Wednesday, November 16, 2011

කවි හදන හැටි - 7 (දශ මහා දෝෂ)

කවි හදන හැටිකවි හදන හැටි - 2කවිහදන හැටි - 3,  කවි හදන හැටි - 4කවි හදන හැටි - 5කවි හදන හැටි - 6 නමින් මේ ගැන කලින් මා ලියූ ලිපි කියවන්නට ඇතැයි සිතමි. මෙම ලිපියද සැකසෙනුයේ සේන අම්බලන්ගොඩ කිවිඳුන්ගේහරියටම කවි හදන හැටි (ගුරුමුෂ්ටි)   නම් පොත ඇසුරිනි.


1. අපාර්ථ දෝෂය
අර්ථයක් නොමැතිව බඳිනා ලද කවි අපාර්ථ දෝෂයට ලක්වේ. මෙබඳු කවි විනෝදයට කීමට හැකි වෙතත් කාව්‍යමය වටිනාකමින් තොරය.

උදාහරණයක්...
අම්මා ගියා උදයෙම බස් එකේ නැඟ
මදුරුවො කාල' තවමත් රිදෙනවා ඇඟ
රතු මල් පිපී ලෙල දෙනවා දෙපස මඟ
නිල් පැහැ අහසෙ' ඉර පායා දිලෙන රඟ
-----------------------------------------------------------------------------------------------------------------------------
2. ව්‍යතර්ථ දෝෂය.
කවියක පළමු අර්ථයට විරුද්ධ හෝ එම කාරණය සනාථ නොවන යමක් පසුව පැවසීමෙන් මෙම දෝෂය ඇතිවේ.
උදාහරණ(හංස සංදේශය 41 කවිය)
රණවාපිය ලෙහෙ වතුරෙන් ගත් තරග
පුරවාපිය සොන් සිවලුන් සිත් සමඟ
කරවාපිය අඟණන් සිත් විරහ ගඟ
බැදවාපිය කිතු දද අට දිගු යටග


------------------------------------------------------------------------------------------------------------------------------
3. ඒකාර්ථ දෝෂය
එකම අර්ථයක් දෙන වචන කීපයක් එකම කවියක් තුළ යෙදීම ඒකාර්ථ දෝෂය නම් වේ. අලංකාරය පිණිස එකම වචනය නැවත නැවත යෙදීම ඒකාර්ථ දෝෂය නොවන බවත් එකම තේරුම දෙන වචන විවිධ තැන් වල යෙදීම වරදක් බවත් කිව යුතුය.

උදාහරණ:

නෙක රස අතර කවි රස යට කැමති වෙමී
සතුටින්, තුටින් නිරතුරු මම සිනාසෙමී
කඳුළින් මිදෙමි, තරහින් නම් නොම තැවෙමී
නිදුකින්, නිරෝගිව වෙසෙනට මම පතමී..

මෙහි දෙවැනි පදයේ සතුටින් හා තුටින් යන වචන දෙකෙන්ම කියැවෙන්නේ එකම තේරුමය. එය වරදකි...
-------------------------------------------------------------------------------------------------------------------------------
4. සසංශය දෝෂය:
කවියක් තුළ ඇති වචන පිළිබඳ යම් සැකයක් ඇති වන්නේ නම් එය සසංශය දෝෂය වේ.

උදාහරණ: (ගිරා සංදේශය 245 වැනි කවිය)
දෙසන දහම් දනවන කැර විනාශය
සොබන එයති සඳුගේ ගුණ නිවාසය
නදන වදන් නළඟන පෑ විසේසය

රඟන පවර රඟබිම් විය සබාසය


මෙහි සබාසය කියූ විට ස්වභාෂාවද නැතහොත් ෂඩ් භාෂාවද යනුවෙන් සැකයක් මතුවනු ඇත.
-------------------------------------------------------------------------------------------------------------------
5. අපක්‍රම දෝෂය :
කවියක් පබැඳීමේ දී සාමාන්‍ය ක්‍රමයට පටහැණිව යමක් පවසා ඇත්නම් එය අපක්‍රම දෝෂයට ලක් වේ..

උදාහරණ:

උදේ නැගිටිනවා
හොඳටෝම බත් කනවා
අඳින පළඳිනවා
මුහුණ සෝදා වැඩට යනවා

මෙහි කෑමෙන් පසුව ඇඳ පැළැඳ, මුහුණ සෝදා, වැඩට යන බැවු පවසයි..
එහෙත් ඇඳ පැළැඳ ගැනීමෙන් පසු මුහුණ සෝදන්නේ නැත.. එහෙයින් මෙය අපක්‍රම දෝෂයට ලක්වේ..



-----------------------------------------------------------------------------------------------------------------------
6. ශබ්ද හීන දෝෂය:

ව්‍යාකරණ වරද්දවා බඳින ලද කවි මෙම දෝෂයට ලක්වේ.

සොඳුරිය ම'සිත නිරතුරු හැඬවූවාය
විටකදි සෙනෙහෙ විටකදි සැර වූවාය
මගෙ හද බැඳි සෙනේ මම පැවසූවාය
එනමුදු ගලක් බඳු හද උණු නූවාය



මෙහි " මම පැවසූවාය" හා "හද උණු නූවාය" යන තැන් වල ව්‍යාකරණ දෝෂ තිබේ.
----------------------------------------------------------------------------------------------------------------------- 

7. යති බ්‍රෂ්ඨ හෙවත් යති හීන දෝෂය
යතිය හෙවත් නැවතීම තිබිය යුතු තැන නොතැබීමෙන් යති හීන දෝෂය ඇති වේ..

උදාහරණ: (ගුත්තිලය 504 වැනි කවිය)
සුර පුර සිරි සියල්


පැවසූ තමන් මෙතෙපුල්
රිවි කිරණින් නිමල්
පුබුදු කරවිය දනන් මනවිල්


මෙම කවියේ දෙවැනි පදයේ අවසානය මෙතෙපුල් යැයි යතිය තැබිය යුතු මුත් තෙවැනි පදයේ රිවි කිරණින් කියා සමාස ගත කොට ඇති අයුරු ඔබට පෙනෙනු ඇත. එසේ හෙයින් යති හීන දෝෂය ඇත.
**
-----------------------------------------------------------------------------------------------------------------------
8. භින්න වෘත්ත දෝෂය :

විරිතට අවශ්‍ය මාත්‍රා අඩු හෝ වැඩි වීම නිසා භින්න වෘත්ත දෝෂය ඇති වේ.

මගෙම අත පතා

පැමිණි රසවතා
සුවය දෙන ඉතා
යහ ගුණ බොහො ඇතා


මෙය 'මධුමතී' නම් විරිතෙන් බැඳුන ද, අවසන් පදයෙහි මාත්‍රාවක් වැඩි බැවු පෙනේ..
-----------------------------------------------------------------------------------------------------------------------------
9. විසන්ධි දෝෂය
සන්ධි කළ යුතු වචන සන්ධි නොකොට විසන්ධි කිරීම නිසා විසන්ධි දෝෂය ඇති වේ..


උදාහරණ: 


වවුලා -- මාත්‍රා 4
වවුල ආ  -- මාත්‍රා 5


කවියක මෙසේ යොදා ගැනීම විසන්ධි දෝෂයයි...
--------------------------------------------------------------------------------------------------------------------------------
10. විරෝධී දෝෂය:
විරෝධී දෝෂය හය ආකාරයකට ඇති වේ.


 දේශ විරෝධී, කාල විරෝධී, කලා විරෝධී, ලෝක විරෝධී, න්‍යාය විරෝධී, ආගම් විරෝධී ආදී වශයෙනි..


දේශයක නැති දෙයක් තිබෙනවා සේ පෙන්නීම දේශ විරෝධී වේ...
රාත්‍රී කාලයේ පිපෙන මල් දහවලේ පිපුණා යැයි කීම හෝ ග්‍රීෂ්ම සෘතුවේදී ගඟක් පිටාර ගලනවා යැයි කීම කලා විරෝධී ය.
කලා විරෝධී

නැටුම් ගැයුම් ආදී විවිධ කලා ශාස්ත්‍රයන් වලට අදාල යම් කරුණු වෙනස් ආකාරයකට කීම හෝ ලිවීම කලා විරෝධී වන්නේය.


ලෝක විරෝධී
ලෝකයේ සිදුවන දෙයක් සාමාන්‍ය පටිපාටියට විරුද්ධව සිදුවනවා යැයි කීම ලෝක විරෝධී දෝෂයයි.. බල්ලාට කකුල් හයක් ඇතැයි කීම උදාහරණයකි..


න්‍යාය විරෝධී..
කිසියම් න්‍යායකට විරුද්ධව කියැවෙන කවිය න්‍යාය විරෝධී වන්නේය. 


ආගම් විරෝධී


කිසියම් ආගමකට විරුද්ධව තනන කවියක දී එය සත්‍යයෙන් පිටතට ගෙන යෑම ආගම් විරෝධී වන්නේය.


=================================================================================

2 comments:

  1. අගේ ඇති තොරතුරු.බොහෝ තුති

    ReplyDelete
  2. බොහෝම වටින කරුනු ටිකක්
    බොහෝම පින්

    ReplyDelete

වටිනා අදහස් ලියනු මැනේ..