Sunday, October 11, 2020

කැඩපතට මුලා වී 3!

මහතුං මාමේ... අද වේලාසනින් කඩේ වහනවාදැයි අසමින් මා කඩ පිළට ගොඩ වූයේ මාමා කවදත් මෙන් මා හා සුහදයැයි යන උපකල්පනය මතය. එහෙත් සිදු වූයේ අනෙකකි. බලාපොරොත්තු වූ ලෙංගතු හිනාව වෙනුවට ලැබුණේ ඇනුම් පදයකි. කවුරු කවුරුත් බලා ඉන්නෙ ඉතිං කඩේ වැහෙනකම් නෙ... ඇනුම් පදය රොසලින් නැන්දාගෙනි. 

අනේ නැන්දෙ ඇයි එහෙම කියන්නෙ.. අපි කවුරුත් කැමති නෑ නෙව මේ කඩේ වැහෙනවට..? මා මගේ අවංක අදහස කීවේ සිත උපන් සංවේගයෙනි. 

ඔය ළමයා ඕවා ගණං ගන්න එපා.. අපි යමුකො ගෙට.. හාමිනේ මේ ළමයටයි මටයි තේ වතුර ඩිංගක් වත් කළා නං.. කියමින් මහතුං මාමා කඩයේ අන්තිම ලෑල්ලත් වසා මා දෙසට එමින් පැවසුවේ සුපුරුදු ලෙංගතු කමිනි. 

මං මේ මහතුං මාමා හම්බවෙන්ට කියලා ආවේ පොඩි කාරණයක් කතා කරගන්ට.. මා පවසද්දී මාමා මා දෙස බැලූයේ තද බල කුතුහලයකිනි. මහතුං මාමගෙන් මට පොඩි උදවුවක් ඕන. අපේ කඩේ වෙළඳාම් නරක නෑ. ඒත් මං හිතුවෙ.. එදා ඉඳං අම්මා කඩයප්පං දාපු මහතුං මාමගෙ කඩේටත් කඩයප්පං ටිකක් දාන්න. මහතුං මාමාගේ කුතුහලයෙන් පිරී තිබුණු මුහුණ අඳුරු වළාපට ඉවත්ව සුපැහැදිලි තරු පෑයූ අහස මෙන් දීප්තිමත් වනු මම මහත් ආශ්වාදයකින් නිරීක්ෂණය කළෙමි.

අනේ දරුවො ඒක නං කියලාවත් කොර ගන්ට බැරි උදවුවක්.. ඒත් ඉතිං රංමැණිකෙ ට ඉස්පාසුවක් තියෙයිද එච්චර හරියක් කරන්ට.. මාමා කවදත් මෙන් සාධාරණව සිතන බව පෙන්වන ප්‍රශ්නයක් නැඟුවේ ය. 

ඒක තමයි මාමා මං හිතුවෙ කාව හරි අත් උදවුවට එක් කරගන්ට.. අම්මට තනියෙන් ඔය සුමේ කරන්ට බෑ.. හොඳ පිරිසිදුවට ඉන්න කෙනෙක් හොයන්ටත් එපාය.  මා කීවේ මාමාගෙන් ම හොඳ කෙනෙක් ගැන ඔත්තුවක් ලබා ගැනීමේ අටියෙනි.

අර සිරිසේනගෙ කෙලී ... සුජාතා.. ඉස්කෝලෙ ගමන නවත්තලා ලු.. රස්සාවක් හොයනවා කියලා මටත් කීවා.. පවු අග හිඟකම් එහෙමත් ඇති.. අම්මා තාත්තා දෙන්නම අසනීපෙන් නෙව. බලාපොරොත්තු වූ පරිදි ම මාමා ගෙන් ඔත්තුව ලැබුණි. එකාතකට ඒ දැරිවියට දිගටම ඉගෙන ගන්නට උදවු විය හැකිය. අනෙක් අතට අම්මාට ද සහනයකි. 

ආ.. නේ.. මේ.. සම්පත් අයියා නෙව..  මුව පිරි සිනා මැද තේ කෝප්පය රැගෙන ආවේ ඈ ය. ඈ දුටු මතින් මට සියල්ල අමතක වන බව ඈ දනී. මම එසේ නොවී සිටීමට යත්න දරමින් සිනාවකින් පමණක් පිළිවදන් දී තේ කෝප්පය අතට ගත්තෙමි. 

කොහොමද දැන් බිස්නස් සරු ද? ඈ නොදන්නවා වගේ අසයි.. 

හොඳයි.. දැන් උදේට කැඳ ටිකකුත් හදනවා.. කොහොමද නංගිගෙ ඉගෙනීමේ වැඩ එහෙම.. ? අමාරුවෙන් වුවත් සාර්ථකව වචන ටිකක් ගලපා ගත හැකි වීම ගැන මම සතුටු වීමි. 

අම්මා කඩේ වහන්ට බලා ගෙන ඇති.. මාමේ එහෙනං මං ගිහිං එන්නං.. නැන්දා නං මගෙත් එක්ක අමනාපෙන් ද කොහෙද.. කියමින් මම ගෙතුළට එබුණෙමි. 

අනේ මොකට අමනාප වෙන්ටද ළමයො.. මං මේ කිරි හොද්දක් හැඳි ගාන ගමන් උන්නෙ.. ඒකයි කතාවට නාවෙ.. කියමින් සාලයට එබුනාය.  වැඩේ ගොඩින් බේරා ගත හැකි වීම මට මහත් සැනසුමක් විය. 

තේ කෝප්පය ඈ අතට දී සිනාවකින් ම ඈ ට සමුදී මම එන්නට පිටත් වීමි.  

කොහොමට උන්නු කොලුවෙක්ද.. මං හිතං උන්නෙ මූ මහ උලු ගෙදර නතර වෙයි කියලා කරපු නසරානි වැඩ වලට.. මාමා කියනු මා පල්ලම් බසිද්දී මට යාන්තමට ඇසිණි. 

No comments:

Post a Comment

වටිනා අදහස් ලියනු මැනේ..