Wednesday, April 11, 2018

අලුත් අවුරුද්ද ..

  නෑදෑයෝ එකා දෙන්නා හරි මුණගැහෙන්ට ඉඩක් ලැබෙන.. පවුලේ අය එක්ක තුටු පහටු වන්නට ඉඩක් ලැබෙන කාලයකි.. ඉස්සරට වඩා දැන් අලුත් අවුරුද්දේ වෙනසක් ඇත.. එදා තරම් අවුරුද්ද අලුත් නැත.. හැම දේ ම අපි කරමු.. ඒත් එහි කිසිම ස්වභාවික ගතියක් නැත..
ජීවිතය එපා කරවන්නේ පූර්ව අලුත් අවුරුදු සමය (ම) යි. නෝනලා ඇඳුම් හොයන්නට සාප්පු පුරා දුවද්දී.. ක්‍රෙඩිට් කාඩ් වල බිල් ගෙවන්නේ කෙසේදැයි සාප්පුවේ පඩියක වාඩි වී කල්පනා කරන මහත්තුරු එමට ය. පුස්සිටියට ගොහිං එලියට එද්දී හිතෙන්නේ අවුරුද්දෙන් පස්සෙ පුස්සිටි වහනු ඇතැයි කියා ය. ලොරි බාගයක් නොගෙනාවේ අපරාදේ කියා ය.
රත්ඤ්ඤා මරහඬ නිසා අවුරුදු දින වල කසාද බැඳ අවුරුදු ගනං ඇස්පීරියන්ස් තියෙන අප වැනි පිරිමි කෙසේ වෙතත්..  අන් අය සිටිය යුත්තේ කන් වල ඇඟිලි ගහගෙන හෝ පොරොප්ප මූඩි ගහගෙන ය.

නොනගතයට පෙර බඩ පැලෙන්ට කා.. අවුරුදු ලබන තුරු.. කැවුම් කොකිස් කකා තේ බිබී කාලය ගත කිරීම අපේ විනෝදාංශයයි.. අලුත් අවුරුදු නැකතේ දී නැවත බඩ පැලෙන්ට කන අපි කන්ටම උපන් ජාතියකැයි විටක සිතෙයි...

ඒ කාලේ නම්.. ළිඳත් එක්ක ගනුදෙනු කළත්.. අද ගනුදෙනු කරන්නට එහෙම හිත හොඳ ලිං නැති නිසා.. පවුලේ අය සමභ ම ගනුදෙනු කිරීම අපේ ක්‍රමය වුවත්.. වැරදිලාවත් බැංකුවකට ගියහොත්.. එය සඳුදා නිවාඩු පිට අඟහරුවාදාටත් වඩා පිරී ඇති බව දැක ගත හැක.. ඒ අතින් බලන විට.. මිනිස්සු පට්ට සල්ලි කාරයෝ යැයි සිතෙන්නේ ඔවුන් පැමිණ සිටින්නේ මුදල් තැන්පත් කිරීමට මිස මුදල් ඉවත් කර ගැනීමට නොවන නිසාය.
ඉස්සර මිදුලේ අඹ ගහේ ඔන්චිල්ලාව බඳිතත්.. දැන් මිදුලේ යකඩෙන් තැනූ ඔන්චිල්ලාවක් තිබේ.. අඩුවකට ඇත්තේ ඒවා පදින්නට ළමයින් ය.
ක්‍රිෂ්ණා, ශිවා හෝ සූටිං මාටිං ඇත්නම්.. ළමයින්ට හැමදා අවුරුදු ය.
මල් වවද්දී අවුරුදු කාලෙට පිපෙන එරබදු, මැයි මාසෙට පිපෙන මැයි මල් වගේ සීසොනල් මල් ටිකක් වවන්නට මගේ ආසාවක් ඇත්තේ.. සීසොන් වෙනස් වෙද්දී ඒක අපට තේරෙන එක මරු නිසාය.. අපට එරබොදු මල් නැතත්.. කොහා ඉන්නවා ය කියා හිත හදාගන්නට හැකි වීම අප ලද භාග්‍යයක්ය. මැයි මල් නොතිබුණාට.. ගං වතුර එන නිසා.. අපට මැයි මල් වල අඩුවක් ද දැනෙන්නේ නැති ය..
ඔක්කෝමත් හරි ය.. අලුත් අවුරුදු උස්සවත් හරි ය.. මුලින් ම ආධාර ඉල්ලන්ට කොල්ලෝ කුරුට්ටෝ විඩෙං විඩේ .. එයි. ඉන්පසු උස්සවේ තියෙයි.. සැඟැවුණු අමුත්තා හොයයි.. ගස්ලබ්බේ ඇට ගාණ හොයයි.. ඔය වාගේ අටෝරාසියක් සෙල්ලම් ය.. ඒ අතර.. කඹ ඇදීම, කණා මුට්ටිය බිඳීම, ලිස්සන ගහේ  නැඟීම වැනි සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා තවමත් පැවැතීම සතුටු දායකය. අවුරුදු කුමාරි තේරීම එහි තිබෙන නරකම අංගයක්යැයි මට හිතේ..

ඔය ක්‍රීඩාවලට නොදෙවෙනි ක්‍රීඩාවක් අවුරුදු දා ක්‍රියාත්මක වෙයි.. ඒ කෑම පිඟන් ගම වටා යැවීමේ ක්‍රීඩාවයි.. බොහෝ විට එහි ජයග්‍රාහකයින් වන්නේ බල්ලන්, පූසන් හා ලේනුන් යැයි සිතෙන්නේ .. එම කෑම පිඟන් වල ඇති දෑ අවසන හිමි වන්නේ ඔවුනට බැවිනි..

අවුරුද්ද මැද්දේ එන අලුත් අවුරුද්ද.. දැහැමින් සෙමෙන් සමරන එක අපේ යුතුකමය. ආර්ථික අමාරුකම් ගැන කියා.. ආණ්ඩුවට බැනීමෙන් වත්.. තමන් ගේ පුරාජේරුව ෆේස්බුක් දැමීමෙන්වත් සිදුවන සෙතක් නැත.. සරලව සැහැල්ලුවෙන් ගත කිරීම තරම් විවේක කාලයකින් ලද හැකි ප්‍රයෝජනයක් මා නොදන්නා නිසා.. ඉදිරි දින වලදී ඒ සඳහා කැපවීම සුදුසු බව ඔබ හැමට ආදරයෙන් නිර්දේශ කරන්නේ චතුර විජේකෝන් වන මම ය.

3 comments:

  1. //රත්ඤ්ඤා මරහඬ නිසා අවුරුදු දින වල කසාද බැඳ අවුරුදු ගනං ඇස්පීරියන්ස් තියෙන අප වැනි පිරිමි කෙසේ වෙතත්.. අන් අය සිටිය යුත්තේ කන් වල ඇඟිලි ගහගෙන හෝ පොරොප්ප මූඩි ගහගෙන // +++++++++

    ReplyDelete
  2. ලස්සන ලියැවිල්ලක්.චුටි කාලේ මතක් උනා

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..