Thursday, June 30, 2016

චරිත වලට ආදරය කිරීම


මා මුලින්ම ආදරය කළ චරිතය වන්නට ඇත්තේ අම්මාය.. නැතහොත් අප්පච්චී ය.අත්තම්මලා, අක්කා මෙන්ම පුංචි අම්මලා, නැන්දලා, මාමලා සහ බාප්පලා ද ඒ අතර සිටින්නට ඇත.. පාසැල් ගුරුවරියන්.. අසල්වැසියන්.. යහළුවන්.. යෙහෙළියන් ගේ චරිත වලට ද මා ආදරය කරන්නට ඇත.. ඒ චරිත අතර මුලින්ම මට මතකයට එන්නේ එකේ පංතිය භාරව උන්නු නාවල මිස් නමින් හැඳින්වූ ගුරුවරියයි.... ඉතා වයෝවෘද වුවත්..  කරුණාබර ඇයගේ කතා බහ තවමත් සිතෙහි ඇතිවී නැතිවී යයි.. තුනේ පංතියේ දී ඉංග්‍රීසි ඉගැන්වූ රුවනි මිස් ගේ චරිතයටද මම ආදරය කළෙමි.. ඇය ඉතා තරුණ, ඉතා ලස්සන,ඉතා කරුණාබර ගුරුවරියක් වූවා පමණක් නොව..අපට අම්මා කෙනෙකු තරම් සමීප බවක් දැක්වූ බව මට සිතේ.. අවාසනාවකට මෙන් මේ පරමාදර්ශී ගුරුවරියන් දෙදෙනාම අද මිහිපිට නැත..
ඊ ළඟට මා ආදරය කළ චරිතය.. අපේ සංගීත ගුරුතුමා.. ඔස්ටින් මුණසිංහයන් ය.. ඇත්තටම එම ආදරයේ විශේෂත්වයක් ඇත.. ඒ ආදරය ඇති වූයේ.. එතුමා මිය ගිය පසු ය.. ඒ.. එතුමාගේ චරිතය පිළිබඳව, එතුමා මිය යෑමෙන් පසුව මා ඇසූ කරුණු හා මා අත්විඳ තිබූ කරුණු සැසැඳීමකින් පසුවය..
ගාමිණී දිසානායක මහතා ගේ චරිතයට මා ඉතා ආදරය කළ බව මට සිහිවන්නේ ඔහු මිය ගිය දින මට හැඬුම් ආ බව මතක නිසා ය. එහෙත් ඩී.බී. විජේතුංග චරිතයට මම ඊට වඩා කිහිප ගුණයකින් ඇලුම් කළෙමි.. වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ ගේ චරිතයට ද මම ආදරය කළෙමි..
දුලිප්, රෝයි, අර්ජුන, අරවින්ද, රොෂාන්, ගුරා, සනත්, මාවන්, සංගා,මුරලි මෙන්ම, අසාරුදීන්, ස්ටීව් වෝ, බ්‍රයන් ලාරා, කාල් හූපර්, විවියන් රිචර්ඩ්ස් ඇතුළු බොහෝ ක්‍රිකට් චරිත වලට ද මම බෙහෙවින් ආදරය කළෙමි..
යුද්ධය අවසානයේ.. ගෝඨා සහ සරත් ෆොන්සේකා චරිත වලට ආදරය කළෙමි..
මිතුරන් අතර.. උතුම්, පරෝපකාරී, පරාර්ථකාමී මිතුරන්ට ද අප්‍රමාණව ආදරය කළෙමි..
නිසි වයස එළැඹි කල පෙම්වතියන්ට ද විවාහයෙන් පසු බිරිඳට ද ආදරය කළෙමි..
පසුගිය ආණ්ඩු පෙරළි සමයේ විචිත්‍ර කථිකයන් වූ පාඨලී, අනුර කුමාර, ලාල් කාන්ත වැන්නන් හට ද බෙහෙවින් ඇලුම් කළෙමි..

ආණ්ඩු පිහිටුවීමෙන් පසු වත්මන් ජනපති තුමා ගේ චරිතයට ද බෙහෙවින් ආදරය කළෙමි..
මෙකී ආදරය හා ගෞරවය.. අප කරන්නේ චරිත වලට ය.. ඔවුන්ගේ අප දකින ක්‍රියාකාරකම් වලට ය.. මිය ගිය අය හැර අනෙක් බොහෝ චරිත හිමියන්.. ඔවුනට අප ආදරය කර ඇත්තේ වැරදි වැටහීමකින් බව ඔප්පු කර හමාර ය..
ඒ අතර ප්‍රධාන ම දෙදෙනා .. අර්ජුන රණතුංග සහ සරත් ෆොන්සේකා ය..
ඉතා ඉක්මණින්.. ඉතුරු දේශපාලන චරිත ටිකත්.. මගේ බලාපොරොත්තු සුන්කරනු ඇතැයි සිතේ..

මා කියන්නට ආවේ එය නොවේ..

ඉහත කී හැම තැනකම මා ආදරය කළේ ඔවුන්ගේ චරිතයටයි.. චරිත ලක්ෂණ වලටයි.. එහෙත් චරිතය මක්ක උනත් මා එක ලෙස ම ආදරය කරන දෙදෙනෙකු ඇත.. ඒ මගේ දරුවන් දෙදෙනායි.. ඔවුන් කෙසේ කොයි ලෙස හැසිරුණ ද... හදවතේ ඔවුන් වෙත ඇති ඉඩ කිසිදා නොවෙනස් වනු ඇත.. මා සිතා සිටියේ.. මා වැඩිපුරම ආදරේ කරන්නේ මගේ මවට බවය.. එහෙත් මා ආදරය කරන්නේ ද ඇගේ චරිතයටය. මවක් නම් ඈ බඳු විය යුතුය.. බිරිඳක් නම් මගේ බිරිඳ බඳු විය යුතුය..මම ඒ චරිත වලට ආදරය කරමි.. එහෙත්..දරුවන්.. මම ආදරය කරන්නේ ඔවුන්ගේ චරිත වලට නොවේ.. ඔවුන්ට ම ය..

1 comment:

  1. පවුලේ අය ඇර අනිත් චරිතවලට ආදරේ කරන්නේ ඒ චරිත මෙන්න මේ වගේ කියලා අපිම මවා ගන්න චිත්ත රූපයක් බේස්කරගෙන.

    පස්සේ කාලෙක අහම්බෙන් හරි සැබෑ ස්වරූපය දැකගන්න ලැබුනාම එතකොට දැනෙන්නේ අපුලක්.

    මනුස්සකමට උරුම ගතිගුණ ඇති කියලා හිතාගෙන චරිතවලට ආදරේ කරන්න පුලුවන් නම් හොත නොරිදාගෙන ආදරේ දිගට පවත්වාගෙන යන ඇහැක් වෙයි නේහ් බන්

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..