සොපි අක්කා ගමේ කා එක්කත් හිතවත් ගමේ ගැහැණියකි.. ගම් තුලානේ පාං කඩ, සිල්ලර කඩ, තොග කඩ වගේ කඩ තිබුණත්.. හවහට ආප්පයක් කාලා තේ ඩිංගක් බොන්ට හරි හමං කඩයක් නැති බව ගමේ කාටත් වගේම සොපි අක්කාටත් දැනුණි.. සොපි අක්කා දන්න අඳුරන කීප දෙනෙක්වත් එක්කාසු කොරාන.. වැඩේට බැස්සේ ලාභය ගැන හිතලා නොවේ.. ගමේ කොලු කුරුට්ටන්ට සිදාදියට යන්නෙ නැතුව හවහට එක්කහු වෙන්ට තැනක් තිබුණොත් වෙන්ට යන නස්පැත්ති බොහොමයක් වළක්කගන්ට ඇහැක් වෙයි කියලා හිතාගෙනය..
හැලප, ආප්ප, වඩේ, මුංගුලි, අලුවා වගේ රස කැවිලි පිරුණු සොපි අක්කගෙ කඩේ වටේ සෙනඟ පිරෙන්ට වැඩි කළක් ගියේ නැත.. එතරම් ලාභයක් නැතත්.. අල්ලාප සල්ලාපයෙන් විනෝදයෙන් ගලාගෙන යන මේ කඩ පොඩ්ඩට පියසේන මහත්තයාත් ඉඳහිට ගොඩ වී තේකක් බීලා ගියේය.. රතු අක්කාගේ පුතු සෝමේ සොපි අක්කාගේ ආප්ප තළු මර මර කයි.. මේක දැන් ගමේ සමාජයක් වගේය..
මේ විදිහෙ තේ කඩයක් දාන එකනම් නියම වැඩක් කියලා හිතපු රතු අක්කා තමාත් තේ කඩයක් දාන්ට යන බව සෝමෙට කීවේ.. ඔහුගෙන් උපකාරයක් බලාපොරොත්තුවෙනි.. ඔහු කීවේ දැන්ම අම්මා කඩයක් දාන එක සුදුසු නැති බවයි.. එහෙත් සෝමේ.. හෙමීට කඩේ ඉන්න එකා දෙන්නා එක්ක සොපි අක්කගෙ අඩුපාඩු කතා කළේ පොටක් පාදා ගන්ට හිතාගෙනය..
මේ ගෑනි තේ හදන ගමන් රෙද්දෙ අත පිහිනවා.. කිසි පිරිසිදු කමක් නෑ..
බලපල්ලකො අලුත ගෙනා බොයිලේරුව.. අපේ සල්ලි තමයි මේ..
ඉස්සර නම් මල්ලියේ කියලා එනකොට අඬගහලා ගන්නෙ.. දැන්.. සත පහකට මායිං කරන්නෙ නෑ...
ඔය විදිහට අවලාද එකින් එක එකතු වෙද්දී.. සොපි අක්කාගෙත් හිත ටික ටික පෑරුණි.. ඇයි බං උඹලට දැං මගෙ වැරදිමද පේන්නෙ..? මෙතන හරි නැත්තං ටවුමට ගිහිං තේ බීපං මොකෝ අපි බලෙං උඹලට එන්න කිවුවය..? සොපි අක්කා කට වරද්ද ගත්තාය..
අම්මෙ.. දැං තමයි වෙලාව.. කඩේ දාමු.. සෝමෙ යෝජනා කළේ තමාගේ කූඨ බුද්ධිය ගැන ආඩම්බරයෙනි..
රතු අක්කගෙ කඩේ සොපි අක්කගෙ කඩේ ට වඩා ඒ හැටි වෙනසක් තිබුණේ නැත.. වෙනසකට තිබුණේ.. ප්‍රයිඩ් රයිස්, කොත්තු වගේ දේවල් ද එකතු වී තිබීමය..
ගමේ පිළිගත් අය වූ.. පියසේන මහත්තයාත් සුනිල් මහත්තයාත් තව කීප දෙනෙකුත් රතු අක්කගෙ ප්‍රයිඩ් රයිස් කඩේට ගියේ නැත.. ඒත් සොපි අක්කගෙ කඩේට ආපු කොටසකුත්.. තවත් ප්‍රයිඩ් රයිස් කන්ට ආසා කොටසකුත් නිසා රතු අක්කාගේ කඩේ ද සරු විය.. සමහරු මේ කඩ දෙකටම එක වගේ ගොස් දෙගොල්ලන්ගෙම හොඳ හිත තියා ගත්තෝය..
හිටපු ගමං සුනිල් මහත්තයා ද තමන්ගේ කට්ටියක් ද එක්කහු කරගෙන තේ කඩයක් දැම්මේය.. මෙය නං බැලූ බැල්මට සොපි අක්කාගේ කඩේ වගේමය.. වෙනසකට තිබුණේ වැඩ කරන්ට හිටපු කට්ටිය සොපි අක්කගේ කට්ටියට වඩා ටිකක් උනන්දු ගතියක් පෙන්වීම පමණි.. පියසේන මහත්තයා කිවුවේ.. මේක සම්පූර්ණයෙන් වැරදි වැඩක් කියලාය.. අපි නම් කරන්නෙ මේ කඩේ තවත් හොඳට කරන්න උදවු කරන එක මිසක්ක.. තවත් ඒ ජාතියම කඩයක් දාන එක නෙවේය කියලා ඔහු කීවේය.. ඒත් සුනිල් මහත්තයා කිවුවේ.. මං පිටගං කාරයා.. ගමේ දිත් මං කළේ තේ කඩයක්.. ඉතිං මට හිතුණා තේ කඩයක් කරන්න කියලාය..
ඔන්න ඔය විදිහට දැං තේ කඩ දෙකයි.. ප්‍රයිඩ් රයිස් කඩයයි නැගලා යයි..ඔය අතරේ.. සොපි අක්කගෙ කඩේටයි.. සුනිල් මහත්තයගෙ කඩේටයි හොරු පනියි.. හොරු අල්ලන්න රතු අක්කා ද උදවු කිරීම නිසා මෙයාලා අතර තිබුණු හිත් නොහොඳකම ටිකක් අඩු වෙයි..
මේ අතරෙ තමයි පියසේන මහත්තයා පොඩි උස්සවයක් සංවිධානය කොරන්නෙ.. එයා ඒක සංවිධානය කොරන්නෙ සොපි අක්කලත් එක්ක.. වැඩේ ලස්සනට යන අතර සොපි අක්කත්.. පියසේන මහත්තයත් අතර උත්සවය සංවිධානය කිරීමේ දී සුළු සුළු ගැටළු ඇති වෙයි..
මං මොකට ද එක එකාගෙ කඩ ගානෙ රිංගන්නේ.. මාත් දාගන්නවා හොඳ තේ කඩයක්.. එහෙම හිතපු පියසේන මහත්තයා සොපි අක්කගේ කඩය වගේම තවත් කඩයක් දායි.. මේ කඩේට එන්නෙත් අර කඩ තුනට යන එන අයම තමයි.. ඒත් මේක දැං ගමේ අලුත් කඩේ ය.
තව තවත් තේ කඩ බිහිවනු ඇත.. ඒ නිසා ගමේ ගැටවු දැං සිදාදි යන්නේ නැත.. ගංජා ගහන්නේ කුඩු ගහන්නේ නැත.. ඒ ලබා දුන් ආරම්භයටවත්.. සොපි අක්කාට අපේ ප්‍රණාමය හිමි විය යුතු නොවේද?
ඉතාම සිත් ඇදගන්නාසුලු කතාවක්. ආරම්භය ඉතාමත් සුන්දර අන්දමින් ලියා තිබුනත් මැද සහ අවසානය මද කලබලයකින් ලියා ඇති හැටියක් පෙනෙනවා. කෙසේ නමුත් හොඳ ලිපියක්.
ReplyDeleteබොහොම ස්තුතියි.. ඒක කලබලයකට වඩා නොසැලකිල්ල වෙන්ටැති මං හිතන්නේ.. ඔය කියන්නේ ලිපියෙ මැදදී බස් වහරෙ යම් යම් පැටලිලි ගතියක් දැනෙන එක නේද? ඉදිරියේදි හදාගන්න උත්සාහ කරන්නම්.. ස්තුතියි..
Deleteඅනිවා. එකෙක් හරි හැදෙනවනං කොයි තරං දෙයක්ද???
ReplyDeleteඒක නොවෙන්නම්..
Deleteමෙතන කඩ තරඟයක් ද? මල්ලි. ලස්සන කතාව. කොහොමත් ලංකාවෙ හැටි, කෙනෙක් දෙයක් කලාම තවකෙක් ඒ දේම කරන්න යනවා. එකම තැන එකම ජාතියේ කඩ බිහි වෙන්නෙ ඒක නිසාමනෙ. අර හදිස්සියේ ලියපු ටික හදාගත්තානම් තවත් ලස්සනයි.
ReplyDeleteමෙහෙම කළාම ව්‍යාපාරික දියුණුවක් කාටවත් තියෙයිද ?
ReplyDelete"එකෙක් නගිනකොට ඉහලට... ඇහේ කටු ඇනෙයි අනෙකට...."
ReplyDeleteමොනවා උනත් වෙළද ඒකාධිකාරය බිද වැටෙන එක පාරිභෝගිකයට හොදයි. :D