Monday, February 5, 2024

කරුමය ලංගම බස් එකක පැච් එකක් ලෙස හෝ පැමිණිය හැක

 ඉස්කෝලෙ උසස්පෙළ කරන අවදියේ දි දවස ගානෙ දැක්කත් ලොකු මිත්‍රත්වයක් හෝ ආකර්ෂණයක් අපි අතර තිබුණේ නෑ. කොහොම හරි සීට් එකක් අල්ලගෙන නිදාගෙන යන මගේ නින්දට බාධා කරන දෙමළිච්චියො සැට් එකේ ඈත් හොඳ ප්‍රබල සාමාජිකාවක්. 


ඊට පස්සෙ මං උසස්පෙළ දෙවැනි වරට ලියද්දි දවසක් මං ගිය බස් එකේ මගේ ළඟම සීට් එකේ ඉඳගෙන තොරතෝංචියක් නැතුව කියව කියවා ගිය නිසා ඈව චුට්ටක් පොදුවේ උන්නු කෙල්ලන්ට වඩා දැන හැඳිනගෙන තිබුණා . 


ඒත් මේ සිද්ධිය වුණේ ඊටත් අවුරුදු 4කට විතර පස්සෙ . එදාත් සුපුරුදු පරිදි සීට් එකක වාඩි වෙලා යන්න ම ඕන කියලා හිතපු මම ඊළඟ බස් එක එන තුරු බස් ස්ටෑන්ඩ් එකේ හිටියා. ඒ වෙද්දි නවත්තලා තිබුණු බස් එකේ සෙනඟ පිරිලා හිටියේ සීට් ගානට ටිකක් වැඩියෙන් . බස් එකේ වාඩි වෙලා උන්නු ඈ මාව දැකලා කතා කළත්, මං කිවුවා මං ඊළඟ එකේ ඉඳගෙන ම එන්නම් කියලා. 


එක පාරටම බස් එකේ රෝදෙක සූස් ගාලා හුලං ගියා . දැං ඔය සද්දෙ ඇහුණ අය ටික ටික බස් එකෙන් බහින්න පටං ගත්තා . එතකොට ම අහිංසක ඈ, හෑන්ඩ් බෑග් එක එහා සීට් එකේ තියලා, මට අඬගැහුවේ හරියට විශාල ජයග්‍රහණයක් ලබපු වීරයෙක් වගේ උද්දාමයෙන්. එතකොට වත් මට තේරුණේ නෑ මේ මට කෙළවෙන්නයි යන්නෙ කියලා . මං ඉතිං පැහැදිලි කරලා දුන්නා බස් එකේ හුලං බැස්ස බව. 


ඊට පස්සෙ එයත් එක්කම ප්‍රයිවට් ස්ටෑන්ඩ් එකට යන්න මාත් තීරණය කළේ, ඉන්න සෙනඟ කැටියේ හැටියට ඊළඟ ලංගමෙත් මට ඉඳගන්ට නොලැබෙන එක සිකුරු නිසා . ඒ ගිහිං පෝලිමේ ඉඳලා ඉඳගන්නෙ නැතුව , අහුවුණු පළවෙනි බස් එකේ නැග්ගෙ , පෝලිමේ ඉඳලා ඉඳ ගත්තත්, නිදියගන්ට පොඩි චෑන්ස් එකක් වත් නොලැබෙන බව සිකුරු නිසා . ඉතිං අපි එදා අවිස්සාවේල්ලේ ඉඳලා නුගේගොඩට එනකම් ම කතා කර කර ආවා. 


ඕන්නම් මාස තුනක් යන්න ඇති 2002 අද වගේ දවසක ඒ ප්‍රශ්නෙ මං ඇගෙන් ඇහුවා .


ඔන්න ඔහොමයි ඉතිං කරුමය ලංගම බස් එකක පැච් එකක් ලෙස හෝ පැමිණිය හැක කියන කියමන හැදුණේ.

6 comments:

  1. කරුමේ

    පරුවත ගුහාවක හිටියත් පල දෙනවා
    මුහුද මැදක හිටියත් එහෙමම වෙනවා
    උරච්චි කර ගෙවන්නටත් බැරි වෙනවා
    විඳවලාම ඉවර කරන්නට වෙනවා!

    ReplyDelete
  2. එකකොට හුලං ගියේ බස්එකේ විතරක් නෙවෙයිද?

    ReplyDelete
  3. අනේ පව් අසරනයා. අපට හිතාගන්න පුලුවන් අසරන කම ගැන.
    කාට කියන්නද මේ දුක අප හැර.
    හරිම අපූරු කතාව.කතවෙ පල කරල තියනවට වඩා දේවල් හිස් තැන් දෙකෙන් කියවෙනව.
    මම ඒ ලිවීම් රටාවට හරිම කැමතියි.

    ReplyDelete
  4. ලියල තියෙන විදිහෙන් නම් ඇය කරුමයක් නොවන බව පේනවා. සුභ පැතුම්

    ReplyDelete
  5. සුපිරියටම ලියලා තියෙනවා ඈ...

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..