොසිතනු .....ඉන්දූ

මොහොතින් මොහොතට සැකසේ
තරමත් නොදනියි .........වෙහෙසේ
හරවත් යමකුත් .................රහසේ
ලොවටත් පුදමින් ............සැනසේ

හේතුව ඵල විලස ...................සැදී
ආ ගිය හැම තැනදි .................බැඳී
වෑහෙන පෙම ලොවට .............දිදී
ජීවය මුසු කරන ......................ලදී

කොහෙන්ද මේ තරම් වතුර
උල්පතකින් ඇදෙයි ..නිතර
කිසිදා නොම වේ ද ....නතර
සසර ඔහොම තමයි ...මිතුර

Thursday, June 9, 2016

බැරිදා විග්‍රහය ! මහින්ද කරන්නේ රනිල් ගේ කොන්ත්‍රාත්තුවක් ද?

ගිය වසරේ ජනවාරි 08 ඓතිහාසික තීන්දුවක් ගනිමින් ගෙදර යැවූයේ සදාකාලිකව රජ සැප විඳීමට සූදානම් ව සිටි මහින්ද රාජපක්ෂව ය. එතෙක්.. බොහෝ සොරුන් බලා ගන්නා අතර.. මහින්ද රනිල්ව ද බලාගත්තේය.. දැන් රනිල්ගේ වාරයයි.. රනිල් මහින්දව බලාගනී.. මොන වංගුව ගසා තිබුණත්.. රාජපක්ෂලා නිර්දෝෂී වන්නේ පුදුමාකාර ලෙසටය.. එක්කෝ නඩු යට යයි.. එක්කෝ විසිවෙයි.. ඉඳ හිට කරලියට නො එන්නේ ද නොවේ..

මහින්ද සාධකය විරුද්ධ පක්ෂයේ බලය අල්ලා ඇත.. එය සත්‍යයකි.. එහෙත්.. මහින්දට යළි බලයට එනු හැකි වෙතැයි.. මට නම් සිතෙන්නේ නැත.. රනිල්ටත් එසේ නොසිතෙන බව මට සිතෙයි.. රනිල් ට සිතෙන්නේ.. මහින්දව විශ්‍රාම යැවීම තම තක්කඩි කම්.. යටිකූට්ටු වැඩ කරගැනීමට බාධාවක් බව යැයි මට සිතෙයි.. එනිසා රනිල්.. මහින්දට බලයත් නොදී.. එහෙත්.. විශ්‍රාම යන්නටත් නොදී.. ඉන්න තැනට වැඩ කරයි.. රනිල්ට උවමනාවක් ඇත්නම්.. මහින්දව නැත්තටම නැතිකර දමන එක කජ්ජක් නොවන බවත්.. එසේ නැති කළොත්.. මෛත්‍රීට සහ ඔහුගේ පිළට ප්‍රතිවාදියාගේ ස්ථානය හිමිවන බවත් රනිල් දනී..

මහින්ද සිටින තාක්කල් මෛත්‍රීට ඡන්දය දුන් මධ්‍යස්ථ ජනතාව.. ආණ්ඩුවට විරුද්ධව මොනවා කීවත්.. ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙන්නේ නැත.. රවී කරුණානායක, ජෝන් අමරතුංග, අකිල විරාජ් ඇතුළු ගොං ඇමති රැළ මොනවා කළත් කීවත්.. ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙන්නේ නැත.. ඔවුන් ඡන්දය දෙන්නේ මහින්දට විරුද්ධවය.. මහින්ද විරෝධය විකුණාගෙන කෑමට නම්.. මහින්ද සිටිය යුතුය.. රනිල් මහින්දව රකින්නේ ඒ නිසාය.. ඒ නිසාය කිවුව්වට ඒ නිසා පමණක්ම නොවේය.. මේ නිසා ද රනිල් මහින්දව රකී.. ඒ.. මොනවා උනත් රනිල්ගේ එජාප නායක කම රැක දුන්නේ මහින්ද නිසා ය..

තමන් ගේ පුත්තු තුන් දෙනා.. තමන්ගේ නෝනා සහ තමන්ගේ මල්ලිලා දෙන්නා බේරාගන්නට මහින්දට ඕනෑ ය.. රිමෝට් එක රනිල් අතේ ය.. මේක නම් හොලිවුඩ් පිලුම් එකකට වඩා ජුගුප්සාජනක පිලුම් එකකි..