Tuesday, December 24, 2013

කවිය හා පැදිය

චිත්‍ර කලාව, මූර්ති කලාව, නාඩගම් කලාව, නූර්ථි කලාව ආදී වශයෙන් කලාවෙහි විවිධ වූ ප්‍රභේධයන් පවතී. සකලවිධ කලාවන් වූ කලී අපගේ සංස්කෘතිය ගොඩ නැඟූ මහා ශක්තීන්ගේ එකමුතුවකි. කාව්‍ය සාහිත්‍යය යනු ඉහත කලාවන්  අතුරින් වඩාත් ජනතාවට සමීප වූ කලාවකි. එය අනෙක් බොහෝ කලාවන්ට මූලික වූ නිසාම විශිෂ්ඨ කලාංගයකි. කාව්‍යයක් යැයි කී විට එය ගද්‍ය, පද්‍ය , නාද, සිනමා ආදී වශයෙන් ප්‍රභේධ වේ. එහෙත් භාවිතයේ දී, පද්‍ය කාව්‍ය වලටම කාව්‍ය යැයි කියන්නට පුරුදු වී ඇත්තෙමු. එහෙත් පද්‍ය කාව්‍ය හෙවත් පැදි නිවැරදි අරුතින්ම යොදා ගැනීම අප සතු යුතු කමකි. 

පැදි හෙවත් පද්‍ය
කුමරතුඟුවන් කී පරිද්දෙන්ම "ඇද පැද කිව හැක්කේ - පැදි" බව වටහා ගැනීම වඩාත් පහසු තේරීමකි. මෙකී රිද්මය නිසාම අපට පද්‍යයක් ගද්‍යයකින් වෙන්කොට හඳුනා ගැන්ම අපහසු නොවේ. ඉහත කී පැදි ප්‍රධාන වශයෙන් ගී, සැහැලි, සිලෝ සහ සීපද වශයෙන් ප්‍රභේධ වේ. ඒ ඒවායෙහි තිබෙන ආකෘතිමය ලක්ෂණ නිසාවෙනි. අවාසනාවකට බොහෝ අය සිතනුයේ පැදි යනු සීපද බවයි.

ඇද පැද කීවාම ඇති ද?
ඉහත කී ආකෘතිමය ලක්ෂණ වලින් ඔබ්බට යන කල, අපට හමුවන බොහෝ ලක්ෂණ සමස්ථ කවියටම එනම් සමස්ථ සාහිත්‍ය කලාවන්ටම අදාල වේ.එනම් නිර්මාණය සාර්ථක පැදියක් වීමට ප්‍රථම සාර්ථක කවියක් විය යුතුය. එය අරුතින්, රසයෙන් සුපෝෂිත නිර්මාණශීලී යමක් විය යුතුය. එය එසේ වන්නට අප සැළකිය යුතු ලක්ෂණ කිහිපයක් පහත දක්වමි.

1. අනුභූතිය
නිර්මාණයට පාදක වන අත්දැකීම හෙවත් වස්තු බීජයයි. නිතරම සුලභ නොවන අනුභූතියක් තෝරා ගැනීමට උත්සුක විය යුතුය
2. පරිකල්පනය
තරමක් සුලභ අනුභූතීන් වුවද සාර්ථක පරිකල්පනයන් තුළින් ඉදිරියට ගෙන යමින් බිහි වූ සාර්ථක නිර්මාණ අප දැක ඇත. පරිකල්පනය යනු සත්‍යයේ හා කල්පිතයේ සංකලනයෙන් නිර්මාණ බිහි කරන අපූරු මෙවලමක් බඳුය. කවියා සිතින් මවා ගන්නා දේ පරිකල්පනයයි.
3. ව්‍යුත්පත්තිය
කවියා සිය නිර්මාණය ඉදිරිපත් කරන ආකාරය, භාවිතා කරන බස, ආකෘතිය, යෙදුම් ආදිය තුළින් ව්‍යුත්පත්තිය හඳුනාගත හැක. 
4. අලංකාර
උපමා, රූපක, දීපක, ආක්ෂේප, උත්ප්‍රේක්ෂ ආදී අලංකාර වලින් නිර්මාණය ඔපවත් වෙයි. 
5. දෘෂ්ඨි කෝණය
කාගේ දෘෂ්ඨියෙන් ඉදිරිපත් කොට ඇති ද යන්නයි. එනම් කථන ක්‍රමයයි. කවියා තමන් දක්නා ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ ද? බාහිර අයෙකු ලෙස ඉදිරිපත් කරන්නේ ද යන බවයි.
6. උචිත බව
කවියේ අර්ථයට උචිත ලෙස භාෂාව, වචන, රිද්මය, අලංකාර ආදිය සැකසී තිබීම උචිත බවයි.
7. ව්‍යංගාර්ථය
නිර්මාණයක යටි පෙළ අරුත, සැඟැවුණු අරුත හෙවත් ධ්වනිතාර්ථය ලෙස හඳුන්වන්නේ මතු පිටින් පෙනෙන අරුතට එනම් වාච්‍යාර්ථයට අමතරව පවතින අරුතයි.

මෙලෙස රසවත්, හරවත් හා සවිමත් වන කවිය ප්‍රාණවත් වූ පැදියක් බවට පත් කිරීමෙහි ලා ආකෘතිය ඉටු කරන්නේ මහඟු මෙහෙවරකි. 


එළිසම හා එළිවැට තුළින් ආලෝකමත් වන පැදිය, යති පිහිටුවීම් තුළින් වර්ණවත්ව ගයන්නාගේ මෙන්ම අසන්නාගේ ද සිතෙහි නිවීම, ආශ්වාදය හා රසවත් බව සනිටුහන් කරන්නේ නම් පැදිය මෙන්ම කවියා ද සාර්ථකය. බස වත්, රස වත්, මස වත්, හිස වත් අමතක නොකළ යුතුමය..


මූලාශ්‍ර :- හරියටම කවි හදන හැටි (ගුරු මුෂ්ඨි) - සේන අම්බලම්ගොඩ
      නූතන පද්‍ය සංග්‍රහය - ගොඩගේ ප්‍රකාශකයෝ

9 comments:

  1. කවි බස ගැන ඔයා මොකද හිතන්නේ?ඇත්තටම කවි බසක් තියෙන්න ඕනද?නැත්නම් කඨෝර බසින් කවි ලියලා සාර්ථක වෙන්න බැරිද?www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. සාර්ථකත්වය මනින මිනුම් දණ්ඩ අනුව එය වෙනස් වෙනවා.. කවි බස රැකීම.. පෝෂණය කිරීම අපේ යුතුකමක්..

      Delete
  2. වටී වටී මහමෙරක් වටී
    වටී වටී මට හුගක් වටී

    ReplyDelete
  3. කවිය රැක ගැනීම ජාතික අනන්‍යතාවය රැකගැනීම තරම්ම වැදගත්. ඒ සඳහා අනවරත උත්සාහයක යෙදිය යුතුයි. ඕනෙම පල්හෑල්ලක් කවියක් නොවන බව තේරුම්ගන්න පිරිස අඩුවෙමින් යනවා. ඒ නිසා මෙසේ කවිය යනු කුමක්දැයි හඳුන්වාදීමේ උත්සාහය බෙහෙවින් අගය කරනවා. මෙතනින් නොනැවතී මේ ගැන තවත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සොයුර ඇගැයීම පිළිබඳව.. ඇත්තෙන්ම අපි මේ කතා කළයුතුම දෙයක්..

      Delete
  4. වැඩේ දිගට ම කරගෙන යන්න. වටිනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිලිනි..

      Delete
  5. එළ.. මං කවි ලියනව තමා ඒත් විස්තරයක් නං දන්නැතුව.. වටිනව මට සෑහෙන්න

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..