Sunday, December 18, 2022

සීමොන් අයියගෙ කකුළුවො ඇල්ලිල්ල.

මුලු අවුරුද්දටම එකම එක පෝස්ටුවයි. බ්ලොග් එක අතෑරිලා ම ගියා වගේ. එහෙම කරලත් බෑ නෙව. ආයෙමත් ලියන්න ඕන කියලා ගැම්මක් ආවා. නිම්මානරතිය කියන මුහුණුපොත් සමූහයේ මං ලියා පළ කරපු කතාවක් බ්ලොග් එකේ අලවලා වැඩේ පටං ගන්ට හිතුවා. ලොකු රසයක් නම් නෑ. විනෝදයට ලිවුවෙ. ඔය එක එක ප්‍රදේශ වල ඈයො එහෙම ටිපර් වෙනවා නෙවෙයි ඈ.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ඔන්න එකෝමත් එක කාලයක දඹදිව, බඹදත් කියලා රජ්ජුරු කෙනෙක් විසින් පාලනය කරද්දි, ශ්රි ලඬ්කාද්වීපයෙහි මීගොං පුරවරයේ සිද්ධ වෙච්ච බොහොම භයානක සිද්ධියක් තමයි මං අද කියන්න යන්නෙ.


ඒ කාලෙ ඉතිං ප්රවාහන සේවා එහෙම ඒ හැටි දියුණු නැති නිසා පයිං තමයි හැමෝම වගේ ගමන් බිමන් ගියේ.

ටිකක් විතර රට ඇතුලට වෙන්න හිටපු සීමොන් අයියගෙ අඹුවට, ඒ කියන්නෙ සීදේවි අක්කට තමුන්නෙ කුළුඳුල් දරුවා ලැබෙන්නයි උන්නෙ. අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ ඉතිං ඒ කාලෙට තියෙන සැප . සීදේවි අක්කා ඔහොම සැපේ ඉන්න ගමන් දවසක් සීමොන් අයියගෙ දිහාවෙ අහිංසක බැල්මක් දාගෙන ඉන්නවා. මොකෑ සීදේවියෙ මොකක් හරි දොළක් වත් දැ? කියලා සීමොන් අයියා ඇහැවුවෙ බොහොම කරුණාවෙන්.

නෑ .. මේ මාළු ගේන සේතං අයියා කිවුවා , කකුළුවෝ ගේන්ට ඕනෑ පණ පිටිං හන්දා උන්දැ ගේන්නෙ නෑ කියාලා. මට කකුළුවෝ කන්න දොළක් පහල වුණා , කියලා සීදේවි අක්කා කීවේ ටිකක් විතර දුකෙන් කියලා සීමොන් අයියට හිතුණා.

හිටිංකො දෙදොහක් ඉවසලා, කියපු සීමොන් අයියා , වැඩට ගොහිං වැඩපොළේ යාළුවන්ගෙනුත් ඇහැවුවා, කකුළුවෝ ගේන විදිහක්.

පහුවෙනිදා නිවාඩුවක් ඉල්ලා ගත්තු සීමොන් අයියා, උදැහැනැක්කෙම ගියා, මූදු වෙරළට. ගොහිං කකුළුවෝ හතර දෙනෙක් සල්ලි වලට අරගෙන කාරිය, ආපහු ගෙදරට එන්න ආවා. හැබැයි ඉතිං ටික දුරක් එද්දි හරිම මහන්සියි. උදේ පාන්දර කහට කෝප්පයක් සප්පායම් වෙලා ආපු එක විතරනෙ. ඉතිං ගස් හෙවණක ඩිංගිත්තක් ඈඳී ගත්තෙ ඉක්මණින් යන්න ඕන බව හිත හිතාමයි. තෙහෙට්ටුවටම සීමොන් අයියට ඩිංගිත්තක් ඇහැත් පියැවුණා.

ඇහැරිලා බලනකොට ඔතාගෙන ආපු කකුළුවෝ හතර දෙනාම අතුරුදහන්. අනේ දැං සීදේවියට මොනවද දෙන්නෙ කියලා හිතමින්, විස්සෝපෙන් ඉන්න සීමොන් අයියව දැකලා හේතුව අහපු මනුස්සයෙක් පුංචි හෝඩුවාවක් දුන්නා.

මූදෙ ඉඳලා අල්ලපු කකුළුවෝ නෙ, මූද පැත්තට තමයි යන්න ඇත්තෙ. කකුළුවෝ එච්චර වේගෙන් යන්නෙන් නෑ නෙ.

මේ මනුස්සයගෙ කතාවෙන් හිතට හයිය ගත්තු සීමොන් අයියා, අඩියට දෙකට ආපහු මූද පැත්තට දිවුවා. එතකොට මගදි හම්බුවුණ මනුස්සයෙක් සීමොන් අයියගෙන් ඇහුවා කොහෙද දුවන්නෙ කියලා . මේ යකාටත් ඕනැන්නෙ නැති දෙයක් නෑ නෙ කියලා හිතුවත්, නිකමට වගේ මෙහෙම කිවුවා .

යාළුවෙක් ගියා මූදට පනින්න. මං මේ ඊට කලින් අල්ලන්න දුවන ගමන්.

මේක අහපු නොදන්න මනුස්සයට හරි දුකයි. මේ පාරෙන්මයි ගියේ කියලා විස්සාසයිද? කියලා ඇහැවුවෙ ඒ නිසයි.

තව පාරවල් තියෙනවද? කියලා අහපු සීමොන් අයියට , මොනවද මේ අහන්නෙ. පාරවල් කීපයක් ම තියෙනවා නෙ කියලා කිවුවලු. "හැබැයි කොයි පාරත් කොප්පර හන්දිය හරහා තමයි යන්නෙ. කෙටිම පාරෙන් ගිහින් කොප්පර හන්දියේදි අල්ලගන්න " කියලා කිවුවලු.

ඒ කතාව අහපු සීමොන් අයියත් "අද මං හොඳ පාඩමක් උගන්නන්නම්කො කකුළුවන්ට" කියලා පොල්ලකුත් අරං දිවුවලු කොප්පර හන්දිය ට.

"කොහෙන් ගියත් කොප්පර හන්දියට එන්න එපාය" කියලා සෑහෙන දොහක් සීමොන් අයියා කොප්පර හන්දියට වෙලා උන්නයි කියලා තමයි ඉතිහාස පොත් වල තියෙන්නේ .


පින්තූරෙ සීමොන් අයියා ගේ දුර්ලභ එකක් අන්තර් ජංජාලෙන් ගත්තෙ

1 comment:

වටිනා අදහස් ලියනු මැනේ..