Wednesday, February 20, 2013

සිතින් දුරලමු කෙළෙස් මහමෙර!

හමුවීම් වෙන්වීම් --------------අතරේ
ජීවිතය ගමනක්ය -------------සසරේ
නෑ ඉඩක් ඒ අතර --------------පතරේ
වෙන් නොවන බැඳුමකට ------මිතුරේ

ඔබ මගේ යැයි මා ඔබේ ---------යැයි
බැඳෙමු සිතමින් අප අපේ -------යැයි
ලෝකයම මිරිඟුවක් වේ ---------යැයි
නොසිතුවෙමු අප, අප නොවේ ---යැයි

පැතුම් මල් මත මියෙන්නට -----පෙර
නෙතින් ගිණිදැල් නැඟෙන්නට -පෙර
ගතින් සවි බල මිදෙන්නට ------පෙර
සිතින් දුරලමු කෙළෙස් මහ-----මෙර

ප.ලි
ශාන්ත කුමාර විතාන හෙවත් ශකුවි කියන්නේ රටේ බොහෝ දෙනෙක් දන්න නිදහස් කවියෙක්.. එතුමාගේ නිර්මාණ වල තියෙන වැදගත්ම ලකුණ තමයි.. නිර්ව්‍යාජ බව හා හැඟීම් බර බව..  මං එතුමගෙ කවියක් දුටුවොත් කියවන්ට දෙපාරක් හිතන්නෙ නෑ...

හමුවීම් වෙන්වීම් අතරේ
ජීවිතය ගමනක්ය සසරේ
ඔබෙන් හිමිවන සතුට හෝ දුක
මිහිරිමයි මට මිහිරිමයි...

මේ එතුමා ගැන සිහිවෙද්දි මගේ මතකයට එන පළමු හා එකම කවිය.. මේක මට මතක විදිහට කාලෙකට ඉස්සර ලංකාදීපයේ තමයි තිබුණේ..
එදායින් පස්සෙ තමයි මම එතුමාගෙ කවියක් මුණගැහුනොත් දෙපාරක් හිතන්නෙ නැතිව කියවන්නෙ.. මේ පදවැල මගේ හිතට කොයිතරම් සමීප වුණාද කිවුවොත්.. මට මතක තියෙන (ගීතයක් නොවන) එකම නිසඳැසත් මේකයි.. මං ඒ ගැන මීට කලිං තැන් දෙක තුනක කිවුවා මතකයි..

අද අපේ ඔපීසියෙ විදුලි බලයට ඇණයක් හිටලා.. දවසම වැඩක් කරගන්ට බැරුව තමයි හිටියේ.. හවස 4 විතර වෙනකම් පොතක් කියව කියවා හිටියත්.. ඒ පොතත් කියවලා ඉවර වුණු නිසා කොරන්න දෙයක් නැති කමට කවියක්වත් ලියන්ට ඕන කියලා පෑනකුයි පොතකුයි අතට ගත්තා.. මතක් වුණේ මේ කවිය.. මට හිතුණා.. මේ කවියේ මුල් පද දෙක මූලික කරගෙන කවි පංතියක් ලියන්ට.. ඔය උඩිං තියෙන්නේ ඒ කවිපෙළ. බලන්ටකෝ වෙච්ච වැඩේ.. ලියලා ඉවර වෙද්දි... මුල් කවියේ තිබුණු අදහසට හාත්පසින්ම වෙනස් අදහසක් තමයි මගේ නිර්මාණයේ තියෙන්නේ.. මේක නිර්මාණ මංකොල්ලයක් විදිහට කවුරු හරි දකියි ද දන්නෙ නෑ.. අනේ මන්දා..?

Monday, February 18, 2013

මගේ ගල් හිත

ඕකගෙ හිත ගලක් වගේ.. සාළුවත් කරේ දමාගෙන ළිඳට නාන්ට යන මාව දැකපු කුමාරි අක්කා සුජාතා අක්කාට කියනවා මට හොඳට ඇහුණා.. 
ඇහෙයි බං.. සුජාතා අක්කාගේ කෙඳිරිල්ල පවා මට හොඳට ඇහුණෙ හාත්පස තිබුණු නිහඬතාවය නිසා වගේම ඒ කෙඳිරිල්ලෙ තිබුණු ජවය හින්දා.. 
ඉතිං ඇහුණ දෙං.. කුමාරි අක්කා කියා ඇත්තේ මට ම බව දැන් හොඳටම පැහැදිලියි..

මං පහුගිය කාලේ පුරාම සුරනි ට ආදරය කළා.. ඒ ආදරය අවුරුදු 10කටත් වඩා වයසයි.. සුරනිත් මට හදවතින්ම ආදරය කළා.. අපේ පවුල් වලින් පවා මේ ගැන දැනගෙන හිටියා.. මේ ඔක්කොම ඇත්ත..
ඒත්..
මං ආදරයේ බැඳුණේ.. ආදරය ගැන තේරෙන කාලෙක නෙවෙයි.. මං හිතුවේ කොල්ලෙක් උනහම කෙල්ලෙක් එක්ක යාළු වෙන්න ඕනෑ කියලා විතරයි.. මගේ යාළුවෝ හුඟකට කෙල්ලෝ හිටපු නිසා මට එහෙම හිතෙන්ට ඇති.. ඒ කෙල්ල ලස්සන වෙන තරමට, අහිංසක වෙන තරමට මට හරි ආඩම්බරයි කියලා මං හිතුවා..

ඉස්කෝලෙන් පස්සෙ කැම්පස් ගියත් මම මගේ සුරනිව අමතක කළේ නෑ..එයත් කවදාවත් මාව අමතක කළේ නෑ.. ඊට පස්සෙ රස්සාවට ගියත් ඉතිං මට සුරනිගෙන් තොර ආදරයක් නං තිබුණේ නෑ..
==============================================
අපේ ගෙවල් වලිනුත් අනුමැතිය ගත්ත හින්දා පළමු වතාවට කැළණියේ පන්සල වඳින්නට යන්නට ඕනෑ කියලා මට හිතුණා.. කවදත් ආගම දහමට ලැදි සුරනි ඊට එක හෙලා කැමති වුණ හින්දා,  පොහොයක් නොවන ඉරිදා දිනෙක අපි පන්සලට ගියේ හරි සැහැල්ලුවෙන්.. තෙරුවන් වැඳලා පන්සිල් සමාදන් වෙලා අපි එහෙට මෙහෙට ඇවිද්දේ කැළණි පුදබිම ටිකක් බලා කියා ගන්ට. වැලි මළුවේ එක පැත්තක දසසිල් මාතාවක් තවත් උපාසිකාවන් කීප දෙනෙක් එක්ක බර කතාවක්.. ධර්මය ගැන කෙරුණු ඒ කතා බහට අපිත් කැමති වුණු හින්දා ටිකක් වෙලා එතන ඉමු කියලා අපිත් වැල්ලේම ඉඳගත්තා....


අපේ හැම තීරණයක්ම ඇලීම් වලින් හා ගැටීම් වලින් තොර වෙනවා නම්.. ජීවිතය හරිම පහසුයි. අපේ ජීවිතය මේ තරම් අසීරු වෙලා තියෙන්නෙ.. අපි එක්කො දකින දකින දේට ඇලෙනවා.. නැත්නම් ඒත් එක්ක ගැටෙනවා.. 
මීට කලිං මේ කතාව කොහෙදිවත් මේ තරං පැහැදිලිව මං අහලා තිබුණේ නෑ.. සිල් මාතාව ඊට පස්සෙ කිවුවෙ මොනවද කියලා මට මතක නෑ.. ඒත් මගේ හිත නං අනෙක් වැඩ අමතක කරලා හිතන්න ගත්තා..

ඇලීම් හා ගැටීම් අපේ ජීවිත දුෂ්කර කරන බව මට තේරුණා.. මං ඊට පස්සෙ වෙනස් උනා.. වැඩිපුර පොත් පත් කියෙවුවා.. සුරනිත් මගෙත් එක්ක මේ දේවල් වලට ළඟින්ම හිටියා..

සුරනි.. මේ ආදරය කියන්නෙත් ඇලීමක්ම නේද? මං ඔයාගෙ ඇස් දෙකට, හිනාවට, ලස්සනට ඇලිලා.. ඒත් මේ ඇලීම අවසානයේ දී ගේන්නෙ දුකක්ම නේද?
ඔයා මොනවද මේ කියන්නෙ..? සුරනි වැඩිපුරම කලබල වෙලා ඉන්නවා මම දැක්කෙ එදායි.. ඒත් එයත් ටිකෙන් ටික සත්‍යය තේරුම් ගත්තා..


අපි මහණ වෙමු ද? සුරනිම දවසක් මගෙන් ඇහුවා..
අවස්ථාව එනකං ඉමු.. මේක වෙලාව නෙවෙයි.. මං එහෙම කිවුවේ.. අපි දෙන්නම මහණ උනා නම් ඒක ලොකු ප්‍රශ්නයක්.. ගැටුමක් ඇති කරන්න ඉඩ තිබුණ හන්දා.. මං මහණ වෙන්න හොඳ තැනක් හෙවුවා.. මට ඕන වුණේ මහණ වෙලා බවුන් වඩන්න.. ගමේ පන්සලේ මහණ වෙලා ඒක කරන්න බෑ නෙව..
අපේ සම්බන්දෙ නැවතිලා කියලා ටික ටික හැමෝම දැනගත්තා.. මම ඒක නැවැත්තුවා කියලයි හැමෝම හිතුවේ.. මොකද සුරනි ගෙදරම හිටපු කෙනා.. මම රස්සාවට යනවනේ.. ඉතිං මගේ මොකක් හරි වෙන පටලැවිල්ලක් කියලා කට්ටිය හිතන්න ඇති..


හැන්දෑවක සුරනි මාව මුණගැහුනා.. මට දණගහලා වැන්දා.. ඇස් දෙකේ කඳුළු පිරිලා තිබුණත් ඇඬුවේ නෑ.. සමීර අයියේ.. මම අපේ ගෙදර එකම දරුවා.. දන්නවනේ අම්මලාගෙ බලාපොරොත්තු.. මට ඒවා ඔක්කොම බිඳින්න වෙනවා.. ඒ වෙන කවුරුවත් වෙනුවෙන් නෙවෙයි.. මං වෙනුවෙන්..! එහෙම කියපු සුරනි ඉක්මණින් එතැනින් ගියා..

සුරනි විතරක් නෙවෙයි මාත් දැං අපේ පවුලෙ එකම දරුවා.. අයියා හමුදාවට ගිහිං නැති වුණාට පස්සෙ.. මං තමයි අපේ ගෙදර එකම දරුවා... එයාලත් මං ගැන තියපු බලාපොරොත්තු නම් අහසටත් උඩිං.. දිගු සුසුමක් පිට කරනවා ඇරෙන්ට මට කරන්ට දෙයක් තිබුණෙ නෑ..

පහුවදා ආරංචි වුණා සුරනි ගෙදරින් ගිහිං කියලා.. මං දන්නවා සුරනි ජීවිතයට කරදරයක් කරගන්නේ නෑ කියලා.. තෙරුවන්ගේ සත්‍ය බලයෙන් සුරනිව ආරක්ෂා කරන්ට කියලා මං පැතුවා..

පුදුමයක් නෑ.. සුරනි ගිහිං තියෙන්නෙ ආරාමෙකට.. මට ඒක ආරංචි වුණ මොහොතේ මං හිතුවා.. එයා මහණ වෙනකං මම එහෙ නොයා ඉන්නවා කියලා.. නැත්නම් එයාට මාව බාධාවක් වෙන්න පුළුවන්..

==============================================
මගෙ හිත ඇත්තටම ගල් හිතක් ද? සිද්ධ වෙන දේත් එක්ක ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතිව.. අවබෝධයෙන් දැකීම හිත ගල් කර ගැනීමක්ද? වෙන මිනිස්සු අඬන හැපෙන දේට.. ඇඬීමේ තේරුමක් නෑ කියලා වටහාගෙන නාඬා ඉන්න එක අමනුස්ස කමක් ද? පුදුමයි..!
මගේ ගල් හිතෙන් ප්‍රයෝජනයක් ගන්න දැං නම් වෙලාව ඇවිත් වගේ..
ආයෙමත් සුසුමක් හෙළමින් මං අන්තිම වතුර එක ඔළුවට දාගත්තා..

Tuesday, February 5, 2013

ගමේ අලුත් කඩේ..!

සොපි අක්කා ගමේ කා එක්කත් හිතවත් ගමේ ගැහැණියකි.. ගම් තුලානේ පාං කඩ, සිල්ලර කඩ, තොග කඩ වගේ කඩ තිබුණත්.. හවහට ආප්පයක් කාලා තේ ඩිංගක් බොන්ට හරි හමං කඩයක් නැති බව ගමේ කාටත් වගේම සොපි අක්කාටත් දැනුණි.. සොපි අක්කා දන්න අඳුරන කීප දෙනෙක්වත් එක්කාසු කොරාන.. වැඩේට බැස්සේ ලාභය ගැන හිතලා නොවේ.. ගමේ කොලු කුරුට්ටන්ට සිදාදියට යන්නෙ නැතුව හවහට එක්කහු වෙන්ට තැනක් තිබුණොත් වෙන්ට යන නස්පැත්ති බොහොමයක් වළක්කගන්ට ඇහැක් වෙයි කියලා හිතාගෙනය..

හැලප, ආප්ප, වඩේ, මුංගුලි, අලුවා වගේ රස කැවිලි පිරුණු සොපි අක්කගෙ කඩේ වටේ සෙනඟ පිරෙන්ට වැඩි කළක් ගියේ නැත.. එතරම් ලාභයක් නැතත්.. අල්ලාප සල්ලාපයෙන් විනෝදයෙන් ගලාගෙන යන මේ කඩ පොඩ්ඩට පියසේන මහත්තයාත් ඉඳහිට ගොඩ වී තේකක් බීලා ගියේය.. රතු අක්කාගේ පුතු සෝමේ සොපි අක්කාගේ ආප්ප තළු මර මර කයි.. මේක දැන් ගමේ සමාජයක් වගේය..

මේ විදිහෙ තේ කඩයක් දාන එකනම් නියම වැඩක් කියලා හිතපු රතු අක්කා තමාත් තේ කඩයක් දාන්ට යන බව සෝමෙට කීවේ.. ඔහුගෙන් උපකාරයක් බලාපොරොත්තුවෙනි.. ඔහු කීවේ දැන්ම අම්මා කඩයක් දාන එක සුදුසු නැති බවයි.. එහෙත් සෝමේ.. හෙමීට කඩේ ඉන්න එකා දෙන්නා එක්ක සොපි අක්කගෙ අඩුපාඩු කතා කළේ පොටක් පාදා ගන්ට හිතාගෙනය..

මේ ගෑනි තේ හදන ගමන් රෙද්දෙ අත පිහිනවා.. කිසි පිරිසිදු කමක් නෑ..
බලපල්ලකො අලුත ගෙනා බොයිලේරුව.. අපේ සල්ලි තමයි මේ..

ඉස්සර නම් මල්ලියේ කියලා එනකොට අඬගහලා ගන්නෙ.. දැන්.. සත පහකට මායිං කරන්නෙ නෑ...

ඔය විදිහට අවලාද එකින් එක එකතු වෙද්දී.. සොපි අක්කාගෙත් හිත ටික ටික පෑරුණි.. ඇයි බං උඹලට දැං මගෙ වැරදිමද පේන්නෙ..? මෙතන හරි නැත්තං ටවුමට ගිහිං තේ බීපං මොකෝ අපි බලෙං උඹලට එන්න කිවුවය..? සොපි අක්කා කට වරද්ද ගත්තාය..

අම්මෙ.. දැං තමයි වෙලාව.. කඩේ දාමු.. සෝමෙ යෝජනා කළේ තමාගේ කූඨ බුද්ධිය ගැන ආඩම්බරයෙනි..

රතු අක්කගෙ කඩේ සොපි අක්කගෙ කඩේ ට වඩා ඒ හැටි වෙනසක් තිබුණේ නැත.. වෙනසකට තිබුණේ.. ප්‍රයිඩ් රයිස්, කොත්තු වගේ දේවල් ද එකතු වී තිබීමය..

ගමේ පිළිගත් අය වූ.. පියසේන මහත්තයාත් සුනිල් මහත්තයාත් තව කීප දෙනෙකුත් රතු අක්කගෙ ප්‍රයිඩ් රයිස් කඩේට ගියේ නැත.. ඒත් සොපි අක්කගෙ කඩේට ආපු කොටසකුත්.. තවත් ප්‍රයිඩ් රයිස් කන්ට ආසා කොටසකුත් නිසා රතු අක්කාගේ කඩේ ද සරු විය.. සමහරු මේ කඩ දෙකටම එක වගේ ගොස් දෙගොල්ලන්ගෙම හොඳ හිත තියා ගත්තෝය..

හිටපු ගමං සුනිල් මහත්තයා ද තමන්ගේ කට්ටියක් ද එක්කහු කරගෙන තේ කඩයක් දැම්මේය.. මෙය නං බැලූ බැල්මට සොපි අක්කාගේ කඩේ වගේමය.. වෙනසකට තිබුණේ වැඩ කරන්ට හිටපු කට්ටිය සොපි අක්කගේ කට්ටියට වඩා ටිකක් උනන්දු ගතියක් පෙන්වීම පමණි.. පියසේන මහත්තයා කිවුවේ.. මේක සම්පූර්ණයෙන් වැරදි වැඩක් කියලාය.. අපි නම් කරන්නෙ මේ කඩේ තවත් හොඳට කරන්න උදවු කරන එක මිසක්ක.. තවත් ඒ ජාතියම කඩයක් දාන එක නෙවේය කියලා ඔහු කීවේය.. ඒත් සුනිල් මහත්තයා කිවුවේ.. මං පිටගං කාරයා.. ගමේ දිත් මං කළේ තේ කඩයක්.. ඉතිං මට හිතුණා තේ කඩයක් කරන්න කියලාය..

ඔන්න ඔය විදිහට දැං තේ කඩ දෙකයි.. ප්‍රයිඩ් රයිස් කඩයයි නැගලා යයි..ඔය අතරේ.. සොපි අක්කගෙ කඩේටයි.. සුනිල් මහත්තයගෙ කඩේටයි හොරු පනියි.. හොරු අල්ලන්න රතු අක්කා ද උදවු කිරීම නිසා මෙයාලා අතර තිබුණු හිත් නොහොඳකම ටිකක් අඩු වෙයි..

මේ අතරෙ තමයි පියසේන මහත්තයා පොඩි උස්සවයක් සංවිධානය කොරන්නෙ.. එයා ඒක සංවිධානය කොරන්නෙ සොපි අක්කලත් එක්ක.. වැඩේ ලස්සනට යන අතර සොපි අක්කත්.. පියසේන මහත්තයත් අතර උත්සවය සංවිධානය කිරීමේ දී සුළු සුළු ගැටළු ඇති වෙයි..

මං මොකට ද එක එකාගෙ කඩ ගානෙ රිංගන්නේ.. මාත් දාගන්නවා හොඳ තේ කඩයක්.. එහෙම හිතපු පියසේන මහත්තයා සොපි අක්කගේ කඩය වගේම තවත් කඩයක් දායි.. මේ කඩේට එන්නෙත් අර කඩ තුනට යන එන අයම තමයි.. ඒත් මේක දැං ගමේ අලුත් කඩේ ය.

තව තවත් තේ කඩ බිහිවනු ඇත.. ඒ නිසා ගමේ ගැටවු දැං සිදාදි යන්නේ නැත.. ගංජා ගහන්නේ කුඩු ගහන්නේ නැත.. ඒ ලබා දුන් ආරම්භයටවත්.. සොපි අක්කාට අපේ ප්‍රණාමය හිමි විය යුතු නොවේද?