Thursday, December 14, 2017

සතුටින් යන්න

ඔබ ඇත සයනක වැතිරී දුක සේ
දිනයක යනු ඇත අතහැර නිසි සේ
කලකදි වින්දත් සැප හැම රිසි සේ
දුරකය එම දේ ඇති හුදු මනසේ

හැම දෙයකට නිසි කල එළඹෙනවා
ඔබ මා වෙන් වන දිනකුදු එනවා
මැවි මැවි පෙනෙනා මතකය පිනවා
සමු ගන්නෙද කෙලෙසක සිත දනවා

පැරදුමකුයි හදවතට දැනෙන්නේ
මම ඇයි යන ඔබ මෙහි නවතන්නේ
වැඩකට නොවැ මෙහි එන්නේ යන්නේ
එයටනෙ ජීවිතයයි පැවසෙන්නේ

යන තැනකට ඔබ සතුටින් යන්න
එහි ඇති බොහො අය ඔබ පිළිගන්න
අප ගැන තව වැඩි දුර නොසිතන්න
බැරි නැත ළඟදිම යළි හමුවෙන්න

Friday, December 8, 2017

බයිට් වූ කලා කරුවෝ..

ටික කලකට පෙර එක්තරා රූපවාහිනී නාලිකාවක තිබුණු එක්තරා වැඩසටහනකින් සිදු කළේ.. කලාකරුවන් වෙත අහඹු ලෙස කඩා පැන.. ඔවුන් නොසිතූ නොපැතූ දේවල් සිදු කර.. ඔවුන්ගේ ප්‍රතිචාර වලට සිනා වීමයි.. ප්‍රෑන්ක් යනුවෙන් අන්තර්ජාලයේ එවැනි දෑ ඇති තරම් ඇත. කෙසේ වෙතත්.. මෙහිදී කලාකරුවා නොදැනම .. නොමිලේ ම බයිට් වේ.. මෙයට එරෙහිව නැඟී සිටියේ දක්ෂතම ප්‍රහසන නළුවෙකු වන මිහිර සිරිතිලකයි.. නොමිලේ බයිට් විය නොහැකි බව ඔහු කියා සිටියේ ය..

මට මෙය මතක් වූයේ ඊයේ පෙරේදා කරලියට පැමිණ ඇති.. පිංපොං ඇතුළු නඩයේ රණවිරු කතන්දරය නිසාය.. ඇත්තෙන්ම මේකත් බයිට් වීම පිළිබඳ කතන්දරයකි.. අද කාලයේ කලාකරුවෝ.. නොමිලේ බයිට් වීමට කැමති නැත. 
පිං පොං ඇතුළු නඩය ට ගෙවන්නට ඇත්තේ ඒ බයිට් වීම උදෙසා ය. මට ඒ සමඟ පැන කිහිපයක් මතුවේ..
ජැක්සන්ලා වැනි අයට ගෙවුවේ කෙසේ ද?
නොගෙවුවා නම් ඔවුන් නොමිලේ ම බයිට් වුණා ද?
ඔවුන් බයිට් වු බව ඔවුන් නොදැන සිටියා ද?

යනු ඒවාය.
කොහොම වුණත්.. උන් පවු ය..මුදලට හෝ නිකම්ම ඔවුහු බයිට් වූහ.. අපි ඊටත් පවුය.. මන්ද උන්ට ගෙවා ඇත්තේ අපේ මුදලිනි..