ඔන්න ඉතිං පහුගිය අප්‍රියෙල් 15 වැනිදා උදැහැනැක්කෙ 10ත් පහු වෙලා කුකුලත් අතින් අරං අපේ රථ පෙරහැර රාජාංගනේ ඉඳන් අනුරාජපුරේ බලා පිටත් වුණේ කලිං බලන්ට බැරි වුණු අපූරු පෞරාණික ස්ථාන කිහිපයක් බලාගන්න අරමුණ පෙරදැරි කරගෙන. මුලින් ම ගියේ ගල්පාලමක් බලන්ට. පාලමක් කිවුවට ළඟ ළඟ ම පාලං දෙකක් තිබුණා. ඒ දැනටත් හොඳින් ගලන මල්වතු ඔය සහ හිඳි තිබුණු හාල්පානු ඇල කියන ඒවැයින් එගොඩ වෙන්ට. හැබැයි දැනට ඉතිරි වෙලා තියෙන්නෙ ඒ ගල් පාලම් වලින් කොටසයි. මේ ගල්පාලම් වසර 1500 ක් විතර පරණ බවයි කියැවෙන්නෙ.
ඊළඟට අපි ගියේ රහතන් වහන්සේ වැඩ හිටියායැයි සැලකෙන පුරාණ අසපුවක් වූ විජයාරාමය බලන්න. ඇත්තෙන්ම එම ස්ථානයේ තිබුණු මිහිර නම් වචනයෙන් විස්තර කළ නොහැකි තරම්. ඉපැරණි චෛත්‍ය හා නටඹුන් වලට අමතරව එම උයනේ තිබූ ගස් කොලන් නිසා දැනුණු සුවය මනස්කාන්තයි. අනෙක් අය හතරවටේ ඇවිදලා ආපහු යන්ට පිටත් වෙනකල් ගහක් යට වාඩි වෙලා හිටපු මට හිතුණේ තව ටිකක් ඉන්ට තිබුණා නම් කියලා.
ඊළඟට අපි ගියේ අසෝකාරාමයට. එතනට ගමන ටිකක් විතර අපහසු වුණේ ගමන් මාර්ගය ටිකක් වල ගොඩැලි සහිත එකක් නිසාත් අපේ වාහන දෙකක් ම විට්ස් වර්ගයේ උස අඩු වාහන දෙකක් නිසාත්. පන්කුලිය කියන ගමේ පිහිටා තියෙන අසෝකාරාමය බලාගන්ට එක මහත්මයෙක් යොදවලා තිබෙනවා. එතන තිබෙන ශෛලමය බුදු පිළිමය සුප්‍රසිද්ධ සමාධි බුදු පිළිමයට සමාන කමක් දක්වන බව කියැවෙනවා. ඉතා අලංකාර මුරගල් සහ ඉදිකිරීම් කිහිපයක් ම මෙහි දකින්ට පුළුවන්.
ඊයෙත් වැවකින්, ඇළකින් නාන්ට බැරි වුණු නිසා උදේ ම රාජාංගනේ වැවෙන් පිට වෙන ඇලපාරකින් හොඳට නාගත්තා. ඊට පස්සෙ අනුරාධපුරේ හෝටලේකින් කන්ට හිතලා මැන්ගො-මැන්ගො, ඇඹුල වගේ තැන් දිහා බැලුවත් ඒවයෙ අතුරු සිදුරු නැතිව සෙනඟ පිරිලා හිටියා. ටවුම මැද තිබුණු The Bakers කියන අවන්හලෙන් අපේ අවශ්‍යතාවය ඉටු කරගෙන ඉවර වෙනකොට ම සෑහෙන්න හවස් වෙලා තිබුණා. ඉතුරු වෙලා තිබුණු වෙලාවෙ බලන්න පුළුවන් තැන් විදිහට තිබුණෙ, රන්මසු උයන සහ ඉසුරුමුණිය.
සාලිය - අසෝකමාලා දෙන්නා ආදරයෙන් බැඳුනයි කියන රන්මසු උයන ඇත්තටම ආදරවන්තයින්ට නම් කියාපු තැනක්. දිය නාන්ට තිබෙන පොකුණු අසල ම තිබෙන කුඩා කාමර, ඇඳුම් හැඳ ගැනීමට තැනුවා යැයි උපකල්පනය කළ හැකියි. විශාල ගල් මත තැනූ ආසන රජ වරුන් විනෝදයෙන් සිටින්නට තැනුවා විය හැකියි. මෙහි ගලක කොටා ඇති විශ්වයේ සිතියමක් යැයි සැලකෙන කිසියම් සංඛේත වලින් සමන්විත සිතියමක් ඉතා සුවිශේෂ යැයි සැලකෙනවා.
හැන්දෑවෙ හිරු බැස යන මොහොතට ආසන්නව වැවට බැහැලා නාගන්ට ඕනිය කියලා අපේ කොටසකට ආපු ආසාවටත් ඉඩ දීලා, හිරු බැස යද්දි වැවු බැම්මේ ඉඳන් ඒ සුන්දර දසුනත් බලලා තමයි අපේ සංචාරයේ මූලික වැඩ කටයුතු අවසන් කළේ.
විශේෂ ස්තුතිය:
සුවිශේෂී කරුණු රැසක් අපට කියා දෙමින් මාර්ගෝපදේශ දැක්වූ සේන අයියාට සහ නවාතැන් පහසුකම් සලසා දෙමින් අපට අනුග්‍රහ දැක්වූ ඔහුගේ (දෙටු) පුත් චමීරට.
ප.ලි.
14 වැනිදා රාජාංගනය දක්වා ගමන සහ 17 වැනිදා ආපසු නිවෙස් දක්වා ගමන ඇතුළු චාරිකාමය ගති ලක්ෂණ හීන කරුණු මෙම සටහනෙන් ඉවත් කළේ ඔබ සැමගේ රසවින්දනයට බාධා නොවන්නට බව කාරුණිකව සලකන්න.
පහල තියෙන පොකුනට වැටෙන්න ඉසුරුමුනියේ ගලේ හාරලා තියෙන ගුහාවට සල්ලි විසිකරන මෝඩ වැඩේ තාමත් කරනවාද?
ReplyDeleteකියලා වැඩක් නෑ.. පෝලිමෙත් ඉන්නවා සල්ලි විසි කරන්න
Deleteඅනේ ඉතින් මම මීට අවුරුදු 26 කට කලින් තමයි අනුරාධපුරේ පූර්ණ සංචාරයක යෙදුනේ. සර්ව සම්පූර්ණ නොවුනත් ඔබේ සටහන නැවත මා එම මගේම රැගෙන ගියා. බොහොමත්ම ස්තූතියි!
ReplyDeleteඅනේ ඔවු. සර්ව සම්පූර්ණ සංචාරයකුත් නෙවෙයි නෙ ගියේ. ආසයි එහෙම සංචාරයක් යන්න.
Delete