Friday, February 10, 2012

ලෝක විනාසය

2012 ලෝක විනාසය වෙයි ද?  
නෑ...
නැද්ද..?  
ඇයි ඔය තරං අහන්නේ..?


කාලෙකිං හම්බ වුණු සතුටින් ඉතිරෙමින්, වයසක මහත්තුරු දෙන්නෙක් කතා වෙන අයුරු සිරිමල් ට පෙනෙයි...


රට පුරා බොහෝ දෙනා ගේ කතා බහ දැන් මේ ලෝක විනාසය ගැන ය. සිරිමල් ට නං ඒකේ වගක් නැත... උදයේ නැගිට කෑම පිසීමට බිරිඳට උදවු වන ඔහු, දරුවන්ට පාසැල් යාමට අවශ්‍ය වන අඩුම කුඩුම ලෑස්ති කරයි.. ඊ ලඟට බිරිඳටත් සූදානම් වීමට උදවු කරන ඔහු අවසානයේ ඇඳ පැළැඳ රැකියාවට යයි. අවුරුදු 20ක් තිස්සේ කරපු රස්සාව කිසිදා සිරිමල්ට එපා වූයේ නැත. එපා වුණත් වෙනත් විකල්පයක් නැති බව සිරිමල් දනී. ලෝක විනාසේ ගැන කන්තෝරුවේ මහත්තුරු කතා කරනවා ඇසුනු හැටි සිරිමල් ට මතක් වෙයි..


උසස් පෙළ පංති ඇරී ගෙදර එන ලොකු දෝණී බසයෙන් බසී.. සිරිමල් ඒ වන විටත් දෝණිගේ අතින් අල්ලා ගෙනය.. මඟ තොට හමු වෙන එවුන්ට තමාව නොපෙනෙන එක ගැන සිරිමල් ට පුදුමය. තනියෙන් යනකොට අපූරුවට තමා සමඟ සිනාසෙන වුන්, දැන් දෝණි දෙස බලාගෙන යයි.. ඔවුන් බලන්නේ කෑදර කමකින් යැයි සිරිමල්ට සිතේ..


පුතේ.. මීට පස්සේ උඹව එක්ක යන්න හැමදාම මම එන්ටද? 
වෙනදාට එන්නේ ළමයින්ගේ අම්මා බව මතක් වූ සිරිමල් අසයි.
තාත්තගේ කැමැත්තක්.. ඇයි අද අම්මා නාවේ.. ? 
අම්මා ටිකක් සනීප මදි කියලා ඉක්මණට ගෙදර යනවා කිවුවා.. සිරිමල් කීවේ කල්පනාව වෙනස් නොකරමිනි.
හැමදාම මේ වෙලාවට එනවා නම් ඕ.ටී එක අහිමි වෙයි. ඒත් දුවගේ ආරස්සාව ගැන වැඩියෙන් හිතන්න එපැයි.. සිරිමල් හිත හදා ගත්තේය.
"මට හීනයක් වගේ.. ඔබේ ඔය ආදරේ.." දුවගේ පොත් අතරින් දුරකථනය නාද වෙයි.


හෙට පංති නෑ.. ඔවු ආයෙ ලබන සඳුදා.. මං එහෙනං තියන්නං.. තෙරුවන් සරණයි.
.
කතාව කෙටියෙන් නිම කරන දෝණි ගැන සිරිපාලට පැහැදීමක් ඇති වේ.. වෙන ළමයි කොයි තරං කාලයක් ෆෝන් එකේ එල්ලිලා ඉන්නවද?
===============================================


වයසක මහත්තුරු දෙන්නා සඳුදාත් හමු වෙලා තවමත් සතුටිනි..


ලෝක විනාසේ එනවාය කියලා හරියටම අනාවැකියක් කියලා තියෙනවාලු කවුද මහත්තයෙක්. 


අදත් ලෝක විනාසේ ගැන.. සිරිමල් තනිවම සිතයි..


ඇඳිරි වැටුණත් දෝණි තවම නැත.. සිරිමල් ගේ හිත ඇවිස්සෙයි.. දෝණි එදා කතා කළේ එයාගේ කොල්ලත් එක්ක වත්ද? අද ගියේ එයා එක්ක වත් ද? සිරිමල් ගේ හිතේ ප්‍රශ්න වැලකි..


මහා ශබ්දයක් නැඟෙයි.. විලාප හඬක් ද ඇසෙයි.. සිරිමල් කල්පනාවෙන් මිදෙන්නේ ඒ ශබ්දයෙනි..


මං හිතුවේ ලෝක විනාසය කියලා.. මහත්තුරු කතා වෙයි..


සිරිමල් ගේ ඇස ශබ්දය ආ තැන සොයා ගනියි.. බස් රියක වැදුණු ත්‍රී රෝද රියකි.. මිනිස්සු අස්සෙන් සිරිමල් ද අනතුර බැලීමට යයි.. !


මගෙ පුතේ..! සිරිමල් සිහින් හඬින් පවසා දෝණි ගේ අත අල්ලාගෙන යයි..


ඇයි තාත්ත බය වෙලා...වගේ.. ? දෝණි අසන්නේ සැකයෙනි..


ඇක්සිඩන්ට් එකේ සද්දෙට හිත ගැස්සුනා පුතේ..?


තාත්තා ඔයිට වඩා කොච්චර ඇක්සිඩන්ට් දැකලා තියෙනවද?  එදා පිළියන්දල බෝම්බෙ පුපුරපු දවසෙවත් තාත්තා ඔච්චර කලබල වෙලා ඉන්නවා මං දැක්කේ නෑ..


තාත්තාගේ වැඩිම කලබල වීම මතක් කළ දෝණි ඇසුවේ පැනයකි..


එදා උඹ උන්නෙ මගෙ ලඟමනේ පුතේ.. 


සිරිමල් සුසුමක් ලමින් ලය සැහැල්ලු කර ගනී....

අවසානයි..!

2 comments:

  1. ගැමියාගේ පත් ඉරුවFebruary 10, 2012 at 12:31:00 PM GMT+5:30

    සෑහෙන්න අමුතු කතාවක් ලස්සනයි.....

    පිළියන්දල බෝම්බේ ගැන කියෙව්වාම කතාව එහෙම්පිටින්ම අමතක වෙලා ඇඟේ මයිල් කෙලින් උනා...මගේ යාළුවෙක් අවසන් ගමන් ගියේ එදා.... මමයි යාළුවොයි පිළියන්දල පිට්ටනියේ සෙල්ලම් කරලා ඒ ඉස්සරහින් ගියා විතරයි......

    ReplyDelete
  2. චතුර විජේකෝන්..February 13, 2012 at 9:53:00 PM GMT+5:30

    එහෙම තමයි.. යන්න තියෙනවානම් කොහොමටත් යනවා.. ඒ අපරාධය මතක් වෙනකොට අපෙත් ලේ රත් වෙද්දී.. ලඟ හිටිය ඔයා ගැන කුමන කතා ද?

    බොහොම ස්තුතියි.. මලයා අදහසට..

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..