Tuesday, July 12, 2011

හරියටම කවි හදන හැටි - ගුරු මුෂ්ටි


ගණ ඳුරු අහස සොමි කිරණින් එළිය          කර
සොමි සඳ නැගෙන ලෙස අප කවි සිත්       අඹර
අප කොයි තරම් පොඩි දැයි යළි පසක්        කර
මේ පුස්තකය හමු වුණි මට   මන              මධුර

යන්තම් පද හතර ගැට ගැහුමට              දන්නා
අප වැනි කුහුඹු කවියන් අපමණ              ඉන්නා
එහැමට මහඟු එළියක් සවියක්             දෙන්නා
ඒ පින් බලෙන් මතු ජය ගොස            පතුරන්නා

කිවිපති සේන  පරසිඳු                 අම්බලම්ගොඩ
ලියලා තිබේ මේ පොත දම දමා                  හැඩ
කවි රස, දොස්, විරිත් ඇතුලුව බොහෝ       වැඩ
මේ මහ අනඟි පොත් පිංචේ තිබෙන           හැඩ



මං පුංචි කාලෙ ඉඳංම ඔය පද හතර ගලපන්න පොඩි හැකියාවක් තිබුණා. අපේ අප්පච්චිටත් අක්කටත් ඒ හැකියාව තිබුණ හිංදා ඒ ආබාසෙත් තිබුණා. ඒත් ඉතිං ඉගෙන ගන්න කාලෙ සාහිත්‍ය සහ කලා විෂයයන් වලටත් යොමු නොවුණු හිංදා වෙන්න ඇති කවි ලියන ශාස්ත්‍රීය ක්‍රම මං ඇසුරු කරේම නැති තරං. එලිසම, එළිවැට වගේ වචන අහලා තිබුණත් මං දැනගෙන හිටියේ පද හතරේම අවසන් අකුරු සමාන වෙන්න ලිව්වාමත් පද හතරේ මාත්‍රා වල යම් රිද්මයක් ඇතිවන ලෙස ලිව්වාමත් කවිය ගොඩ කියලයි. සාමාන්‍ය පෙල ව්භාගේ ලියනකං සිංහල සාහිත්‍ය විෂයයත් එක්ක ලැබුණු සාහිත්‍ය දැනුම තමයි චුට්ටක් හරි මගේ මේ දැනුම පෝෂණය කළේ. තරුණ කාලෙට ආවාම නිසඳැස් කියලා ජාතියක් තියෙනවා මං දැක්කා. ඇත්තටම මේවා ලියන එක අර පද හතර ගලපන වැඩේට වඩා ලේසියි කියලා මට තේරුණා. ඒත් පද හතරක තියෙන රසය නං නිසඳැසක නෑ කියන එක මට නිතරම හිතුණු දෙයක්. 

ඒත් රස්සාවට ගිහිං කසාදයක් කාරිය බැඳලා එනකොට මගෙ මේ කවි ලිවීම නැති වෙලාම ගිය තරම්. ඒත් සයිබර් අවකාශය හින්දා ආයෙත් මං කවි ලියන්න ගත්තා දැනට අවුරුදු දෙකකට විතර ඉස්සර. නිසඳැස්, සඳැස් කියලා බේදයක් නැතිව ලිව්වා. මේවා බලන අය මාව දිරිමත් කළා හරිම ලස්සනයි කියලා. ඉතිං මාත් හිතුවා මං තරමක කවි කාරයෙක් කියලා.

පහුගිය දොහක මං අපේ නෑදෑ වෙන අයියා කෙනෙක් ගාව තිබිලා පුංචි පොතක් ඉල්ලගෙන ආවා. ඒ පොත තමයි හරියටම කවි හදන හැටි (ගුරු මුෂ්ටි). මං මේ පොත ගන්නකොට බලාපොරොත්තු වුණේ මං ලියන කවි කොයි තරම් දුරට ශාස්ත්‍රානුකූලද කියලා බලාගන්න එක. පොත ලියලා තිබුණේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්. මේ පොත කියවනකොට තේරුණා මේ ශාස්ත්‍රය තුල මං කොයි තරම් පුංචි ද කියලා. සාගරයක් වගේ ශාස්ත්‍රයකින් දිය දෝතක් වත් අපි අරං නෑ නේද කියන එක මට තේරුම් ගියා. ඒ විතරක් නෙවෙයි සඳැස් කවි කියන්නේ නිකම්ම පද හතරක් තාලයට ගැලපීම නෙවෙයි කියලත් මට තේරුණා.

සඳැස් කවිය තුල ඇති ප්‍රබේධ, විරිත් හෙවත් වෘත්ත, වෘත්ත භේද, යතිය, ගණ, පාද, එලි සමය, එළි වැට, දශ මහා ගුණ, දශ මහා දෝශ, යවහන් දෝෂය, ශෛලීන්, රසභාව, නවරස, අලංකාර ආදී විවිධ ශාස්ත්‍රීය ලක්ෂණ මෙම පොතෙහි අපූරුවට කතිකාවට ලක් කරලා තියෙනවා. අප වැන්නන්ට කවියට අයත් සියලු දෑ මෙතැනින් ලබා ගත නොහැකි බැව් හැබෑය. එහෙත් මෙය කවියෙකු වන්නට අප යා යුතු මඟ හෙලි කරන මහාර්ඝ ග්‍රන්ථයකි. අනෙක් අතට කාව්‍ය ශාස්ත්‍රයේ යම් දැනුමක් ඇත්තෙකුට මෙම පොත අත්පොතක් බඳු වනු ඇත.


11 comments:

  1. බැරිද ස්කෑන් කරලා අප්ලෝඩ් කරන්න, එතකොට අපිටත් බලන්න බැරියෑ ....

    අපූරු කවි ටික ලස්සනයි .....

    මොකද මේකෙත් පොප් අප් වින්ඩෝ එක අයින් කලොත් .......

    ReplyDelete
  2. මටත් ඒ පොත හොයාගෙන කියවන්න ඕනෙ :)

    ReplyDelete
  3. චතුර

    බින්දි ලියන නෙළුම් විලේ පහුගියදාක පෝස්ට් එකක් තිබ්බා . .

    "කටුරොද ගම තවම ඒ වගෙ ලස්සනද" කියලා

    ඒකේ කතාවෙන්නේ සඳැස් කවිද නිසඳැස් කවිද වඩා හොඳ කියලා . .

    තාම සංවාදේ දිගට යනවා . . .

    ඔයාත් හොඳ කවියෙක්නේ . .

    ගිහින් පොඩ්ඩක් එතනට සෙට් වෙන්න . . .

    මම වගේ කවි ගැන මහා දැනීමක් නැති අය ඇවිත් ඔයාලගේ කොමෙන්ටු වලින් ඉගෙන ගන්නම්

    ReplyDelete
  4. @පන්සල් හංදිය
    අනේ ස්කෑනින් යන්ත්‍රයක් නං නෑ මලේ. ඒත් පුළුවං වුණොත් කොහෙන් හරි ස්කෑන් කරලා අප්ලෝඩ් කරන්නම්.
    ----
    පොප් අප් වින්ඩෝව දැන් හරි..

    ReplyDelete
  5. ඇත්ත තමයි . මමත් ඔය ලියන්නේ පුංචි හැකියාවක් තියෙන හින්දා . එහෙම ඇතැයි පොඩි කාලේ ඉඳන් දන්නා කියන අයත් කියනවා . මමත් විශ්වාස කරනවා. හැබැයි කවදාවත් ඔය විරිත් නීතිරීති ගැන ඉගෙන ගෙන නැහැ . සිංහල වැඩිදුර භාෂාවක් ලෙස ඉගෙන ගත්තෙත් නැහැනේ සාමාන්‍ය පෙලින් පසු . සංගීතේ ..චිත්‍ර වගේ කලාවන් ඉගෙන ගන්න අවස්ථා වගේම ස්ථානත් තිබුනට කවි ලියන්න උගන්වන තැනක් මන් අහලවත් නැහැ . ඉංග්‍රීසියෙන් නම් කවි ලියන්න අපේ අවුරුදු නමයේ දුවත් ඉගෙන ගන්නවා . මාත්‍රා ගැනල ලියන ක්‍රම ගොඩක් එයා මටත් කියා දුන්න .

    ඔය පොත ගොඩක් ලොකු නැත්නම් ස්කෑන් කරලා මුණු පොතෙවත් දැම්මොත් ඉතින් පින් තමයි . නැත්නම් අපිත් ඉතින් හැමදාම කවියි කියල වෙන එව්වා ලියයි .

    දුකා ..සුජීව ස්තුතියි ඔබටත්

    ReplyDelete
  6. @කඩේ හාමිනේ
    ඔවු. කවි ලියන ඇත්තන්ට අගේ ඇති පොතක් මේක. මේකෙ දෙවැනි පොතකුත් තියෙන බව පොතේ අග සඳහන් වෙනවා.

    @කල්හාර

    තව එකක් අප්ලෝඩ් කරන්න පුළුවං වුණත්, සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේ අවසරය ගන්න වෙයි. එතුමාගේ දුරකථන අංකය තිබුණා. මං උත්සාහ කරලා බලන්නම්.

    @දුකා

    ඇත්තටම ඒක නම් අපූරු සංවාදයක්. ස්තුතියි මචං.

    මගේ කවි දැනුම ගැන මං මේ පෝස්ට් එකේම කියලා තියෙනවානේ...

    මටත් ඒවයින් ඉගෙන ගන්න දේ විතරයි තියෙන්නේ...

    ReplyDelete
  7. @බින්දි
    ඔයා විෂයයන් 6 සාමාන්‍ය පෙළ ලිව්ව කෙනෙක් හින්දා මගේ අක්කගේ වයස කියලා උපකල්පනය කරනවා.

    ඉංග්‍රීසි කවි ගැන නම් මුකුත්ම දන්නේ නෑ. ඒකේ අගට යෙදෙන ශබ්දය ගැන අවධානය යොමු කරලා රිද්මය එන විදිහට ලියන එක තමයි කලාතුරකින් ඉංග්‍රීසි කවියක් ලියද්දී කරන්නේ.

    පොත අප්ලෝඩ් කරන එක කිවිඳුගෙන් අහලා ඉන්න වෙයි නේද?

    ReplyDelete
  8. අහල ඉන්න එකනං කෝකටත් හොඳයි, මම හිතන්නෙ අකමැති වෙන එකක් නැහැ ......

    ReplyDelete
  9. නිශාන්ත අනුරුද්ධOctober 19, 2011 at 11:46:00 PM GMT+5:30

    එල එල

    ReplyDelete
  10. අපේ කල්හාර මල්ලියි, බින්දියි ඉල්ලපු පොත ස්කෑන් කරලා අප්ලෝඩ් කරලා තියෙනවා මෙන්න...
    මෙතැන

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..