Friday, November 6, 2020

කැඩපත ට මුවා වී 7!

පුතේ.. අද හවස පන්සල පැත්තේ ගිහිං එමු ද?

පෝයකුත් නැතිව.. විශේෂ හේතුවකුත් නැතිව.. අම්මා එහෙම කියන්නේ අම්මා ගේ හිත ව්‍යාකූල වූ වෙලාවට ය.

අයියා හම්බවෙන්න ආවෙ පොඩි කාරණාවක් කියන්න.

සුජාතා නංගී ගේ මුහුණේ ඉරියවු වෙනදාට වඩා .. වෙනස් වූවත්.. සුපුරුදු ලෙංගතු කමින් ම මම සිනාසුනෙමි.

අයියෙ මට ලබන මාසෙ මැද වෙද්දි අස්වෙන්න වෙනවා..

මොනවා..! ඒ මොකද නංගි.. අපෙන් වරදක් වුණා වත් ද? නැත්තං සල්ලි ප්‍රශ්නයක් ද?

අනේ එහෙම එකක් නෙවෙයි අයියෙ.. ලසන්ත අයියා.. ගිය රටේ ම කම්පැණි එකක වේකන්සි එකකට මාව තෝරගෙන.

ඇප්ලයි කළා කියලාවත් මං දන්නෙ නෑ නෙ.. මං කියන්නෙ.. මට කියලා ඇප්ලයි කරන්න කියලා ම නෙවෙයි.. 
හ්ම්... කමක් නෑ නංගි.. අද මගේ ව්‍යාපාර මේ තරම් බැබලෙන්න.. ඔයත් ප්‍රධානතම හේතුවක්.. 
මොනවද මගෙන් කෙරෙන්න ඕන.. ?

විශේෂ දෙයක් නෑ අයියෙ.. රසිකා වැඩ ටික අල්ලගෙන යනවා.. තව ගෝලයො දෙන්නෙක්වත් ගන්න වෙයි.. මං යන්න ඉස්සර ගත්තොත්.. මං පුරුදු කරලා යන්නං..

නංගි දන්නවනෙ.. මං නොදන්න අය ලං කරගන්න හරි බයයි.. පේනවනෙ කඩේ.. ලසන්ත ගියත් හරි.. තාම ගොඩ ගන්න බැරි වුණානේ.. පුළුවන් නං ඔයා දන්න ළමයි දෙන්නෙක් හොයලා දෙන්න.. මාත් බලන්නං..

මුකුත් හිතන්න එපා අයියෙ.. මං ආසයි .. මේ ජීවිතේ හැඩය ටිකක් වෙනස් කරගන්න.. අයියයි නැන්දයි හින්දා තමයි අපි අද මෙහෙම ඉන්නෙ..

අම්මටත් කියලා යන්න.. අස් වෙන කතාව කියන්න එපා.. එක පාරටම..

මං නැන්දට ඊයේ කිවුවා අයියෙ.. ඒ ගැන..

ම්ම්.. ඒක තමයි අද පන්සල් යමු කිවුවෙ..

=================================================================

හාමුදුරුවනේ .. මේ ගිලන්පස ටිකක් ගෙනාවා..

අම්මා සතුටින් එකත්පස්ව වැඳ නමස්කාර කළාය. සුපුරුදු පරිදි මල් පහන් පූජා කර බුදුන් වැඳ.. පන්සිල් ගෙන.. ගියේ බෝ මැඬ දෙසට ය. අම්මාට නිදහසේ .. නිසොල්මන්ව ඉන්නට දී.. අප තිදෙනා.. වෙහෙර වැඳ.. වෙහෙර අසල මඳක් නැවතී උන්නෙමු.

ආච්චි අම්මා වෙහෙර වඳින්නෙ නැත්තෙ ඇයි අම්මෙ..?

පුතා ගෙන් සුපුරුදු පැනය ලැබුණි.

එහෙම විශේෂයක් නෑ පුතේ.. ආච්චි අම්මා ට ඕන නිදහසේ තනියෙම ඉන්න.. ඒ කරන්නෙ පුංචි භාවනාවක්.. ඒකෙන් හිත සැහැල්ලු වෙනවා.. පුතා ඉස්කෝලෙදිත් කරනවා නේද?

අර ... මම නිදුක් වෙම්වා.. එක ද?

අන්න හරි..

ඒක හයියෙන් කිය කිය නෙ කරන්නෙ..

ඉස්කෝලෙදි කට්ටියටම ඇහෙන්න කෙනෙක් හයියෙන් කිවුවට පුතේ.. තනියෙන් කරනකොට නිශ්ශබ්දවමයි කරන්නෙ.. අනෙක් අයට කරදර නොවෙන්න..

දැං පුතු පාසැල් යන නිසා.. වෙනදාට වඩා දෙයක් පැහැදිලි කිරීමේ හැකියාව ඇත. යමක් කියා දෙන විට ඉතා කැමැත්තෙන් අසා සිටින පුතු ගැන මට දැනුණේ පුදුමයකි.. මා ඔය වයසේ දී තිබුණේ එසේ මෙසේ විසයක් නොවන බව අම්මා කියයි.. මට මතක කාලයේ පවා තාත්තා ජීවත්ව සිටින තුරු මා ගත කළේ ඉතා දඟකාර.. විසේකාර ජීවිතයකි.

බෝධි මළුවේ ම වෙනත් පසෙකට වන්නට හිඳ ගත් අප තිදෙනා ද සුළු මොහොතක් භාවනාවක නිරත වූයෙමු. පුතුට වැඩි වෙලාවක් ඉන්නට නොහැකිව .. නොසන්සුන් වීමට පෙර නැගිටගත් අප සිත් තුළ ට ඒ සුළු මොහොතට මහත් සැනසිලිදායක සිසිලසක් දැනුණි.

=================================================================

උදේ නැගිටලා තේකත් බිවුවා.. පපුව ටිකක් රිදෙනවා කියලා පුටුවෙ හාන්සි වුණා.. ඉස්පිරිතාලෙට ගෙනියද්දිත්.. ..

මා හට හැඬුම් එන නිසා පණිවුඩයේ ඉතිරි ටික කීම බාරගත් ඇය රිසීවරය අතට ගත්තාය.

අනිද්දට තමයි අවසන් කටයුතු කරන්නෙ. ඔවු ඉරිදා.. ඔවු ඉතිං හිතපුවත් දෙයක්යෑ.. මං තියන්නම් එහෙනම්..

අම්මා යනු මගේ ජීවිතයේ කොයි තරම් පංගුවක්දැයි.. මට හිතාගත නොහැකි විය. අම්මාගේ හදිසි වියෝව.. මා ජීවිතයේ ලද දෙවැනි දරුණු ම ප්‍රහාරය මා වෙත එල්ල කළ බැවු මට වැටහිණි.

=================================================================

ව්‍යාපාර සියල්ල අඩපණ ය. ගේ දොර ඉඩකඩම් උකස් කර ණය වාරික .. ගෙවීමට ද නොහැකි විය. මහන්සියෙන් හරිහම්බ කළ සියල්ල නැතිවුණා සේ ය. සියල්ල නැති වී ගිය ලෝකයේ මට සිටින්නේ ඇයත් පුතුත් පමණය.

මට මේ කිසි දෙයක් නොතිබුණු කාළෙත් ඔයා හිටියා සුදු.. අපි ආයෙත් මුල ඉඳං පටං ගමු.. මාත් එක්ක ඉන්නවා නේද?

මා බලාපොරොත්තු සහගතව ආදරයෙන් ඇසුවෙමි.

පිළිතුරු ලෙස සුසුමක් පමණක් පිට කළ ඈ.. එතැනින් නැඟිට ගියේ හැඟුම්බරව ය..

මේ ලෝකය කෙතරම් කුරිරු ද? මම කිසිවෙකුටත් වරදක් නොකළෙමි. සාධාරණ න්‍යායන් ම අනුගමනය කළෙමි. මේ එයට මට ලැබුණු ත්‍යාගය ද?

මං ටික දවසක්.. පුතත් එක්ක අපේ ගෙදර ගිහිං එන්නම්.. ඔයා අලුතින් හිතන්න.. එදා මං උදවු කළේ මොනවත් නොදන්න.. යන එන මං නැති කෙනෙකුට.. ඔයාට ජීවිතේ පාර පෙන්නන එක මට ලොකු සතුටක් වුණා.. ඔයා මං ඒ පෙන්නපු පාරෙ ගියා.. දියුණු වුණා.. සාර්ථක වුණා.. ඒත් අද.. ඔයා එදාට වඩා බොහොම දැනුවත් වුණු කෙනෙක්.. අත්දැකීම්.. පරිණත බව .. වගකීම්.. ඔය ඔක්කොම තියෙනවා.. නැත්තෙ මොනවද? ඔවු ඔයා අලුතින් හිතන්න.. අපි දවස් දෙකකින් එන්නම්..

ඒ වචන මාගේ සවන්පත් තුළින් ඇතුළු වී සියොළඟ ම පැතිර ගියේ විදුලි සැරයක් මෙනි. මම අයාගත් දෙනෙත් වසා ගත නොහී.. ඈ දෙස බලා උන්නෙමි.

ඇය මට මඟ පෙන්වූවා.. යහමඟ වෙත යොමු කළා විනා.. මාගේ ව්‍යාපාර මෙහෙයවන්නට මඳක්වත් සහාය දැක්වූයේ නැත. එහෙත් මේ තද ප්‍රකාශය ඈ කළේ කුමණ අරමුණකින්ද .. මේ ගමන යන්නේ යම් සැලසුමක් මත ද කියා.. මා හට නොවැටහිණි.. මා කළ යුත්තේ සිනාසෙන එක ද නැත්නම් හඬන එකදැයි.. මා හට අවබෝධයක් නොවීය.

=================================================================

ගෙවුණු වසර දොළහ මුල සිට අගටත්.. අග සිට මුලටත් කොයි තරම් වාරයක් මා මෙනෙහි කළා දැයි මට මතක නැත.. මම ඒ අතර කුමක් හෝ විශේෂ යමක් සෙවුවෙමි. මට මඟහැරුණු දෙයක්.. සෙවුවෙමි.. එදා මට තිබුණේ අම්මාගේ සවිය පමණකි.. අද .. දැනුම.. පළපුරුද්ද.. හැකියාව .. සියල්ල ඇත.. අම්මා ත් අම්මාගේ සවියත් මා හට නැත. ඒ සවිය නැති දාට කිසිවක්ම නැති ද?

=================================================================

මහත්තයා .. හිතනවද .. අම්මා ඒ හයිය අරං ගියා කියලා.. ?

සුමේධ හාමුදුරුවන්ගේ පැනයට පිළිතුරක් මා සතු නොවීය.

නෑ මහත්තයා.. දෙමවුපියො දරුවන්ට දෙන කිසි දෙයක් ආපහු ගන්නෙ නෑ.. ඒ හයිය මහත්තයා ගාව ම යි තියෙන්නෙ..

මේ කණ්ණාඩිය බලන්න.. හොඳ..ට බලන්න.. මොනවද පේන්නෙ.. ?

උන්වහන්සේ කණ්ණාඩියක් මා වෙත දිගු කොට පැනයක් අසයි..

මාවම නේ හාමුදුරුවනේ..

මම කුහුලෙන් මෙන් පිළිතුරු දීමි..

හොඳට බලන්න මහත්තයා.. හොඳට..හදිස්සියක් නෑ..නෙ

මම දෙනෙත් විසල් කොට.. මා හැර .. කැඩපතෙහි වූ අන් දෙයක් සෙවුවෙමි. එහෙත් සුමේධ හාමුදුරුවෝ.. නිකරුණේ යමක් පවසන්නේ නැත..

තත්පර.. විනාඩි.. ගතවෙයි.. එකෙනෙහි ම.. මා දුටු දසුන වෙසෙස් විය.

ඒ අම්මා ය.. මා දෙස බලා සිනාසෙන අම්මා ය. මට මතක අතීතයේ උන් සුන්දර අම්මා ය. මම දෑස් එදෙසම යොමා උන්නෙමි. ඈ හිස වැනුවාය.. හරියට.. "උඹට පුළුවන් පුතේ" කියන්නාක් මෙනි..

අනේ හාමුදුරුවනේ.. !

එසේ කියමින් මම සුමේධ හිමියන් අභියස දණ ගැසුවෙමි..

නිමි.

No comments:

Post a Comment

වටිනා අදහස් ලියනු මැනේ..