Friday, March 30, 2012

යවහන් කවියක අගට යෙදුනාම වැරදියි කියන්නේ ඇයි..?

මෙය බොහෝ දෙනාට තිබෙන ප්‍රශ්නයකි..
සඳැස් කවියේ දී කළ යුතු හා නොකළ යුතු දේ දක්වා කාව්‍ය ව්‍යාකරණ සමූහයක් තිබේ.. ඒවා කාව්‍ය රීතීන් ලෙස ද දැක්වේ..
ඇතැම් විරිත් වලට එළිසමය අත්‍යාවශ්‍ය වීමටත් අනෙකකට එසේ නොවීමටත් හේතුව කිම් දැයි ඇසුවොත් කියන්නට ඇත්තේ ද එය මයි..

මෙයට අමතරව රසය හීන වන බව, වස් වදින බව ආදී පිළිතුරු ද ඉහත ප්‍රශ්නයට දිය හැක.. ය,ව,හ සහ න් යන අකුරු හෙළ බසෙහි ඇති අකුරු අතර අරුතක් නොදෙන අකුරු බවට ඇති පිළිගැනීම ද .. එක් පිළිතුරකි.. 

කවියෙන් පිටතට ගොස් උදාහරණයක් ගනිමු..

ක්‍රිකට් ක්‍රීඩාවේ දී, පාපන්දු ක්‍රීඩාවේදී මෙන් විශාල බෝලයක් නොගෙන තරමින් කුඩා වූ බෝලයක් යොදා ගන්නේ ඇයි.. ? කවුරු හරි මෙහෙම ඇහුවොත් එය පුදුමයකි.. ඒ ක්‍රිකට් ගහන්නේ කුඩා ප්‍රමාණයේ බෝලයකින් බව හැමෝම දනිති.. එයට හේතුවක් තිබෙන්නට පුළුවන.. ඒත් අප ක්‍රිකට් සෙල්ලම් කරන්න නම් ඒ හේතුව දැන ගෙන සිටිය යුතුමද? ක්‍රිකට් සෙල්ලම් කරන්න අවශ්‍ය නීති, රීති ටික ඉගෙන ගෙන සිටීම හා සෙල්ලම් කරන්න පුළුවන් වීම පමණක් නොසෑහේ ද?

පොඩි කාලේ කට්ටිය එක්කහු වෙලා ක්‍රිකට් ගහනකොට ටෙනිස් බෝලේ පැලුනොත් රබර් බෝලයක් යොදා ගත්තෙමු.. එක පැත්තකට එකෙක් අඩු වූ විට උංගෙක් හෙවත් වැඩිපුර පිතිකරණ වාරයක් දුන්නෙමු.. කට්ටිය ටිකක් අඩු නම් ලාස්ට් මෑන් හෑවු චාන්ස් කියා අවසන් පිතිකරුවාට තනියෙන් වුවද පිතිකරණයේ යෙදීමට දුන්නෙමු..

ඒත් කිසියම් පිළිගැනීමක් ඇති තරඟයක දී සම්මත රීතීන් එසේ වෙනස් කළ හැකි ද? එය, එයට අදාල කවුන්සිලය මඟින් සම්මත කරන රීතීන් ට යටත්ව පැවැත්විය යුතුය..

මට නම් හිතෙන්නේ.. කවි ලිවීමත් එක්තරා විදිහක ක්‍රීඩාවකි.. එහි මූලික රීති පද්ධතිය දැනගෙන තම හැකියාව යොදා ගනිමින් මේ ක්‍රීඩාව කළ යුතුය.. එසේ නැතිව හිතු හිතූ විදිහට පුරාතනයේ හැදූ රීතීන් වෙනස් කරන්නට යෑම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ..

හරියට මාත්‍රා තියලා කවියක් ලියා ගන්ට පුරුදු වෙන්ටත් කලියෙන් සඳැස් රීති වෙනස් කරන්ට යන අය මේ ගැන පොඩ්ඩක් හිතන්න.. ඉස්සෙල්ලා සඳැස් රීති ටික හරියට ඉගෙන ගන්න.. ඔක්කොම ඉගෙන ගන්නකොට ඔය වගේ ප්‍රශ්න ඔලුවට එන එකක් නෑ..

ප.ලි.
යවහන් දෝෂය :
එළිසමය තැබිය යුතු විරිතකින් ලියැවුණු කවියක පද අවසන් වන්නේ "ය", "ව", "හ", "න්" යන අකුරු වලින් එකකින් නම්.. එළිසමය රැකීම සඳහා ඊට පෙර අකුරත් යොදා ගත යුතු බව කියැවෙයි.. නැතහොත් එම කවිය යවහන් දොසට හසු වේ.. 

වනේ ගිජිඳාය දුටුවොත් වන සාය
වලේ පණිඳාය වැටුණොත් ඌ කාය
අතකින් කරවැලකි අතකින් දඬු බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය


මේ තියෙන්නෙ අපේ ප්‍රසිද්ධ ජන කවියක්. හැබැයි මේ කවෙහි ඔය කියන යවහන් දොස තියෙනවා.. ඇයි..  අවසන් අකුරට පෙර යෙදෙන අකුර එළි සම කිරීම උදෙසා යොදාගෙන නෑ.. 

යුධයට අරන් ගිය කඩු මුවහත ඇ_______තුව
ගෙදර තියන් ඉන්නද? අද යුධ නැ_______තුව
හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යු___තුව
පොලොස් ගැට කපමු අපි හෙට එකමු_____තුව


මේ තියෙන්නේ නූතන ජන කවි ලෙසින් බ්ලොග් දෙකක (කතන්දර හා බූන්දි)  පළ වී තිබුණු කවියක්.. මෙහි පද අවසන් කර තිබෙන්නේ "ව" අක්ෂරයෙන් වුවත් ඊට කලින් අක්ෂරයත් එළි සම කිරීමට යොදාගෙන ඇති බැවින් යවහන් දොසින් තොරයි..





17 comments:

  1. අදයි මේ පැත්තට ආවේ... කවි ගැන මමත් උනන්දුයි, නිදහසේ ඔබේ ලිපි පිළිවෙලට කියවන්න ඕනෙ.. මම කවි ලියන්න ඉගෙන ගෙන නෑ, නමුත් සදැස් ලියන්න උත්සාහ කරනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම සංතෝෂයි හඳුනගන්න ලැබීම ගැන..

      ඔබ මුහුණු පොතේ ඉන්නවා නම් එහි "සඳැස" ගෲපය හා එක් වෙන්න.. එතැන ඉගෙන ගන්නට අවශ්‍ය දෑ ඩොක්ස් ලෙස සකසා තියෙනවා.. ඒ වගේම එක් එක් මට්ටම් වල ඉන්න සඳැස් කවියන් විශාල ප්‍රමාණයක් ඉන්නවා.. ඒ අයත් එක්ක එකතු වුණොත් සාධනීය මට්ටමකට එන්න වැඩි දොහක් යන එකක් නෑ.. මොකද එතන ඉන්න කවි, කිවිඳියොත් පුළුවං විදිහට උදවු කරනවා..

      හොඳ සිංහල දැනුමක් සහ රිද්මය, එළිසමය වගේ කරුණු ගැන අවබෝධයක් තියෙනවා නම් වැඩේ පටං ගන්න පුළුවං.. අපි කවුරුවත් ඉපදුණු ගමන් ඇවිද්දේ නෑ නොවැ..

      Delete
  2. ඔබට හැකිනම් මගේ බ්ලොග් එකට ගොඩවී කවි ලේබලය යටතේ මා ඉදිරිපත් කොට ඇති කවි වල දෝශ පෙන්වා දෙන්න. . ස්තුති දිරි ගැන්වීමට..

    ReplyDelete
    Replies
    1. නොවැරදීම.. මට හැකි පමණින්..

      Delete
  3. කලිනුත් චතුර ලියපු ලිපිපෙලක් තියෙනව නේද . නීති ටික දැනන් ඉන්න ඕන තමයි ඒවා කඩන්න කලින්. මමත් පොඩි කාලේ ඉඳන් ලිව්වට ක්‍රමයක් ඉගෙන ගෙන නැහැ . ඒත් සැළලිහිණිය , ගුත්තිලය ටිකක් වැඩිපුර කියවල තියෙනවා . සඳස රිද්මයක් මිහිරක් ඇත්නම් අනෙක් නීති ගැන මන් හිතල නැහැ . හැබැයි ඊයේ මුණු පොතෙන් සඳස කට්ටිය දුටුවම හිතුන ටිකක් ඒ ගැන හිතන්න . ඒ කියන්නේ ආයෙම ඔයාගේ පරණ ලිපි ටික බලන්න වෙනවා . අපේ භාෂාවේ ලස්සන අංගයක් ඔය . වෙනස් කරන්න පෙර හරියට හැදෑරීම වටිනවා . වෙනසක් කිරීම ගැන නම් මගේ ලොකු විරුද්ධත්වයක් නැහැ .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම "කවි හදන හැටි -(ගුරු මුෂ්ටි)" කියලා අපේ සේන අම්බලන්ගොඩ කවිපති තුමා ලියපු පුස්තකයක් ඇසුරින් තමයි මම පහු ගිය ලිපි සියල්ලම වගේ ලිවුවේ.. අද ලිපියයි, පොත ගැන හඳුන්වපු ලිපියයි තුළින් තමයි මගේ අදහස් ම ඉදිරිපත් කරලා තියෙන්නේ..

      ඒ ලියපු මුල් ලිපිය හින්දාම තමයි මාත් මූණු පොතේ සඳැස කවි පිටුවත් එක්ක සම්බන්ධ වෙන්නේ.. අද වෙනකොට "සඳැස" සඳැස් කවිය වෙනුවෙන් කරපු මෙහෙවර අති විශාලයි.. ඒ වගේම දැන් "සඳැස" ත් එක්ක ලංකාවේ පිළිගත්තු ප්‍රවීණ කවියන් වන සේන අම්බලංගොඩ, සුනිල්.ජී.කුකුළේගම වගේ කීප දෙනෙක් ඉන්නවා.. ඒ වගේම අන්තර්ජාලයේ සැරිසරන්නට හැකියාවක් නැතත් කවිකම් වල හැකියාව උපරිමයෙන් ඇති කවීන් විශාල පිරිසක් අපට පසුබිමෙන් සහාය දෙනවා..

      ඒ හැම එකකටම වඩා අලුතින් කවි ලියන, අඩුපාඩු ඇතිව කවි ලියන අයට අත දෙන්න "සඳැස" සැදී පැහැදී ඉන්නවා..

      බින්දි කියන්නේ හොඳ හැකියාවක් තියෙන කෙනෙක්.. කවියේ රීති සහ විශේෂ ලක්ෂණ ගැන අවධානය යොමු කළොත් තව තවත් ඉහල මට්ටමේ නිර්මාණ බිහි වෙයි.. ආයේ හෝදන්න දෙයක් නෑ.. ඕං..

      Delete
  4. බොහොම වැදගත් දෙයක් මේක ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. මල්ලී..මේක බොහෝ ආධුනිකයින් මතු කරන ගැටලුවක් නිසායි මෙහෙම ලිවුවේ.. හුඟක් අය කවි කියලා හිතාගෙන ලියන්නේ කවි නෙවෙයි.. ඒ වගේ වෙනත් දෙයක්.. මොකද කවිය කියන්නේ මොකක් ද කියලා හඳුන්වලා තියෙනවා නම්.. කවි ලියද්දී ඒ විදිහට ලියන්න එපාය..! ක්‍රමේ ඉගෙන ගන්ට තියෙන කම්මැලි කමට නැත්නම් අකැමැත්තට ක්‍රමේ වෙනස් කරන්ට යන එක විය යුතු දේ නෙවෙයිනේ.. ඒකයි මම කිවුවේ..

      Delete
  5. සිරාවට... සඳැස් කවිවල ඔය යවහන් වලට යට වෙලා ඉන්න ඉන්නෙ නැතුව කවි වල අලුත් මානයන් සොයාගෙන යන්න ඕනෙ කිය කිය සමහරු වැඩ්ඩො වෙන්න යනවා... වැඩිපුරම මේක දඉන්න පුලුවන FB එකේ.. එයාල තමන් හැම දේම දන්නව වගේ තමයි අනිත් අයටත් උපදෙස් දෙන්නෙ... ඒහෙම කිය කිය උන් කවි කනවා...

    ReplyDelete
    Replies
    1. අදහසට බොහොම ස්තුතියි... මේක ස්පෑම් වෙලා තිබුණා.. ඔයා කියලා තියෙන්නෙ සම්පූර්ණ ඇත්ත..

      Delete
  6. යවහන් දෝෂය ඉගෙන ගන්න හිතාගෙන පෝස්ට් එක බැලුවත් බලාපොරොත්තු සුන් වුනා.
    අසම්මත දේ කිරීමේ මානසිකත්වයටනම් මාත් කැමති නැහැ. කළාතුරකින් අපට හමුවෙනව තමයි වැරදි සම්මතයන්. ඒත් එහෙම කියලා සියළු සම්මතයන් බිඳින එක තනිකරම මානසික රෝගයක්.
    අනේ තව පෝස්ට් එකක් දාන්නකො අපට කාව්යිකරණය ගැන සැකෙවින්වත් ඉගෙනගන්න පුළුවන් විදිහට.

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු සුන් කළා නම් සමා වෙන්න.. යවහන් දෝෂය කියන්නේ මොකක්ද කියලා පෝස්ට් එකේ අන්තිමට දාන්නම්..

      ඔබ හැබෑවටම කාව්‍ය කරණය ගැන උනන්දුයි නම්.. මෙතැන "කවි හදන හැටි" ලේබල් එකෙන් තියෙන පෝස්ටු ටික බොහොම ප්‍රයෝජන වේවි ඔබට ඉදිරියට යන්න.. ඒ වගේම සිංහල වචන හා යෙදුම් ගැන අවධානය යොමු කිරීමත් බොහොම වටිනවා..

      කණ්ඩායමක් එක්ක එකතු වෙලා ඉදිරියට යන්න කැමතියි නම් "සඳැස" කණ්ඩායමට එකතු වෙන එක බොහොම ප්‍රයෝජනවත් වේවි..

      Delete
  7. මේ කවියෙ යවහන් නසන්නට යොදා ඇති දෙවෙනි අකුර ය යන්න . ඒකත් ය ව හ න් වලින් එකක්. එතකොට මේ කවියේ යවහන් දෝෂය දුරු වී ඇතිද , නැතිද ..?

    බඳින බඳින වැර හැර පට කැඩීයන්
    තබන තබන පය ලිස්‌සා වැටී යන්
    කපන කොටන මන්නේ ලේ ගෑවීයන්
    මට රා නුදුන් තෝ ගහමුල වැටීයන්

    ReplyDelete
    Replies
    1. මා දන්නා තරමින් එය වරදක් නොවේ..යවහන් දොස දුරුවී ඇත..

      Delete
    2. ඔය වගේ අවස්තාවක් එන කවියක් හොයද්දි හම්බ වුණා ගුත්තිල කාව්‍යයේ මේ කවිය.

      වනතුරු පටින් දිලිහෙන මනකලාවන්
      සුදුනිලඹරින් සුසැදුණු මිහි කලාවන්
      මිණිමුතු පෙළින් බබළන මේකලාවන්
      දැක දැක ගොසින් ගං හෝ වැලි තලාවන්

      මේ කවියේ අන්තිම අකුර 'න්' ඊට කලින් අකුර 'ව' ඊටත් කලින් අකුරත් සමාන කරල තියෙනවා . 'ලා' අකුර.

      ඔය වගේ අවස්ථාවක් (අග අකුරු යවහන් වලින් ඉවර වෙන ඊට කලින් අකුරු යවහන් වන එහෙත් ඊට කලින් අකුරු සමාන නොවන) එන උදාහරණ දන්නවද ?

      Delete
    3. චානක තර්කය නිවැරදි විය හැකිය. මා කීවේ මා අසා දැන තිබූ දෙයයි.. මා අත එවැන්නකට උදාහරණ නැත.. එහෙත් ඔබගේ තර්කයට උදවු වන මේ කවිය මට හමු වුණි..

      සිතා ගෙදොරැ නැති විලසක් අඹු දරුවන්
      නටා ගසා ගොස් එන සැටි රැගෙනැ රුවන්
      අහා වැරදුණා කට මගෙ ඇස'ඳුරුවන්
      පියා නොවේ ඒ මෙහි එන්නැ පොඩි රුවන්

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..