Thursday, October 29, 2020

කැඩපත ට මුළා වී 5!

  අයියෙ.. නැන්දා.. ටිකක් අසනීපෙන් වගේ.. සුජාතා ගේ සිහින්, බිය මුසු හඬ මට ඇසුණේ සිහිනයකින් මෙනි. වෙනදා හවස් වරුවේ කඩයට එන අම්මා අද නො ආවේ.. නෑමට හෝ රෙදි සේදීමට ගිය නිසා යැයි මම සිතා උන්නෙමි. එහෙත් ප්‍රශ්නය අනෙකක් සේ ය. 


නෑ .. නෑ අයියෙ කලබල වෙන්න දෙයක් නෑ.. එහෙමට අමාරුවක් නෑ.. නැන්දා හොඳින් ඉන්නවා.. ඒත් නැන්දා එක්ක කතා කරද්දි මට පුංචි වෙනසක් දැනුණා.. අයියා පුළුවන් නම් හවසට ගිහින් බෙහෙත් ටිකක් අරන් දෙන්න. මා කලබල වූ බව දුටු සුජාතා වහා මා අස්වැසුවාය. 


හදිස්සියකට ළඟට පාතට යන්න.. පා පැදියක් වත් නැති එකේ අඩුව මට දැනුණේ එවෙලේ ය. සුජාතා ට කඩේ බලා ගන්නා ලෙස පැවසූ මා නිවස වෙත හැල්මේ දිව ගියෙමි. 


මොකද මචං හදිස්සියක් ද? ලසන්ත යතුරු පැදියකින් විත් මා පසු කොට නැවැත්වීය. 


ම්.. ඔවු මචං.. ටිකක්.. අම්මාට සනීප මදි කියලා ආරංචියක් ආවා.. ඒකයි මේ ගෙදර දුවන්නෙ.. කියමින් මම යළිත් දුවන්නට සැරසුණෙමි.


ඉතිං නැගපං.. මං ගිහිං දාන්නම්.. ලසන්ත ආරාධනා කළේ සුපුරුදු ලෙංගතු කමිනි. 


වෙලාවේ හැටියට දෙයියෝ දුන්නා වගේ වැඩක් නෙ උනේ.. යැයි සිතමින් යතුරුපැදියට ගොඩවූ මා හට ඉක්මණින් ම නිවෙස වෙත යාමට හැකි වූ අතර.. යතුරු පැදියෙන් බැස වැඩි කලබලයක් නොපෙන්වා.. නිවස තුළට ගියේ තත්වය හරි හැටි ම නොදන්නා බැවිනි.. 


අම්මේ.. අම්මේ.. කියා මා කතා කළේ අම්මා පේන්නට නොසිටි බැවිනි. 

ආ... පුතේ මොකද මේ කලබොලෙන්..? කිසිත් නොවුණු ගානට සරලව පවසමින් කාමරය දෙස සිට පැමිණි අම්මා කිසියම් අපහසුවකින් පෙළෙන බැවු ඇගේ ඉරියවු කියා පෑ ය. 

නෑ.. අම්මා හවස කඩේ පැත්තෙ ආවෙ නැත්තෙ ඇයි බලන්නත් එක්ක මං ආවෙ.. සුජාතා නංගිව කඩේ තියලා.. නංගිත් කිවුවා අම්මගෙ අසනීප ගතියකුත් දැක්කයි කියලා.. මම වැඩි බරක් නොදා ම කීවෙමි.

එහෙමට අසනීපයක් නෑ පුතේ.. මේ පොඩි හිසේ රුජාවක්.. පස්පංගුව ඩිංගක් බීවා නං ඕක ඇරිලා යයි.. ඇය කියන කතාවත් ඇත්තය. නිකරුණේ දොස්තර බේත් හොය හොයා යන එක ඒ හැටි සුදුසු දෙයක් නොවේ. ඒත් ඇඟේ උණ තිබේ දැයි බැලිය යුතු ය.  ඔලුවටත් පපුවටත් අත තබා බැලුව ද එහෙම අමුතු රස්නයක් නොදැනුණෙන්.. හිතේ උපන් බිය තරමක් පහව ගියා සේ ය. ලසන්ත ට කියා ම පස් පංගුව පැකට් කිහිපයක් අසල කඩයෙන් ගෙන්වා ගත් මා ඉන් එකක් අම්මාට තම්බා දුන්නේ ඉන් හිසේ වේදනාව අඩු වේයැයි සිතා ය. එහෙත් සිදු වූයේ අනෙකකි.. කෝප්පයෙන් බාගයක් බොත් ම වාරු ගෙන නැගිට ගන්නටත් පෙර ම.. නිවස තුළ ම.. ඇය වමනය කරන්නට ගත්තාය.  මම වහා ඇගේ පිට අත ගෑවේ ඈ සතු ශාරීරික වේදනාවක් වේ නම් දුරු වේවායි සිතමිනි.. 


ලසන්තගේ උදවුවෙන් ම ත්‍රී රෝද රියක් ගෙන්වා ගත් මා අම්මා සමඟ හන්දියේ ඩිස්පැන්සරියට ගොස් දොස්තර මහතාට අම්මාව පෙන්වීමි. විස්තර ඇසූ දොස්තර මහතා.. අප මේ ගමේ ම අයදැයි ඇසුවේ.. ඩිස්පෙන්සරිය දමා වසර ගනණක් වුවද.. අප කිසි දින ඔහුගෙන් බෙහෙත් ගැනීමට ගොස් නැති නිසා විය යුතු ය. අන්තිමට අප බෙහෙත් ගත්තේ මීට අවුරුදු දහ අටකට පමණ පෙර ය.  


මා පුංචි සන්දියේ හතිය සෑදී හුස්ම ගන්නට අමාරු වී හුන් විට කපුරු තෙල් ගෑවේ අම්මා ය. එය ද ප්‍රමාණවත් නැති වූ කල, තාත්තා මා එක්ක ගියේ ඉස්පිරිතාලයේ ලොකු මහත්තයා ගාවට ය. මගේ පපුවටත් පිටටත් නළාව තැබූ දොස්තර මහතා මා ඉස්පිරිතාලේ නවත්වන්නැයි කීවේ ය.  අම්මාත් ආච්චි අම්මාත් මාරුවෙන් මාරුවට මා ළඟ නැවතී උන් බවත් තාත්තා තුන් වේලට ම මා බලන්න ආ බවත් හැර ඒ හැටි දෙයක් මට මතක නැත. මා වාට්ටුව පුරා දුව පැන්න බවත් එය ලෙඩේට හොඳ නැති බව කොතෙක් කීවද ඇසුවේ නැති බවත් ඉඳ හිට පරණ මතක ආවර්ජනයේ දී අම්මා කියන්නීය.. අන්තිමේ මාව මේච්චල් කරගෙන තිබෙන්නේ ඉස්පිරිතාලෙන් ගිය ගමන් ම මං ආසම කරන අයිස් ක්‍රීම් එකක් අරන් දෙන පොරොන්දුවට ය. එහෙත් දෙසතියක් යන තුරු සීතල කිසි දෙයක්  මා හට නොදෙන්නැයි දොස්තර මහතා දුන් උපදෙස් නිසා එම පොරොන්දුව ඉටු කරන්නට නොහැකි වීම ගැන මටත් වඩා තාත්තා උන්නේ කණගාටුවෙන් බව කියද්දි අම්මාගේ දෑස් අගට කඳුළක් උණයි. 


අම්මාගේ රුධිර පීඩනය වැඩි බවත්.. තවත් පරීක්ෂණ කිහිපයක් කළ යුතු බවත් කී දොස්තර මහතා බෙහෙත් පෙත්තක් ලියා දී දින දෙකකින් නැවත පැමිණ රුධිර පීඩනය පරීක්ෂා කර ගන්නා ලෙස ද කීවේය. අධි රුධිර පීඩනය ගැන යම් තරමක පැහැදිලි කිරීමක් කරන අතරතුර ආහාර පාලනය මෙන්ම ගත හා සිත පාලනය ගැන ද මනා උපදෙස් මාලාවක් ලබා දීමට එතුමා අමතක කළේ නැත. 


අම්මා මීට පස්සෙ උදේ ම නැගිටින්න ඕන නෑ. සුජාතා නංගි ඉන්නවනෙ. අපි එයාගෙ උදවුවට කෙනෙක් ගමු. 

දොස්තර මහතාගේ උපදෙස් නිසා යම් තැති ගැන්මක් ද හටගෙන තිබූ නිසා දෝ අම්මා මගේ යෝජනාවට විරුද්ධව කිසිවක් නොකීවාය. 


නංගී.. අම්මට ප්‍රෙෂර් වැඩි ලු. විවේක ගන්න කිවුවා.. ඔයාගෙ උදවුවට කතා කරගන්න කෙනෙක් නැද්ද? 

මමත් කියන්නමයි හිටියෙ අයියෙ.. නැන්දා මහන්සි වෙනවා වැඩියි.. දවාලෙ වත් ඉස්පාසුවක් නෑ නෙ. මගෙ හොඳ යාළුවෙක් ඉන්නවා. එයාටත් මට වගේ හරි ම ප්‍රශ්න.. මං කතා කරලා බලන්නද? 

හරි නංගි.. හෙට ඉඳන් හරි කමක් නෑ.. වැඩට එන්න කියන්න.. ඔයා ගෙ යාළුවෙක් නෙ.. බය වෙන්න දෙයක් නෑ නෙ.. 

හරි අයියෙ.. මං හෙට හවසට එයාට අයියව හම්බවෙන්න එන්න කියන්නම්.. 


පසු දින උදෑසන වෙනදා වෙලාවට ම අම්මා නැගිට කුස්සියට ආව ද ඇයට තව හෝරාවක් වත් නිදා ගන්නැයි අප දෙදෙනාම කීවෙමු. අපගේ දැඩි පෙරැත්තය මත නැවතත් සයනයට ගිය ඇය නැවත එන විට බොහෝ වැඩ අවසන් කර තබන්නට අපට හැකි විය. එදිනට සුජාතා නංගි ගෝලයා මම වීමි. 

හොද්ද හැඳි ගාන්න.. පොල් ටිකක් ගාන්න.. ඉඳි ආප්ප තට්ටු පිරිසිදු කරන්න .. ආදී වශයෙන්.. සුළු සුළු.. රාජකාරී රැසක් මා වෙත පැවරිනි.  තමා ගේ ගෝලයා ගේ ම ගෝලයා වීම අපූරු අත්දැකීමක් බව මට පසක් වූ අතර අප දෙදෙනා අතර තිබූ දුරස්ත බව ද දුරු වූවා සේ දැනිණි. 


ඔන්න බොස් ආවා.. එහෙනං මං යන්නං මගේ වැඩ වලට.. කියමින් සුජාතා නංගී හදා දුන් තේ කෝප්පය හිස් කරමින් මම ගෙතුළට ගියෙමි. 

අම්මාගේ මුහුණේ ඊයේ තිබූ වෙහෙසකර බව වෙනුවට.. පැහැබර හිනාවත් සුජාතා නංගී ගේ සුන්දර හිනාවත් දුටු මා සිත ට ද ඇති වූයේ සැනසුමකි.  කලකට පසු නැවතත් අපි ආයෙමත් පිරුණු පවුලක් බව මට දැනුණේ සුජාතා ද මගේ ම නැගණියක් යැයි හැඟෙන තරම් කුළුපග වූ නිසා ය. 


No comments:

Post a Comment

වටිනා අදහස් ලියනු මැනේ..