විවිධ පුද්ගලයන්ට, විවිධ යුග වලට මෙන්ම විවිධ සාහිත්‍ය කෘති වලද විවිධ ශෛලීන් ඇත. කෙනෙකුට උත්පත්තියෙන්ම ලැබෙන සහජ ශෛලී කුසලතාවය තවත් අයෙකුට බලෙන් හෝ උත්සාහයෙන් ලබා ගැනීම උගහටය. තමාට සුදුසු ශෛලිය තමා විසින් ම කළ යුතුය.
යුග වශයෙන් ශෛලීන් මෙසේ බෙදෙයි..
1. අනුරාධපුර
2. පොළොන්නරු
3. දඹදෙණි
4. කුරුණෑගල
5. ගම්පල
6. කෝට්ටේ
7. සීතාවක
8. මහනුවර
9. කොළඹ
ග්‍රන්ථ වශයෙන් ශෛලීන් මෙසේ බෙදෙයි..
1. දම්පියා අටුවා ගැට පද
2. ධර්ම ප්‍රදීපිකා
3. අමාවතුර
4. බුත්සරණ
5. සද්ධර්මරත්නාවලී
6. උමංදා
සාහිත්‍ය ක්ෂේත්‍රයේ කාව්‍ය වශයෙන් ශෛලීන් මෙසේ බෙදෙයි..
1. ගද්‍ය කාව්‍ය
2. පද්‍ය කාව්‍ය
3. චම්පු කාව්‍ය
තවත් ශෛලී වර්ගීකරණයක් මෙසේ වෙයි..
1. වෛදර්භී
2. ගෞඩී
3. ලාටී
4. පංචාලී
සිරි සීවලී නා හිමියන් විසින් පහත ශෛලීන් 14 හඳුන්වා දී ඇත.
01. උද්දීපන
කිසියම් කාරණාවක් උද්දීපනය කොට පැවසීමට ගන්නා උත්සාහය තුළින් උද්දීපන ශෛලිය මතු වේ..
දල වැලී කතරක්
අතරින් ගලන නදියක්
මෙන් වීද උතුමෙක්
වඳිම් එ සුගත් පතා සඟමොක්
(රත්නමාලී කාව්‍යය)
02. භාව පූර්ණ
මෙමඟින් කවියාගේ සිතෙහි ඇති වන චිත්ත රූපය පාඨකයාගේ/ශ්‍රාවකයාගේ සිතෙහි පහළ කරවීමට හැක.
සරසවිය කැන්දමි
රන් රස තොළඟ රන්දමි
සතර පද බන්දමි
ඔබ සැවොම එක තැනක ඉන්දමි
(මෙය මෙම පොතේ ම දී ඇති උදාහරණයයි.)
03. ගාඨ
ඇසීමේදී හෝ කියැවීමේදී කඨෝර වචන අසන්නට, කියවන්නට සිදුවන ශෛලිය කඨෝර ශෛලිය හෙවත් ගාඨ ශෛලියයි.
අෂ්ඨ ලෝක ධර්මයෙන් නිරන්තරෙන් රැකී
දුෂ්ඨ පාප කර්මයන් වලින් සිටිවු මැකී
කුෂ්ඨ රෝග චිත්තයෙන් පිරී තිරී වැකී
ශිෂ්ඨ වීම දැන් ඉතින් පටන් ගනිවු එකී
(මෙය මෙම පොතේ ම දී ඇති උදාහරණයයි.)
04. දීර්ඝ
එක් වර්ගයක හෝ එක් ජාතියක අකුරු සමීපව තබමින් නැවත නැවතත් කිය කියා දිගින් දිගටම කියැවෙන කවිය දීර්ඝ ශෛලියට අයත් වන්නේය. කෙටියෙන් කිව යුතු දෙය දිග්ගස්සමින්, වචන විශාල වශයෙන් කියමින්, යතිය අඩුවෙන් තබන මෙම ශෛලිය යම් කථාවක් පැවැත්වෙන අවස්ථා වලදී ඉතා සුදුසුය.
සසර සරණ ගිමන නිවන බෝපිටියේ ධම්මිස්සර නායක හාමුදුරුවනේ ඔබට වඳින්නම්
දිනන දිවිය මෙළොව ගෙවන සරු පින්කෙත විළස රැඳෙන ඔය පායුග අසල වැටී අවසර ගන්නම්
සකල සතට මෙහෙය කරන ඇති නැතිකම සිතට දැනෙන සාමයෙ ගී දස දහසක් නිබඳ බඳින්නම්
මෙවර පොහොය මිහිඳු මහිමි සිහිගන්වන මහ පෙරැහැර වෙතට සියළු දෙනට කරුණු මෙලෙස කියන්නම්
(මෙය සේන කිවිඳුන් විසින් පොසොන් උත්සවයක මිහිඳු පෙරැහැරක් සඳහා පැවැත්වූ රැස්වීමකදී කියන ලද කවියක් බව සඳහන්ය.)
05. කෙටි
කෙටි ශෛලිය යනු ඉතා කෙටි වෘත්තයන් උපයෝගී කරගෙන කවි බැඳීමය. මනස සංවර්ධනය හා වර්ධනය සඳහාත් අමතක නොවීම සඳහාත් මෙය උපයෝගී කර ගත හැක.
සම්බුදු සරණයි
සමිඳු දෙසු දම් සරණයි
මහ සඟ ගණ සරණයි
හැමට තෙරුවන් සරණයි
(මෙය යොත් ගී විරිතට (8-11-10-11) අනුව මවිසින් බඳින ලද කවියකි..)
06. වේගවත්
කිසියම් දුකක්, බියක්, කෝපයක් ආදී ආවේගයක් නිසා බඳින කවි වේගවත් ශෛලියට අයත් වේ..
බලු වැඩ කරන්න
නොහැකිය ඉඩ තියන්න
දත් ටික හැලෙන්න
හිතෙනවා මට තොට අනින්න..
(මේ සේන මහතා විසින් එක්තරා නොපනත්කමක් දුටු තැනක දී කියූ කවියක් ලෙස සටහන් වේ..)
07. ආක්‍රමණ
කිසියම් කෙනෙකුට එරෙහිව බඳින කවි ආක්‍රමණ ශෛලිය වන්නේය. සමාජ ශෝධනය සඳහා මෙම ශෛලිය උපයෝගී කර ගත හැක.
දියෙහි යන දණ්ඩට
පිහිටක් වෙතත් පෙර සිට
දුදනන් හට පිහිට
නොවවු යන බස සැබෑ කළෙ මට
කොපමණ ගුණ කළත්
දුදනෝ නොවෙති යහපත්
කිරි දියෙනි දෙවියත්
අඟුරු සුදුවන කලෙක් නම් නැත්
(ගුත්තිල කාව්‍යය)
08.විවේචන
කිසිවෙකු ගේ හෝ කිසිවක ගුණ දොස් විවේචනය කිරීම විවේචන ශෛලිය වන්නේය.
වෙසෙසින් නියම කොට
දුන්නත් ඉසුරු මුළු රට
තුටු නොවන එකෙකුට
ගමන් දෙන මෙන් සතුටු පඬුරට
මියු රස ගී සමඟ
කර ගායනා මන රඟ
එවිට ද උන් එරඟ
බලා නොසතුටු සිතින් උන් රඟ......
(ගුත්තිල කාව්‍යය)
09. උපහාස
කෙනෙකුට හෝ කිසිවකට උපහාස පිණිස බඳින කවි උපහාස ශෛලියට අයත්ය.
කෙඳිරි පර ගානී
ඇති සිත ඉඟි නොපානී
පෑ ආනි බානී
කියා එබසට නැමුණු ගෑනී
(මෙය මෙම පොතේ ම දී ඇති උදාහරණයයි... )
10. සරල
සිතෙහි හටගත් අදහස ඉතා සරල බසින් කීම සරල ශෛලියයි.
මම කොළඹ යන්නෙමි
වැඩ කටයුතු කරන්නෙමි
යළි ගෙදර එන්නෙමි
කෑම කාලා බුදිය ගන්නෙමි
(මෙය මෙම පොතේ ම දී ඇති උදාහරණයයි... )
11. වර්ණනා
පෑදෙන මුවඟ මද සිනහවකි පෑ රස
බෑ වෙන කෙනෙකු හට නෙත දෙන්න ඒ දෙස
පූ දින තැඹිලි මල බඳු ගුණැති දා දස
රා වණ රජු සමානය බලය තේජස
(ගුරුළු සංදේශය* 85 වැනි කවිය )
12. අනුප්‍රාස
එක හා සමාන වන්නා වූ වචන හෝ අකුරු එක ලඟින් යොදමින් කවි නිර්මාණය කෙරෙන්නේ අනුප්‍රාස ශෛලියෙනි..
කල බල නොකළ මිහිතල පහළ බල කඳින්
කුල මල සකල සිත තුළ නොබල හෙළ තෙදින්
දල නල කසල විසි කළ වෙරළ රළ නදින්
හල කල කොමළ ලෙස බල සුදිල කළ මැදින්
(ගුරුළු සංදේශය* 81 වැනි කවිය )
13. හෙළු
තනි ශුද්ධ සිංහල බසින්ම බඳින ලද කවි හෙළු ශෛලියට අයත්ය.
රළලා උපුලා නොඑව තුලායා
නෙතුලා බැමලා බම වාලායා
රඟලා එකලා බැලුම් සලායා
නෙතලා සිතුලා ඇඳ බැඳලායා
(මෙය මෙම පොතේ ම දී ඇති උදාහරණයයි... )
14. ඇකාර
"ඇ" කාරය යොදමින් බඳින කවිය ඇකාර ශෛලියයි.
නුඹ පත සඳ යුගත රිව් ලෙසැ දිස් වීයැ
යහ නත අතුළ මල් පෙති කටු ලෙස් වීයැ
පිය කත දෙන රැඟුම් ගී නොමැ තොස් වීයැ
පබ වත නැති මෙ රජ විමනත හිස් වීයැ.
(අලගියවන්න - කුසදා)
ප.ලි
* ගුරුළු සංදේශය නමින් දක්වා ඇත්තේ "සේන අම්බලංගොඩ ශූරීන්" විසින් පැරණි සංදේශ කාව්‍ය වල රටාව අනුගමනය කරමින්, වත්මන් ජනපතිවරයාව අතිශයෝක්තියෙන් වනමින් ලියූ සංදේශයක් බව මේ පොත කියවාගෙන යද්දී තැනින් තැන යොදාගෙන තිබෙන උදාහරණ ඇසුරින් හිතා ගත හැකි විය. සේන මහතා ගේ දක්ෂතාවයට මෙය කදිම නිදසුනකි...
මම ඔබේ මේ කාර්යය ඉතා සිතින්ම අගය කරමි. බ්ලොග් අවකාශය තුල මෙවැන්නක් දකින්නට ලැබීමද වාසනාවකි. ඔබට ජය.
ReplyDeleteස්තුතියි.. මෙවන් දෑ අගයන පිරිස් අප හා එක්වීම මහත් සතුටකි..
ReplyDeleteබොහොම හොඳ සත් කාර්යයක් චතුර මහතා ... තව තවත් කවි කිවිඳියන්ට ප්‍රයෝජනවත් වීම සඳහා මේ කරුණු ඇතුළත්ව සඳැස් කවි පිටුවේ ඩොක් එකක් සාදමුද?
ReplyDeleteමහතා???????? හපොයි....
ReplyDeleteමං ඩොක් එකක් හැදුවා...ඔයා දකින්න නැතිව ඇති..
හරිම වටිනවා චතුර මල්ලී. මම මේවා දන්නෙ නැතිව අඳුරේ අතපත ගෑවා කියල හිතෙනවා.ස්තූතියි සටහනට.
ReplyDeleteහැමදේම දැනගෙන කවුරුත් ඉපදෙන්නේ නෑ නොවැ අක්කා.. ගොඩාක් අය ගාව නැති මනුස්සකම තියෙනවා නම්... මේවා ඉගෙනීම ඒ තරම් දෙයක් නෙවෙයි.. එහෙම නැති අය මේවා ඉගෙන ගත්තත් ඇති පලේ මොකක්ද?
ReplyDeleteඅදහසට බොහොම ස්තුතියි අක්කා..
බැස්ස ලින්ක් එක දාල දැකල ආවේ. හොද ලිපියක්. මේ බ්ලොගය යාවත්කාලින වෙන්නේ නැතිද?
ReplyDelete