Sunday, May 24, 2015

කෘතවේදී මිනිස්සු.. 2! හදිසි අනතුර



මේක මීට අවුරුදු 10කට කලිං තමයි සිද්ධ උනේ.. එතකොට මගේ විවාහ උත්සවේ වෙනුවෙන් අපේ ගේ පිලිසකර කරන කාලෙ.. අපි තීන්ත ගත්තෙ.. කිරිවන්දල චන්ද්‍රා එකෙන්.. මොනවා හරි අඩුපාඩුවක් ගේන්න අප්පච්චි ගියා.. ඔය කඩේට.. ඔහොම ගිහිං පැයකින් විතර.. ගෙදරට කෝල් එකක් ආවා..

ඒකෙන් කියැවුණේ.. අප්පච්චි අනතුරක් නිසා තුවාල වෙලා අවිස්සාවේල්ලෙ ඉස්පිරිතාලෙට ඇතුල් කළා කියලා.. ආරංචිය ආපු සැනින්.. මං මගෙ හුටු හුටුවෙන්.. සුරුස් ගාලා එතැනට ඉගිල්ලුණා.. ගිහිං බලනකොට.. ඒ වෙනකොටත් කරන්න අවශ්‍ය ප්‍රතිකාර ටික කෙරිලා තිබුණා.. මගේ (ඒ දවස් වල වෙන්ට) බිරිඳගේ අම්මා හොඳ වෙලාවට එතන ඉඳපු නිසා.. බලනකොට.. ලේ වල සීනි මට්ටම ඉතාම වැඩි අගයක් තිබුණේ.. මට මතක විදිහට.. තුන්සිය ගානක් ද කොහෙද..

කොහොමින් කොහොම හරි.. කකුළේ අස්ථි වගයක් පුපුරලත් තිබුණ නිසා.. වාට්ටුවට ඇතුළු කළා.. ඊට පස්සෙ තමයි හොයලා බැලුවෙ.. මොකද්ද උනේ කියලා..

අප්පච්චි තීන්තත් අරගෙන කහ ඉරෙන් පාර පනිද්දි යතුරු පැදියක වැදිලා තමයි මේක වෙලා තියෙන්නෙ.. හැපුණු ගමන් යතුරු පැදි කරු.. ඒ හරියෙම වැටුණට යතුරු පැදිය මීටර් විස්සක් තිහක් ගිහිං තමයි නතර වෙලා තියෙන්නෙ.. හිතා ගත්තැකිනෙ යතුරු පැදියෙ වේගෙ..

යතුරු පැදි කරු.. අවුරුදු 38ක විතර අයියා කෙනෙක්.. මිනිහා හොඳටම බය වෙලා.. ඒ මදිවට මිනිහගෙ කලිසමත් ඉරිලා..

මල්ලි .. මට බ්‍රේක් කරන්නවත් වෙලාවක් තිබුණෙ නෑ.. තාත්තා එක පාරටමනෙ පැන්නෙ.. මිනිහා තටම තටම කිවුව විදිහට මට තවත් දුක හිතුණා..

මං අනික් පැත්ත බලලා.. මේ පැත්තෙන් ආපු ලොරිය ගිය ගමන් පැන්නා.. බයිසිකලේ දැක්කෙ නෑ.. මගේ තමයි වරද.. ඕං අපේ අප්පච්චි වරද පිළිගත්තා.. අර මනුස්සයා ගැන දුක හිතිලද මංදා..

ඒ උනාට මහත්තයා.. මෙයා ඇවිත් තියෙන වේගෙ වැඩියි.. එකක් වංගුව.. එකක් කහ ඉර.. පාරෙ වාඩි වෙලා හිටියත් මිනිස්සු යට කරගෙන යන්න බෑ නෙ.. රෝහල් පොලීසියෙ රාලහාමි.. ටිකක් වැඩේ තද කරන්න වගේ කල්පනාව.. කොහොම හරි.. දෙන්නගෙ කට උත්තර ලියා ගත්තා..

දවස් දෙක තුනකින්.. ටිකට් කපාගෙන අප්පච්චි ගෙදර එක්ක ආවා.. තෙල් බෙහෙත් වලින් තමයි .. අර කැඩුණු බිඳුණු තැන්.. සනීප කොරගන්න උත්සාහ කළේ... අනේ ඉතිං අර අයියා හරි හොඳයි.. නිතරම අපේ ගෙදරට කතා කරලා සුව දුක් අහනවා..

ඔය අතරෙ දවසක පොලීසිය අර අයියත් එක්ක.. අපේ ගෙදරට ආවා..

අනේ මල්ලි කොහොම හරි මේක ෂේප් කරලා දෙන්න.. අර අයියා.. බැගෑපත් වෙනවා.. මගේ බයිසිකලෙත් ගන්න දෙයක් නෑ.. ඒක නම් ඕන දෙයක්... කාලෙ... නඩු දැම්මොත් එහෙම මහ ලෙඩක්.. 

හරි.. හරි.. අයියා.. අපේ අප්පච්චිගෙ නෙ වැරැද්ද.. අපි මේක ඇදගෙන යන්න අදහසක් නෑ.. මාත් ඉතිං ෆුල් ෂේප්..

ඔය අතරෙ ආපු අහල පාල නොයෙල් අයියා.. අප්පච්චිට කිවුවෙ..
මේක නිකං අරින්න එපා.. පොඩි වන්දියක් ඉල්ලගන්න.. අඩුගානෙ බෙහෙත් කරන්නවත්.. කියලා.. ඒත්.. ඉතිං අලට වැඩියිනෙ කොස්.. අපේ අප්පච්චිත්.. කියනවා..
චී.. චී.. ඒක හරි නෑ නෙ.. මගෙ වැරැද්දෙන් නෙ හැපුණෙ.. කියලා..

රාළහාමිත් ආයෙ පැහැදිලි කළා.. අප්පච්චි කොයිතරම්.. වැරදි උනත්.. නඩුවක් කිවුවොත් අවාසිය අර බයිසිකල් අයියටම තමයි.. කියලා.. ඒත් ඉතිං අපි ප්‍රතිපත්ති ගරුකයි නෙ.. අන්තිමට රාළහාමිටත් මළ පැන්නා.. එහෙනම් ඕන එකක් කරන්න කියලා.. මිනිහා කට උත්තරය ලියාගෙන වැඩේ අහවර කළා..

අනේ අර අයියා මුව නොසෑහෙන සේ ස්තුති කරලා කාර් එකේ නැගලා යද්දි හෝන් එකකුත් ගැහැවුවා.. ඊට පස්සෙ නිතරම කෝල් කරලා සැප දුක අහන්න ටැලිපෝන් නොම්මරේ නැති වෙන්න ඇති මයෙ හිතේ.. අවිස්සාවේල්ල පැත්තෙ එවෙන්නත් නැතුව ඇති..

අපේ අම්මා තාම ඉඳ හිට මතක් කරන්නෙ.. ලේසියෙන් දේකට එකඟ නොවෙන අප්පයි පුතයි දෙන්නා බොහෝම සමඟියෙන්.. කරපු පරිත්‍යාගය ගැන..ජුගුප්සාජනක හැඟීමකින්.. මටත්.. අප්පච්චියි මායි සමඟියෙන් කරපු වැඩක් හැටියට මුලින්ම මතකෙට එන්නෙ මේ සිද්ධිය.. කොහොම උනත්.. වර්තමානෙ.. අප්පච්චිට ඇවිදීමේ අපහසුවක් ඇති වෙන්නත් ඔය අනතුර බලපාන්න ඇති කියලා පොඩි අදහසක් තියෙනවා..


9 comments:

  1. "මිනිස්සු" බොහොම හිඟයි. ඔබට තුති

    ReplyDelete
  2. ඕක ඉස්සර ඉදන්ම සිද්දවෙන දෙයක් හින්දා වෙන්න ඇති ඒ කාලෙම "කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල" කියලා කවිපද ගෙතිල ඇත්තේ....

    ReplyDelete
    Replies
    1. හෙක්.. හෙක්.. ඒක ඇත්ත..

      Delete
  3. ඕන්න ඔය වාගේ දේවල් වලින් තමා "තාත්තගෙ පුතා" වෙන්නේ..
    අනෙක් වෙලාවට තේරෙන්නේ නෑ කාටවත්...

    හිටිගමන් නොම්මරේ නැතිවෙන එකත් මනුස්ස කමක් නේද ;-)

    ReplyDelete
  4. එහෙම තමයි මිනිස්සු.
    කොහොම වුණත්, ඒක සිද්ධ වුණේ තාත්තගෙ වැ‍රැද්දෙන් නම්, ඔයාල ඒකට සල්ලි නොගත්තු එක තමයි හරි. එහෙම නොවුණ නම් ඔයාලත් එයාගෙ මට්ටමටම වැටෙනව නෙ. ඒ නිසා ඒ කරපු දේ හරියටම හරි

    ReplyDelete
  5. තිසා කිව්වත් වගේ බන් . . තමන්ගේ වැඩේ කෙරුනට පස්සේ උදව් කරපු මිනිස්සු අමතක වෙන එකත් මනුස්ස කමක් . . . ලොකුම දේ අපි ගැටෙන මිනිස්සුන්ගේ මනුස්සකම් නිසා අපේ මනුස්සකම් හෑල්ලු කර ගන්නේ නැතුව ජීවත් වෙන්න උත්සාහ කරන එක. .
    උඹ ලියන එවා ඉඳහිට කියෝන එකෙක් විදිහට මම හිතන්නේ උඹ ඒ උත්සාහය ජය අරන් ඉන්න එකෙක් . . .
    සමහර පරන මතකයක් මේ වගේ ලියලා ඒක දිහා වෙන එකෙක් කියවනවා වගේ කියෝන එකෙන්ම පරන මතකන් නිසා හිතේ ඇති වෙච්චි පොඩි හරි බරකින් නිදහස් වෙන්න ඇහැක් වෙනවා බන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං..

      Delete

වටිනා අදහස් ලියනු මැනේ..