Sunday, February 25, 2018

කඩමාල්ල

ඉර ට කළින් මුළුතැන්ගෙයි වැඩ අල්ලද්දී නුඹ
පරණ ගවුං කඩමල්ලක් ඇන්දෙත් මොහොතක් සිඹ
ඒ සුවඳේ මොන අඩුවද සිතමින් හුස්මක් පිඹ
වළා සිනාවක් දිසි තද හිරු රැස් අතරින් නුබ

පුංචි කාලෙ අපේ කඳුළු හා කුණු දහඩිය පවා
හිත් රිදුණම නුඹ දෙනෙතින් වැගිරුණු මුතුවැල් පවා
එළවලු, මස්, බිත්තර හා දෙහි, ලුණු, තුනපහ පවා
ගවුමේ තව තිබුණා අප බිවු කිරි වල රහ පවා

අවුරුද්දට අලුත් ගවුම් මං අරගෙන දෙන්නම්
ඒ ඇඳගෙන වන්දනාවෙ එක්කරගෙන යන්නම්
ආදරයෙන් අම්මේ එක වරයක් ඉල්ලන්නම්
පරණ ගවුම හැඳ එනු එහි හිස සතපන් ඉන්නම්