Saturday, October 1, 2011

සැනසිල්ල


++++++++මෙය මා කෙටිකතා තරඟයක් සඳහා ඉදිරිපත් කළ කෙටි කතාවකි. එහි තිබූ අඩුපාඩු කීපයක් සකසා මෙහි පල කරමි+++++++



උපාලිත් කදිරවේලුත් අවුරුදු ගණනක් එකට රාජකාරි කළද, දෙදෙනා එකිනෙකා හා කතා කර ඇත්තේ බොහොම අඩුවෙනි. බොහෝ සංවේදී මිනිසෙකු වූ  වේළුට උපාලිගේ මේ හැසිරීම ඉහිලුම් නොදෙයි. අලුතින් පැමිණි සමන්  වේළුගේත් උපාලිගේත් හොඳ හිතවතෙක් වූයේ ඔහුත්මේ දෙදෙනා මෙන්ම ඉතා සංවේදී, මිත්‍රශීලී අයෙකු නිසාවෙනි. එහෙත් මේ දෙදෙනා අතර ඇති නිහඬ බව සමන් තුළද කුකුසක් ඇතිකළේය. උපාලි  වේළු සමඟ පමණක් නොව අනෙක් ද්‍රවිඩ ජාතිකයින් සමඟද හරි හැටි කතා නොකරන බව සමන් නිරීක්ෂණය කළේය.


ප්‍රභාකරන් තාම මරා ගන්ට බැරි වුණා නේ
පිළියන්දල බෝම්බය පිපුරුණු දාට පහුවදා සමන් උපාලි සමග කතාවට මුල පිරුවේ යටි හිතේ තවත් අදහසක් ඇතුවය
ප්‍රභාකරන්ව මැරුවා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ නේ. ප්‍රශ්නේ යට යනවා විතරයි
උපාලිගේ අදහස සමන් හිතුවාට වඩා වෙනස්
අපේ ඉන්න කට්ටියත් කොටි දන්නේ නෑ? සමන් තවත් හීයක් අඳුරේ විද්දේය
ඔය වගේ කතා කියනවා තියා හිතන්නවත් එපා සමන්. අපිත් එක්ක ඉන්න මිනිස්සු ගැන ඔයාට එහෙම සැකයක් තියෙනවද ඇත්තට? මෙවර පැනය උපාලි ගෙනි
සමන් කතා කරන්නට සැරසුණද උපාලි නැගිට ගියේ හදිසියේ භාර දෙන්නට ලිපි ගොනුවක් ඇති බැවු කියමිනි.

=========================================================================


වේළුලුගේ දරුවාට අසනීප වෙලා ලු
මොකක්ද
හදවතේ සැත්කමක් ලු. සෑහෙන ගාණක් යයි මයෙ හිතේ..
දැං ඉතිං කොහොමද සල්ලි හොයන්නේ
ජනාධිපති අරමුදලින් භාගයක් දෙනවලු. ඉතුරු ටික නං හොයා ගන්න වෙනවා.
අපි කොහොම හරි උදවු කරමු. උපාලි නැගිට යමින් කීවේ තිර හඬකිනි. සමන් කල්පනා කළේ උපාලි කොහොම මිනිහෙක් දැයි කියාය.

=========================================================================
මේක ජීවිතයක් සම්බන්ධ ප්‍රශ්නයක්. මේ ජීවිතේ බේර ගන්න ඕනි.
වගේම අවංක කම පිළිබඳවත් ප්‍රශ්නයක්.
දැං ආයෙත් බාලරාම් ගේ කවුරුවත් එන එකක් නෑ.
වුණත් බැරි වෙලාවත් හොයාගන්න පුළුවං වුණොත්.


උපාලි පෝටිකෝවේ මේ අත ඇවිදිමින් තමන්ගේ යටි හිතත් සමගම තර්ක කරයි. ඔහුට රෑ බෝ වී ඇතුවා දැනුණේ නැති තරම්ය.

... මෙන්න තේකක් ගෙනාවා. මොනවද ඔය හැටි කල්පනා කරන්නේ ?
කල්පනා කරන්නද දේවල් නැත්තේ? උපාලි ප්‍රශ්නයකින්ම පිළිතුරු දෙමින් පුටුවක ඉඳගනියි
පුතා ගේ පිටි එක නම් ඉවරයි
ම්..ම්.. දැනට අපේ කිරිපිටි වලිං දෙමු. දැං අවුරුද්දකටත් කිට්ටුයිනේ..!සුසුමක් පිට කරමින් ළය සැහැල්ලු කරගත් උපාලි තේ කෝප්පය තොල ගාන්නේ ප්‍රශ්න සියල්ල විසඳූ ලෙසිනි


මවු පියන් දරුවන් දෙදෙනෙක් නඩත්තුව දැන් ලේසි පහසු නොවේ. මතක ඇති කාලයක විනෝදය වෙනුවෙන් කිසිදු මුදලක් වියදම් කළායැයි උපාලිට මතක නැත. උපාලි විය පැහැදම් කළේ ඉතා අරපරිස්සමිනි. එහෙත් තමාගේ යුතුකම් මඟ හරින්නට ඔහු කිසි විටකත් කැමති වූයේ නැත. පුතුට ළදරු කිරිපිටි තිබුණා නම් හොඳ බැවු ඔහු දනී. එහෙත් ප්ලේන්ටි උගුරෙන් ජීවත් වන දරුවන් වෙසෙන රටේ තම පුතු එතරම් අසරණයෙකු නොවන බවට ඔහු යළිත් තම හිත සමග තර්ක කරයි.


=============================================================================================================

83 කරදර වුණේ නැත්නං අපට පුතාගේ වැඩේ මේ තරං අමාරු වෙන්නේ නෑ
වේළු, සමන් සමග කීවේය
ඇයි  වේළුලාටත් කරදර වුණා කාලේ
වෙනදා නැගිට යන උපාලි කතාවට සවන් දෙයි
ගැන කතා කරලා වැඩක් නෑ දැං. මගේ පවුලෙං ඉතුරු වුණේ මායි, මල්ලියි විතරයි. වසන්තිලාගේ පවුලෙං වසන්ති විතරයි. අපි දෙගොල්ලන්ගෙම දේපොළ. වැඩක් නෑ ඕවා කතා කරලා.. වේලු කියන්නේ හැඬුම්බර හඬිනි. තුළ කලකිරීම මුසු වුණු තරහක්ද ඇතැයි සමන්ට සිතුණි.
=============================================================================================================


දැං නං මේක අහක දාන්නම බෑ. මට යුතුකමක් තියෙනවා මේක එයාලට දෙන්න.
ඔවු. එයාලට 83 බොහෝ දේ අහිමි වෙලා තියෙනවා. ඒ ඇත්තෙන්ම යුතු කමක්.


කලකට පසු උඩු සිතට යටි සිත අවනත වූ අයුරු කල්පනා කළ උපාලි ගේ මුවෙහි සිහින් සිනාවක් ඇඳී නැතිවී යනු පෙනුණිවේළු මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි. අපි ටිකක් එළියට යමුද? උපාලි යෝජනා කළේය
=============================================================================================================


මොනවද ඔයාලට 83 නැතිවුණු දේපල?
අපේ තාත්තගේ බයිසිකල් කඩයක් තිබුණා. වසන්තිලාට රත්තරං බඩු සාප්පුවක් තිබුණා
සාප්පුව තිබුණේ කොහේද
කවදාවත් නැති උනන්දුවකින් උපාලි ඇසුවේ වේළුව පුදුමයට පත්කරවමිනි.
දැරණියගල
ඔහු පිළිතුරු දුන්නේය.
මුදලාලිගේ නම? උපාලිගෙන් තවත් ප්‍රශ්නයකි.
බාලරාම්
උපාලි හිඳි අසුනෙන් නැගිට්ටේ කිසියම් ජීවයක් ලද්දෙක් මෙනි.
කියන්නේ ගෞරවී ජුවලර්ස්? උපාලි යළි අසයි.
හ්ම්.. උපාලි එයාලව දන්නවද?


මුදලාලියි පවුලේ සේරමයි මැරුණයි කියලා තමයි අපට ආරංචි වුණේ. මුදලාලි හරිම හොඳ මනුස්සයා. හැමෝම වගේ මිනිහා ගැන දුක් වුණා. අපේ එවුන්ගේ මෝඩ වැඩ.
ගැන දැං කතා කරලා වැඩක් නෑ උපාලි. වාසනාවකට පවුලේ බාල දුව වසන්ති ඉතුරු වුණා. එයා තමයි මගේ බිරිඳ.
එදා කෝලහාල වෙලාවේ මාත් හිටියේ ටවුන් එකේ. බාලා මුදලාලි අපේ තාත්තගේ හොඳ යාළුවා. එයාලට කරදර බලන්න යනකොට ඔක්කොම සිද්ධ වෙලා ඉවරයි


ඒත් මං ඇතුළේ සෝදිසි කරනකොට මැරයන්ට අහු නොවුණු රත්‍රං තොගයක් හම්බු වුණා. මං සද්ද නොකර ඒක ගෙදර ගෙනාවා. හොරකමකට නෙවෙයි. මුදලාලි හම්බු වුණාම දෙන්න. කලබොල වෙයි කියලා අපේ තාත්තටවත් කිව්වේ නෑ. ඒක ගෙයි මිදුලේ වල දැම්මා. ඒත් මං මගේ හිතෙන් පුදුම වදයක් වින්දේ. දැං රත්‍රං ටික ඔයාගේ බිරිඳට දෙන්න පුළුවං


වේළු ගේ මුහුණේ වූ හැඟීම තේරුම් ගැනීමට උපාලි සමත් වූයේ නැතවේළුගේ ප්‍රශ්න දැං ඉවරයිනේ... දැං හිනා වෙලා ඉන්න. උපාලිගෙන් දිස් වූයේ කවදාවත් නැති උද්‍යෝගයකි. ඔහුගේ දීප්තිමත් දෑස දෙස බැලූ වේළු තරයේ ඔහුව බදා ගත්තේ ශබ්ද නගා හඬමිනිවේළු හැඬුවේ සතුටට විය යුතු බව උපාලි තීරණය කළේය.

=========================================================================


රත්‍රං ටික වසන්තිට භාර දුන් උපාලි ගෙදර ආවේ නිම් හිම් නැති සතුටකිනි. ඔහු කලකට පසු දරුවන් දෙදෙනා සමඟ හිතේ හැටියට විනෝද විය. වේලුගේ පුතුගේ සැත්කම සාර්ථකව සිදු විය. සමන්, උපාලි හා වේලු බොහෝ සතුටින් සිටිනු කලකට පසු දක්නට ලැබුණි. එහෙත් වේලුගේ හිතේ තිබුණු බිය තාමත් තියෙන බව සමන් හා උපාලි ගේ ඇස් වලට හසු වූයේ නැත.

=========================================================================


කදිරවේළු  මහත්තයා මේ ලියුම මහත්තයට දෙන්න කීව්වා.
කෝ දැං  වේළු
හදිසි ගමනක් යනවා කියලා ගියා.
උපාලි,


මට සමා වෙන්න. මට ඔබට මුහුණ දීමට අපහසු කමක් ඇත. එහෙත් මා ඔබට වරදක් නොකළ බව කිව යුතුය. පුතාගේ ඔපරේෂන් එකට සල්ලි නැතුව ඉන්න කොට කොටියෙක් මට යෝජනා කළා ඔත්තු සපයන්න කියලා. ලොකු මුදලක් දෙන්නම් කිව්වා. මං එකඟ වෙන්න තීරණය කරලා ඉන්න කොටයි ඔයා මට සල්ලි දුන්නේ. මට දැං මාවම පිළිකුල්. මං ගැන හොයන්න එපා!


මීට වේළු!     =============================================================================================================

වේළු නගරයෙන් පිට වෙන්න කලිං ඔහුව හමු වෙන්න උපාලි තීරණය කළා. උපාලිට පුළුවං වුණා වේළුව හමුවෙන්න. වෙලාවෙ  වේළුගේ ඇස් දෙකේ තිබුණු අසරණ බව මීට කලිං කවදාවත් උපාලි දැකලා තිබුණේ නෑ. මේ පාරත්  වේළු උපාලිව බදාගෙන හැඬුවා. හැබැයි මේ පාර හීන් කෙඳිරිල්ලක්, සුසුමක් එක්ක කඳුළු බිංදු දෙකක්....

                                                                           ~~~
අවසානයි~~~~

Thursday, September 29, 2011

කවි හදන හැටි - 4 (වෘත්ත හෙවත් විරිත්)

කවි නිර්මාණයේ දී විරිතකින් කවිය ලිවීම ඉතා වැදගත් වේ .  සේන අම්බලංගොඩ කිවිඳුන් ලියූ හරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි) පොතේ වෘත්ත ගැන පල වූ පරිඡ්ඡේදය ඇසුරින් නිර්මාණය කළ ලිපියකි මේ . කවි හදන හැටිකවි හදන හැටි - 2කවිහදන හැටි - 3  නමින් මේ ගැන කලින් මා ලියූ ලිපි කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේහරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි)   නම් පොත ඇසුරිනි.


ශ්‍රී සිරි වෘත්තය è È   È   È   È
 උදා: -කා මී තා මී
ගුරු අකුරකින් සෑදේ. මෙහි එක් අකුරක් එක් පදයක් ලෙස සලකා ඇති බැවු පෙනේ.


ස්ත්‍රී වෘත්තය   è - È   - È   - È   - È හෝ ÈÈ   ÈÈ   ÈÈ   ÈÈ හෝ È -   È -   È -   È -  හෝ  -- -- -- -- 

උදා : - 1. අනේ පනේ තනේ වැනේ 
            2. කෑවා බීවා ආවා නෑවා
            3. ඒම මේම තාම කෝම
            4. අපි යමු යළි එමු 

කේෂා  è -ÈÈ  -ÈÈ  -ÈÈ  -ÈÈ
මෙම විරිතෙහි ‘ය‘ ගණයෙන් පාද සතරම සම්පූර්ණ කරයි. 
උදා : - සිනා පා | දයා පා | කළාදෝ | මුලා මා

සුමති è --ÈÈ | --ÈÈ | --ÈÈ | --ÈÈ
මෙහි මාත්‍රා ගණන 6කි.
සතුරන්ගේ | තෙද බින්දා | අප බූනා | වැජඹේවා 

මේ අකාරයට සුමුචි, ව්‍රඩා, කුසුමා, ලාසිනී, භාෂිණි, ප්‍රීති, පන්නි, මන්දා, තනුමධ්‍යා, කුමාර ලලිතා, මදලේඛා, මධුමතී, හංසමාලා ලෙස විරිත් ගණනාවක් ඇත. ඉහත කී විරිත් ඇසුරෙන් තවත් අනු විරිත් ද සෑදිය හැක. 

අද වන විට කවියන් විසින් බොහෝවිට පරිහරණය කරණුයේ සමුද්‍ර ඝෝෂ නම් විරිතයි. (අවාසනාවකට මෙම පොතේ සමුද්‍ර ඝෝෂ විරිත සීපද ගණයට වැටෙන විරිතක් බව සඳහනක් ඇතත්, ඊට වඩා විස්තරයක් නැත). මෙම විරිත ද තවත් අනු විරිත් 108 කට පණ ගැන්විය හැකි බව සඳහන් වේ.

වෘත්ත ප්‍රභේද

1. මාත්‍රා වෘත්ත (මත් විරිත්)
මාත්‍රා ගනිමින් සකස් කරයි. මේ සඳහා ගණ පහක් පමණක් යොදා ගනී.
2. වර්ණ වෘත්ත (අකුරු විරිත්) 
අකුරු ගණිමින් සකස් කරයි. මේ සඳහා ගණ අටම යොදා ගනී.


කවියක රසය කොතැනද වැඩිපුර ඇත්තේ
විරිතෙහි තමයි වැඩිපුර බලයක් ඇත්තේ
විරිතට පමණකුත් නැත තැන දිය යුත්තේ
විරිතත් ගලපලයි කවි පබැඳිය යුත්තේ 


Wednesday, September 14, 2011

මත් වෙන්න බොන්නම ඕනද?


මේ පිංතූරෙ තිබුණෙ මෙතන

මගේ මිත්‍රයෙක් ඉන්නවා, උන්නැහේට නං මත් වෙන්න කරන්න තියෙන්නේ බස් එකක ටිකක් දුර වාඩි වෙලා යන එකයි. හපොයි අපි වියදම් කරලා, උගුර කට දවාගෙන රහමෙර ටිකක් බීලා ගන්න කික් එක මෙයැයි ගෙදර යන ගමං නොමිලේ ගන්නවා නොවැ. ඉරිසියාවේ බෑ.

ඒත් මං අද කතා කරන්නේ ඒ මත් වීම ගැන නෙවෙයි. අපේ ජීවිතේ හුඟක් වෙලාවට අපි ඉන්නේ මත් වෙලා නොවැ. කල්පනා කරලා බලන්න. ආලයෙන්, රාගයෙන් මත් වුණු වාර ගනණ. ඇයි ක්‍රිකට් මැච් වලට මත් වෙලා නැද්ද? තමන් ඉන්න යහපත් සිහියෙන් මිදිලා යම් අරමුණකට ඇලුණාම වෙන්නෙත් මත් වීමක් නොවැ. බ්ලොග් ලියන්ට ගත්තාමත් වෙන්නේ ඕකම නොවැ. 
ඔය අතරේ මාව නිතරම මත් කරවන දෙයක් තමයි මේ සිංදු. අපේ හද ගී පොත ලියන තිස්ස අයියත් මේ වැඩේට අනුබල දෙනවා නොවැ. 
සමහර සිංදු වල තනුවට මත් වෙනවා, සමහරක පද වැලට, සමහරක් සිංදු වල හඬට. අපේ සෝමතිලක ජයමහ සූරින්ගේ සිංදු ඇහුවාමත් මත් වෙනවා, හැබැයි ඒ මත් වීම හරි සොඳුරුයි. මනසට වදයක් නෑ. සැනසීමක් නොවැ ඇති කරන්නේ. නිරංජලා සරෝජිනී, ඉන්ද්‍රානි පෙරේරා, සුජාතා අත්තනායක, නන්දා මාලිනිය, අමරදේව සූරින්, වගේම ජෝතිපාල මහත්තයත්. නව පරපුරින් දිවුල්ගනේ, දීපිකා,(මේ දෙන්නා අලුත් ම නෑ තමයි.), ක්‍රිශාන්ත එරන්දකත්, චාමර වීරසිංහත් එයාලගේ හඬින් මගේ හිත සැහැල්ලුවෙන් මත් කරවපු අයගෙන් ටික දෙනෙක්.

ඒත් මේ නිරෝෂා විරාජිනී කියන ගායිකාව ගේ ගීත වලට මත් වෙන්නේ ටිකක් වෙනස් විදිහට. ඒ කටහඬ හරිම රසවත්. හරිම තියුණුයි. හරිම සැඩයි. පුදුම හිතෙන තරම් ආකර්ශණීයයි. එයාගේ ගීත ඇහුවාම “මගෙ සිත අවනත වී නැත මා වෙත” කියලා මට හිතුණු වාර බොහොමයි. එහෙම වුණාම තද වෙන්නේ නැද්ද මං අහන්නේ.

 
නිරෝෂා මහත්මිය සහාය ගායනාවෙන් එක්වෙන මේ ගී දෙක තුන අහලා බලන්න. ඔයාලත් මත් වෙයි ද කියලා…මට නං හැබැයි ඕවයේ අතුරු පල වලට වග කියන්ට බෑ හොඳේ...



බා ගෙන ම අහන්න වෙයි මයෙ හිතේ.......


සුදට සුදේ...
මේ ගීතය නිරෝෂා කියන්නේ කිත්සිරි ජයසේකරත් එක්ක. මං හිතන්නේ මේ ගීතය පැරණි ගීතයක්. මෙයාලා මේක වාණි‍ජ්‍යමය අරමුණකින් ගයපු එකක් නෙවෙයි මයෙ හිතේ....
සුදට සුදේ එළිය දිලේ පුන්සඳේ.....


මා බැන්ද පෙම්බරාගේ
මේක ගායනා කරන්නේ අමරදේව සූරීන් එක්ක. ඉතාම ජනප්‍රිය ගීයක් නොවැ. මේකෙත් මුල් ගායිකාව නිරෝෂා නෙවෙයි කියලයි මට මතක. ගීය කාගේ වුණත් නිරෝෂා ගයන කොට කොයි තරම් අපූරුද කියලා අහලා බලන්නකෝ....


නුඹ මැවූ සත්සර නිසා
මට හිතෙන විදිහට මේ ගීය නිරෝෂාත් එක්ක ගයන්නේ රූකාන්ත. පළමු වතාවට අහද්දීම කන් දෙක පිරෙන්න ඇහුණු නිරෝෂගේ හඬ මට අපූරු ආශ්වාදයක් ගෙනාවා. මේකට තමයි මං හැබෑවටම මත් වුණේ.. ඇත්තටම මෙහෙම දෙයක් ලියන්න හිතුනෙත් මේක තුන් හතර වතාවක් එක දිගට අහලා කාලය සෑහෙන්න විනාශ වුණු බව වැටහුණාට පස්සෙයි. 





Thursday, September 8, 2011

අනුරාධපුරයේ පූජා බිමක මුස්ලිම් පල්ලියක් ඉදිවෙයි...?

***මේ තොරතුරු මට ලැබුණේ ඊ ලිපියකින් එය ලියා තිබුණේ.  "Amila d Great..." කියලා කෙනෙක්. ඒ ලියලා තියලා ඇත්තයි කියලා අනුමාන කරන්න පුළුවන් පිංතූර ටිකකුත් ඊට අමුණලා තිබුණා..මෙන්න ඒ උපුටා ගැනීම.***
 ----------------------------------------------------------------------------------------------------
මෙහි දැක් වෙන්නේ ගාමිණී අභය (දු‍ටුගැමුණු) මහරජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත්

 කර තිබූ අනුරාධපුරයේ දක්ඛිණ ස්තූපය සහ ඒ අසල ඉදි වන මුස්ලිම් පල්ලියයි .

පුරා විද්‍යා නීතියට අනූව පුරා විද්‍යා ස්ථානයක සිට 300m දුරකින් මිස නව

 ඉදිකිරීමක් සිදු කිරීම තහනම් වන නමුත් මෙම මුස්ලිම් පලියේ සිට දක්ඛිණ ස්ථූපයට
ඇත්තේ 67m වැනි කෙටි දුරකි .

 එම පල්ලිය තැනීම සදහා ගල් කණුවක් පවා උපකාර කරගෙන ඇති අන්දම රූප වල පෙනේ.

පූජා භූමිය තුල මස් මාලු විකිනීමකට වත් ඉඩ නොදෙන නමුත් මෙම ස්ථානයේ එළුවන්
ඝාතනය කර යාග පැවැත්වූ බවටද සාක්ශි ඇත .

 අනෙක් සියලු නව ඉදි කිරීම්(භික්ශුණි ආරාම, බුදු පිලිම පවා) ඉවත් කල නමුත් මෙම
පල්ලිය ඉවත් කිරීමට බලධාරින් කිසිදු ක්‍රියා මාර්ගයක්

නොගන්නේ මන්ද ?........

*අනුරාධපුර, පූජා නගරයක් කිරීමෙන් පසුව ඉදිකෙරී ඇති මෙම පල්ලිය,*
*
*
* පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ සහ අටමස්ථානාධිපති හිමියන්ගේ අනුදැනුමකින් තොරව
*
*
*
*ඉදිකෙරුනේ කෙසේද යන්න තවමත් නොවිසිදුනු ප්‍රහේළිකාවකි.....*
 
කෙතරම් තමන්ට අවාසිදායක වුවත් රට දැය සමයට හිතකර කාර්යය වහ වහා ඉටු කළ යුතුය.
කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට අශුභවන කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය.

-රාවන රජතුමා














----------------------------------------------------------------------------------------------
උපුටා ගැනුම ඉවරයි....

රට ජාතියේ ඉතිහාසය රැඳුනු බිමේ
පින්බර සුවඳ පැතිරෙයි එහි හතර ඉමේ
පල්ලිය හදන්නට මුස්ලිම් අයට ගමේ
තිබුණේ නැද්ද වෙන තැන් ඔය නගර ඉමේ



පසුව ලියන වගනම්........
මේ ලිපියේ සඳහන් කරුණු සත්‍ය නම් එය ඉතාම බරපතල තත්වයකි. සිංහලයන් වශයෙන් පමණක් නොව ශ්‍රී ලාංකිකයන් වශයෙන් පමණක්ද නොව, ලෝවාසීන් වශයෙන්ද අප මෙවැනි දෑට විරුද්ධව නැගී සිටිය යුතුය. මන්ද මේ විනාශ කෙරෙනුයේ අභිමානවත් ජාතියක ඉතිහාසයයි. කළ හැක්කේ කුමක්ද, කළ යුත්තේ කුමක්දැයි මා කියන්නට අවශ්‍ය නැත. දේශ ප්‍රේමීන්ට පහුගිය කාලයේ කරන්නට ඒ හැටි වැඩක් තිබුණේ නැත. මෙන්න කරනවානම් වැඩ.....

Friday, August 26, 2011

කවි හදන හැටි - 3 (සුබ ගණයෙන් කවි ලියමු)

කවි නිර්මාණයේ දී ද සුබ අසුබ ප්‍රතිඵල ගැන සිතා නොයෙක් ගුප්ත දේ මේ කාව්‍ය සාහිත්‍යයට එක් වී ඇත.  සේන අම්බලම්ගොඩ කිවිඳුන් ලියූ හරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි) පොතේ ගණ ගැන පල වූ පරිඡ්ඡේදය ඇසුරින් නිර්මාණය කළ ලිපියකි මේ . කවි හදන හැටිකවි හදන හැටි - 2  නමින් මේ ගැන කලින් මා ලියූ ලිපි කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේහරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි)   නම් පොත ඇසුරිනි.



කවියකින් ලැබෙන ඵලය සුබ වන්නටත් අසුබ වන්නටත් කවියේ මුල්ම අකුරු තුන හේතු වන බව මෙම “ගණ” ශාස්ත්‍රයෙන් කියැවේ.

ම, න, බ, ය  - සුබ ගණයන් ලෙසත්, ජ,ර,ස,ත අසුබ ගණයන් ලෙසත් විග්‍රහ වේ.

සුබ ගණ

ම - ගණය - ගුරු හෙවත් ඇදෙන අකුරු තුනක් එක් වීමෙන් සෑදේ.  “සේ නා වෝ”, “මා ලා වෝ” උදා හරණ වේ.

න - ගණය - ලඝු හෙවත් කෙටි අකුරු තුනක් එක් වීමෙන් සෑදේ. “මලක” , “සුමට” උදාහරණයන්ය.

බ - ගණය - මුලින්ම ගුරු අකුරක් හා ඉන් පසු ලඝු අකුරු දෙකක් එක් වී සෑදේ. “නා මල”, “‍යා දෙ ක” උදාහරණයන්ය.

ය - ගණය - මුලින්ම ලඝු අකුරකුත්, පසුව ගුරු අකුරු දෙකකුත් එක්ව සෑදේ. “දමාලා”, “කවාලා” උදාහරණයන්ය.

අසුබ ගණ

ජ - ගණය - මැදට ගුරු අකුරක් හා දෙපසට ලඝු අකුරු දෙකක් එක්වී සෑදේ. “හිමාල”, “වනාත” උදාහරණයන්ය.

ර - ගණය - මැදට ලඝු අකුරක් හා දෙපසට ගුරු අකුරු දෙකක් එක්වී සෑදේ. “පීනනා”, “සාගරේ” උදාහරණයන්ය.

ස- ගණය - අගට ලඝු අකුරක් හා මුලට ගුරු අකුරු දෙකක් එක් වී සෑදේ. “ආකාස”, “ලාලාට” උදාහරණයන්ය.

ත- ගණය - අගට ගුරු අකුරක් හා මුලට ලඝු අකුරු දෙකක් එක් වී සෑදේ. “සොබනා”, “නිවනා” උදාහරණයන්ය.


කවි පන්තියක් ඇරඹීමේදී හා හිටිවනම කවි ගායනා ඉදිරිපත් කිරීමේ දී සුබ ගණ වලින් ඇරඹීම යෝග්‍ය බව සේන මහතාගේ අදහසයි.

මලක සුවඳ විහිදෙනවා නම් ...............නිබඳ
බඹරු රොනට නේමට කාරණ ............කිමද
“ගණ” ගැන වැඩිය සතුටක් නැති මුදු ....මහද
ලිව්වා තියෙන දේ විස්තර කර ..............සබඳ

Wednesday, August 17, 2011

කවි හදන හැටි - 2 (සාහිත්‍ය ප්‍රභේද)

කවි හදන හැටි නමින් කලින් මා ලියූ ලිපිය කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේ හරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි)  නම් කවි පොත ඇසුරිනි.


සාහිත්‍ය ප්‍රභේද


1. ගද්‍ය           2. පද්‍ය             3. චම්පු
මෙහිදී කවිය සාහිත්‍යයෙන් බෙදී එන්නේ පද්‍ය ලෙසය. ඉන්පසු කවිය (පද්‍ය) මෙසේ ප්‍රභේද ලෙස වෙන්වේ.
           1. ගී       2. සැහැලි       3. සිලෝ      4. සීපද


ගී ප්‍රභේදය විරිත් ලෙස තවදුරටත් ප්‍රභේද කර දක්වා ඇත.විරිත තීරණය වන්නේ කවි පද වල ඇති මාත්‍රා ගණන අනුවය.


1. පියුම් ගී       09 - 11 - 09 - 14  එකතුව (43)
2. මත්වල ගී    08 - 08 - 08 - 13  එකතුව (37)
3. උමතු ගී       09 - 10 - 09 - 10  එකතුව (38)
4. කව් ගී          09 - 10 - 10 - 11  එකතුව (40)
5. බමර ගී        08 - 11 - 10 - 13  එකතුව (42)
6. යහ ගී          09 - 11 - 11 - 11  එකතුව (42)
7. දුවඟ ගී        09 - 11 - 11 - 13  එකතුව (44)
8. යොත් ගී      08 - 11 - 10 - 11 එකතුව (40)


මීට අමතරව වම් කොහොල්, දකුණු කොහොල්, කාරිකා, සදහට වැනි ගී විරිත් ඉතා වැදගත් බව සඳහන් වේ.


සැහැලි 
පළමුව ගීයකින් අඩක්ද, ඊළඟට සීපදයකින් අඩක් , නැවතත් ගීයක අඩක් හා සීපදයකින් අඩක් යොදා පසුව සීපදයක් යෙදීමෙන් දසපද සැහැල්ලක් නිර්මාණය කළ හැකිය.
දස පද සැහැලි, දොළොස් පද සැහැලි, තුදුස් පද සැහැලි, සොළොස් පද සැහැලි, අටළොස් පද සැහැලි යනුවෙන් සැහැලි වර්ග ඇත.ඇහැලි, බැහැලි, සරඟ හැලි, අඹ හැලි, රස හැලි ආදි වශයෙන් මේ සැහැලි යෙදේ.


සිලෝ    
මත් විරිත් හෝ අකුරු විරිත් භාවිතා කරමින් ඉන්දීය සම්භවයෙන් ලැබුණු සිලෝ වල එළි වැට හෝ එළිසම රැකීමක් නැත.



සීපද
මත් විරිතින් හා අකුරු විරිතින් පබැඳිය හැකි සීපද පෙද විරිත, සමුද්‍ර ඝෝෂ විරිත ආදී විරිත් සමඟ යෙදේ.


හරියටම කවි හදන හැටි (ගුරු මුෂ්ටි) පුස්තකය ඇසුරිනි



Tuesday, August 2, 2011

කවි හදන හැටි

හරියටම කවි හදන හැටි - ගුරු මුෂ්ටි නම් ලිපිය පල කිරීමෙන් පසුව බොහෝදෙනා ගේ ඉල්ලීමක් වූයේ එම පොත scan කර upload කරන ලෙසය. එහෙත් පොතෙහි කර්තෘ තුමා සමඟ සාකඡ්ඡා කිරීමෙන් පසු එම පොතෙහි අඩංගු වැදගත් කරුණු තවත් සංක්ෂිප්ත කොට ලිපි පෙළක් වශයෙන් පල කිරීමට අදහස් කළෙමි. එම පොත මිල දී ගැනීමට අවශ්‍ය නම් ලංකාවේ ඕනෑම ගුණසේන පොත් සාප්පුවකින් එය මිලට ගත හැකි බව එතුමා පැවසුවේය. ඒ පොත ලිවීමට ඒ මහතා විශාල ලෙස කාලයත් ශ්‍රමයත් තවත් බොහෝ දෑත් කැප කරන්නට ඇත. එනිසා ඒ පොත එලෙසින්ම පාඨකයින් කියවනවාට එතුමා වඩාත් කැමති බව මට හැඟුණි. 

කවි කුල

කවි පබැඳීමේ දී භාවිතා කරන පිළිවෙත් හා කවියාගේ දක්ෂතාවය අනුව ඔහු පබඳින කවීය හා කවියා කුල ලෙස  වර්ග කර ඇත.   
     චින්තා කවි
      කවියාගේ චින්තන ශක්තිය මෙහෙයවමින් තම නිර්මාණයට අදාල කරුණු පිළිබඳ තර්ක විතර්ක කරමින් නිර්මාණය කරන කවි චින්තා කවි කුලයට අයත් වේ.
          සූත කවි
 අනෙක් කවියන්ගේ නිර්මාණ ඇසුරු කරමින් හෝ අනුකරණය කරමින් නවතාවයක් නැති අසා පුරුදු කවි නිර්මාණ සූත කවි හෙවත් “ශ්‍රෝත ” කවි  කුලයට අයත් වේ.

          අත්ථ කවි
ඇසට පෙනෙන දෙය ඇසුරින් නිර්මාණය කෙරෙන කවි අත්ථ කවි කුලයට අයත් වේ.

      පටිහාන කවි
 නුදුටු දෙයක් වුව දුටු දෙයක් ලෙස හරවත්ව, පැහැපත්ව හා රසවත්ව නිර්මාණය කෙරෙන කවි අයත් වෙන කුලය පටිහාන කවි කුලයයි. මේ කුලයේ කවීන් පෙර පින් ඇතිව ඉපැදුණු හා ඉතා ඉහල චින්තන ශක්තියක් ඇති එමෙන්ම නිතර අභ්‍යාසයේ යෙදෙන අය වේ.

කවියක යහපත් ප්‍රතිපල

කවියක් ගායනා කිරීමෙන් බොහෝ යහපත් දෑ සිදුවන බැවු සඳහන්ය.

         කාම සිතුවිලි වලින් ඈත් කරවයි
      සිත මොලොක් කරවයි
      නීවරණ යටපත් වෙයි
      සිත සතුටින් ඔද වැඩෙයි
      පහන් සිත් ඇති වේ.


හරියටම කවි හදන හැටි (ගුරු මුෂ්ටි) පුස්ථකය ඇසුරිනි.


අනේ ඉතිං කෙල්ල මාව අපහරණෙ කළා...!

පසුගිය දොහක ඊ-ලිපියකින් මට ලැබුණු අපූරු පද පෙලකි මේ... නිර්මාණ කරුට මාගේ ප්‍රණාමය. ඇතැම් විට මෙය බ්ලොගයකම ලියවුණු පදපෙලක් වන්නට ද බැරි නැත....එහෙම වුණා නම් සමා වෙන්න.  පිංතූරෙ හොයාගත්තේ මෙතැනින්"http://www.istockphoto.com/" .

පසුව ලියන වග නම්


මෙම නිර්මාණයේ අයිතිකරු හිස් අහස ලියන සඳරුගේ බව පසුව දැන ගැනීමට ලැබුණි. හිස් අහස මා කියවන බ්ලොගයක් වුවද මට මේ නිර්මාණය මඟ හැරී තිබුණි. යම් සිත් රිදවීමක් වූයේ නම් නැවතත් සඳරු ගෙන් සමාව අයදිමි. මෙහි මුල් ලිපිය මෙතැනින් නැරඹිය හැක වැව් බැම්ම මත දී දුටු සිහිනය.



දවසක් දා වැව් බැම්මේ
සූස්තියක් උරණා විට
දිය මත පාවෙන බුජුමක්
මා නෙත ගැටුණා...!

සරම ලිහා ගොඩින් තියා
අමුඩෙ ගහං බැහැල වැවට
පීනාගෙන බුජුම ලඟට
මං ලඟා වුණා..!

පෙනුමෙන් ඇන්ටික් ගතියත්
මළකඩ බැඳි කළු පැහැයත්
අතරින් විහිදුණු දිස්නෙට
මං වසඟ වුණා...!

බුජුමේ බර වැඩි නිසාම
ලිස්සන ගතියත් නිසාම
බුජුම ඉනේ ගැට ගහගෙන
ගොඩට පීනුවා!

දියෙන් ගොඩට ආ හැටියෙම
"බුජුමේ තියෙන්නෙ මොනවද?"
කුතුහලයෙන් තෙරපුණු මම
එය විවර කළා...!

මූඩිය ගැලවුණු සැනින්ම
අහස පොලොව ගුගුරාගෙන
හරි ලස්සන කෙලි පොඩ්ඩක්
එයින් මතු වුණා!

කෙල්ල බියුටි ෆුල් නිසාම
මම අමුඩෙ පිටින් හින්දම
කොහිල ගාලකට පැන මම
සැඟවී ගත්තා!

"අනේ හලෝ ගොඩට එන්න
මම නෑ මොකවත් හිතන්නේ
යූ ආර් මයි හීරෝ නේ"
කෙල්ල කියනවා.. !

ලැජ්ජාවෙන් රතු පැහැ වී
ජම්බු ගහෙන් බිමට වැටුණු
යෞවන කෙල්ලක් විලසින්
මම ගොඩ ආවා...!

"යක්ෂයෙකුගේ මන්තරයෙන්
මම බෝතලේ හිර වුණානෙ
ඔයා මාව බේරුවානෙ"
කෙල්ල කියනවා...!

"මා බේරා ගත් නිසාම
ඔයා හරි කියුට් හින්දම
උම්මා එකක් දෙන්න හිතයි"
කෙල්ල කියනවා..!

සම්මජ්ජාතියක මාව
කෙල්ලෙක් නං ඉඹලා නෑනේ
එහෙවු එකේ මටත් මේක
පල්ලමක් වුණා...!

උම්මා එකට රෙඩි වෙන්නට
දතකට මැද ගත්ත මෙමා
හෙමින් හෙමින් කෙල්ල ලඟට
යාත්‍රා කළා....!

මාස් මෙලෝ වගේ සුමුදු
රෝස පාට තොල් දෙකකින්
මගෙ සියොළඟ ඉඹිමින් ඈ
මා ඔකඳ කළා...!

දෙන දෙයියෝ දෙනකොට නම්
ටොකු ඇන ඇන දෙවනවාලු
නොහිතපු විලසින් උම්මා
තොගයක් ලැබුණා...!

ඒ වගෙ රට ආතල් නම්
මං කිසි දින විඳලා නෑනෙ
අනේ ඉතිං කෙල්ල මාව
අපහරණෙ කළා...!

හිත සතුටින් ඇගේ අතින්
අපහරණය වන අතරේ
බඩට වැදුණු තඩි සොටකින්
මම අවදි වුණා...!

ඇඩ්ඩිං මාමගෙ එළු දෙන
මගේ මූණ ලෙව කනවා
තව එළු රංචුවක් මදෙස
බලා සිටිනවා...!

මල් උරලා වැඩි වීලා
වැවු බන්ටෙක මත හිඳලා
මම ලොකු හීනයක් දැකපු
බව හැඟී ගියා...!

එදා පටන් අද වන තුරු
නෑ මම මල් දුම් ඉරුවේ
දැන් මට මල් දකිනකොටත්
වමනෙට එනවා...!