මට නැව ගිලෙතත් බෑන් චූන් කතාව ගැන හොඳම අත්දැකීම ලැබුණේ ටයිටැනික් චිත්තරපටිය බලපු දොහේ ය. ටයිටැනික් නැව ගිලෙන්ට යද්දි.. දහස් ගනං ඈයො.. ජීවිතය බේරගන්ට සටං කරද්දි.. මේ බෑන් චූං ගහපු හාදයො ටික වගේ වගක් නැතිව හිටියෙ .. ආසාවට නොවේය.. ඒක උන්දැලගෙ රස්සාව නිසාය... රස්සාව හරියට කොරන්නෙ නැතිව පණ බේරගන්නවට වඩා.. රස්සාව හරියට කොරලා මැරෙන එක උතුම් කියලා හිතන්ට තරං මහා නිර්භීත කමක් ඇත්තටම උන්ට තිබුණද කියලා මට විඩෙන් විඩේ නොහිතුණා නොවේය..
කොයික වෙතත්.. අපේ ජීවිතේ ගෙවිච්ච පැත්ත දිහා ආපහු හැරිලා බැලුවම.. අපිත් නැවු ගිලෙද්දි බෑන් චූන් ගහපු අවස්ථා ඕනෑ තරං හොයා ගත්තෑකිය.. ඒ අතරෙ සුන්දරම සුන්දර කතාවක් මතක් උනේ මගේ අතිජාත මිත්‍රයා අද දුරකතනයෙන් කතා කරපු වෙලාවේය...
ඒ නවසිය අනූ අට අවුරුද්දය.. අපි තුන්වැනි පාරට උ/පෙ ලියන්නට සැරසෙන කාලයයි.. අපේ සුමේධ සර් කිවුවේ හිස ගිණිගත්තෙකු එගිණි නිවන ලෙස.. පාඩං කොරන්න්ට කියාය.. ඒ නිසාම මාත් මගේ මිතුරාත් එක් දිනක් තෝරාගෙන රැය පහන් වන තුරු ශිල්ප ප්‍රගුණ කරන්ට හෙවත්.. ගණං දෙක තුනක් ප්‍රැක්ටිස් වෙන්ට කතිකා කරගෙන එයට පූර්වයෙහි මනා නින්දක් ද ලබාගෙන අපගේ නිවසේ සදා නිම නොකළ සුදුසු ස්ථානයක මේසයක් තබාගෙන සැට් උනේ මේ ගණං දෙක තුන ගොඩ දාගෙන මිස නොනැගිටිමුයි කියාය..
අප එක දිගට මිනිත්තු 25-30 ක් වැඩ කරන්නට ඇත.. කිසියම් තෙහෙට්ටු ගතියක් නිසා කෙටි විවේකයක් ගමු දැයි එකෙකු ඇසීමෙන් පළමු කෙටි විවේකය රාත්‍රී 10.00 ට පමණ ගන්නට තීරණය විය.. එම කෙටි විවේකය හැකි ඉක්මණින් එනම් පාන්දර 2 ට පමණ අවසන් කර නැවතත් පාඩම් කරන්නට ගත්තේ.. මා පියන් රැවටීම උචිත නොවන දෙයක් බව තේරුම් ගත් නිසාය.. සැලැකිය යුතු වෙලාවක් හෙවත් මිනිත්තු 45ක් පමණ එක දිගට පාඩම් කළ අපි ඉන් අනතුරුව කතා කරන්නට වූයේ.. නැවත කෙටි විවේකයක් ගන්නවාද නැතිනම් .. කෙටි නින්දක් දමා පසු දින නැවතත් පාඩම් කරනවාද යන්න පිළිබඳවය.. ඉතාම හොඳින් කරුණු කාරණා සලකා බැලූ අප දෙදෙනා පාන්දර 4 වන විට කෙටි නින්දක් ලබා ගැනීමට ගත් තීරණය පසුදිනය යහතින් ගත කිරීමේ අරමුණින් ගත් තීරණයක් බව කිව යුතුය..
මේ ආකාරයට අප එදා පාඩම් කළ ආකාරය ගැන සිතන විට විවිධ ප්‍රස්ථා පිරුළු සහ කියමන් සිහියට නැඟීම අරුමයක් නොවේය.. එහෙත් ඇතැම් ප්‍රස්ථා පිරුලක් දුටු විට මෙතෙක් මේ කතාව මතක් වන්නේ අප දෙදෙනාට පමණක් විය යුතුය..
එදත් අපි එහෙමය.. ඕනම වැඩක් අන්තිම මොහොත දක්වා තබා ගැනීම අපේ පුරුද්දය.. ඒ අන්තිම මොහොතට හොඳින් මුහුණ දීම සඳහා හොඳින් රිලැක්ස් වීම අනිවාර්යය... තවමත් අපි එහෙමය.. ලෙඩා මළත් බඩ සුද්දය.. නැව ගිලුනත් බෑන් චූන් ය..
//එදත් අපි එහෙමය.. ඕනම වැඩක් අන්තිම මොහොත දක්වා තබා ගැනීම අපේ පුරුද්දය.. ඒ අන්තිම මොහොතට හොඳින් මුහුණ දීම සඳහා හොඳින් රිලැක්ස් වීම අනිවාර්යය... තවමත් අපි එහෙමය.. ලෙඩා මළත් බඩ සුද්දය.. නැව ගිලුනත් බෑන් චූන් ය..//
ReplyDeleteඔය අපි කියන සෙට් ඒකට කුගැගීප අපි ටිකත් දාගන්න.... ඒ තරම් ඔය කතාව අපිට සත්‍යයයි....
හහ්.. හා.. ඒකත් එහෙමද?
Delete