Monday, May 3, 2010

අර්ජුන හා සනත්



දෙස්පාලන පොරපිටියේ
සටන වෙනස් නොවැ මිතුරේ
එවන් වූ සටන් කෙරුමට
නුඹට ජවය ඇතේ…….

පක්ෂය දිනවන්න නොවේ
තමාව දිනවන්න නොවේ
රට දිනවන්නයි නුඹලා
සටන කළ යුතු…..

ක්‍රිකට් ගහපු ඒ යුගයේ
නුඹලට අපි බැන්ද පෙමේ
කිසි වෙනසක් තවමත් නෑ
සිදු වෙලා පුතේ…..

අපේ රටට වින කරනා
හොරු, දූෂිතයන් පන්නා
රට දිනවන්නට හැමදේ
කරනු මැන මතූ…..


අර්ජුන හා සනත් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ය. ඒත් ඊට පෙර ඔවුහු අපේ ආදරණීය ක්‍රිකට් ක්‍රීඩකයෝ වුහ.

අර්ජුන පාර්ලිමේන්තු ගියේ 2004 ඉඳන්ය. ඒ වන විටත් ඔහු ක්‍රිකට් ගැහිල්ල නවත්වා තිබුනි. ඔහුට අවශ්‍ය වුනේ කොහොම හරි ක්‍රිකට් හා අනෙකුත් ක්‍රීඩාවන්හි සිදුවන හොර මැරකම් නැවැත්වීමටය. එහෙත් ඔහුට ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැත. අර්ජුන අත හැරියේ ද නැත. දිගින් දිගටම ඔහු යුක්තිය වෙනුවෙන් කෑ ගැසුවේය. අන්තිමට ඔහු තමන් සිටි පක්ෂයද අත හැරියේය. මෙය අපට අරුමයක් නොවූයේ ඔහු ක්‍රිකට් ගහන කාලයේ සිටම යුක්තිය වෙනුවෙන් නැගී සිටි, ඒ වෙනුවෙන් කැප කිරීම් කළ චරිතයක් බැවිනි. අරවින්ද අසාධාරණ ලෙස කණ්ඩායමෙන් ඉවත් කල විට ඔහු ඊට විරෝධය පා සංචාරය වර්ජනය කලේය. එම වර්ජනය නොකලා නම් හොඳ බව රටක් හැටියට අපට හිතුනත් එයින් පසු අවුරුදු 9ක් අරවින්ද ක්‍රීඩා කලේ අර විරෝධය නිසා නොවන බව කාට නම් කියන්නට පුළුවන්ද? අප ලෝක කුසලානය දිනුවේ තමන්ගේ නායකයා ගැන කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තිබූ ඉහල විශ්වාසය නිසා නොවන බව කියන්නට පුළුවන්ද? මුරලි ගේ ප්‍රශ්ණයේදී තම කණ්ඩායමත් සමග ඔහු විරෝධය පෑවේය. එයින් මුරලිගේ අනාගතය එළිය වුනේ නෑ කියා කීමට පුළුවන්ද? අද අර්ජුන ගේ කණ්ඩායම ජනතාවය. ඔහු අප වෙනුවෙන් හඬ නගන බව අප විශ්වාස කරමු. දේශපාලන කරලියේ ඉහලටම යාමට ඔබට ශක්තිය ලැබේවායි හද පතුලින්ම පතමු….

සනත් පාර්ලිමේන්තු ගියේ 2010 දීය. ඊට කලින් ඔහු ජනධිපතිවරණයට කඩේ ගියේය. එහෙත් ඔහු තාමත් ක්‍රිකට් ගසයි (සමහර විට ඒ ලංකාව ලෝකයේ ආශ්චර්ය කිරීමේ එක් පියවරක් විය හැකිය.) ඒ විතරක් නොවේ. ඔහු ජනාධිපතිවරණය සමය වන විට කණ්ඩායමෙන් කැපී ගොස් තිබුණි. ඒ නිකම්ම නොවේ….. සෑහෙන කාළයක් එක දිගට අසාර්ථක වීමෙනි. එහෙත් (හොඳට කඩේ යාම නිසා විය හැක) ඔහුට යළිත් කණ්ඩායමේ ස්ථානයක් ලැබුණි. කොහොම වුණත් තවමත් මම සනත් ක්‍රීඩා කරනු දකින්නට බෙහෙවින්ම ආසා කරමි. එහෙත් ඉක්මනින්ම ඔහු ක්‍රීඩා ගාරයට යනු දකින්නට අසා නොකරමි. සනත් කිසි විටෙක අනුන් වෙනුවෙන් - යුක්තිය වෙනුවෙන් කතා කරනු මම දැක නැත්තෙමි. ඔහු තුල තිබූ දක්ෂතාවයට අමතරව ඔහුගෙන් මා දුටු උසස් ගතිගුණය වන්නේ ඉහල තරඟකාරීත්වයයි. ඔහු තරඟයකට සහභාගී වන අතර තුර ක්‍රීඩාගාරයට වී විවේකීව සිටින කෙනෙක් නොවන බව මම දැක ඇත්තෙමි. ඔහුගේ හොඳම මිතුරෙකු වූ රොෂාන් මහානාම අසාධාරණ ලෙස කණ්ඩායමෙන් ඉවත් කල විට ඔහු කිසිවක් කළේ නැත. මාවන් අතපත්තු නම් විශිෂ්ඨයා අසාධාරණ ලෙස බංකුවේ රඳවා සිටින විට ඔහු කිසිවක් කළේ නැත. ඔහු ක්‍රීඩාව තුලින් දිනා ගත් ජනප්‍රියත්වය පාවිච්චි කරමින් දේශපාලනයට පා තැබූ නිකම්ම නිකම් පුද්ගලයෙක් බව මගේ හැඟීමයි. අඩු තරමින් දැන්වත් කණ්ඩායමෙන් ඉල්ලා අස් වුණා නම් ඔහු තුල යම් ප්‍රතිපත්තියක් ඇති බව පෙනෙනු ඇත. සනත්, ක්‍රිකට් ක්‍රීඩා කරන කාලයේ දී සිටි සනත් ට වඩා ප්‍රතිපත්තිගරුක, වැරැද්දට එරෙහි වන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් අපි ඔබෙන් බලාපොරොත්තු වෙමු. මේ වන විටත් ඔබ සහභාගී වන ලෝක කුසලාන 20-20 තරඟාවලිය තුල යලිත් ඔබට අණසක පැතිරීමට (දේශපාලන බලයෙන් නොව) හැකි වේවා’යි ද පතමු. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ඔබට ලැබේවායි හද පතුලින්ම පතමු……

පිංතූරෙ ගත්තෙ මෙතැනින්..

6 comments:

  1. අතපය දෙන්න පුලුවන් උන් අතපයත්....ඔලුව දෙන්න පුලුවන් උන් ඔලුවත්.....දෙනවන්ම් අර ජීවිත දෙන්න පුලුවන් "රට වෙනුවෙන්" කියල මල උන්ට සදාකාලික සතුට ඒවි......

    ReplyDelete
  2. @HimidiriLanka
    ඔයා අදහස් කලේ මොකක්ද කියලා නම් මට තේරුණේ නෑ. ආපු බව දැනෙන්න සැලැස්සුවට ස්තුතියි...

    @indi
    අනිවාර්‍යයෙන්ම. ඔවුන් සටන් කලේ ඔවුන්ගේ දරුවන්, මවුපියන් වෙනුවෙන් විතරක් නොවේ... ඔබත්, මාත්, අර්ජුනත්, සනතුත් ඇතුළු මුළු රට වැසියා වෙනුවෙන්....

    ReplyDelete
  3. හරිම ඇත්ත කතාව.. දැන්වත් සනත්ට තේරුනොත් හොඳයි.....

    ReplyDelete
  4. @Kumara
    කමෙන්ට් එකට ස්තුතියි සහෝ... සනත් එවැන්නක් නොකලොත් අපට තව දුරටත් ඔහුට ආදරය කරන්න බෑ.

    ReplyDelete
  5. මචන් . . උඹේ විස්තරය නියමයි.

    අර්ජුන අසාධාරණයට එරෙහි වුනු වීරයෙකුත් සනත් ක්‍රීඩා පිටියේ වීරයෙකුත් නිසා දැන් කෙසේ නමුත් දෙන්නාම ඒකට (පාර්ලිමේන්තුවට)ගියේ ක්‍රීඩා ක්ෂේත්‍රය හා රට වෙනුවෙන් යමක් කරන්න කියලා හිතලා අපි හැමෝම ඒ අය ලව්වා එයාලගේ යුතුකම් ඉතු කරවා ගන්න ෆුල් ට්‍රයි එක දාමු නේද . . .

    ReplyDelete
  6. @දුකා
    අනිවා... ඒත් සනත් එහෙම යුතුකමක් ඉටු කරන පාටක් නෑ... එහෙම නම් පාර්ලිමේන්තු යන්නේ නැතිව අහවල් එකක් කරනවද..?

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..