Friday, March 11, 2022

බැරිදා විග්‍රහය! හරි වැඩේ ලංකාවට වුණේ

 දෙයියනේ කියලා යමක් කමක් මෙවුවා එකේ ලියන්ට ගත්තු දා හිටං මං ලියපු හෑලි වලින් මොකක්ම හරි පයිංඩයක් ..  සුබවාදී පයිංඩයක් කියවන ඔයාලටත් දෙන්ට හිතාන තමයි ඔය හෑලි ලිවුවෙ. ඒ වුණත් ඒක සතපහකට වැඩක් ඇති දෙයක් නෙමේය කියලා හිතුණෙ.. ස ට සහ පුතානෝ ට වැටිච්ච ඡන්ද කන්දරාව දැක්කම. ඉතිං පහුගිය ටිකේ මං මගේ බැරිදා විග්‍රහයත් අත්හැරලා දැම්මෙ ඒකයි.. 

ඒ වුණත්.. අපේ වත්මන් මුදල් ඇමති තුමා ගැන ඇබිංදක් ලියන්ටම ඕනෑ ය කියලා මගේ හිත වද දෙන හිංදා ආයෙමත් වංගියක් ලියන්ට තීරණය කොළා ය. 

කපුටාස් හිට් ද ප්ලේන් වගේ එකකින් නැත්තටම නැති කරලා දාන්ට හැදුවත්, මොළ හතාණෝ කියන්නේ ලංකාවේ මහපුටුවට වුවත් සුදුසු අපූරු චරිතයක් බව මගේ වැටහීමයි. ලංකාවේ සුවහසක් බයි පීපල්ස් ලා ගේ මොළයේ කේශනාලිකා වැඩකරන අන්දම ගැන කාවන්තිස්සයන්ටත් වඩා හොඳට දන්නේ යමෙක් ද, ඒ මොළ හතාණෝ ම මිස අන් කවරෙක් ද ය. කාවන්තිස්සයන් යනු හිටපු රජතුමා නොව අර MCC හුට්ටප්පරේ ට විරුද්ධව කතා කොරලා, ජාති මාමක බලවේග පුබුදුවාලූ ටියුසන් ඇදුරාණෝ බව දත යුතුය. 

දැං මං මේ සූජානම් වන්නේ, මොළහතාණන් ගේ ගුණ කිහිපයක් ඔබ ඉදිරියේ තබන්ටය. 

ස තුමාණෝ මුලින් බෑ කියා පසුව රට වහගෙන ජවුසම් නටන සමයෙහි, අයියණ්ඩිය බිය නොවන්න, අරිනා සැටි මම පෙන්වන්නම් යැයි අභීත වාක්‍ය පවසා රට(ට) ඇරියා පමණක් නොව, හොඳටම කොරෝනා තියෙන රටවල් වලින් සංචාරකයින් ගෙන්නවා, රටට සෞභාග්‍යය උදා කර දුන්නා හු ය. 

එතෙකින් නොනැවතුණු හෙතෙම, ලෝබ නැතුව මහබැංකුවෙන් අච්චු ගැසූ අලුත් ම පන්දාහේ නෝට්ටු, සාමාන්‍ය ජනතාව අතර බෙදා දුන්නද ඩොලරය ස්ථාවරව පවත්වා ගත්තේ ය. කොයි තරම් ස්ථාවරව පවත්වා ගත්තේදැයි කියතොත්, පිටරටවල ඉන්නා අපේ ඩයස්මී ලා වැනි උන්, ඩොලර් ලංකාවට එවන එක නවතා දැම්මෝය. 

ගෑස්, කිරිපිටි, ඉන්ධන, සිමෙන්ති වගේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය හිඟ කළා පමණක් නොව ඒවා ගෙනා නැවු දින ගණන් මුහුදේ නවත්වා තබා ඔවුනට හොඳ හොඳ පාඩම් ද උගන්වාලූ ය. ඒ හරහා කොරෝනා බියෙන් නිවෙස් තුළට වී කිසිදු සාමූහික කටයුත්තකට සහභාගී නොවී හුන් ජනයාට පෝලිම් වල ආතල් ගැනීමේ අවස්ථාවද සලසා දුන්නාහුය.  ගෑස් වෙනුවට දර, කිරිපිටි වෙනුවට ප්ලේන්ටි මෙන්ම වාහන වෙනුවට පයින් හෝ පුස් සයිකලේ ගමන ද හඳුන්වා දුන්නා පමණක් නොව, ලොකුවිතාන ද කවුදෝ මන්දා කෙනෙකුට කියා සිමෙන්ති පැක්ටේරියක් ද ඇරියාහු ය. 

ඡන්දයට ගෑස් මිළ හෝ ඉන්ධන මිළ කොහොමටවත් බල නොපාන බව තේරුම් ගත් මොළ හතාණෝ, 1350 ට තිබූ ගෑස්, 2800 ට යවා තමන්නේ නිර්භීත භාවය පෙන්වා දුන්නේ, 137 ට තිබූ පැට්‍රෝල් 254 ට යැවීමෙන් ය . 

තවත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසකට ඉස්ම යන්නට බදු ගසා සීමා පනවා මොළ හතාණෝ සිදු කළ සේවය ද ඉතිහාස ගත වනු ඇත්තේ ය.  ඇස් කණ්ණාඩියේ සිට කොම්පීතරය දක්වා බඩු වල ගණන් අහස උසට යනු ඇති අතර මෙතෙක් කල් බැඳ දමා දස වද දුන් රුපියලට ඕන හැටියට පාවෙන්ට ඉඩ දීමෙන්, මේ දවස් වල ලංකාවම හොල්ලන්ට පුළුවන් වීම ද මොළ හතාණන්ගේ තවත් වික්‍රමයක්ය. 

ජාත්‍යන්තර පිළිගැනීම ද උපරිමයෙන් ඇති බැවු අප දැන ගත්තේ අසල්වැසි ඉන්දියාවේ වැසිකිලි සංකීර්ණයක් විවෘත කිරීමටත් ආරාධනා කළේ මොළහතාණන්ට වීම නිසා ය. 

මේ අවුරුදු දෙක හමාරේ, හොඳට ම කළේ ස වුවද, මොළ හතාණෝ ඊට නොදෙවෙනිව හොඳම සහාය නළුවාට හිමි සම්මානයට උරුමකම් කියන බව සක්සුදක් සේ පැහැදිළි කළේ ය. 


ඉතිං ආදරණීය 69 ඔබට ඉස්තූතියි.. !



පින්තූරය අන්තර්ජාලයෙන්...

2 comments:

  1. සෞව් භාග දැක්මේ ආශ්චරියට අපි හිස නවන්ට ඕනෑ.... හිටං

    ReplyDelete
  2. මොළහතානෝ විතරක් නෙවෙයි ‘ස‘ ඇතුලු සියලුම මොළකාරයින්ව වැසිකිළිවල ම පදිංචිකරවන තුරු මේ රටට අත්වන සුගතියක් නෑ....

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..