Sunday, June 20, 2021

හිමි කම


ඉස්කෝලෙ ඉස්සරහම පේළියේ උන්නු දුනාල්, පංතියෙ හිටපු ආකර්ශනීය ම කොල්ලා. එයැයිට බැහැයි කියලා දෙයක් නෑ. ගණං, විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල, සමාජ අධ්‍යයනය, සංගීතය, නැටුම්, චිත්‍ර. මේ හැම දෙයක්ම පුළුවන්. ඉස්පෝට් මීට් එකේ දුවන්න, දුර පනින්න වගේම එල්ලේ, බැඩ්මින්ටන්, ක්‍රිකට් වගේ ඕනම සෙල්ලමකත් දුනාල් උන්නෙ ඉස්සරහින් ම. 


ගුරුවරුන්ගෙ වගේම ශිෂ්‍ය නායක නායිකාවන්ගෙත් හිත දිනා ගත්තු කීකරු දුනාල්ගෙ අකීකරු කමට තිබුණෙ එයැයිගෙ ගොඩක් ම කොට නොකෙරූ කෙහෙරැළි විතරයි. දන්න අඳුරන, කතා කරන ඕනම කෙනෙකුට පුංචි විහිළුවක් කරලා ලස්සනට හිනාවෙන්ට එයැයිට තිබුණේ පුදුම හැකියාවක්. 


එයැයි සෞන්දර්යට කළේ නැටුම් හින්දා මටත් අපට එකට නටන්ට ලැබුණා. ඒ නැටුම් වෙලාව තමයි මං ඉස්කෝලෙ වෙලාවෙන් ආසම වෙලාව. ටීචර් අලුතින් වන්නමක් කියලා දීලා දුනාල් ට කියනවා ඉස්සරහට ඇවිත් නටන්ටය කියලා. තාලෙට වන්නම ගයමින් දුනාල් නටද්දි මං එයැයි දිහා බලාගෙන ම නටනවා. වෙන වෙලාවල් වලදි එයැයි දිහා බලන එක හරි නැති වුණා ට, මේ වෙලාවෙදි එයාගෙ හැම ඉරියවුවක් ම නිරීක්ෂණය කරන්ට මට නිරවුල් අයිතියක් තියෙනවා කියලා දැනෙද්දි මට දැනෙන්නෙ හරි සතුටක්. 


විවේක වෙලාවක් ආවොත් සංගීත ටීචර් ගෙන් සර්පිනාව  ඉල්ලගෙන ඇවිත්, දුනාල් ලස්සනට ඒක වාදනය කරමින් සින්දු කියනවා අහන එක තමයි අපට තිබුණු ඊළඟ විනෝදය. වෙන පංති වල ළමයි හිස් පීරියඩ් වල දඟලද්දි, සණ්ඩු කරද්දි, අපි බොහොම සාවදානව දුනාල් ගෙ සංගීතයට ඒකාත්මික වෙන එකට ගුරුවරු වුණත් විරුද්ධ වුණේ නෑ. 


කාලය ගෙවිලා ගිහිං ශිෂ්‍යත්ව විභාගෙන් ඉහළ ප්‍රථිඵල ගත්තු දුනාල් රටේ තියෙන හොඳමයැයි කියන ඉස්කෝලෙට ඇතුළු වෙනවා. පිටිපස්සෙ පේලියෙ ඉඳං දුනාල්ගෙ රසිකයො වුණු අපිට අලුත් වීරයෙක් හොයාගන්ට වෙනවා. ඒත් කාලය ගෙවුනාය කියලා දුනාල් ව මගේ හිතෙන් මැකෙන්නෙ නෑ. ඒ වෙනුවට දුනාල් කියලා චිත්‍රයක් මගේ හිතේ රජ කරන්ට ගන්නවා. යාළුවො, දෙමවුපියො, ගුරුවරු කවුරුත් හිතන්නෙ මං මහ සෝමාරි ළමයෙක් කියලා. ඒකෙ වරදකුත් නෑ. මං හැම වෙලාවෙම ඉන්නෙ ලෝක දෙකක අතරමං වෙලානෙ. 

===========================================================

වෙනදට වාට්ටුවෙ වැඩ කළ මාව එදා හදිසියෙ සායනයට මාරු කරලා. කොතන වුණත් කරන්න තියෙන්නෙ වැඩ නෙ. මං ඉතිං සුපුරුදු දෙලොවක් අතර සීන් එකෙන් ම සායනයට යද්දි, දොස්තර මහත්තයා ලෙඩ්ඩු බලනවා. වේලාසනම වැඩ පටං අරං. නැතුව මං පරක්කු එහෙම නෑ.


ඔයා ගෙ පරෙස්සම නං මදි. බලන්න මේ සීනි හොඳටම වැඩියි නෙ. මොකද කියන්නෙ? ඉන්ජක්සන් එකක් දෙන්නද? කෑමෙන් පරිස්සම් වෙලා, ව්‍යායාම ටිකක් කරමුද? මට ඇහුණෙ, විහිළුවක් කරමින් හිනා වෙන අරුම පුදුම දොස්තර කෙනෙක්ගෙ හඬ.


ඒ තමයි එයැයිගේ, ඒ කියන්නෙ දුනාල් ගෙ හිනාව. ඒක තාමත් ආදරණීයයි, ආකර්ශනීයයි. 

මොනවත් නොකියා ඒ මූණ දිහා මං බලා උන්නෙ හරියට නැටුම් කාමරේදි වගේ. 


මහත්තයො චුට්ටක් ඉන්න. 

රෝගියාට ආදරයෙන් කියන ගමන් මගේ ඇස් මඟ නොහැරිය ඔහු මා ළඟට ආවෙ විශ්මයෙන් විසල් වූ දෑසින් යුතුව. 

"සිතාරි නේද?" 

එයැයිගේ දෑසේ කාන්තිය, සුන්දර සිනාව සමඟ මුසු වී හාත් පස විල් තෙරක්, රෝස මල් පිරුණු මල් වත්තක් මැවුවේ මට උන් හිටි තැන් අමතක කරමින්.

ඔවු. සිතාරි තමයි. ඩොක්ටර් දුනාල්? මං ඒ ටික කිවුවෙ, මං ඉන්නෙ කොහෙද කියලා මිනිත්තුවක විතර මහන්සියක් අරං සිහි එළවගෙන. එයැයි බොහොම ආදරෙන්, සියුම්ව අතට අත දීලා එයැයිගෙ සතුට ප්‍රකාශ කරමින්, අපි හවස හමු වෙමු කියලා මුව නොසොල්වා කිවුව එක ඇහුණෙ මට විතරමයි. ඒත් එතන හිටපු රෝගීන් ටිකත් ඒ ඩිංගට මං වගේ ම දැහැනට සමවැදිලා උන්නු බව මට තේරුණේ මං  වට පිට බලද්දි.


අපි දෙන්නා හැන්දෑවල් වල ටී ෂොප් එකේ තේකක් බොන ගමන් වැඩියෙන්ම කතා කළේ,  පහු ගිය අවුරුදු දා හත ගත වුණු හැටි ගැන. 

හැම දේකම ශූරයෙක් වුණු දුනාල්ට උසස් පෙළ දි තමන්ගෙ මාවත විදිහට විද්‍යා විෂය ධාරාව තෝරගන්නට වුණේ දෙමවුපියන්ගෙ කැමැත්තට ලු. අනෙක් අතට දුර දිගට ඉගෙන ගන්ට තරම් සුවිශේෂී විෂය ධාරාවක් ලංකාවෙ එයැයිට තෝරගන්ට තිබුණෙ නැල්ලු. අනෙක් දේ වගේ ම දෙමාපියො ගෙනාපු යෝජනාවකට කැමති වෙලා, එයැයි  ළඟදිම කසාද බඳින්නලු යන්නෙ. 

දුනාල් ට වගේ ශිෂ්‍යත්වෙ පාස් වෙන්ට බැරි වුණාට මාත් ඉතිං ඕ ලෙවෙල් පාස් වෙලා උසස් පෙළ ට කළේ ජීව විද්‍යා අංශයෙන්. දොස්තර කෙනෙක් වෙනවට වඩා, මං ඒ විෂය ධාරාව තෝරගත්තෙ මගේ යාළුවෙක් නිසා. එයැයිගෙ තාත්තා පරිසරවේදියෙක්. එයැයි කියන්නෙ ජීවිතේට වඩාත් ම වටිනා දේ ඉගෙන ගන්ට තියෙන්නෙ සත්තුන්ගෙ ගැන සහ ගස් ගැනය කියලා. කොහොම හරි මාත් ඉතිං නේස් නෝන කෙනෙක් වෙලා තමා පස්ස බැලුවෙ. 


අතීතය ඉවර වුණත් අපට ටී ෂොප් එකේ තේකක් තොල ගාන ගමන් කතා කරන්න නම් හුඟක් දේ තිබුණා. රෝගීන්, එයාලගෙ ප්‍රශ්න වගේ ම එයාලගෙ අනාගතය, එයාලගෙ දරුවන්ගෙ අනාගතය ගැන, වගේ නොයෙක් නොයෙක් මාතෘකා ටී ෂොප් එකේ දි දවස ගානෙ අපේ මාතෘකාව බවට පත් වුණා. 


"එක්ස්කියුස් මී. මං එන්න පරක්කු වුණා ද?" 

අපි දෙන්නා තේ බිබී ඉන්නැද්දි එතනට පාත් වෙච්චි සුමාලි අහද්දි මං පුදුම වුණත්, එයැයිගෙ තිබුණෙ සුපුරුදු මන්දස්මිතය. 

"මං හිතුවෙ අපට කලිං මෙතනට එයි කියලා" 

දුනාල් හිනා වෙමින් ම සුමාලි ට පුටුවක් ලං කළා.  

"මෙයා ද මේ සිතාරි?"

සුමාලි හිනාවෙමින් ඇහුවේ ඔලොක්කුවටද කියලත් මට හිතුණා. 

ඔයාලා අඳුනනවද? 

ඒ ප්‍රශ්නය එක පාරට ම ඇහුවෙ මම විතරක් නෙවෙයි. දුනාලුත් ඒ ප්‍රශ්නයම ඇහුවා. 

"ඔවු" අපි දෙන්නම එක වරම උත්තර දුන්නු විදිහට දෙන්නට ම හිනා.

ඔයා කියන්න. ලේඩීස් ෆස්ට් නෙ. 

"මේ මගේ අර යාළුවා. මට බයෝ කරන්න කිවුවා කිවුවෙ?"

"මේ මගේ වෙන්ට වයිෆ්" 


පුදුම අහඹුවක් වුණත් ඒ හමුවීම, ඒ වෙන් වීම අපූර්වත්වයක් ම ගෙන ආවා. 

"ආදරය තියෙන්නෙ එක්වීම් වල නෙවෙයි, වෙන්වීම් වල" කියලා මං ම තියාගත්ත සටහනක් මට සිහි වුණා. 

මං ආදරේ කළ , මාව වසඟ කළ ඒ හිනාව මට දිගටම අයිතියි කියන විශ්වාසයත් එක්ක මං තේ කෝප්පෙ අන්තිම බින්දුවත් ඉවර කළා. 


8 comments:

  1. Meka sathyama kathawak unath fiction ekak unath harima sensational.Mama eyata ithama kamathiyi

    ReplyDelete
  2. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..